Thursday, January 31, 2013

මහ බැංකුව විනාශයි

අද 2013 ජනවාරි 31 වෙනිදා. අද මම ඔබට කියන්න යන්නෙ හරියටම අවුරුදු 17 ක් පරන කතාවක්. දිනය 1996 පෙබරවාරි 1. එදා දිවයින පුවත්පතේ සිරස්තලය තමයි මේ.

'මහ බැංකුව විනාශයි.'
'මියගිය ගණන කියන්න බෑ.'

'ඊයේ පිපිරුණු බිහිසුණු බෝම්බයෙන් ශ්‍රී ලංකා මහබැංකු ගොඩනැගිල්ල සහ ඒ ඉදිරිපිට පිහිටි සෙලින්කෝ මන්දිරය ගිනිගෙන දුම් ගුලි අහසට විහිදෙද්දී ' යනුවෙන් සඳහන් වූ ඡායාරූප කීපයක් මුල්පි‍ටුව පුරා දක්නට ලැබුනා.

ලංකාවම කඳුලු ගංගාවක ගිල්ලූ ඒ ශෝචනීය කතා පුවත දිවයින පුවත්පත වාර්ථාකර තිබුනේ මෙහෙමයි.

'ශ්‍රී ලංකාවේ දරුණුම පිපිරීම'
'බෝම්බ ලොරිය පුපුරුවන්නට පෙර හතර පැත්තටම වෙඩි තබති.'
මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ‍රැගෙන එන ලදැයි කියන අධි බලැති බෝම්බ සහිත ලොරියක් කොළඹ කො‍ටුවේ ශ්‍රී ලංකා මහබැංකු ගොඩනැගිල්ල වෙත ඊයේ (31) පෙරවරු 10.49 ට කඩා වැදීමෙන් එම ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලිවල සේවය කළ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. මෙය මෑත සමයේ සිදුවූ දරුණුම බෝම්බ පිපිරීම ලෙස සැලකේ.
ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල, සෙලින්කෝ ගොඩනැගිල්ල, එයාර් ලංකා ගොඩනැගිල්ල ඇතුලු ගොඩනැගිලි ‍රැසක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වූ අතර දහසකට අධික පිරිසක් කොළඹ මහ රෝහල ඇතුලු රෝහල් ගණනාවකට ඇතුළත් කර ඇත. මෙයින් සියයකට අධික පිරිසකගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. මියගිය ගණන ඊයේ සවස් වනතුරුත් හරිහැටි වාර්තා වී නොතිබිණි.
බෝම්බය පිපිරීමෙන් ඇවිළී ගිය ගින්න නිවා දැමීමට ගිනි නිවන හමුදාව දැරූ උත්සාහය ව්‍යාර්ථ විය.
බෝම්බ ලොරිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ දොර වෙත ගෙනයෑමට පෙර වාහනයකින් පැමිණි පිරිසක් එම වාහනයෙන් බැස හතර පැත්තටම දිගට හරහට වෙඩි තැබීමට පටන්ගෙන ඇත. බෝම්බ ලොරිය පුපුරුවා ඇත්තේ ඉන් පසුවය.
