Tuesday, December 20, 2011

දිය කැපීමේ චාරිත්‍රය

අපේ ගමේ පංසලේ පෙරහැර මංගල්‍යය ගිය සතියේ තිබුනා. පංසලේ නම "පුලිනථලාරාමය". පිහිටල තියෙන්නෙ රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ.  ඕනෑම පෙරහැර මංගල්‍යයක් අවසාන වෙන්නෙ  දිය කැපීමේ චාරිත්‍රයෙන්. පෙරහැරට වගේම පෙරහැරට පසුදා උදේ දිය කැපීමේ චාරිත්‍රයටත් සහභාගීවීමේ දුර්ලභ අවස්ථාවක් මට හිමි වුනා. ඒ අවස්ථාවට අදාල ඡායාරූප කීපයක් ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා.

චාරිත්‍රය සිදුකෙරුනේ බොල්ගොඩ වැවේ. මුලින්ම දේවාලයේ චාරිත්‍ර කීපයක් සිදුකරල, පෙරහැරකින් වැවට ආවෙ මෙහෙමයි.

කපුමහත්තයට අමතරව ගමනට සහභාගිවෙන්න අවසර ලැබුනෙ, නිළමෙ වරුන්ට විතරයි. මම නිළමෙ කෙනෙක් නොවුනට මටත් මේ ගමනට ආරාධනා ලැබුනා. රන්මල් නිවාඩු නිකේතනයට අයිති බෝට්‍ටුවකින් ගමන පිටත් උනේ මෙහෙමයි. ඔය ඉස්සරහින්ම යන්නෙ ප්‍රධාන කපු මහත්තය.


අනතුරුව රතු රෙද්දකින් මූන වසාගත්තු කපුමහත්තයා කඩුවකින් දිය මතට පහර දෙනවා. ඒ අවස්ථාවේ බෝට්‍ටුවේ හිටිය ඔක්කොටම ඉවත බලාගන්න කිව්වා. ඒ නිසා ඒ අවස්ථාවේ නම් ඡායාරූපයක් ගන්න බැරි වුනා.
පසුව කළ දෙකකට ජලය පුරවා ගත්තා. කපු මහත්තයා ගොඩබිමට එනකම්ම හිටියේ මුහුණ වසාගෙන.

ගොඩබිමට ආ සැනින් මෙන්න මේවගේ වත් පිලිවෙතක් සිදු කලා.

ජලය පුරවාගත් කළ දෙකත් ‍රැගෙන ආපහු විහාරස්ථානයට ආවෙ මෙහෙමයි.

මෙම ජලය ඊලඟ වසරේ පෙරහැර එනකම්ම සුරක්ෂිතව තියා ගන්නවලු.
දිය කැපීමේ චාරිත්‍රය නිමකරල පැය කීපයක් ගිය තැන මොරසූරන වැස්සක් ඇදහැලුනා. කවුරුත් කතා වුනේ වැරදිලාවත් කලින් දවසෙ මේ විදියට වැස්සනම්, පෙරහැර සාර්ථක කරගන්න ලැබෙන්නෙ නෑ නේද කියල.

සැ.යු. - මෙහි එන සියලු ජායාරූප මා විසින් ලබාගත් ඒවා බවත් ඒවායේ අයිතිය මා සතුබවත් මතක් කරමි.
read more "දිය කැපීමේ චාරිත්‍රය"

Thursday, December 8, 2011

තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු!

