Thursday, October 24, 2013

ලංකාවේ හරි මැද සොයා යමු!

මම මෙතෙක් ලියපු චාරිකා සටහන් වලට මගේ බ්ලොග් රසිකයන්ගෙන් ඉහල ප්‍රතිචාර ලැබුනා. විශේෂයෙන්ම බණ්ඩාරවෙල, අනුරාධපුර, මාතර, කතරගම, නුවරඑළිය වගේ චාරිකා සටහන් වලට. ඉතින් මම අදත් ඔයගොල්ලන්ව එක්ක යනවා සුන්දර මාතලේ පුරවරයේ සංචාරයකට!
කොළඹ සිට මාතලේට ලඟාවිය හැකි මාර්ග කීපයක්ම තියෙනවා.
ඒ අතරින් අපි ‍තෝරාගත්තේ පේරාදෙණිය-ක‍ටුගස්තොට හරහා මාර්ගයයි. A1 මාර්ගය ඔස්සේ පේරාදෙණිය හන්දියට ගමන් කල අපි එතැනින් ගන්නොරුව පාරට හැරී එතැනින් ගොහාගොඩ පාර ඔස්සේ ක‍ටුගස්තොටට පැමිණියා. එතැන් සිට කි. මී 20ක් පමණ උතුරින් මාතලේ නගරය පිහිටා තිබෙනවා. ගමනේ මුලු දුර කි.මී. 140ක් පමණ වෙනවා.
දැන් අපි ඉන්නේ මාතලේ නගරයේ. මාතලේ කිව්වම ගොඩක් දෙනෙකුට මතක්වෙන්නේ අළුවිහාරය. ඒ හැරුණුකොට මාතලේ අවට නැරඹිය හැකි වෙනත් තැන් තිබෙනවාද? තිබේ නම් ඒ මොනවාද? මේ සිතියම ඒ ගැටලුවට පිලිතුරු සපයාවි.

රිවස්ටන්
මාතලේ ඉඳන් කි. මී 28ක් පමණ දුරින් රිවස්ටන් පිහිටා තිබෙනවා. රිවස්ටන් කියන්නේ දුම්බර මිටියාවතේ නකල්ස් කඳු පංතියට අයත් සුන්දර කන්දක්. ඒ වගේම සුළං කපොල්ලක්. මාතලේ ඉඳන් රිවස්ටන් යන ඔබට හමුවෙන එකම ප්‍රධාන නගරය තමයි රත්තොට. රත්තොට ඉඳන් රිවස්ටන් දක්වා වූ කි. මී 15 ක පමණ දුර යන්න තියෙන්නේ බොහොම ප‍ටු පාරක. පළල් වාහන දෙකක් මාරුවීම ඉතාමත් ප්‍රවේශමෙන් කරන්න ඕනෙ. මේ ඡායාරූපයේ තියෙන්නේ රිවස්ටන් කන්ද මුදුනේ පිහිටා ඇති ටෙලිකොම් කුලුන. එතැනට ලඟාවීමට ඔබට කිලෝමීටරයක පමණ දුරක් පාගමනින් ඇවිද යාමට සිදුවෙනවා.
පහලින් තියෙන්නේ ඒ අතරමඟ ඔබේ නෙත ගැටෙන සුන්දර දසුන් කීපයක්.




පිටවල පතන (දික් පතන)
රිවස්ටන් ඉඳන් කි. මී. 6ක දුරක් ගෙවා ඔබට පිටවල පතනට ලඟාවෙන්න පුලුවන්. නකල්ස් සංරක්ෂණ වනාන්තරයට අයත් පිටවල පතන පිහිටල තියෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 865ක් උසින්. සදාහරිත වනාන්තර සහ නීල දිය දහරා වලින් පෝෂිත දුම්බර මිටියාවත වසා පැතිරුනු නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුලදී ඔබට ලංකාවට ආවේණික ශාඛ හා සත්ව විශේෂ රාශියක් දැකගැනීමට හැකිවෙනවා. පිටවල පතන කෙලවර ඇති කුඩා ලෝකාන්තය නැරඹීමටත් මේ ස්ථානයට එන කිසිවෙකු අමතක කරන්නේ නෑ. ඒ සඳහා රු. 28/- ක ටිකට් පතක් ලබාගන්නා ඔබ කිලෝමීටරයකට අඩුදුරක් පාගමනින් ඇවිද යායුතු වෙනවා.
ඔබට දැන් ස්නානය කිරීමේ අවශ්‍යතාවයක් ඇත්නම්, මෙතැන්සිට කි.මී 4ක් දුරින් පිහිටි තෙල්ගමු ඔය ඊට කදිම ස්ථානයක්. ඒ වගේම මෙතැන් සිට වස්ගමුව ජාතික වනෝද්‍යානයට කි. මී 42ක් දුරක් ඇති බව දැනගැනීමට ලැබුනා.

