Friday, September 21, 2012

වසර 82 ක් පැරණි මුල්ම සිළුමිණ පුවත්පත

මට හම්බ උනා ගොඩක් වටින කෞතුක භාණ්ඩයක්! ඒ තමයි අවුරුදු 82ක් පරණ, ලංකාවේ මුල්ම සිළුමිණ පුවත්පත.  ප්‍රකාශිත දිනය 1930 මාර්තු 30 වන ඉරිදා. පත්තරේ මිල ශත 10යි.
අද මගේ ලිපියෙන්  ගෙන එන්නෙ ඒ පුවත්පතින් උපුටා ගත් ලිපි හා ඡායාරූප කීපයක්.



"බෞධ රටවල දෙකක් අතර යුධයක් ඇතිවන්ට යාමේ ලකුණු." පත්තරේ සිරස්තලේ තමයි ඒ.
ලේක්හවුසියේ රාත්‍රීකාලයේ ගන්නා ලද ඡායාරූපයකුත් ඊට යටින් මුද්‍රණය කරල තිබුනා.

"නේපාල ආණ්ඩුව විසින් තිබැට් රට අල්වා ගැනීම සඳහා යුධ හමුදාවක් පිටත් කර හරින ලදැයි බීතියෙන් තිබැට් රටේ ප්‍රභූවරයා වන දලයි ලාමා "රට ආරක්ෂාකර ගැනීම සඳහා අප්‍රමාදව බලසම්පන්න යුධ සමුදාවක් එවනු මැනවැ" යි චීනයේ ජාතික ආණ්ඩුව වෙත ආයාචනයක් යවා තිබේ.
නේපාල තිබැට් යන දෙරටම බෞධ රාජ්‍ය දෙකකි-මේ දෙරටම සම්බන්ධයෙන් ලැබී තිබෙන මේ ප්‍රවෘත්තිය සම්බන්ධ වැඩි විස්තර අනිත් ලෝකයා අතර තවම ව්‍යාප්ත නැත. නමුත් නේපාල යුධ සමුදාවේ ගමන දන්වා දලයිලාමා වෙත ඉන්දියාවෙන් විදුලි පණිවුඩ කීපයක්ම ලැබී තිබෙන බැව් කියා තිබේ."
ඒ තමයි සිරස්තලයෙන් කියැවෙන කතාව.

මගේ වැඩිපුරම සිත ඇදගත්තෙ මෙන්න මේ වගේ වෙලඳ දැන්වීම්.


තවත් තැනක තිබුනා මෝටර් රථ දැන්වීමක් මෙන්න මෙහෙම... 


අභිනව රථ දෙකක්.
අශ්වබල 10-28 ක වේගවත් සිලින්ඩර් 4රේ ආසන 4 රේ රථය - රු. 3,200
අශ්වබල 18-55 ක වේගවත් සිලින්ඩර් 6යේ ආසන 5 හේ රථය - රු. 4,750
මෙහි අවුත් මේ පුදුම කාර් දෙක බලත්වා.

මේ ගණනට තිබෙන අවයව ඉතා සම්පූර්ණ රථය මෙයවේ.

ටයර් සහිත වැඩිපුර රෝද දෙක ඉස්සරහට සහ පස්සටද යෙදූ බම්පර්ස්, ලූකස්ගේ හුලං හෝර්න් එක, බෝෂ්ඩ්ගේ ඉලැක්ට්‍රික් හෝර්න් එක, ඔරලෝසුව, ස්පීඩො මීටර් එක, හයිඩ්‍රොලික්ෂොක් ඇබ්සෝර්බර්ස්, ඉබේ වැඩකෙරෙන වින්ඩ්ස්ක්‍රීන් වයිපර් එක, ඉතා අනගි ආවුද ‍රැසකින් හා නොමිලේ රිජිස්ටර් කිරීමද මෙම කාරෙක සමග ලැබේ.


තවත් තැනක, බයිසිකල් දැන්වීමක් යටින් මෙහෙම තිබුනා.
"දැන් මිල ගැන බලනු. රු.65/ අඩු නැහැ."



පුවත්පතේ ක්‍රීඩා පි‍ටුවේ රාජකීය- ශාන්ත ‍තෝමස් වාර්ෂික ක්‍රිකට් තරඟය වාර්ථා කර තිබුනේ මෙහෙමයි.