ඔබ විධායක ශ්‍රේණියේ ‍රැකියාවක හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත අයෙක් නම්, බොහෝ විට තරු පංතියේ හෝටල්වල භෝජන සංග්‍රහ වලට ආරාධනා ලැබෙනවා. කුමක් හෝ විශේෂ දවසක, පවුලේ අය සමඟ මෙවැනි හෝටලයකින් ආහාර ගන්නා අයත් ඕනෑ තරම් ඉන්නවා. ඒසේත් නැත්නම් අඩුම තරමින් හිතවතෙකුගේ විවාහ උත්සවයකදීවත් ඔබ තරු පංතියේ හෝටලයකින් ආහාර ගන්න ඇති.
ඔබ දන්නවාද.. එවැනි හෝටල්වල, ආහාර ගැනීමේ සහ පිලිගැන්වීමේ පිලිගත් සම්ප්‍රදායන් තිබෙන බව? ඒ ගැන හරි හැටි දැනුවත් නැත්නම්, මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි.
  • භෝජන සංග්‍රහයට ආරාධනා ලැබුනු පසු, සතියක් පමණ ඇතුලත ඔබේ පැමිනීම ස්ථිර කරන්න. ආරාධනාපත හොඳින් කියවන්න. කොතැනක හෝ "dress code" එකක් සඳහන්ව තිබේනම්, ඔබ එදිනට ඇඳගෙන යා යුත්තේ එහි සඳහන් වර්ගයට හා වර්ණයට අයත් ඇඳුමක්. සමහරවිට ඔබ එදින ඉඳගත යුතු මේසයේ අංකයත් එහි සඳහන්ව ඇති.
  • නියමිත වේලාවට හෝටලයට යන ඔබ සුදුසු මේසයක් ‍තෝරාගතයුතුයි. කලින් වෙන්කරවාගත් මේසවල "Reserved" යනුවෙන් සඳහන්ව තිබෙනවා. ඒවගේම, ඔබේ කණ්ඩායමේ සිටින්නේ 4 දෙනෙක් නම්, 12කට පමණ ආසන පැනවූ මේසයක් ‍තෝරා නොගත යුතුයි.
  • සාමාන්‍යයෙන් හෝටල්වල ආහාර පිළිගන්වන්නේ ප්‍රධාන ක්‍රම 2කට අනුවයි.
    •  බුෆේ ක්‍රමය
    •  මෙනු ක්‍රමය
මෙනු ක්‍රමයේදී "3 course, 4 course, 5 course... " ආදී ලෙස ආහාර වර්ග ප්‍රමාණය මත කෑම වට්ටෝරුව වෙනස් වෙනවා. මීට අමතරව අවශ්‍යනම්, තමාට කැමති ආහාරයක් තමා කැමති ලෙස පිලියෙල කර දෙන්නැයි, ඉල්ලා සිටින්නත් පුලුවන්.
තමාට කැමති ආහාර වට්ටෝරුව ‍තෝරාගත් පසු ඔබ ආහාර ගැනීමට සූදානම්. දැන්, කෑම මේසයේ සැකැස්ම ගැන අවබෝධයක් ලබාගනිමු.


