Wednesday, December 26, 2012

මීදුම මැදින් බණ්ඩාරවෙල යමුද?


දෙසැම්බර් නිවාඩුවට කොහේ හරි යන්න ප්ලෑන් කරන අයට පොඩි ඔත්තුවක් දෙන්නයි මම අද සූදානම් වෙන්නෙ. වෙනසකටත් එක්ක යමු බණ්ඩාරවෙලට.

කොළඹ ඉඳන් බණ්ඩාරවෙල යන ඔබ මුලින්ම රත්නපුරට ආ යුතුයි. මේ සඳහා මුලින්ම A4 මාර්ගයෙන් හෝමාගම, අවිස්සාවේල්ල හරහා රත්නපුරට පැමිණිය හැකියි. එසේත් නැතිනම්, මුලින්ම පානදුරටත් එතැනින් A8 මාර්ගය ඔස්සේ හොරණ හරහා රත්නපුරටත් පැමිණිය හැකියි. රත්නපුර සිට A4 මාර්ගයෙන් පැල්මඩුල්ල, ඕපනායක හරහා බලංගොඩට පැමිණිය යුතුයි. එතැන් සිට බෙලිහුල්ඔය හරහා බෙරගලට පැමිණෙන ඔබ අනතුරුව A16 මාර්ගයෙන් හපුතලේ හරහා බණ්ඩාරවෙලට ගමන් කරනවා.
දුර ගැන අදහසක් දෙනවා නම්, කොළඹ සිට රත්නපුරට දල වශයෙන් කි. මී. 100ක් පමණ තියෙනවා.  එතැන් සිට බලංගොඩට කි. මී. 45 ක් පමණ තියෙනවා. බලංගොඩ සිට බෙරගලට තවත් කි. මී 40ක් පමණත්, එතැන් සිට බණ්ඩාරවෙලට කි. මී. 18ක් පමණත් තියෙනවා. මුලු දුර දලවශයෙන් කි. මී. 200ක් පමණ වෙනවා.

බණ්ඩාරවෙල අවට නවාතැන්පොලවල් නම් යහමින් තියෙනවා. නවාතැන්පොලක් සොයාගැනීමට ඔබ එතරම් වද වියයුතු නැහැ. හැබැයි උණුවතුර පහසුකම තිබේද කියල හොයල බලන්න.
දින කීපයක නිවාඩුවක් ගතකිරීමට බණ්ඩාරවෙල පැමිණි ඔබට නැරඹිය හැකි තැන් මොනවාද?

මුතියංගනය රජමහා විහාරය 
බණ්ඩාරවෙල සිට බදුල්ල නගරයට ඇත්තේ කි. මී. 30කට මඳක් වැඩි දුරක්. ඒ සඳහා ඔබට ගතවෙන්නේ පැයකට අඩු කාලයක්. මුතියංගන රජමහා විහාරය පිහිටල තියෙන්නෙ හරියටම බදුල්ල නගර මධ්‍යයේ. සොලොස්මස්ථාන වලට අයත් මුතියංගනය දෙවනපෑතිස් රජු විසින් කරවූ බවත් පසුව බොහෝ රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කරවූ බවත් සඳහන් වෙනවා.
මෙහි බුදුරජාණන්වහන්සේ විසින් තවත් පන්සීයක් මහරහතුන්වහන්සේලා සමඟ නිරෝධ සමාපත්ති ගතව වැඩසිටිබව කියැවෙනවා.


දුන්හිඳ දියඇල්ල
බදුල්ලේ සිට මහියංගනය පාරේ කි. මී. 4-5 පමණ ගියතැන දුන්හිඳ දියඇල්ලට යන පාර පටන් ගන්න තැන හමුවෙනවා. එතන ඉඳන් කි.මී 1ක් පමණ පාගමනින් ගිය තැන ඔබට දුන්හිඳ ඇල්ල දැකගැනීමට පුලුවන්. මේ මාර්ගය නම් තරමක් දුෂ්කරයි. ඒ දෙපස ඇති කඩවලින් ඔබේ පවස නිවාගැනීමට බෙලිමල් උගුරක් පානය කරන්න අමතක කරන්න එපා.
මීටර් 63ක් උසැති දුන්හිඳ, බදුලු ඔයේ විශාලතම දිය ඇල්ල මෙන්ම ලංකාවේ සුන්දරම දිය ඇල්ලක්ද වෙනවා. හෙට්ටිපොල කඳුවැටියේ සිට ගලාහැලෙන බදුලු ඔය, ඇල්ල කපොල්ල ස්ථානයේ දී මහවැලි ගඟට එකතුවෙනවා. ඌවේ චූඩා මාණික්‍යය ලෙස විරුදාවලි ලබා ඇති දුන්හිඳ දියඇල්ලට ශ්‍රීලංකාවේ දියඇලි අතර උසින් හිමිවන්නේ 33 වන ස්ථානයයි.