මාතලේ අළුවිහාරය
මාතලේ නගරයට ඉතා ආසන්නයේ ඇති අළුවිහාරය බෞද්ධයන්ට කාරණා කීපයක් නිසා වැදගත් වෙනවා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 454 කට පසු වළගම්බා රජ දවස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කර ඇත්තේ මෙම විහාරයේදී. මේ සඳහා රහතුන් වහන්සේ 500ක් දෙනා සහභාගී වූ බවත් උන්වහන්සේලා අවුරුදු තුනකුත් මාස තුනක් පුරා මෙම කාර්ය්‍ය සිදු කර වෙසක් පොහෝ දිනයකදී අවසන් කල බවත් දැන ගැනීමට ලැබුනා. එමෙන්ම පස් වැනි ධර්ම සංගායනාව පවත්වා ඇත්තේද මාතලේ අළුවිහාරය කේන්ද්‍රකරගෙන.
මෙහි ඉදිරිපස ගල් ලෙන ආසන්නයේ මෙසේ සඳහන් පුවරුවකුත් දක්නට ලැබුනා.
"ථේරවාදී හෙළ අ‍ටුවා ග්‍රන්ථ පාලියට නැගීමට දඹදිව සිට පැමිණි බුද්ධ ඝෝෂ අ‍ටුවාචාරීන් වහන්සේ ත්‍රිපිටකය සහිත හෙල අ‍ටුවා ප්‍රථම වරට ග්‍රන්ථාරූඪ කර තැබූ අලුවිහාර පොත් ගුලද පරිහරණය කරණුවස් මෙහි පැමිණ වැඩ සිටියේ ඉදිරිපස ගල්ලෙනෙහිය. මෙසේ හෙල අ‍ටුවාව උන්වහන්සේ අතින් පාලියට නැගුණු නිසා ථේරවාදී බුදු දහම අතීතයේ බෞද්ධ රටවල ව්‍යාප්තියට හේතුවිය."

කවටයාමුණ විහාරය
මාතලේ සිට A9 පාර ඔස්සේ කි. මී. 8ක්  පමණ ගොස් පලාපත්වලින් හැරී මීටර් 500ක් පමණ ගිය තැන මෙම කවටයාමුණ විහාරය හමුවෙනවා. ගජබාහු රජ දවස සිරිසෙවන් නම් සෙන්පතියෙකු විසින් මෙම විහාරය කරවූ බව පැවසෙනවා. මෙම විහාරයේ ඇති අපාය ප්‍රතිනිර්මාණය මෙහි සංචාරක ආකර්ශණය සඳහා බලපා තිබෙනවා. පහත දැක්වෙන්නේ එහිදී මගේ කැමරා කාචයේ සටහන් වුනු ඡායාරූප කිහිපයක්.




නාලන්දා ගෙඩිගේ
පලාපත්වල ඉඳන් A9 ඔස්සේ දඹුල්ල දෙසට කි. මී. 13ක් පමණ යන ඔබට නාලන්දා ගෙඩිගේ වෙත යන පාර හමුවෙනවා. (මාතලේ සිට කි. මී 22 ක් පමණ) ඒ අතරමඟදී මඩවල වැනි නගර ඔබට හමුවේවි. A9 පාරෙන් හැරී කිලෝමීටරයක් පමණ ගිය තැන බෝවතැන්න ජලාශයෙන් වටවී ඇති මේ මනරම් ස්ථානය දැකබලා ගත හැකියි. ප්‍රතිමා මන්දිරය, චෛත්‍යය, බෝධිය ලෙස කොටස් තුනකින් සමන්විත මෙය 8-10 සියවස් වලට අයත් පල්ලව ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ අංග ලක්ෂණ වලින් යුක්ත වනවා. මෙහි හින්දු කෝවිලක අංග ලක්ෂණ ඉතා පැහැදිලිව දැකගැනීමට හැකියි. ප්‍රතිමා මන්දිරය ඇතුලත පද්මාසනයක් මත වැඩසිටින ශෛලමය හිටි බුද්ධ ප්‍රතිමාවක් දැකගැනීමට හැකියි.
නාලන්දා ගෙඩිගේ පවතින ස්ථානය සැලකෙන්නේ ලංකාවේ මධ්‍ය ලක්ෂය ලෙසයි. මේ බ්ලොග් ලිපියේ මාතෘකාව ගැන දෙගිඩියාවෙන් කවුරු හරි හිටිය නම් ඔන්න දැන් ඒ අයටත් පිලිතුරු ලැබෙන්න ඇති. අපි මෙහි සේයා රූ කීපයක් බලල ඉමු.