කෑම මේසයේ සැකැස්ම බොහෝ දුරට මේ වගේ. හොඳින් බලන්න. පිහිවල කැපෙන පැත්ත, තියෙන්නේ පිඟාන දෙසට. ඒ වගේම උපකරණ පාවිච්චිකල යුත්තේ පිඟානේ පිටත සිට පිඟාන දෙසට. රතු පාට ඊතල වලින් දක්වා ඇත්තේ එයයි.
දැන් නැප්කිනය ගෙන දිගහැර උකුලේ තබාගන්න. එය කමිසය ආවරණය වනලෙස ඇඳුමේ කොලරයට පහතින් රඳවා ගන්නත් පුලුවන්. නමුත් එය තරමක් පැරණි ක්‍රමයක්. කෑම ගැනීම නිමවූ පසු නැවත පිඟානට වම් පැත්තෙන් තියන්න.
දැන් ඔබ ‍තෝරාගත් මෙනුවට අදාල කෑම වර්ග එකින් එක ඔබට ලැබෙනවා.
  • මුලින්ම ඔබට ලැබෙන්නේ ඇපෙටයිසර් (ස්ටාටර්) විය හැකියි. එය ආහාර රුචිය වැඩිකිරීමට දෙන දෙයක් නිසා කුඩා ප්‍රමාණයක් ගැනීම ප්‍රමාණවත්.
  • දෙවනුව සුප් හා සලාද ලැබේවි. ඒ සඳහා අදාල හැඳි පාවිච්චි කරන්න. වරකදී, සුප් හැන්ද සම්පූර්ණයෙන් පුරවා ගැනීම නොකල යුතුයි. භාගයක් පමණ පුරවා ගැනීම සුදුසුයි.
  • අනතුරුව ප්‍රධාන ආහාරය ඔබට ලැබෙනවා. ඒ මෙනුවට අදාලව මාලු, කුකුල් මස් හා වෙනත් මස් වර්ග යන පිලිවෙලටයි.
  • අවසානයේ අතුරුපසත්, තේ හෝ කෝපිත් ඔබට ලැබේවි.
කෑම බෙදීමේදී වේටර් පැමිණෙන්නේ ඔබට දකුණු පැත්තෙන්. ඔබේ මේසයේ සිටින කුඩා ලමුන්ට මුලිනුත්, කාන්තාවන්ට දෙවනුවත්, පුරුෂයන්ට තෙවනුවත් කෑම බෙදීම සිදු කරනවා. කෑම බෙදීමෙන් පසු වේටර්වරයාට ස්තුති කිරීමට අමතක කරන්න එපා.
කෑම ගැනීමට ප්‍රථමයෙන් පිහිය සහ ගෑරුප්පුව අල්ලන නිවැරදි ක්‍රමයත්, ඔබ වයින් පානය කරනවා නම්, වයින් වීදුරුව අල්ලන නිවැරදි ක්‍රමයත් දැන සිටීම ප්‍රයෝජනවත් වේවි. පහත රූපවල ඇඟිලි තබාගෙන ඇති ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න.
    රූපයේ දැක්වෙන පරිදි සුරතින් පිහියත් වමතින් ගෑරුප්පුවත් ගෙන ආහාර කපා ගැනීම සිදුකරන්න. ඇමරිකන් ක්‍රමයට නම්, කපාගත් පසු, පිහිය පසෙකින් තබා ගෑරුප්පුව සුරතට ගෙන ආහාර ගත යුතුයි. යුරෝපීය ක්‍රමයට නම්, ගෑරුප්පුව සුරතට මාරුකරන්නේ නෑ. නමුත් ඔබ ආහාරයට ගන්නේ බත් නම් එය රඳවා ගැනීමේදී ගෑරුප්පුව මදක් කරදරකාරී විය හැකියි. එවැනි විටක හැන්දක් පාවිච්චි කිරීමේ වරදක් නෑ. 

    කෑම මේසයේදී නොකලයුතු දෑ
    • නාසය, මුහුණ හෝ හැඳි පිසදැමීමට නැප්කිනය කිසිවිටෙකත් යොදාගන්න එපා. 
    • කෑම මේසයේදී ඔබේ ජංගම දුරකතනය නාදවීමට ඉඩ තබන්න එපා.
    • කෑම මේසයේදී රූපලාවන්‍ය උපකරණ හෝ දත් හෑරීමේ කූරු පාවිච්චි කරන්න එපා.
    • තමන්ගෙ මේසයේ සියල්ලන්ම කෑම බෙදාගැනීමට පෙර ඔබ කෑම ගැනීම ආරම්භ කරන්න එපා. 
    • කෑම රස බැලීමටත් ප්‍රථමයෙන් ලුණු/ගම්මිරිස් යනාදිය එකතු කරන්න එපා.
    • වයින් ප්‍රතික්ෂේප කල යුත්තේ බඳුන මුනින් හැරවීමෙන් නොව, බඳුනේ කට අතින් වසා ගැනීමෙනි.
    • වැලමිට මේසය මත තබාගන්න එපා. වමත භාවිතා නොවන විටදී, එය උකුල මත තබා ගන්න.
    • බිම වැ‍ටුනු උපකරණ කිසිවිටෙකත් නැවත ගන්න එපා. ඒ වෙනුවට අලුත් උපකරණයක් ඉල්ලා ගන්න.
    • කෑම මේසයේදී ශබ්දනගා කතා කිරීම හෝ කිසිවක් කතා නොකර සිටීම නොකල යුතුයි. කෑම මේසයේ සියල්ලන් සමඟ ප්‍රසන්න මාතෘකාවක් ගැන සුලු කතාබහක නිරතවන්න.
    • කෑම කටේ තබාගෙන කතාකිරීම නොකල යුතුයි.
    • කැස්සක් හෝ කිවිසීමක් සිදුකරන විට මුඛය හා නාසය නිරාවරනය කරන්න එපා. නැප්කිනයෙන් වසාගන්න. දිගටම එය සිදුවේනම් විවේක කාමරයට යන්න. නැවත කෑම මේසයට එන්න පෙර දෑත් හොඳින් සෝදන්න.
    • පිඟානේ ආහාර මහා පරිමාණයෙන් ඉතිරි කිරීම හෝ කිසිවක් ඉතිරි නොකිරීම නොකල යුතුයි. කෑම බෙදාගැනීමට පෙර තමන්ගේ කුසගින්නේ ප්‍රමාණය ගැන ස්වයංනිර්ණායකයකට පැමිණෙන්න.
    • ආහාර ගැනීමෙන් පසු පිඟාන ඉවතට තල්ලු කිරීම හෝ පිඟන් ගොඩ ගැසීම කරන්න එපා.
    • සියලු දෙනාම ආහාර ගෙන නිමවන තෙක් කෑම මේසයෙන් නැගිටීම නොකල යුතුයි. ඊට ප්‍රථමයෙන් නැගිටීමට අවශ්‍යනම්, අනිකුත් සගයන්ගෙන් අවසර ගන්න.