ඇඩිෂම් බංගලාව
බණ්ඩාරවෙල නගරයේ සිට කි. මී 12ක් පමණ කොළඹ දෙසට එනවිට හපුතලේ නගරය හමුවෙනවා. එතැනින් හැරී කි. මී 3-4 ක් පමණ ගියතැන පිහිටි මනස්කාන්ත පරිසරයකට මැදිව ඔබට මේ සුන්දර බංගලාව දැකගත හැකියි.
ඉංග්‍රීසි ජාතික ‍තෝමස් ලිස්ටර් විල්යස් විසින් 1931දී සාදවන ලද මෙය සම්පූර්ණ කලුගලෙන් කරවා වහලට බුරුම හා තේක්ක ලී අතුරා තිබෙනවා. මෙය වර්ථමානයේ හැඳින්වෙන්නේ ශාන්ත බෙනදික් තාපසාරාමය  ලෙසයි. මෙය නැරඹීමට ඔබට අවසර ඇත්තේ සති අන්ත දිනවල, පෝය දින සහ රජයේ නිවාඩු දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා පමණයි. මහසිකුරාදා සහ නත්තල් දිනයේදී මෙය නැරඹීමට අවසර නෑ.
අපි ගිය දිනයේ මෙය සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැසී පැවතුනා. ඉහත වම් ඡායාරූපයෙන් ඔබ දකින්නේ මීදුමට මැදිවූ ඇඩිෂම් බංගලාවයි. බංගලාවේ මිදුලේ සිට බැලූවිට අවට පරිසරය දිස්වන ආකාරය දකුණුපස ඡායාරූපයෙන් දැක්වෙනවා.

දියලුම දියඇල්ල
හපුතලේ නගරයේ සිට කි. මී. 6 ක් පමණ කොළඹ දෙසට  එනවිට බෙරගල හමුවෙනවා. බෙරගලින් හැරී වැල්ලවාය මාර්ගයේ තවත් කි. මී. 23ක් පමණ ගිය විට දියලුම ඇල්ල දැකගැනීමට පුලුවන්.

මීටර් 171ක් උස දියලුම ඇල්ල, පූනාගල ඔයෙන් පෝෂණය වෙන අතර ලංකාවේ දිය ඇලිවලින් උසින් තෙවන තැන හිමිවෙනවා. එමෙන්ම ලෝකයේ දිය ඇලි අතරින් 62වන ස්ථානය හිමිකර  ගන්නවා. පූනාගල ආශ්‍රිතව ඇති දිය ඇලි සමූහයෙන් අවසානම දිය ඇල්ල ලෙස සැලකෙන්නේ දියලුමයි. කුඩාඔය හා එක්ව ගලාබසිනා මෙය කිරිඳි ගඟට මුසුව තිස්සමහාරාමය ආසන්නයෙන් මුහුදට එක්වෙනවා. ජලජ පහන, දියගැලුම ඇල්ල, දිය හලුම ඇල්ල ලෙසද මෙය හැඳින්වෙන බව දැනගැනීමට ලැබුනා.
වඩාත්ම සොඳුරු දර්ශණ දැක ගැනීමට ලැබුනේ බෙරගල ඉඳන් දියලුමට එන මාර්ගයේ. එහිදී ඔබ නෙත ගැටෙන්නේ ඉතාමත් සුන්දර පරිසරයක්! වචනයෙන් විස්තර කරනවාට වඩා මෙම ඡායාරූප බැලීමෙන් එම සුන්දරත්වය ඔබට විඳගත හැකියි.

බඹරකන්ද දියඇල්ල
බෙරගල ඉඳන් කි. මී 10ක් පමණ කොළඹ දිශාවට යන ඔබට කලුපහන හන්දිය මුනගැසෙනවා. එතැනින් හැරී කි. මී. 5 ක් පමණ ගියතැන ඔබට මේ මනහර දිය ඇල්ල දැකගත හැකියි. අඩි 790ක් උසැති බඹරකන්ද දිය ඇල්ල ශ්‍රී ලංකාවේ උසම දියඇල්ල ලෙසත් ලෝකයේ දියඇලි අතර උසින් 48 වැන්න ලෙසත් සැලකෙනවා.





මේ ආදී සුන්දර තැන් ‍රැසක් නැරඹීමට අපිට මේ ගමනේදී හැකිවුනා. බණ්ඩාරවෙල චාරිකා කරන ඔබට නැරඹිය හැක්කේ මේ ලිපියේ සඳහන් ස්ථාන පමණක් නම් නෙවෙයි. ඔබ ගතකිරීමට බලාපොරොත්තු වන දින ගනන අනුව ඔබට බෝගොඩ පාලම, දෝව ගල් විහාරය, ලිප්ටන් සීට්, රාවනා ඇල්ල, දෙමෝදර පාලම, පූනගල ස්ටේට් ආදී සුන්දර තැන් ‍රැසක් දැකබලාගැනීමට හැකියි. නමුත් මේ සියලු තැන් බැලීමට වෙහෙසීමෙන් ගත විඩාවට පත් කරගන්නවාට වඩා සීතල කඳුකරයේ පහස විඳිමින් විවේක සුවය විඳීමටත් කාලයක් වෙන්කරගත යුතු බවයි මාගේ අදහස. ඔබත් ඉදිරියේදී මෙවැනි සංචාරයක් යෑමට බලාපොරොත්තුවේ නම්, මේ ලිපිය ප්‍රයෝජනවත් වේ යැයි සිතෙනවා. එහෙනම් ඔබට සුභ ගමන්!
read more "මීදුම මැදින් බණ්ඩාරවෙල යමුද?"