රාජකීය සැන්තෝමස් තරඟ පන්දු ක්‍රීඩාව

රාජකීය කණ්ඩායමට ජය අත්වීම
පණස් එක්වන "රෝයල්-‍තෝමියන්" තරඟ පන්දු ක්‍රීඩාව මේ මස 27 වෙනි බාහස්පතින්දා පෙරවරු 10 ට සිංහල ක්‍රීඩා සමිති භූමියේ ආරම්භවිය. මෙය දර්ශනය කිරීමට කෙළිලොල් ශිෂ්‍යයන් සහ නෝනාවරුන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියාය. මිනිත්තු පහක් පසුවීමෙන් "රාජකීය" ක්‍රීඩාකරුවෝ ක්‍රීඩා භූමියට අවතීර්ණවූහ. ‍තෝමියන් කණ්ඩායමේ ආර්. සේනානායක සහ එච්. බීබි ක්‍රීඩා කිරීම පටන්ගත්හ.
ලකුණු 11ක් ගැණීමෙන් පසු සේනානායක පිච්චුණේය. බීබි ලකුණු 23ක් හා එච්. ජී. වික්‍රමසිංහ පළමු දවසේ ඉතා විශාල ගණන වන ලකුණු 29ක්ද ගත්හ. ලකුණු දෙකක් ගත් ජේ. ඇස් ද සිල්වා පළමු වාරයේ අන්තිම ක්‍රීඩාකරු විය. මෙදින රාජකීය කණ්ඩායමේ ඩී. බී. ගුණසේකර සමර්ථ ලෙස "බෝල්" කෙළේය.
දෙවෙනි දින
සිකුරාදා උදය රාජකීය කණ්ඩායමේ ඩී. බී. ගුණසේකර සහ ඒ. ජී. වයිමන් ක්‍රීඩාව පටන්ගත්හ. ගෝඩර් බෝල් කෙළේය. පසුව සේනානායක විසින් වෙයිමන් පුච්චන ලදී. ජයනාදන් හිස්වූ ස්ථානය ගෙන සමර්ථ ලෙස ක්‍රීඩාකෙළේය. ලකුණු ගනන ශීඝ්‍රලෙස වැඩිවීමෙන් 170 විය.
ගුණසේකර විසින් මේ ගණන නොපමාව 200 ක් කරනලදී. මේ සමර්ථ ක්‍රීඩා කරුවන් දෙදෙන ප්‍රීතිඝෝෂා මධ්‍යයෙහි ලකුණු සංඛ්‍යාව දියුණු කළහ. ලෑල්ලේ 324 සටහන් වෙනවාත් සමගම සියයට අටක් අඩුවෙන් ලකුණු ගත් ජගනාදන් බීබි විසින් පුච්චනලදී. නමුත් ක්‍රීඩා දර්ශනයකළ පිරිස ප්‍රීතිඝෝෂාවෙන් ඔහු සතුටින් පිළිගත්තාය.
හිස් අතින් යෑම.
පස්වරු 1.45ට ‍තෝමියන් වරුන්ගේ දෙවන වාරය ආරම්භ වුනේය. බීබි සහ සෙල්වදොරේ පළමුකොට ක්‍රීඩා භූමියට එළඹුණහ. මේ දෙදෙනාම හිස් අතින් ආපසු ගියෝය. නමුත් විජේසේකර ලකුණු 71ක් ගත්තේය. ඒ. වී. සිවසම්බු ලකුණු පහකුත් සමග සවස 5.10ට ක්‍රීඩා භූමියෙන් ගියේය. තරඟය මෙතෙකින් අවසානවිය. සම්පූර්ණ වාරයකින් සහ ලකුණු 67 කින් රාජකීය කණ්ඩායම ජයග්‍රහණය කළාය.
ශ්‍රෙෂ්ඨ තරඟ ක්‍රීඩාව
මෙය වූකලී ලංකාවෙ පාඨශාලා පිළිබඳ ශ්‍රෙෂ්ඨ තරඟ ක්‍රීඩාවයි. පෙරෙයිදා මධ්‍යම රාත්‍රිය වනතෙක් පැගොඩා තේපැන් ශාලාව විවෘත කොට තිබුණේය. රාජකීය ශිෂ්‍යයෝ නගරයේ පෙරහැර පැවැත්වූහ. ආර්ය සිංහල නාට්‍ය සභාව විසින් මේ නිමිතිකොට "ඇලඩින් සහ පුදුම පහන" විශෙෂාලංකාරයෙන් යුක්තව දක්වනලදී. රාජකීය ශාස්ත්‍ර ශාලාවේ ශිෂ්‍යයෝ මෙහිද පැමිණ කෑ කෝ ගසමින් ප්‍රීතිවූවෝය. එක් ශිෂ්‍යයෙක් නාත්‍ය පණ්ඩපයට නැගී නැටීමත් කෙළේය.

