Tuesday, December 21, 2021

මන්නාරම් පිටි වැල්ලේ... මදටිය වැල් ඔංචිල්ලේ....

අවුරුද්දකට අධික විරාමයකින් පස්සෙ ඔන්න මම අදත් ආවා සුපිරි සංචාරක අත්දැකීමක් එක්ක. අද අපි යන්නෙ මන්නාරමට. මන්නාරම කිව්වම ගොඩක් දෙනෙක්ගෙ හිතේ ඇ‍ඳෙන්නෙ දැඩි අව්-රශ්මිය සහ වියලි කලාපයට උරුම කර්කශ පරිසරයක්. ඒත් අපි ගිය දවසේ ඉතා සෞම්‍ය කාලගුණයක් මන්නාරම් දූපතේ පැවතියා. එය සිතට මෙන්ම ගතටත් එක් කලේ ප්‍රබෝධමත් හැඟීමක්! 



මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔන්චිල්ලේ
කොණ්ඩෙ කඩන් හඳට අඬන් සිංදු කියන්නේ
කුණ්ඩුමණී....

එන්න මාත් එක්ක. ෆ්‍රෙඩී සිල්වා පණ පෙවූ ඒ කුණ්ඩුමණිය හමුවීමට යාමට.
කොළඹ ඉඳන් මන්නාරමට යන ඔබ පලමුව අනුරාධපුරයටත්, එතැනින් මැදවච්චිය හරහා A14 මාර්ගය ඔස්සේ මන්නාරමටත් ගමන් කල යුතුයැයි මම යෝජනා කරනවා. ඒ පුත්තලමේ සිට විල්පත්තු අභයභූමිය හරහා වැ‍ටුනු වෙරළාසන්න මාර්ගය සාමාන්‍ය වාහනයකට පහසුවෙන් ගමන් කිරීමට යෝග්‍ය නොවන නිසා. ඇතැම් කාලවලදී මේ හරහා කිසිඳු වාහනයකට ගමන් කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ.
හොඳයි, මන්නාරම හා ඒ අවට නැරඹීමට ඇත්තේ මොනවාද? ඒ ප්‍රශ්නයට උත්තරය මේ සිතියමේ තියෙනවා.
මේ තියෙන්නේ මඩු දේවස්ථානය. මන්නාරම දූපතට කි. මී. 50ක් මෙපිටින් තියෙන මඩු දේවස්ථානයට අපි ලඟාවෙනවිට උදෑසන 10 පමණ උනා. අවුරුදු 400කට අධික ඉතිහාසයකට හිමිකම් කියන මඩු පල්ලිය මුලින් තිබිල තියෙන්නේ පත්තිනි දේවාලයක් විදියට. පත්තිනි දෙවියන් වෙනුවෙන් දෙවොල් මඩු ශාන්ති කර්මය කළ නිසාවෙන් "මඩු" කියන නමත්, ඒ අවට විශාල වශයෙන් තිබූ මරද/මරත ගස් නිසාවෙන් "මරද" යන නමත් ලැබී අවසානයේ "මරද මඩු" දේවස්ථානය ලෙස මෙය නම් කෙරී තියෙනවා. 1870 දශකයේදී මරිය මාතාව වෙනුවෙන් මෙම දේවස්ථානය ඉදිකෙරී තියෙනවා. එමෙන්ම, එහි වර්ථමාන ගොඩනැගිල්ල 1944 දී ඉදිකොට තිබෙනවා. මඩු දේවස්ථානය වඩාත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ මඩු මංගල්‍යය නිසාවෙන්. 1870 සිට මේ දක්වා සෑම වසරකම අගෝස්තු මාසයේදී ලක්ශ සංඛ්‍යාත ක‍තෝලික බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් මෙකී මඩු මංගල්‍යය පැවැත්වෙනවා.
