Monday, February 20, 2012

දැනගෙන ගියොත් කතරගම... නොදැන ගියොත් අතරමග!

ඉකුත් සතිඅන්තයේ මට කතරගම සංචාරය කිරීමට අවස්ථාව ලැබුනා. හදිස්සියේ යෙදුන ගමනක් නිසා ගොඩක් තැන්වල යන්නටවත් බොහෝ තොරතුරු ‍රැස් කරන්නටවත් අවස්ථාවක් ලැබුනෙ නෑ. නමුත් ඒ කෙටි සංචාරයේ අත්දැකීම මගේ බ්ලොග් රසිකයන් අතර මේ විදියට බෙදාගන්න හිතුවා.
කොලඹ ඉඳන් කතරගමට යා හැකි ප්‍රධාන මාර්ග 2ක් තියෙනවා.
රත්නපුර හරහා
230km ක් පමණ වූ මේ මාර්ගයේ යන්නේ නම්, හොරණ හෝ අවිස්සාවේල්ල හරහා රත්නපුරයට පැමිණිය යුතු වෙනවා. එතැනින් පැල්මඩුල්ලට පැමිණි විට කතරගමට තවත් 150km ක දුරක් තියෙනවා. එතැනින් කහවත්ත, ගොඩකවෙල, පල්ලෙබැද්ද, කොළඹගේආර , තිබොල්කැටිය ආදී නගර පසු කරමින් උඩවලවට පැමිණිය යුතුයි. එතැන්සිට තණමල්විල හන්දිය දක්වා ඇත්තේ තරමක් ප‍ටු, ඍජු, නමුත් හොඳින් පිලිසකර කල මාර්ගයක්. මාර්ගයේ දිග 30km ක්. තණමල්විල හන්දියෙන් දකුණට හැරී වීරවිල මාර්ගයේ ඔබ ලුණුගම්වෙහෙරට ලඟාවිය යුතුයි. එතැන් සිට තවත් 20km ක දුරින් කතරගම නගරය පිහිටා තියෙනවා.

මාතර හරහා
284km ක් පමණ වූ මේ මාර්ගයේ යන්නේ නම්, 161km ක් පමණ දුර ගෙවා ගාල්ල හරහා මාතරට පැමිණිය යුතුයි. අධිවේගී මාර්ගය නිසා ඊට වැඩිවේලාවක් යන්නේ නෑ. මාතර සිට තවත් 123km පමණ දුරකින් කතරගම නගරය පිහිටා තියෙනවා.

උඩවලව සිට තණමල්විල හංදිය දක්වාවූ 30km ක මාර්ගය ගැන කලින් සඳහන් කලා. පහත වම් කෙලවරේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඒ මාර්ගයයි. 
ඒ මඟ යන අතරමගදී ඔබට මාර්ගය දෙපස විදුලි වැටෙන් එහා සිට ආහාර යදින අලින් දැක ගැනීමට පුලුවන්. මැද ඡායාරූපයෙන් දැක්වෙන්නේ මගේ කැමරාවේ සටහන් වූ එවැනි අලින් දෙදෙනෙක්. දකුණු කෙලවරේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ තණමල්විල හංදියයි.


මුලින්ම අපි ගියේ සිතුල්පව්ව විහාරයට. එය පිහිටල තියෙන්නෙ කතරගම සිට 18km දුරින්. නමුත් අපි ගියේ තිස්සමහාරාමය හරහා. තිස්සමහාරාමයේ සිට සිතුල්පව්වට 35km ක් තියෙනවා. ඒක ඉතාමත් දුෂ්කර ගමනක්. යන්නට තියෙන්නේ තාර නොදැමූ ගුරු පාරකින්.

 රුහුණු ජාතික වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය අවුරුදු 2200ක් පැරණියි. කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද මෙහි මහ රහතන්වහන්සේලා 12000ක් වැඩ සිටි බව සඳහන් වෙනවා. මේ ස්ථානයේ දාන ශාලා, ධර්ම ශාලා , උපෝසථ ශාලා, ගිමන්හල්, සක්මන් මළු, පැන් පොකුණු ආදී කෞතුක වස්තූන් බොහෝ ප්‍රමාණයක් තියෙනවා.
මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ සිතුල්පව්ව සිට කතරගමට එන අතරමගදී දැක ගැනීමට ලැබුනු වල් ඌරු රංචුවක්.
කතරගම අවට නවාතැන් පහසුකම් නම් ඕනෑ තරම් තියෙනවා. කුඩා පෞද්ගලික නිවාස වල පවා "නවාතැන් පහසුකම් ඇත" කියල ලියපු කාඩ්බෝඩ් පුවරු දක්නට ලැබුනා. අපි නවාතැන් ගත්තේ සංචාරක නිවාසයක (cottage). කාමර දෙකකින් යුත් එවැනි නිවසක්  රු.3000/-කට පමණ ලබාගන්න පුලුවන්.

කිරි වෙහෙර
කතරගම දේවාල භූමියට නුදුරින් ඇති කිරි වෙහෙරත් කතරගම එන බැතිමතුන් අනිවාර්යයෙන් යන තැනක්. අධික අව් රශ්මියක් පවතින නිසා මෙය වැඳපුදා ගැනීමට සුදුසුම වන්නේ උදෑසන හෝ රාත්‍රී කාලයේදීයි.
මෙකී භූමිය බුදුරජානන් වහන්සේගේ පාද ස්පර්ෂය ලද ස්ථානයක් ලෙස සැලකෙන අතර, කේෂධාතූ නිදන් කර කිරිවෙහෙර ඉදිකර ඇති බවත්, එහි පවත්නා බෝධිය අනුරාධපුර ජයශ්‍රීමහ බෝධීන් වහන්සේ රෝපනය කරන අවස්ථාවේ හටගත් අෂ්ඨඵල බෝධි අංකුරවලින් එක් අංකුර බෝධියක් බවත් ජනප්‍රවාදයේ සදහන් වෙනවා.

ඉන්පසු අපි ගියේ සෙල්ලකතරගම. සෙල්ලකතරගමට කතරගම නගරයේ සිට වැඩිදුරක් නෑ. මහසෙන් රජු විසින් කරවන ලදැයි සැලකෙන මහසෙන් මහා සෑය පිහිටල තියෙන්නෙත් මේ භූමියේ. එහිදී ගත් සේයාරූ දෙකක් තමයි පහත තියෙන්නෙ.
අපි කතරගම සංචාරයට ගතකලේ දවස් දෙකක් පමණයි. කතරගම අවට සියලු ස්ථාන නැරඹීමට නම් දවස් දෙකක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. අපේ එහෙම අරමුණක් තිබුනෙත් නෑ. ඉතින් අපි බොහොම සාර්ථක සංචාරයක් නිමා කරල මාතර හරහා කොළඹ ආවා. අධිවේගී මාර්ගය නිසා අපේ ගමන ගොඩක් ඉක්මන් උනා.
read more "දැනගෙන ගියොත් කතරගම... නොදැන ගියොත් අතරමග!"