    කෑම කන අතරතුරදී ආහාර දීසියක් තවත් අයෙකුට යැවීමට අවශ්‍යනම් සැම විටම තමාගේ දකුණුපසට යොමුකල යුතුයි. ඔබෙන් ඉල්ලා සිටින්නේ ලුණු හෝ ගම්මිරිස් නම්, ඒ බඳුන් දෙකම එකවර යැවීම තමයි සිරිත.
    හරි! දැන් ඔබ කෑම කා අවසන්. ඒ බව සංඥා කිරීමට පිහිය සහ ගෑරුප්පුව පහත රූපයේ දැක්වන ආකාරයට සමාන්තරව තබන්න. 

    බිල ගෙවීමෙන් පසු වේටර්වරයාට Tip එකක් දීමත් සිරිතක්. Tip එක විදියට ඔබට කැමති මුදලක් දියහැකියි. සාමාන්‍යයෙන් බිල්පතේ වටිනාකමින් 15%-20% අතර මුදලක් දීම සුදුසුයැයි කියනවා.

    මේ තියෙන්නේ තරු පංතියේ හෝටලයක ආහාර ගැනීමේ සහ පිලිගැන්වීමේ සාමාන්‍ය සිරිත. ඔබට හැඳි සහ ගෑරුප්පු භාවිතය කරදරකාරී කියා සිතෙනවා නම්, අතින් වුවත් ආහාර ගතහැකියි. ඒ සඳහා පසුබට වියයුතු නෑ. නමුත් සිරිත් දැනගෙන යාම ඔබට විශාල පහසුවක් වේවි. ගොඩක් ප්‍රයෝජනවත් වේවි. එය එසේ නම්, මේ ලිපියේ අරමුණත් එයමයි.
    read more "තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු!"

    Thursday, December 1, 2011

    රජෙකුගේ දවසක්

    පුරාණ ලංකාවේ රජෙකුගේ දෛනික කාලසටහන මොන ආකාර වන්නට ඇත්ද?
    ඒ පිලිබඳ කරුණු සොයාබැලීමේදී "කඳවුරු සිරිත" නම් අපූරු ග්‍රන්ථයක් හමුවෙනවා. එම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ II වන පරාක්‍රමබාහු රජතුමාගේ දින චරියාවයි.
    II වන පරාක්‍රමබාහු යනු ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන නමක්. දඹදෙනිය රාජධානිය කරගනිමින්, ක්‍රි.ව. 1236 සිට ක්‍රි.ව. 1270 දක්වා වසර 34ක් රජකම් කල මෙතුමා තම පාලනකාලය තුලදී කාලිංගමාඝ, චන්ද්‍රභානු වැන්නන්ගේ විදේශ ආක්‍රමණවලට සාර්ථකව මුහුනදෙමින් ධාර්මික පාලනයක් ගෙන ගියා. එසේම විවිධ විශයන් ගැන මනා දැනුමක් තිබූ මෙතුමා "කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත" යන ගෞරව නාමයෙන්ද පිදුම් ලැබුවා.
    "කඳවුරු සිරිත" ග්‍රන්ථයෙන් විස්තර වන්නේ එතුමාගේ දින චරියාව වුවත්,  පුරාණ ලංකාවේ බොහෝ ධාර්මික රජවරුන් මීට සමාන  දින චරියාවක් පවත්වාගන්නට ඇතැයි අපට උපකල්පනය කිරීමට පුලුවන්.

    සිට
    දක්වා
    කාර්ය්‍ය
    උදේ 4.00
    -
    අවදිවීම.
    උදේ 4.00
    උදේ 5.12
    ත්‍රිලක්ෂණ (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම) මෙනෙහි කරමින් භාවනා කිරීම.
    උදේ 5.12
    උදේ 6.00
    ගාථා කීම සහ ධර්ම කරුණු ආවර්ජනය කිරීම.
    උදේ 6.00
    උදේ 9.00
    පුරෝහිත බමුණා ශ්‍රී යහන් ගබඩාවට පැමිණ කුසතණ හා මැතිරූ ජලය පිරි දක්ෂිණාවෘත කිරි හක්ගෙඩියක් පිරිනැමීම.
    පුරෝහිත බමුණා වේද මන්ත්‍ර ජපකරද්දී රජතුමා හක්ගෙඩියත්, කුසතණත් පිරිමැදීම.
    පුරෝහිත බමුණාගෙන් පෙර දින දු‍ටු සිහින විචාලීම.
    මහවෙදනා (රාජකීය වෛද්‍යවරයා)  සිරියහන් ගබඩාවට පැමිණීම සහ රජතුමාගේ ශරීර සෞඛ්‍ය පිරික්සා අවශ්‍ය බෙහෙත් නියම කිරීම.
    මහදොරනා (රජතුමාගේ වත්පිලිවෙත් බාර අය) සිරියහන් ගබඩාවට පැමිණීම සහ සුවඳ ජලයෙන් ශරීර දෝවනයට කටයුතු සැලසීම.
    දළදා මාලිගාවේ උඩුමහල් චාරිත්‍ර
    දළදා මාලිගාවට ගමන් කිරීම සහ දළදා මාලිගාව ඇමදීම.
    පූජාභාණ්ඩ 12කින් දළදාවට පුදපූජා පැවැත්වීම.
    සුවඳ පැන් ඉසූ මල් පූජා කිරීම සහ සිල් සමාදන්වීම.
    පිරිත් පැන් ලබාගැනීම සහ ගිතෙල් බඳුනකින් තම මුහුණ බැලීම.
    ගිතෙල් භික්ෂූන්ට හා බමුණන්ට පිරිනැමීම.
    දළදා මාලිගාවේ බිම්මහල් චාරිත්‍ර
    බුදුරුවක නේත්‍රා පිහි‍ටුවීම.
    උපාසකයින්ට බුදුපිළිම, ධර්ම පොත් යනාදිය ලබාදීම.
    ධර්ම ශ්‍රවණය කිරීම.
    භික්ෂූන්ට දන්දීම.
    පුරෝහිත බමුණාගේ පද 8ක මංගල්‍යාෂ්ඨක ශ්‍රවණය කිරීම.
    දන් දීම. (රෝගීන්ට සහ මහල්ලන්ට බෙහෙත්, බඩදරු ස්ත්‍රීන්ට දොලදුක් කෑම, දරුවන්ට රස කැවිලි, සතුන්ට ආහාර)
    මහවෙදනා හා මූලහිනා (මුලුතැන්ගෙය භාර අය) විසින් උදෑසන රාජභෝජන පිරිනැමීම.
    කැටපත්ගෙට යෑම සහ දවසට යෝග්‍ය යැයි සම්මත ඇඳුම් හා ආභරණ වලින් සැරසීම.
    දකුණු අතින් කඩුව හා වමතින් යෂ්ටිය ගෙන සුදු පියවිලි මතින් සිංහාසන ගබඩාවට යාම.
    නිලමේවරුන්ගේ රාජකාරි වාර්තාවලට (දානශාලාවේ / භාණ්ඩාගාරයේ) සවන් දීම.
    උදේ 9.00
    උදේ 10.00
    සිංහාසනාරූඩ වීම සහ මැතිඇමති වරුන්ගේ රාජකාරි වාර්තාවලට සවන්දීම.
    උදේ 10.00
    උදේ 10.48
    අවිහරඹ පුහුණුවීම.
    උදේ 10.48