මඩු දේවස්ථානයට සමුදුන් අපි ඊලඟට නැවතුනේ යෝධ වැව අසල. පටලවගන්න එපා. මම මේ කියන්නේ කලා වැවත් තිසා වැවත් යාකරමින් ධාතුසේන රජතුමා හදවපු යෝධ ඇල ගැන නෙවෙයි. ධාතුසේන රජතුමා විසින් මල්වතු හරස් කිරීමෙන් ඉදිකරවපු යෝධ වැව ගැන. විශාලත්වයෙන් කලා වැවට පමණක් දෙවෙනි වන මේ මහා වැවේ ජල ධාරිතාව අක්‌කර අඩි 26000 ක්. එමෙන්ම මෙහි ජල පෝෂක ප්‍රදේශය අක්‌කර 14,771 ක් බවත් දැනගැනීමට ලැබුනා. සහල් නැළිය නමින් ප්‍රකට මහා කෙත්යාය පෝෂණය වෙන්නෙත් මේ මහා ජලාශයේ වතුරින්. මන්නාරමේ හදවත බඳු යෝධ වැවට සමුදුන් අපි අපේ නවාතැන්පොල වෙත සේන්දු උනා. 
දිවා ආහාරයෙන් පසු ලබාගත් කෙටි විරාමයෙන් අනතුරුව අපි නතර උනේ මෙතන. මේ තමයි මන්නාරම බූරුවන් සු‍රැකීමේ මධ්‍යස්ථානය. කල්පිටිය හැරුනු කොට ලංකාවේ වැඩිම බූරු ගහනයක් සිටින්නේ මන්නාරමේ. නගරයේ ඔබ මොබ සැරිසරන බූරුවන් ඊට කදිම සාක්ශියක්. රාජ්‍ය නොවන සංවිධානයක් මගින් පාලනය වන මේ බූරුවන් සු‍රැකීමේ මධ්‍යස්ථානය මගින් බූරුවන් සු‍රැකීමට අමතරව අත්කම් නිර්මාණ, අධ්‍යාපනික වැඩමුලු, කාබනික භෝග වගාව වැනි වැඩකටයුතු කීපයක්ම සිදුවනවා. ලංකාවේ ඇති එකම බූරු සු‍රැකීමේ මධ්‍යස්ථානය මෙය බවත් දැනගැනීමට ලැබුනා. මෙහිදී බූරුවන් සුරතල් කිරීමටත්, ආහාර ලබාදීමට සහ බූරුවන් සමඟ ඡායාරූප ගැනීමටත් නරඹන්නන්ට අවස්ථාව සැලසෙනවා. 0712635444, 0706131234 හෝ 0718791234 යන දුරකතන අංක වලට ඇමතීමෙන් ඔබටත් මෙය නැරඹීමට අවස්ථාවක් ලබාගැනීමට පුලුවන්.
මන්නාරම් බූරුවන්ගෙන් සමුගත් අපි ඊලඟට නැවතුනේ තලෙයිමන්නාරම් ජැටිය අසල. ඊට යාබදව ඇති ප්‍රදීපාගාරය තලෙයිමන්නාරම් තොට දුම්රිය ස්ථානයේ සිට බැලූවිට දිස් වෙන්නේ මෙහෙමයි.
තලෙයිමන්නාරම් ජැටියේ කතාව ඉතා රසවත්! ඔබ දන්නවාද? එදා ඉන්දියාවත් ලංකාවත් අතර ප්‍රවාහන සේවයක් පැවතිලා තියෙනවා. තලෙයිමන්නාරම් තොට දුම්රිය ස්ථානයත් ඉන්දියාවේ ධනුෂ්කොඩි නගරයත් අතර මෙය ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙහි මූලික අරමුණ වෙලා තියෙන්නේ භාණ්ඩ සහ ඉන්දියානු වතු කම්කරුවන් ප්‍රවාහනය කිරීම. මේ සඳහා ෆෙරි යාත්‍රාවක් යොදාගෙන තිබෙනවා. 1914දී ඇරඹි මේ ප්‍රවාහන සේවාව නතර වී ඇත්තේ 1964දී ධනුෂ්කොඩි නගරයට බලපෑ අති ප්‍රභල සුළි සුළඟක් හේතුවෙන්. අනතුරුව රාමේෂ්වරම් දුම්රිය ස්ථානය එක් කෙලවරක් ලෙස යොදා ගනිමින් 1984 දක්වාම මෙය පවත්වාගෙන ගොස් තිබෙනවා.