ඔය තුන්වෙනි ඡායාරූපයේ තියෙන්නේ බෝවතැන්න ජලාශය. නාලන්දා ගෙඩිගේ මුලින් තිබිල තියෙන්නේ බෝවතැන්න ජලාශය ඇති ස්ථානයේ. මෙය ජලාශයෙන් යටවීමට නොදී කොටස්වලට ගලවා නැවතත් මෙම ස්ථානයේ සවිකර 1985 වර්ෂයේ විවෘත කර තිබෙනවා. ඒ සඳහා උපදෙස් ලබා දීල තියෙන්නේ එවකට සංස්කෘතික ඇමති ලෙස සිටි එඩ්වින් ලොකුබණ්ඩාර හුරුල්ලේ මහත්මයා විසින්. නාලන්දා ගෙඩිගේ නරඹන ඔබ එහි ඇති නාලන්ද පුරාවිද්‍යා ඡායාරූප කෞතුකාගාරය නැරඹීමටත් අමතක කරන්න එපා.

මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතය සහ වෘක්ෂෝද්‍යානය
නාලන්දාවෙන් සමුගත් අපි නැවතත් A9 ඔස්සේ අරංගල පසුකර පනම්පිටිය හංදිය වෙත ගමන් කරා. එතැනින් වමට හැරී කි. මී 5ක් පමණ ගිය තැන අපි මනරම් භූමියකට පිවිසුනා. ඒ තමයි මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතය සහ වෘක්ෂෝද්‍යානය. සෙනසුරාදා දිනයක් වෙලත් භූමියේ හැදී වැඩෙන බලුපැටව් කීප දෙනෙක් හැරෙන්න කිසිවෙක් එහි සිටියේ නෑ. අපිට තේරුම් ගිය දෙයක් තමයි, මෙතන වටිනාකමට සරිලන ආකර්ෂණයක් සංචාරකයන්ගෙන් ලැබිල නෑ කියන එක. මෙහි වෘක්ෂෝද්‍යානයට අමතරව උපෝසථාගාරයක්, පිළිමගෙයක්, සභා ශාලාවක්, චෛත්‍යයක් සහ බෝධිඝරයක් දක්නට ලැබුනා.
ඒ අතර තිබූ මැණික්දෙන පුවරු ලිපිය මගේ අවධානය දිනා ගත්තා. එහි සඳහන්ව තිබුනේ කොබොයතෙළෙහි වාසය කරන සෙන්ගේ බිරිඳ රන් කළං පහක් වැය කොට මිළ දී ගත් බුත්ගමු විහාරයේ පැළ පහක මහදෙනඋළු නම් කුඹුර එම විහාරයේ සලාක බත සඳහා පූජා කළ බවත් ඒ දීමනාව හිරු සඳු පවත්නා තාක් පවතින බවයි.
බලන්න. මේ ඡායාරූප මේ භූමියේ අසිරිය කියාපාන අන්දම....



මැණික් දෙන රක්ෂිතයේ බොහෝ වේලාවක් ගත කල අපි නැවතත් A9 මාර්ගයට අවතීර්ණ උනා. දැන් අපි ඉන්නේ දඹුල්ල නගරයට කි. මී 10 කට නොවැඩි දුරකින්. ඔව්! අපි දඹුල්ලටත් ගියා. ඒ තලගොයි මරන්න නම් නෙවෙයි. මගේ බ්ලොග් රසිකයන් වෙනුවෙන් දඹුලු විහාරය වැඳපුදා ගන්න.

රංගිරි දඹුලු රජමහා විහාරය
දඹුල්ල නගරයට කි. මී. 2ක් පමණ මෑතින් A9 මාර්ගයට මුහුණ ලා මෙම විහාරය පිහිටා තිබෙනවා. දඹුල්ල ලෙන් විහාරයත්, බෞද්ධ කෞතුකාගාරයත් ඔබට මෙහිදී දැක බලා ගත හැකියි. ඒ අතර දඹුලු ගල මත්තෙහි ඈතින් පෙනෙන සීගිරි පර්වතයත් කන්ඩලම වැවත් ඉතා මනරම් දසුනක් මවනවා. ඒ වගේම ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුත් ලෝකයේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේත් (උස අඩි 100) ඔබට මෙහිදී දැකබලා ගත හැකියි. එච්. ප්‍රේමදාස නමැති මූර්ති ශිල්පියෙකු විසින් ඉදිකල මෙය විවෘත කර ඇත්තේ 2001 වර්ශයේදී. දඹුලු විහාරයේ ඓතිහාසික වටිනාකමත් වැදගත්කමත් ඔබ ඕනෑ තරම් අසා ඇතුවාට සැකයක් නෑ. ඒ නිසා ඒ ගැන පුනර්කථනය කිරීමට මම බලාපොරොත්තුවන්නේ නෑ.  මේ ඡායාරූප රස විඳින්න. ඔබට එහි අසිරිය දැනේවි.