සිද්ධිය වී ස්වල්ප වේලාවකින් අප එම ස්ථානයට ගිය අවස්ථාවේ ගිනි ගනිමින් තිබූ ගොඩනැගිලිවල ඉහළ මාලයන්හි කො‍ටුවී සිටි විශාල පිරිසක් තමන් ඇඳසිටි ඇඳුම් වනමින් ආධාර ඉල්ලා කෑ ගසන අයුරු දක්නට ලැබිණි. ගින්න නිසා ඇතිවූ දුමාරයෙන් එම ප්‍රදේශය සම්පූර්ණයෙන් වැසී තිබූ අතර, ගොඩනැගිලිවල සිරවී සිටි කාර්ය්‍යාල සේවක සේවිකාවන්ගේ විලාපය මුළු කො‍ටුව පුරාම දෝංකාර දුන්නේය. ක්‍රමයෙන් පැතිරගිය ගින්න මුහුදු සුළඟ නිසා ඊයේ දහවල්වන විට ගොඩනැගිලිවල ඉහල මාලවලට සීඝ්‍රයෙන් පැතිර යන අයුරු දක්නට ලැබිණි. රුපියල් 1000, 500 මුදල් නෝට්‍ටු පාර පුරා විසිරී ඇවිලෙමින් තිබිණි.
සෙලින්කෝ ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ සිරවී සිටි විශාල පිරිසක් ගිනි නිවන හමුදාවේ ඉනිමං මගින් ඉවතට ගනු ලැබූ අතර ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් ලේවලින් රත් පැහැ ගැන්වී තිබිණි. බෝම්බය පිපිරීමත් සමඟම එම ගොඩනැගිලිවල සිවිලිම ඇතුළු කොටස් කඩා වැටීම නිසා තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.
සිද්ධිය වන විට කොළඹ කො‍ටුව ප්‍රදේශයේත් ජනාධිපති ලේකම් කාර්යාලය අතරත් ධාවනය වෙමින් තිබූ බස් රථ ඇතුළු වාහන ‍රැසකටද විශාල ලෙස හානි සිදුවී ඇති අතර, ඒවායේ ගමන් කළ විශාල පිරිසක් ද තුවාල ලබා සිටිති.
රෝහල් ගතකල තුවාලකරුවන්ගෙන් අසාධ්‍ය තත්වයේ සිටි කිහිප දෙනෙකු ඊයේ දහවල් වනවිට මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. තුවාලකරුවන් අතර විදේශිකයන්ද සිටිනු දක්නට ලැබුණි.
ගොඩනැගිලිවල සිරවී සිටි පිරිස් බේරා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා යොදවා දැරූ උත්සාහය ව්‍යාර්ථ වූයේ ප්‍රදේශය පුරා පැතිරී තිබූ කළු දුමාරය නිසාය.
බෝම්බය පිපිරීමත් සමඟ කො‍ටුව ප්‍රදේශයේ විවිධ අවශ්‍යතා සඳහා පැමිණ සිටි ජනයා මෙන්ම පදික වෙළෙඳුන් ඇතුළු විශාල පිරිසක් දිවි බේරා ගැනීම සඳහා හිස් ලූ ලූ අත දිව ගියහ.

පුවත්පත පුරාම දකින්න තිබුනේ මේ ආකාරයේ අතුරු සිරස්තල.

'දුරකථන ගොළුවේ'

'සියලුම වර්ගවල ලේ ඕනෑ'

'ගැලවුම්කරුවන් ප්‍රමාණවත් නැහැ'

ඒ අතුරින් 'එය කිසිවකු දැකිය යුතු නොවේ' යන සිරස්තලය යටතේ ලියැවුනු මේ ලිපිය මට උපුටා දක්වන්න හිතුනා.

'සත්තකින්ම එය කිසිවෙක් විසින් නොදැකිය යුතු දර්ශණයක්.. කො‍ටුව පැත්තෙන් විශාල දුම්ගොඩ අහස උසට නැගෙන ආකාරය අපි දු‍ටුවේ කොච්චිකඩේ පල්ලිය හරියේදී. යෝක් වීදිය වගේ ඈත තැන්වල (මහබැංකුව පේනතෙක් මානයේවත් නැති) පාරවල්වල නවත්තල තිබුණු වාහන වල වීදුරු පවා කම්පනයට කැඩිල ගිහින්.'
'ඊට පස්සෙ අපිට දකින්න ලැබුනෙ ලංකා ඉතිහාසයටම සිදුවෙච්ච විශාලම විනාශය.'
'මහ බැංකුවේ සහ අනිත් ගොඩනැගිලිවල තැන්වල අඩි 20 විතර ආවාට හැදිලා. හරියට ආර්. පී. ජී. රොකට් වෙඩි ගැහුවා වගේ. බෝම්බය ගෙනාව ලොරිය පුපුරල ගිය තැන හැදිල තිබුණේ විශාල වලක්. ඒ ලොරි යෙ රෝදයක රිම් එකක් යැයි සිතිය හැකි කොටසක් තිබුණේ චැතැම් වීදිය හන්දියේ ඔරලෝසු කණුව ළඟ. මේ හැම දෙයකටම වඩා මහ පොළොව නුහුලන දර්ශනය දකින්න ලැබුණේ සෙලින්කෝ මන්දිරය උඩතට්‍ටුවල. ඒ ගොඩනැගිල්ලේ ගිනි ගන්න තට්‍ටුවල ඊට ටිකක් එහාට වෙන්න ලේ පෙරාගත්ත උදවිය බිම දිහා බලාගෙන අත් වැනුවේ ආධාර ඉල්ලලා. ඒ උදවිය ගොඩනැගිලි උඩ ඉඳන් ආධාර ඉල්ලුවේ ඇඳගෙන හිටපු සාරිවල කොටස් ඉරල අහසට වනමින්.'
'ඒත්... මහ ගින්නත් කඩා වැටෙන සුන්බුන් හින්දත් කිසි කෙනෙකුට ඒ අහලකටවත් යන්න විදියක් තිබුනේ නැහැ. උඩ හිටපු අයට මරණ බය හොඳටම දැනෙන්න ඇති. සමහරු අමු අමුවේ පිච්චුණු නිසා එතෙක් එකට වැඩකළ සහෝදර සහෝදරියන්ට වෙච්ච විපත්තිය ඔවුන් දකින්න ඇති. නමුත්... තමන්ටත් ඒ ඉරණම අත්වෙන බව දැනිදැනී කොහොම නම් තවත් ඉවසා සිටින්නද? ඔවුන් එහාට මෙහාට දුව පනිමින් බිම හිටපු අපෙන් ආධාර ඉල්ලුවේ වෙනත් කරන්න දෙයක් නැති නිසා. අපට සිදුවුණේ මම මුලින් ලියපු විදියට නොදැකියයුතු දර්ශණයක් දකිමින් හූල්ලන්න විතරයි.'
'අතපය කැඩිච්ච අය, හිසේ, පපුවේ පැත්තක් විනාශවෙච්ච අය, බඩවැල් මොළය එලියට ආව අය, උස්සගෙන ඇවිත් බස්, ලොරි,වෑන්, ට්‍රක්, ජීප් වලින් කඩිමුඩියේ අරන් ගියේ ඒ වන විටත් පණ නැතිවූ අය වුණත් තවදුරටත් යම් මෙහෙයක් ඔවුන් වෙනුවෙන් ඉ‍ටුකල යුතු නිසා. සමහර අයගෙ අරන් යන්න තිබුනේ අතපය කෑලි විතරයි.එහෙමත් නැතිනම් ක‍ඳෙන් වෙන්වුණු හිසක් විතරයි. ඒ අතරේ උදේ පාන්දර සිය දරු සිඟිත්තන්ගේ මුහුණු සිඹ නිවසින් පිටත් වුණු දෙමාපියන්... අම්ම, තාත්තගේ දෙපා නැමද පැමිණි වැඩට ආව දූ දරුවන්.'
පුවත්පතේ එක් පි‍ටුවක් පිරෙන්න තිබුනේ තුවාල ලබා රෝහල් ගතකර සිටින පිරිසේ නම් ලයිස්තුවක්. තවත් බොහෝ පි‍ටුවල තුවාල කරුවන් සහ මියගිය අයගේ සිරුරු දැක්වෙන ඡායාරූප පලකර තිබුනා.