මේ තියෙන්නේ අපේ ඊලඟ නැරඹුම්පොල. ආදම් සහ ඊවාගෙ සොහොන. ආදම් සහ ඊවා යනු කවුරුන්දැයි ඔබ අසා ඇති. ඇතැම් ආගමික විශ්වාසයන්ට අනුව යෙහෝවා දෙවියන් විසින් මවන ලද ලොව ප්‍රථම මානවයන් වූයේ මේ දෙදෙනායි. දෙවියන්ට වෙන් වූ තහනම් ගසක ගෙඩි කෑ වරදට ඔවුන් දෙදෙනා "ඒදන්" නමැති උයනෙන් පි‍ටුවහල් කරනවා. එතැන් පටන් ලොව පුරා සැරිසරමින් කල්ගතකල ආදම් සහ ඊවා තම ජීවිතයේ අවසාන කාලයේ ඉන්දියාවේ සිට මන්නාරමට පැමිණි බවට ජනප්‍රවාදයක් පවතිනවා. ඉන්දියාවේ සිට මන්නාරමට වැ‍ටුනු රාම සේතු වැලිපරයට "ආදම්ගේ පාලම" ලෙස නම් ලැබී ඇත්තේ එහෙමයි. තලෙයිමන්නාරම් ජැටියත් ආදම්ගේ පාලමත් අතර ඇති මේ සොහොන් යුගලෙන් එකක් අඩි 40කුත් අනික අඩි 38කත් දිගින් යුක්ත වෙනවා. ඒ අසල කුඩා ඉස්ලාම් පල්ලියකුත් පිහිටල තිබුනා. එහි සිටි පූජකයෙකු යැයි සිතිය හැකි තරුණයෙක් අප සමඟ මෙසේ කියා සිටියා.
"නිවාඩු දවස් වල ගොඩක් කට්ටිය මෙහෙ එනව මාතියා.. දරුවො නැති කට්ටිය දරුවො ඉල්ලල පූජාව එහෙම තියෙනව මාතියා.. ඔන්ද ආස්කන් තියෙන තැනක්..."
තලෙයිමන්නාරමට සමුදුන් අපි නැවතත් මන්නාරම නගරයට පිටත් උනා. ඒ අතරමඟදී මන්නාරම සුළං බලාගාරය නැරඹීමටත් අපි අමතක කලේ නෑ. මේ තියෙන්නේ එහිදී මගේ කැමරා කාචය ක්‍රියාත්මක වුනු ආකාරයයි.
බලාගාරය අසල සුන්දර මුහුදුතීරයත්, ඉන් හමා ආ සුලඟත් අප තුල ඇති කලේ චමත්කාරජනක හැඟීමක්. දැන් වේලාව සවස 5ට පමණ ඇති. ඒ මන්දාරම් සන්ද්‍යාවේ මන්නාරම් පිටි වැල්ල මත අප බොහෝ වේලාවක් ගත කලා. අනතුරුව අප අපේ නවාතැන්පොල බලා පිටත් උනේ සුවිශාල සංචාරක අත්දැකීම් ප්‍රමාණයක් එකතුකරගනිමින්.