මෙන්න ඒකාලෙ මඟුල් ෆොටෝ ටිකක්...


ඊට අමතරව පාඨකයින්ට සහභාගි විය හැකි නිර්මාණ තරඟයක් ගැනත් තිබුනා.
ඒකෙ ප්‍රථම ත්‍යාගය රු.20/-ක්. දෙවෙන හා තෙවෙනි ත්‍යාග පිලිවෙලින් රු.10/-ක් හා රු.5/-ක්.
මේ තියෙන්නෙ මංගල කලාපය වෙනුවෙන් පැවති තරඟයේ ජයග්‍රාහකයින්ගෙ නම් ලයිස්තුව.

මේ තියෙන්නෙ පත්තරේ තිබුනු එකම කාටූනය

දැනට ඇති. 
ලංකාවේ විශේෂ සිදුවීම් වල පුවත්පත් වාර්ථා සහිත පත්තර කිහිපයකුත් මට හම්බවුනා. මේ ලිපියට ලැබෙන ප්‍රතිචාර අනුව, ඉඩ ලැබෙන විදියට ඉදිරියේදි ඒවත් පලකරන්නම්. 

read more "වසර 82 ක් පැරණි මුල්ම සිළුමිණ පුවත්පත"

Tuesday, September 4, 2012

මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය


නොදු‍ටු ගැමි සුවඳ
කාලෙකට පස්සෙ ලැබුනු නිවාඩුවේදී මාතර ප්‍රදේශයේ සංචාරය කරන්න මට සිතුනා. ඒ කාලෙකින් එහි ගියෙ නැති නිසා නොවේ. මගේ නෑයින් බහුතරයක් සිටින නිසාමත් නොවේ. මා අවංකවම ගැමි සුවඳට ප්‍රියකරන නිසාවෙන් සහ දකුණේ ආගන්තුක සත්කාරයට ප්‍රිය කරන නිසාවෙනි.
කුඩා කාලයේ දෙමාපියන් එක්ක සිංහල අවුරුද්දට මාතර ගිය හැටි මට සිහිවේ. එදා මාතර වීදි වල ඉඳහිට හෝ බක්කි කරත්ත, ගොන් කරත්ත, තෙල් කරත්ත ගිය අපූරුව මට මතකය. කොහු අඹරන යන්ත්‍ර තුබූ ගෙවල් තිබුනා හොඳින් මතකය. තෙල් සිඳින සෙක්කු ගෙවල් තුබුනා යාන්තමින් වාගේ මතකය. අවාසනාවකට අද ඒ කිසිවක් මාතරදී දැක ගැනීමට හැකිවුනේ නෑ. අප එදා රිසි සේ විනෝද වූ පොල්හේන වෙරල පවා අද වාණිජකරණය වෙලා තිබුනා. එදා මා විඳි සැබෑ ගැමි සුවඳ අද අතීතයට එක්වී හමාරයි.

සොයාගිය ගැමිකම
මාතර සිට ආපසු එන ගමනේදී ඒ අතීත ගැමි සුවඳ නැවත විඳීමට මා වාසනාවන්ත වුනා. ඒ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය තුලදී.  මාර්ටින් වික්‍රමසිංහ යනු කවුදැයි කීමට මම කාලය මිඩංගු කරන්නේ නෑ. එතුමා ගැන සඳහන් මූලාශ්‍ර අන්තර්ජාලය තුල එමටයි.
ගාල්ලේ සිට පැමිණෙනවා නම්, උණව‍ටුන, තල්පේ, හබරාදුව වැනි නගර පසු කල විට කොග්ගල ප්‍රදේශය හමුවෙනවා. ඒ ආසන්නයේ A2 මාර්ගයට යාබදව මේ සුන්දර ඉඩම පිහිටා තිබෙනවා.

මේ ජන කෞතුකාගාරය තුල  සිංහල ජන සංස්කෘතියේ උරුමය විදහා පාන කෞතුක භාණ්ඩ රාශියක් දක්නට ලැබෙනවා.
ධීවර, කොහු, මැටි කර්මාන්ත, පාරම්පරික ආයුර්වේද උපකරණ, රූකඩ කලාව හා අතීත ගැමි ජීවන රටාවට අදාල කෞතුක වස්තූන් මෙහි ප්‍රදර්ශණයට තබා තිබෙනවා. මෙහි ඇතුලත ඡායාරූප ගැනීමට නම් අවසරයක් නෑ.

කෞතුකාගාරයට පි‍ටුපසින් ඉඩමේ තීරුවක් වෙන්වෙලා තිබුනේ පැරණි යාන වාහන එකතුවකට.

