මහනුවර ඉඳන් මීමුරේට යන ඔබ මුලින්ම මහනුවර මහියංගනය මාර්ගයෙන් (A26) හුන්නස්ගිරිය නගරයට යා යුතුයි. මහනුවර සිට හුන්නස්ගිරියට දුර කි. මී 44ක් පමණ වෙනවා. ඒ අතර ඔබට ලේවැල්ල, තල්වත්ත, තැන්නෙකුඹුර, නටාරම්පොත, කුණ්ඩසාලේ, පල්ලෙකැලේ, බලගොල්ල, දිගන, තෙල්දෙනිය, මොරගහමුල, මැදමහනුවර, බෝමුරේ වැනි නගර හමුවේවි.
හුන්නස්ගිරිය නගරයේ ඉඳන් මීමුරේ ගම්මානයට තවත් කි. මී 30ක් පමණ තියෙනවා. ඒ දුර යාමට සිදුවන්නේ වෑන්රථයකින්. ඒක තමයි ගමේ පොදු ප්‍රවාහන සේවය. නැතිනම් ත්‍රීරෝද රථයකින් වුවත් යා හැකියි. ඒ සඳහා රු. 2000/- ක පමණ මුදලක් අය කරනවා. ගම්මානයේ දින කිහිපයක් ගතකිරීමට යන ඔබ ඊට අවශ්‍ය කලමනා හුන්නස්ගිරිය නගරයෙන් රැගෙනයාමට අමතක කරන්න එපා.
පහළ වම් ඡායාරූපයේ තියෙන්නෙ, මහනුවර-මහියංගනය මාර්ගයේ ඉඳන් මීමුරේ ගම්මානයට යන මාර්ගය පටන්ගන්නා තැන. මැද ඡායාරූපයේ තියෙන්නෙ, මඟදී හමුවෙන නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය. මෙතැනින් රු. 30/- ක ප්‍රවේශපත්‍රයක් ලබාගන්නා ඔබට පුංචිලෝකාන්තය නැරඹීමට යා හැකියි. ඒ සඳහා කි. මී. 1.25ක දුරක් ඇවිදයාමට ඔබට සිදුවෙනවා. දකුණු ඡායාරූපයේ දැක්වෙන්නේ ලූල්වත්ත තේකඩේ. පැය දෙකකට අධික දුෂ්කර ගමනක යෙදෙන මගීන්ට තේ කෝප්පයක් බී වෙහෙස නිවා ගැනීමට මේක කදිම ස්ථානයක්! ඔය පේන කොලපාට වෑන් එකේ තමයි අපි ආවේ.
|
|
|
මීමුරේ ජන ජීවිතය, අතීතය වගේම මීමුරේටම ආවේණික ජනකවි කීපයක් අපි උන්දැගෙන් ඉගෙනගත්තා.
එපිට කොනට කළු පානා කැලේයා
මෙපිට කොනට ලග්ගල මී මුරේයා
දෙසිය දෙකක් උස ඇති ගෝඹරේයා
සොඳයි පරකාස ලක මී මුරේයා
මීමුරේ හා ඒ අවට ගම් වැසියන්ගේ ජීවිත හරිම සරලයි. අහිංසකයි. අහස උසට පොදි බැඳගත් බලාපොරොත්තු ඔවුන් තුල නෑ. ඒ නිසාම කොළඹ ඇත්තන් තුල තියෙන මානසික පීඩනය ඔවුන්ගෙ ජීවිතවල දකින්න නෑ.
මීමුරේ මොනවද බලන්න තියෙන්නෙ? සමහරු අහන ප්‍රශ්නයක්! විඳින්න... ගැමි සුවඳ... පරිසරයේ සුන්දරත්වය... ඇහුම්කන් දෙන්න.. ගැමියන්ගේ හද ගැහෙන රාවයට. ඒ හැර ප්‍රදර්ශන කුටි සහිත සංචාරක පුරවරයක් බලාපොරොත්තුවෙන් නම් මීමුරේ යන්න එපා.
මේ බලන්න.. මීමුරේ යන අතරමග මගේ කැමරාව ක්‍රියාත්මක වුනු ආකාරය.
|
|
|
|
|
|
|
|
දුකේ බැරිය ඇස ඇරලා බලන්නට
බයේ බැරිය කළු ගල මත නගින්නට
ලකේ ගල සොඳයි දාගැබ බඳින්නට
මේ තියෙන්නේ ඒ කියන ලකේගල. නැගෙනහිර මුහුදේ නාවික ගමනාගමනයේදී ගොඩබිම හඳුනාගැනීමේ ඉලක්කයක් විදියට ලකේගල භාවිතාකරල තියෙනවා. ඒ වගේම බුදුරජාණන්වහන්සේගේ ප්‍රථම ලංකාගමනේදී ලකේගල මත පාද ලාංඡනය පිහිටුවා ඇතිබව කියැවෙනවා. ලකේගලට අමතරව ඇඳිරිගල, හිරිගල්පොත්ත, දොතලුගල, කලුපහන, වමාරපුගල.....ආදී තවත් නකල්ස් වනාන්තරයට අයත් ගල් හා කඳුවැටි රාශියකින් මීමුරේ වටවී තියෙනවා.
මීමුරේ සම්බන්ධ ජනප්‍රවාද රාශියක් ඇතැයි දැනගැනීමට ලැබුනා. ඇතැම් අය සඳහන් කලේ රාජ උදහසට ලක්වී පිටුවහල් වූ ජනතාව මී මුරේ පදිංචිකරුවන් වූ බවයි. තවත් තැනක කියවුනේ මීගස් බහුලව තිබූ නිසා එයින් මීමුරේ නම සෑදුනු බවයි. තවත් ජනප්‍රවාදයකට අනුව, අනුරාධපුර රාජධානි සමයේ රහතන්වහන්සේලා පිරිසක් සොයාගැනීමට ගේඳුරුවා නැමැති වැදිනායකයෙක් පිටත් වී ගොස් තිබෙනවා. ඔහුගේ සහයට ගිය පිරිසට වඩනහලු, රන්දුනුවා සහ කහටගහමුරා යන තිදෙනාත් අයත්වී තිබෙනවා. ඔවුන් මීමුරේ ආශ්‍රිතව ගම්මාන පිහිටුවාගෙන පදිංචිවී තිබෙනවා.
මීමුරේ කියන්නේ රාජකීය ඉතිහාසයක් ඇති ගමක්. සිංහල රාජධානියේ අවසාන සමය ගැන ඔබ අසාතැතුවාට සැකයක් නෑ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බේරී පලායාමට සැලසුම්කර තිබුනේ මීමුරේ ගම්මානයට. ගමට ඇතුල්වන තැන "රූප්පේ" නම් මංකඩ 4ක් ඉදිකර නැවතීම සඳහා නිවසක්ද ඉදිකර තියෙනවා. උඩ වලව්ව නමින් ගැමියන් හඳුන්වන එම නිවස අදත් දැකගැනීමට හැකියි. මේ තියෙන්නේ එම රාජකීය පැල්පත මගේ කැමරාවේ සටහන් වූ ආකාරය.
|
|
|
මේ ඉන්නෙ රලමන්. ඔහු තමයි උඩවලව්වට යන පාර පෙන්නුවේ. රනමන් මීමුරේ ගැමියාගේ ජීවන කැඩපතක් කියා මට හිතෙනවා. ඔහු අහිංසකයි. ඔහුගේ හිනාව නිර්ව්‍යාජයි. දවස පුරා කය වෙහෙසා වැඩ කරන ඔහුට කොළඹ ඇත්තන්ට තියෙන ලෙඩ රෝග නම් නැතුව ඇති.
දවස පුරා AC කාමර වල පරිගණක අස්සේ හිරවී සිටින අපිට වඩා රලමන් කොච්චර පෝසත්ද කියල මට හිතුනා.
සමුගන්න කලින් තව එක වටයක් මීමුරේ ගම හරහා යමු. එන්න මාත් එක්ක. සූරිය අරණ චිත්‍රපටියට පසුබිම්වුනු ප්‍රදේශත් මේ රූප වල තියෙනවා.
|
|
|
|
|
|