අද අපේ සංචාරයේ දෙවෙනි දවස. මේ තියෙන්නේ අද දවසේ අපේ පලවෙනි නැරඹුම් පොල. මන්නාරම බයෝබැබ් ගස. මීටර් 20කට ආසන්න වටප්‍රමාණයකිනුත් මීටර් 10කට ආසන්න උසකිනුත් යුතු මේ ගස අවුරුදු 700කට වඩා පැරණියි. ක්‍රි.ව. 1277දී අරාබි වෙළෙන්දන් විසින් ඔ‍ටුවන්ගේ ආහාරය සඳහා මෙම බයෝබැබ් ගස් රෝපණය කල බව පැවසෙනවා. ඒ වගේම, ලංකාවේ දැනට ඉතිරිව ඇති බයෝබැබ් ගස් 40න් 34ක්ම මන්නාරම් දූපත තුල පිහිටි බව කියවෙනවා. ඒ අතුරින් පැරණිම සහ වඩාත් ආකර්ශණීයම බයෝබැබ් ශාකය මෙය වනවා. අප්‍රිකානු සම්භවයක් සහිත මේ ගස උඩුයටිකුරු ශාඛය ("upside down tree") යන අනුවර්ත නාමයෙන්ද හැඳින්වෙනවා. ඒ කොල අඩු කාලයේදී ගසේ අතු මූල පද්ධතිය ලෙස පෙනෙන නිසාවෙන් බවයි දැනගැනීමට ලැබුනේ.
අනතුරුව අප පිටත් උනේ මන්නාරම ලන්දේසි බලකො‍ටුව වෙතට. පෘතුගීසීන් විසින් මුලින්ම මෙය 1560දී ඉදිකර තිබෙනවා. අනතුරුව 1658දී මෙය අත්පත් කරගන්නා ලන්දේසීන් 1696 වනවිට මෙය පුලුල් කර ප්‍රතිසංස්කරණය කරනවා, අවසානයේ 1795 වනවිට ඉංග්‍රීසීන්ට නතුවන මෙය ඔවුන් විසින් සිය පරිපාලන කටයුතුවලට යොදාගෙන තිබෙනවා. බොහෝ දුරට අබලන්ව විනාශ වී ඇති මන්නාරම බලකො‍ටුව, මේ වන විට ප්‍රතිසංස්කරණය වෙමින් පවතිනවා. පහල දකුණු ඡායාරූපයේ දැක්වෙන්නේ මන්නාරම දූපතත් රටේ සෙසු කොටසත් යාවන පාලම මන්නාරම් කො‍ටුවේ සිට දිස්වෙන ආකාරයයි.
මන්නාරම් කො‍ටුවට සමුදුන් අපි නැවත අනුරාධපුරය බලා පිටත් උනා. ඒ අතරමඟ විශාල හමුදා ආරක්ෂාවක් යොදවල තිබුනා. ස්ථාන 6කදී හෝ 7කදී අප කණ්ඩායම දැඩි හමුදා සෝදිසි කිරීම්වලට භාජනය උනා.
එක්තරා අවස්ථාවකදී එතන උන් හමුදා නිල දරුවෙකුගෙන් ඊට හේතුව දැන ගැනීමට පුලුවන් උනා.
"ඉන්දියාවෙ ඉඳන් බෝට්‍ටු වලින් හොර බඩු ගේනව මහත්තයා... රත්තරන්, අයිස් වගේ මත්ද්‍රව්‍ය තමයි වැඩිපුර ගේන්නෙ.. ලස්සන ගෑනු ලමයි.. සමහර වෙලාවට ලමයිත් එක්ක පවුල් පිටින් එන උදවිය වගෙත් මෙහෙම හොරබඩු ප්‍රවාහනය කරනවා. කොහොමත් WP අංක තියෙන වාහනයක් නම් අනිවාර්ය්‍යෙන් චෙක් කරනවා..."

මන්නාරම් දූපතට සමුදුන් අපි නතර උනේ වන්කලායි කුරුළු අභයභූමිය අසල. වන්කලායි කියන්නේ සංක්‍රමණික හා ඒකදේශික පක්ශීන් නැරඹීමට ඇති කදිම පරිසර පද්ධතියක්. වන්කලායි හරහා අපි ගියේ අරිප්පු බලකො‍ටුව වෙතට. මන්නාරම් බලකො‍ටුව සේම මෙයත් පෘතුගීසින් විසින් සාදන ලදුව 1658 දී ලන්දේසීන් විසිනුත් අනතුරුව ඉංග්‍රීසීන් විසිනුත් අත්පත් කරගෙන තියෙනවා. මන්නාරම් මුහුදේ මුතු කිමිදීමෙන් ලබන ආදායම සුරක්ෂිත කිරීමට මෙම බලකො‍ටුව ඉදිකර තිබෙනවා. 
මෙහි ඇති වැදගත්කම එය පමණක්ම නෙවෙයි. රොබට් නොක්ස් සහ ඔහුගේ පියා (පියාගේ නමත් රොබට් නොක්ස්) ගැන ඔබ අසා ඇති. ඔවුන් ලංකාණ්ඩුවේ සිරකරුවන් වෙන්නේ 1659දී. 1661දී මහලු රොබට් නොක්ස් මිය යනවා. ඉන් අනතුරුව 1679 දී ලන්දේසීන්ගේ උදව් ඇතුව තරුණ රොබොට් නොක්ස් එංගලන්තයට පැන යනවා. එසේ පැනයන්නේ මේ අරිප්පු බලකො‍ටුව හරහා බව ඔහු තම සුප්‍රකට ග්‍රන්ථයේ සඳහන්කර තියෙනවා. කණගා‍ටුදායක කාරණය උනේ මේ ඓතිහාසික අරිප්පු බලකො‍ටුව අද වනවිට විනාශ මුඛයට පත් වී තිබීමයි. ප්‍රතිසංස්කරණයට හෝ ආරක්ශාවට කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගෙන මෙය අතහැරදමා තිබෙනවා. ගම්මුන් මේ හරහා අඩිපාරක් සකස් කරගෙන තිබෙනවා. මෙහි ආරක්ශාව වෙනුවෙන් බලධාරීන් වහා ක්‍රියාත්මක නොවුනහොත් ඉදිරි දශකය තුල අරිප්පු බලකො‍ටුව සම්පූර්ණයෙන් බිමට සමතලා වී යනු ඇති.
මේ තියෙන්නේ ඩොරික් බංගලාව. 1801-1804 අතර කාලයේදී පලමු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුනු ෆ්‍රෙඩ්‍රික් නෝර්ත් විසින් මෙය ඉදිකරවා තියෙනවා. ග්‍රීකයේ ඩොරික් ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඉදිකර ඇති නිසා මෙය "ඩොරික් බංගලාව" ලෙස හඳුන්වනවා. අරිප්පු බලකො‍ටුව ආසන්නයෙන් තිබූ මේ ඩොරික් බංගලාවටත් උරුම වී තිබුනේ එකම ඉරණමක්. බොහෝ දුරට ගරා වැටී තිබුනු මෙය ආරක්ශා කිරීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් බලධාරීන් විසින් ගෙන තිබුනේ නැහැ. ඉහල දකුණු ඡායාරූපය බලන්න. බංගලාවට පි‍ටුපසින් තිබුනු මනරම් වෙරල තීරය මගේ කැමරා කාචයේ සටහන් උනේ එහෙමයි.