කෞතුකාගාරයට පි‍ටුපසින් පිහිටියේ මාර්ටින් වික්‍රමසිංහ මහතා ජීවත් වූ නිවස. එය ඉදිරිපිට මෙසේ සඳහන් පුවරුවක් දක්නට ලැබුනා.
"එවකට කොග්ගල, ගෙවල් දහසකින් යුත් දැකුම්කලු ගම්මානයක් වී ය. පන්සල, ගුරු ගෙදර, වෙද ගෙදර, ඔපිසර ගෙදර එගම වැදගත් තැන් වූහ.
1942 දෙවැනි ලෝක යුද්ධ කාලයේ මෙගම වැසියන් පැය 24ක් ඇතුළත ඉවත් කොට ගෙවල් සියල්ල බිඳ දමා ගුවන් තොටක් හා හමුදා කඳවුරක් පිහි‍ටුවන ලදී. මාර්ටින් වික්‍රමසිංහ මහතා උපන් මේ නිවස පමණක් එදා ඉතිරි වූයේ එහි සොඳුරු පෙනුමට ඇලුම් කළ සුදු නිලධාරිනියක එය සිය නිල නිවස ලෙස යොදාගත් හෙයිනි. අහම්බෙන් වූ එම සිදුවීම ජාතියේ වාසනාවක් යයි අද හැඟේ.
එකල ගිංපතලිය නමින් හැඳින්වූ ඉඩමේ පිහිටි මේ නිවස බ්‍රිතාන්‍ය හමුදා ඉවත්ව යාමෙන් පසු ලඳු කැලෑවෙන් වැසී ගියේය. 1962 දී එවකට පැවති රජය මඟින් මාර්ටින් වික්‍රමසිංහ මහතා වෙත ආපසු භාරදෙන ලද වසර දෙසීයක් පැරණි මේ නිවස හා ඉඩම එතුමාගේ අභාවයෙන් පසුව ජාතික උරුමයන් වශයෙන් පවත්වාගෙන යනු ලබන්නේ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසිනි."

ටෙලිවිෂන්, පරිගණක, දුරකතන වලින් තොර වූ ඒ අවදිය කොයි තරම් සුන්දර වන්නට ඇත්දැයි මට සිතුනා.

1962 දී නිවස ආපසු භාර දෙනවිට පැවතියේ මේ ආකාරයෙනි.

මාර්ටින් වික්‍රමසිංහ මහතා පරිහරණය කරන ලද ගෘහභාණ්ඩ සහ උපකරණ රාශියක් එහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා. ඒ මහතා උපන් නිවසේ මැද කාමරය අසල "උපන්දා සිට" කෘතියේ අඩංගු මේ ඡේදය සඳහන් වුනා.
"මා උපන් දිනයේ අඩවන් කරන ලද දොර ඇති කාමරයෙහි උන් වින්නඹුව 'සරම' යයි කියනු ඇසූ තාත්තාත් සහෝදරියනුත් බෙහෙවින් සන්තෝෂ වූහයි මගේ නෑයන් කියනු මා නොයෙක් වර අසා ඇත. ඔවුන් එතරම් ප්‍රීති වූයේ පිට පිට කම්බා අටක් බිහිකළ අම්මා වැදු එකම 'සරම' මා බැවිනි"

නිවසේ මැද කාමරය ඉදිරියෙන් තිබුනේ කිරිබත් හැඩයට ඇතිරූ හත‍රැස් පිඟන් ගඩොල් සහිත කෑම කාමරයයි. සමරු සටහන්, ඡායාරූප හා පොත්පත් නිවසේ පි‍ටුපස කොටසේ ප්‍රදර්ශනයට තබා තිබුනා.
නිවසට දකුණු පැත්තෙන් මාර්ටින් වික්‍රමසිංහ සමාධිය පිහිටල තිබුනා.

ඉහත මැද ඡායාරූපයේ තියෙන්නේ පැ‍රැන්නන් තෙල් සිඳීමට යොදාගත් සෙක්කුවක්.

වෙලාව සවස 5 ට ආසන්නයි. අපට මේ සුන්දර භූමි භාගයෙන් සමුගැනීමට කාලය හරි.  සිත නැත සමු දෙන්නට. මෙයයි අපේ අනන්‍යතාවය. කෙසේ හැර යන්නද..... අපේකම!

සැ.යු. - මෙහි එන සියලු ජායාරූප මා විසින් ලබාගත් ඒවා බවත් ඒවායේ අයිතිය මා සතු බවත් මතක් කරමි.

read more "මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය"