Tuesday, September 4, 2012

මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය


නොදු‍ටු ගැමි සුවඳ
කාලෙකට පස්සෙ ලැබුනු නිවාඩුවේදී මාතර ප්‍රදේශයේ සංචාරය කරන්න මට සිතුනා. ඒ කාලෙකින් එහි ගියෙ නැති නිසා නොවේ. මගේ නෑයින් බහුතරයක් සිටින නිසාමත් නොවේ. මා අවංකවම ගැමි සුවඳට ප්‍රියකරන නිසාවෙන් සහ දකුණේ ආගන්තුක සත්කාරයට ප්‍රිය කරන නිසාවෙනි.
කුඩා කාලයේ දෙමාපියන් එක්ක සිංහල අවුරුද්දට මාතර ගිය හැටි මට සිහිවේ. එදා මාතර වීදි වල ඉඳහිට හෝ බක්කි කරත්ත, ගොන් කරත්ත, තෙල් කරත්ත ගිය අපූරුව මට මතකය. කොහු අඹරන යන්ත්‍ර තුබූ ගෙවල් තිබුනා හොඳින් මතකය. තෙල් සිඳින සෙක්කු ගෙවල් තුබුනා යාන්තමින් වාගේ මතකය. අවාසනාවකට අද ඒ කිසිවක් මාතරදී දැක ගැනීමට හැකිවුනේ නෑ. අප එදා රිසි සේ විනෝද වූ පොල්හේන වෙරල පවා අද වාණිජකරණය වෙලා තිබුනා. එදා මා විඳි සැබෑ ගැමි සුවඳ අද අතීතයට එක්වී හමාරයි.

සොයාගිය ගැමිකම
මාතර සිට ආපසු එන ගමනේදී ඒ අතීත ගැමි සුවඳ නැවත විඳීමට මා වාසනාවන්ත වුනා. ඒ කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරය තුලදී.  මාර්ටින් වික්‍රමසිංහ යනු කවුදැයි කීමට මම කාලය මිඩංගු කරන්නේ නෑ. එතුමා ගැන සඳහන් මූලාශ්‍ර අන්තර්ජාලය තුල එමටයි.
ගාල්ලේ සිට පැමිණෙනවා නම්, උණව‍ටුන, තල්පේ, හබරාදුව වැනි නගර පසු කල විට කොග්ගල ප්‍රදේශය හමුවෙනවා. ඒ ආසන්නයේ A2 මාර්ගයට යාබදව මේ සුන්දර ඉඩම පිහිටා තිබෙනවා.

මේ ජන කෞතුකාගාරය තුල  සිංහල ජන සංස්කෘතියේ උරුමය විදහා පාන කෞතුක භාණ්ඩ රාශියක් දක්නට ලැබෙනවා.
ධීවර, කොහු, මැටි කර්මාන්ත, පාරම්පරික ආයුර්වේද උපකරණ, රූකඩ කලාව හා අතීත ගැමි ජීවන රටාවට අදාල කෞතුක වස්තූන් මෙහි ප්‍රදර්ශණයට තබා තිබෙනවා. මෙහි ඇතුලත ඡායාරූප ගැනීමට නම් අවසරයක් නෑ.

කෞතුකාගාරයට පි‍ටුපසින් ඉඩමේ තීරුවක් වෙන්වෙලා තිබුනේ පැරණි යාන වාහන එකතුවකට.

කෞතුකාගාරයට පි‍ටුපසින් පිහිටියේ මාර්ටින් වික්‍රමසිංහ මහතා ජීවත් වූ නිවස. එය ඉදිරිපිට මෙසේ සඳහන් පුවරුවක් දක්නට ලැබුනා.
"එවකට කොග්ගල, ගෙවල් දහසකින් යුත් දැකුම්කලු ගම්මානයක් වී ය. පන්සල, ගුරු ගෙදර, වෙද ගෙදර, ඔපිසර ගෙදර එගම වැදගත් තැන් වූහ.
1942 දෙවැනි ලෝක යුද්ධ කාලයේ මෙගම වැසියන් පැය 24ක් ඇතුළත ඉවත් කොට ගෙවල් සියල්ල බිඳ දමා ගුවන් තොටක් හා හමුදා කඳවුරක් පිහි‍ටුවන ලදී. මාර්ටින් වික්‍රමසිංහ මහතා උපන් මේ නිවස පමණක් එදා ඉතිරි වූයේ එහි සොඳුරු පෙනුමට ඇලුම් කළ සුදු නිලධාරිනියක එය සිය නිල නිවස ලෙස යොදාගත් හෙයිනි. අහම්බෙන් වූ එම සිදුවීම ජාතියේ වාසනාවක් යයි අද හැඟේ.
එකල ගිංපතලිය නමින් හැඳින්වූ ඉඩමේ පිහිටි මේ නිවස බ්‍රිතාන්‍ය හමුදා ඉවත්ව යාමෙන් පසු ලඳු කැලෑවෙන් වැසී ගියේය. 1962 දී එවකට පැවති රජය මඟින් මාර්ටින් වික්‍රමසිංහ මහතා වෙත ආපසු භාරදෙන ලද වසර දෙසීයක් පැරණි මේ නිවස හා ඉඩම එතුමාගේ අභාවයෙන් පසුව ජාතික උරුමයන් වශයෙන් පවත්වාගෙන යනු ලබන්නේ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසිනි."

ටෙලිවිෂන්, පරිගණක, දුරකතන වලින් තොර වූ ඒ අවදිය කොයි තරම් සුන්දර වන්නට ඇත්දැයි මට සිතුනා.

1962 දී නිවස ආපසු භාර දෙනවිට පැවතියේ මේ ආකාරයෙනි.

මාර්ටින් වික්‍රමසිංහ මහතා පරිහරණය කරන ලද ගෘහභාණ්ඩ සහ උපකරණ රාශියක් එහි ප්‍රදර්ශනයට තබා තිබෙනවා. ඒ මහතා උපන් නිවසේ මැද කාමරය අසල "උපන්දා සිට" කෘතියේ අඩංගු මේ ඡේදය සඳහන් වුනා.
"මා උපන් දිනයේ අඩවන් කරන ලද දොර ඇති කාමරයෙහි උන් වින්නඹුව 'සරම' යයි කියනු ඇසූ තාත්තාත් සහෝදරියනුත් බෙහෙවින් සන්තෝෂ වූහයි මගේ නෑයන් කියනු මා නොයෙක් වර අසා ඇත. ඔවුන් එතරම් ප්‍රීති වූයේ පිට පිට කම්බා අටක් බිහිකළ අම්මා වැදු එකම 'සරම' මා බැවිනි"

නිවසේ මැද කාමරය ඉදිරියෙන් තිබුනේ කිරිබත් හැඩයට ඇතිරූ හත‍රැස් පිඟන් ගඩොල් සහිත කෑම කාමරයයි. සමරු සටහන්, ඡායාරූප හා පොත්පත් නිවසේ පි‍ටුපස කොටසේ ප්‍රදර්ශනයට තබා තිබුනා.
නිවසට දකුණු පැත්තෙන් මාර්ටින් වික්‍රමසිංහ සමාධිය පිහිටල තිබුනා.

ඉහත මැද ඡායාරූපයේ තියෙන්නේ පැ‍රැන්නන් තෙල් සිඳීමට යොදාගත් සෙක්කුවක්.

වෙලාව සවස 5 ට ආසන්නයි. අපට මේ සුන්දර භූමි භාගයෙන් සමුගැනීමට කාලය හරි.  සිත නැත සමු දෙන්නට. මෙයයි අපේ අනන්‍යතාවය. කෙසේ හැර යන්නද..... අපේකම!

සැ.යු. - මෙහි එන සියලු ජායාරූප මා විසින් ලබාගත් ඒවා බවත් ඒවායේ අයිතිය මා සතු බවත් මතක් කරමි.

7 comments:

  1. හනී හරි සෝක් තැනක්...

    ReplyDelete
    Replies
    1. ඔව්. ගොඩක් ලස්සන තැනක්.

      Delete
  2. මම මාතර.ඒත් මම තවමත් ගිහින් නැහැ මඩොල් දූව බලන්නවත්. නියම ඔත්තුව. අපි ලබන මාසේ වැඩිහිටි සමිතියෙන් මඩොල්දූව බලන්න යනවා.ඒ ගමන් මෙහාටත් ගොඩ වැදිල එන්නම්....ස්තූතියි ගොඩාක්.

    ReplyDelete
  3. ස්තුතියි ඔයාට මේ කළ මෙහෙයට.
    මම පය තියපු, හදවතට දැනුනු බිමක්. ලංකාවේ ජීවත් වෙන කෙනෙක් එක වරක් හරි මේ බිමට ගිහිල්ල බලන්නම ඕන. මේ දැවැන්ත මිනිසා ලඟ අපි කොච්චර පුංචිද කියල දැනෙනව හැම අතින්ම.
    මට මතක විදිහට ඔය ඉස්සරහ කාමරයෙ තියෙනව වික්‍රමසිංහ මහත්තයගෙ ඇස් කණ්ණාඩිය හා පොතක් ඒක තියෙන විදිහට හිතෙන්නෙ මේ දැන් එතුමා පොත බල බල ඉඳල එලියට ගිහල්ල වගේ.

    ReplyDelete
  4. කියන්නත් ලැජ්ජයි.ලංකාවේ ඉඳගෙනත් තාමත් මේ තැනට ගිහින් නෑ කියලා :(

    ReplyDelete
  5. මෙතන හරිම අපූරු තැනක්. මමත් කීප වතාවක්ම ගිහින් තියෙනවා. මාටින් වික්‍රමසිංහ මහත්තයා උපන් තිඹිරිගෙය පවා තාම එහි සුරක්ෂිතව තියෙනවා. ගැමි ගෙදරක තියෙන අපූරු සංහිඳියාව මෙතනට ගියාම හොඳට දැනෙනවා. ඒ වගේම කොග්ගල වෙරල තීරයත් හරිම අපූරු සජීවී තැනක්. ඒ ගැන මම ලියපු ලිපියත් බලන්න. http://sobaroo.blogspot.com/2012/05/blog-post.html

    ReplyDelete
  6. වටින තොරතුරු ගොඩක්, ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට !

    ReplyDelete