    -
    මහනැකැත්තා (රාජකීය දෛවඥයා) දහවල් භෝජනයට සුභ වේලාව දන්වයි.
    උදේ 10.48
    -
    මහවෙදනා සහ මූලහිනා පැමිණ දිවාභෝජනයේ විස්තර සපයයි.
    උදේ 10.48
    සවස 3.00
    භික්ෂූන් 100කට දානය දීම.
    දහවල් රාජ භෝජන ගැනීම.
    1000 දෙනෙකුට පාවාඩබත් බෙදාදීම සහ රජමාලිගාවේ 300කට සංග්‍රහ කිරීම.
    සලුපිලි මාරුකර පියවර 100ක් පමණ ඇවිද, දැහැත් වළඳා 'රාමකුල' නම් යහනේ පැයක් පමණ නිදාගැනීම. [මේ අවස්ථාවේ බ්‍රාහ්මණ ස්ත්‍රීන් පැමිණ රජුගේ හිසකෙස් පීරමින්, නිය ඔපලමින්, පා පිරිමඩිමින් පවන් සලන අතර සේවකයෝ යහන්ගැබ මුර කරති.]
    සිංහාර මණ්ඩපයට පිවිස කෝකිල (විලිසයනය) නම් යහනට වී රජුට විනෝද සපයන පිරිසේ රංගනයන් නරඹමින් පැයක් පමණ විවේක ගනී.
    රජමාලිගාවේ ''රජපාතෙලෙ' නම් ස්ථානයට පිවිස 360 වර්ගයක් කලාකරුවන්ගේ රංගනයන් නරඹමින් සතු‍ටුවෙයි.
    සවස 3.00
    -
    ප්‍රධානීන් 24 දෙනෙකු පිරිවරාගෙන දවසේ දෙවන වරටත් සිංහාසනාරූඩ වීම.
    සවස 3.00
    සවස 5.00
    සනි‍ටුහන් වැදෑරීම. [රජයේ ප්‍රධානීන්ගේ රාජකාරි වාර්ථා වලට සවන්දීම සහ උපදෙස්දීම]
    දර්ශණ මණ්ඩපයට (ඔලක්කම් මණ්ඩපය) ගොස් දෙහල වෙදනාගේ [පශුවෛද්‍ය] උපදෙස් අනුව මගුල් ඇතුට ආහාර දීම.
    සවස 5.00
    සවස 6.00
    සඳලුතලයට ගොස් ස්නානය කර, ඇඳුම් මාරුකර, බුදුන් වැදීම.
    සවස 6.00
    සවස 6.24
    ආලන්ති මණ්ඩපයට ගොස්, සන්ධ්‍යා තූර්යවාදනයට සවන් දීම. ස්ත්‍රීන් 1800ක් විසින් 'ආලන්ති බෑම' නම් ප්‍රාර්ථනය තෙවරක් සිදුකර රජුට සුභාසිරි පැතීම.
    සවස 6.24
    රාත්‍රී 8.00
    නාටක ශාලාවට ගොස් නැ‍ටුම්, ගැයුම්, වැයුම් නැරඹීම.
    රාත්‍රී 8.00
    රාත්‍රී 12.00
    මහනැකැත්තාගේ උපදෙස් අනුව සුභ මූර්තියෙන් බොජුන්ගෙට ගොස් රාත්‍රී රාජභෝජන වැලඳීම.


    පියවර 100ක් පමණ ඇවිද, දැහැත් වළඳා බුදුගුණ සිහිකිරීම.


    බිසෝගබඩාවට ගොස් පැය දෙකක් ගතකිරීම.


    සඳලුතලයට ගොස් සරඹ ක්‍රීඩා කීරීම.


    රාත්‍රී මුරසේවා ගැන උපදෙස් දීම.
    රාත්‍රී 12.00
    පසුදා උදේ 4.00
    යහන් ගබඩාවට ගොස් නිදා ගැනීම.

    මූලාශ්‍ර : කඳවුරුසිරිත, ලංකාදීප, ඉතිහාස කෘති.
    read more "රජෙකුගේ දවසක්"