මේ සිද්ධියෙන් මියගිය කිසිවෙක් මෙවැනි හදිසි මරණයක් අපේක්ෂා නොකරන්නට ඇති. ඔවුන් කලිසම් කමිස, සාරි වලින් සැරසී, ටයි පටි පැළද, පුයර විලවුන් දමාගෙන උදෑසන ගෙදරින් එන්නට ඇත්තේ හවසට මිනීපෙට්ටියකින් ගෙදර යන්නට නම් නොවෙන්නට ඇති. ජීවිතයේ හැටි එහෙමය. ඊටත් වඩා ත්‍රස්තවාදයේ තරම එහෙමය. එවැනි අඳුරු කාල පරිච්ඡේදයක් පසුකර පැමිණි අපිට දැන් දැන් ඒ අතීතය අමතකව යමින් ඇත. ඒ අමතකව යන අතීතය මතක් කර දීම මෙම ලිපියේ එක්තරා අරමුණකි. එසේම......
ත්‍රස්තවාදයේ බහුවිද මුහුණුවර පවතී. එදා ත්‍රස්තවාදියා පැමිණියේ දෙමල ජාතිය නියෝජනය කරනවා යැයි කියාගනිමිනි. හෙට දිනයේ ත්‍රස්තවාදියා පැමිණෙනු ඇත්තේ වෙනත් ජාතියක්/ආගමක් වෙනුවෙන් යැයි කියා ගනිමින් විය හැක. එවැන්නක් යලි සිදුනොවීම සඳහා මෙය කියවන ඔබටත් මටත් යමක් කල හැක. ඒ සඳහා අවශ්‍යවන්නේ ඔබේ ආවේග පිට කිරීමේ හැකියාව නොව ඔබ සතු බුද්ධිය මෙහෙයවීමේ හැකියාව බව මගේ අදහසයි.

read more "මහ බැංකුව විනාශයි"

Thursday, January 24, 2013

පාලොස්වක සඳ පායනු වැන්නේ

අද ලියන්න හදන්නේ 2013 වසරේ පලවෙනි බ්ලොග් ලිපිය. ඔක්කොටම කලින් ඔයගොල්ලො හැම දෙනාටම සුභ නවවසරක් ප්‍රාර්ථනා කරනවා. 2013 වසරේ පලවෙනි පෝය දිනය යෙදිල තියෙන්නෙ අනිද්දාට. ඒ වෙනුවෙන් අද මම ඔබට කියන්න යන්නේ දොළොස් පොහොය බෞද්ධයන්ට වැදගත් වෙන්නේ කොහොමද කියල.
බුදුන්වහන්සේ පහලවීමටත් පෙර සිටම පෝය දිනය විවිධ ඇදහීම්වල ආගමික දිනයක් ලෙස යොදාගැනුනා. බිම්බිසාර රජුගේ ඉල්ලීමකට අනුව බුදුරජාණන්වහන්සේ විසින් සතරපෝය බෞද්ධාගමික දිනයක් ලෙස නම් කල බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්වෙනවා.