දඹුල්ලේ සිට කි. මී 150 කට ආසන්න දුරක් ගෙවාගෙන අපි ආපසු කොළඹ ආවා. අපි ගිය චාරිකාව මේ බ්ලොග් ලිපිය තුලින් ඔබටත් රසවිඳින්න පුලුවන් වුනා නම් ඒකයි මගේ සතුට. එහෙනම් තවත් දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. සුභ දවසක්!

12 comments:

  1. හනී රට වටේ ගොහින් වාගේ... ඔය දඹුල්ලෙ ලොකු පිළිමෙ තිබුනෙ නැත්තං හොදයි වගේ..දඹුල්ලෙ තියෙන ඓතිහාසික ගතිය නැතිවෙනවා ඔ්‍ය පිලිමය නිසා..

    ReplyDelete
    Replies
    1. ඔව්! දඹුලු විහාරේ බලන්න දේවල් ගොඩයි. හොඳට වෙලාව අරන් බලන්න ඕනෙ තැනක් දඹුලු විහාරය කියන්නෙ. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට.

      Delete
  2. VERY VERY USEFUL ARTICLE

    ReplyDelete
  3. නාලන්දා ගෙඩිගේ පවතින ස්ථානය සැලකෙන්නේ ලංකාවේ මධ්‍ය ලක්ෂය ලෙසයි.
    නාලන්දා ගෙඩිගේ මුලින් තිබිල තියෙන්නේ බෝවතැන්න ජලාශය ඇති ස්ථානයේ. මෙය ජලාශයෙන් යටවීමට නොදී කොටස්වලට ගලවා නැවතත් මෙම ස්ථානයේ සවිකර 1985 වර්ෂයේ විවෘත කර තිබෙනවා. ඒ සඳහා උපදෙස් ලබා දීල තියෙන්නේ එවකට
    මේ මොන මල විකාරයක්ද මෙ කියන්නේ එතකොට මේ මධ්‍ය ලක්ෂය හරිද ?

    ReplyDelete
    Replies
    1. හොඳ ප්‍රශ්නයක්! මට හිතෙන්නෙ මෙහෙමයි. 'මධ්‍ය ලක්ෂය' කිව්වට ඕක නිකන් තිතක් වගේ එකක් නෙවෙයි වෙන්න ඇතිනෙ. ලංකාවෙ දිග, පළල හා හැඩය සැලකුවම නාලන්දාව ලංකාවේ මැදට වෙන්න පිහිටනවා. ගෙඩිගේ නැවත ස්ථාපිත කිරීමේදී වෙනත් ස්ථානයක කඳු මුදුනක ඉදිකරන්නත් යෝජනා වෙලා තියෙනවාලු. වැරදිලාවත් එහෙම වුනා නම් ඔය මධ්‍ය ලක්ෂ කතාව වලංගු නොවෙන්න ඉඩතිබුනා.

      Delete
  4. අපි කට්ටියක් පේරාදෙණියේ ඉන්නැද්දි ට්‍රිප් එහෙකින් ගියා අළුවිහාරේ, දඹුල්ල, නාලන්දේ බලන්ඩ. පාරේ බස් එකේ ගියේ. ඔය තැන් තුනටම බස් එකේ ගිහින් ලගින්ම වගේ බැහැගත්තෑකි.

    කවටයාමුණ විහාරය තියෙන්නේ මාතලේ ගලේවෙල පාරෙද ? අර වහකෝට්ටේ හරහා යන පාරේ ?
    පාරේ බස් එකේ යනවනම් කොතනින්ද බහින්නේ ?

    ReplyDelete
    Replies
    1. ඔව්. කවටයාමුණ විහාරය තියෙන්නේ මාතලේ ගලේවෙල පාරේ. බස් එකේ ගිහිනුත් බැලිය හැකි. A9 පාරෙ ඉඳන් පයින් යන දුර. මාතලේ-දඹුල්ල අතර ට්‍රිප් යන අයට මග ඇරෙන තැනක් තමයි මැණික්දෙන කියන්නේ. ඊලඟ සැරේ යද්දි එහෙත් යන්න.

      Delete
    2. ඒ කියන්නේ පලාපත්වෙලින් බැහැලා ගලේවෙල පාරේ ටික දුරක් පයින් ගියහම හරිද ????

      Delete
  5. ඉතාම ස්තූතියි නිශ් ... ගොඩක් ආසාවෙන් රසවින්දා ............දිගටම ලියන්න ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සහන්. දිගටම මේ පැත්තෙ එන්න.

      Delete