දුරුතු පොහොය (ජනවාරි)
  • උරුවෙල් කස්සප, නදී කස්සප, ගයා කස්සප යන තුන් බෑ ජටිලයන් පැවදිවීම
  • බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමන (බුද්ධත්වයෙන් 9 වෙනි මාසයේ මහියංගනයට)
  • සුමන සමන් දෙවියන් මාර්ගඵල ලබාගැනීම
  • ශ්‍රී ලංකාවේ ප්‍රථම දාගැබ ඉදිකිරීම (මහියංගන චෛත්‍යය)
නවම් පොහොය (පෙබරවාරි)
  • ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම
  • සැරියුත් මුගලන් දෙනමට අගසව් තනතුරු ප්‍රදානය කිරීම
  • ඕවාද ප්‍රාතිමෝක්ෂය (භික්ෂූන්ට අදාල විනය මාලාව) දේශනා කිරීම
  • බුදුරජාණන්වහන්සේ ආයු සංස්කාරය අතහැරීම (පරිනිර්වාණයට තෙමසකට පෙර පිරිනිවන්පාන දිනය තීරණය කිරීම)
මැදින් පොහොය (මාර්තු)
  • බුදුරජාණන්වහන්සේ 20000ක් පමණ භික්ෂූන් සමඟ කිඹුල්වත් නුවරට වැඩම කිරීම සඳහා පිටත්වීම
බක් පොහොය (අප්‍රේල්)
  • සිදුහත්කුමරු සතර පෙරනිමිති දැකීමේ පළමු දිනය
  • බුදුරජාණන්වහන්සේගේ දෙවන ලංකාගමන (බුද්ධත්වයෙන් 5 වෙනි වසරේ නාගදීපයට)
  • මැණික් පු‍ටුව තැන්පත් කර නාගදීප චෛත්‍යය පිහි‍ටුවීම
  • මණිඅක්ඛික නාරජු විසින් නැවත වරක් ලක්දිවට වඩින ලෙස බුදුරජාණන්වහන්සේට ආරාධනා කිරීම
වෙසක් පොහොය (මැයි)
  • සුමේද තාපසතුමා දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ගැනීම
  • තෙමඟුල (සිදුහත් කුමාරෝප්පත්තිය, බුදුවීම, පිරිනිවන්පෑම)
  • බුදුරජාණන්වහන්සේගේ තෙවන ලංකාගමන (බුද්ධත්වයෙන් 8 වෙනි වසරේ කැළණියට)
  • සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනල සිරස මත ශ්‍රීපාදය පිහි‍ටුවීම
  • බුදුරජාණන්වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කිරීම
  • අග්‍ර උපස්ථායක වූ ආනන්ද හිමියන්ගේ පරිනිර්වාණය
  • රුවන්වැලි මහා සෑයේ වැඩ ආරම්භකිරීම
  • විජයාගමනය - විජය කුමරු 700ක් පිරිස සමඟ දිවයිනට ගොඩබැසීම
  • දෙවනපෑතිස් රජුගේ දෙවන අභිෂේකය
පොසොන් පොහොය (ජුනි)
  • මහින්දාගමනය
  • මිහිඳුහිමිගේ ප්‍රථම ධර්මදේශනය(දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු 40000ක පිරිසකට චුල්ලහස්ථිපදෝපම සූත්‍රය දේශනා කිරීම)
  • ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව
ඇසළ පොහොය (ජූලි)
  • සිදුහත් කුමරු මව්කුස පිළිසිඳගැනීම
  • අභිනිෂ්ක්‍රමණය
  • රාහුල කුමරුගේ උපත
  • කිසාගෝතමිය විසින් නිබ්බුත පද කීම
  • ප්‍රථම ධර්මදේශනය (දම්සක් පැවතුම් දේශනාව)
  • බුදුසසුනේ ප්‍රථම වස්සූපගමනය
  • ගණ්ඩබ්බ රුක් මුලදී තීර්ථකයන්ගේ මානය බිඳීමට  යමාමහ පෙළහර පෑම
  • තව්තිසා දෙව්ලොවදී මාතෘ දිව්‍ය පුත්‍රයා ප්‍රධාන දෙවියන්ට අභිධර්මය දේශනා කිරීම
  • ප්‍රථම ධර්ම සංගායනාව සඳහා වැඩකටයුතු ආරම්භ කිරීම (බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු මහා කාශ්‍යප රහතන්වහන්සේ ප්‍රධාන රහතන්වහන්සේලා 500කගේ සහභාගිත්වයෙන් සහ අජාසත් රජුගේ දායකත්වයෙන්)
  • ලක්දිව ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කිරීම
  • අරිට්ඨ කුමරු ඇතුලු 50 දෙනෙකු පැවදිවීම හා උපසම්පදාව
  • මිහිඳු හිමි ඇතුලු හැට දෙනමක් ලක්දිව වස්විසීම (ලක්දිව ප්‍රථම වස්සූපගමනය)
  • කණ්ඨක චෛත්‍යය වටා කරවූ ඇටසැට ලෙන් පූජාව
  • රුවන්වැලි සෑ රදුන්ට මුල්ගල තැබීම
  • රුවන්වැලි සෑයේ ධාතු නිධානය
  • විහාරස්ථානවල වස් ආරාධනය
  • මහනුවර දළදා පෙරහැරේ ආරම්භය
  • කතරගම ඇසළ පෙරහැර
  • සියම් මහ නිකායේ උපසම්පදාව ආරම්භ කිරීම (කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සියම් රටෙන් උපාලි තෙරුන් ඇතුලු සංඝයා ගෙන්වාගෙන)
නිකිණි පොහොය (අගෝස්තු)
  • පසු වස් එළඹීම (ඇසල පෝය දින වස් සමාදන්වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා වස්සමාදන්වීම)
  • ධර්ම භාණ්ඩාගාරික සහ අග්‍ර උපස්ථායක ලෙස නම් දැරූ ආනන්ද හිමියන් රහත්වීම
  • ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භකිරීම
බිනර පොහොය (සැප්තැම්බර්)
  • භික්ෂුණී සාසනය ආරම්භ කිරීම
වප් පොහොය (ඔක්තෝබර්)
  • බුදුරජාණන්වහන්සේ තව්තිසාවේ සිට සංකස්ස නුවරට වැඩමවීම
  • මෛත්‍රී බෝධිසත්වයන් පැවදිවීම
  • සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අග තනතුර ප්‍රධානය කිරීම
  • සංඝමිත්තා තෙරණිය වැඩමවීමට අරිට්ඨ ඇමතිවරයා ඉන්දියාවට පිටත්වීම
  • මිහිඳු හිමිගේ අනුදැනුම ඇතිව මහාරිට්ඨ මහරහතන්වහන්සේ විසින් ථූපාරාමයේදී විනය පිටකය සංගායනා කිරීම
  • ජය ශ්‍රීමහා බෝධි අංකුරය පිහිටවීම
  • වස් පවාරණය කිරීම සහ කඨින පිංකම් ආරම්භ කිරීම
ඉල් පොහොය (නොවැම්බර්)
  • ප්‍රථම ධර්මදූත සේවය ලෙස රහතන්වහන්සේලා 60 නමක් ධර්ම ප්‍රචාරය ඇරඹීම
  • බුදුරජාණන්වහන්සේ  තුන් බෑ ජටිලයන් වෙත වැඩමවීම
  • මෛත්‍රී බෝධිසත්වයන් විවරණ ලබාගැනීම
  • සැරියුත් හිමියන්ගේ මෑණියන් සෝවාන් මාර්ගඵලයට පැමිණීම
  • සැරියුත් හිමියන් පිරිණිවන් පෑම
  • මහින්දාගමනයෙන් පසු ප්‍රථම දාගැබ වූ ථූපාරාමය ඉදිකිරීම ඇරඹීම
  • අවසාන කඨින පූජා දිනය (චීවර මාසයේ අවසාන පෝය දිනය) සහ
    පසු වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා වස් පවාරණය කිරීම (උන්වහන්සේලා කඨින චීවර භාරගන්නේ නැත.)
උඳුවප් පොහොය (දෙසැම්බර්)
  • සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් ‍රැගෙන  ලංකාවට පැමිණීම
  • ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම (අනුලා බිසව ඇතුළු 500ක් කාන්තාවන් පැවදි කරවීමෙන්)
  • ලක්දිව ප්‍රථම භික්ෂුණී ආරාමය ඇතිවීම
  • දහ අට වෘත්තියක කාර්මික ශිල්පීන් පැමිණීම


විශේෂ ස්තූතිය : රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති කොටනෙළුවේ පුඤ්ඤානන්ද හිමිට සහ සුරත් සමරකෝන් මහතාට


read more "පාලොස්වක සඳ පායනු වැන්නේ"