ආපසු එන ගමනේදී ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරය වැඳපුදා ගැනීමටත් අපි අමතක කලේ නෑ. තන්තිරිමලේ කියන්නේ ලංකාවේ පැරණිතම ජනාවාසයක්. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර 4000කට වඩා පැරණි ලෙන් සිතුවම් ඊට සාක්ශි සපයනවා. මීට අමතරව කෞතුකාගාරයක්, සමාධිපිලිමයක්, සැතපෙන පිලිමයක්, පොත්ගුලක්, පටානඝරයක්, වසර 100කට වඩා පැරණි බෝ රුකක් (මෙය ශ්‍රීමහා බෝධි අංකුරයකින් පැන නැගුනු අෂ්ටඵල බෝ රුකක් යැයි මතයක් පවතිනවා), වෙහෙර වහන්සේ නමක් මෙහිදී අපට දැක ගැනීමට ලැබෙනවා. විජය රජ දවස උපතිස්ස ඇමතිවරයා පිහිට වූ උපතිස්ස ග්‍රාමය මෙය බව කියවෙනවා. එමෙන්ම දේවානම් පියතිස්ස රජසමයේ තිවන්ක බමුණුගම ලෙස මෙම ප්‍රදේශය හඳුන්වල තියෙනවා. සාලිය අශෝකමාලා දෙදෙනාගේ අසම්මත විවාහයයෙන් පසු ඔවුන් සැඟව සිටි ප්‍රදේශය මෙය බවත් පැවසෙනවා. පසුව දු‍ටුගැමුණු රජතුමා මොවුන් දෙදෙනාට සමාව දුන් බවත්, එහිදී සමනල හැඩැති ("තන්තිරිම") මාලයක් තෑගි කල බවත් ඒ හේතුවෙන් මේ ප්‍රදේශය තන්තිරිමලේ නම් වූ බවත් පැවසෙනවා.
සුන්දර මන්නාරම් සංචාරයකින් පසුව එදින අපි අනුරාධපුරයේ නවාතැන් ගත්තා. ඉතින් මේ සුන්දර තන්තිරිමලේ විහාරයේ සිට අදට මම ඔබෙන් සමුගන්නම්. සමුගන්න පෙර එක දෙයක් මතක් කරන්නම්. මන්නාරම කියන්නේ තවමත් සංචාරකයන්ගේ නෙත ගැටුණු තැනක් නෙවෙයි. බොහෝ තැන්වල සිටි එකම සංචාරක කණ්ඩායම අප පමණක්ම උනා. ඒත් මන්නාරම කියන්නේ දේශගුණික හා සංස්කෘතික වශයෙන් වෙනස්ම අත්දැකීමක් ලබන්න පුලුවන් ප්‍රදේශයක්. ආහාර සහ නවාතැන් පහසුකම් අවශ්‍ය ප්‍රමාණයට තිබුනා. ප්‍රවාහන පහසුකම් වලින්ද අඩුවක් නෑ. අපිට හමුවූ බොහෝ දෙනා හරිම මිත්‍රශීලීයි. ඉතින් නිස්කලංකව නිවාඩුවක් ගතකරන්නත් වෙනස්ම සංචාරක අත්දැකීමක් ලබාගන්නත් මන්නාරම කියන්නේ කදිම ස්ථානයක්. ඔබටත් එහි අපූර්වත්වය විඳගැනීමට ආරාධනා කරමින් සමුගන්නම් අදට. සුභ දවසක්!
read more "මන්නාරම් පිටි වැල්ලේ... මදටිය වැල් ඔංචිල්ලේ...."

Sunday, February 23, 2020

හිත මිතුරු සුලඟ ලග එන වැහි වලාවට කියන්...

ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට සුදුසු කාලය ගැන ලිපියක් ලියන්නැයි මගේ බ්ලොග් පාඨකයින් බොහෝ දෙනෙක් ඉල්ලා සිටියා. ඉතින් අද මම සූදානම් වෙන්නේ ඔවුන්ගේ ඉල්ලීම ඉෂ්ට කරන්න. ලංකාව කියන්නේ සංචාරක පාරාදීසයක්. ඒත් රටේ ඕනෑම පලාතක ඕනෑම වේලාවක සංචාරය කිරීමට සුදුසු පරිසරයක් අපට නෑ. ඒ අපේ රටට නිතර බලපාන අධික වර්ෂාව නිසා. එසේ නම් ඒ ඒ ප්‍රදේශ වල සංචාරය කිරීමට සුදුසු කාලය කුමක්ද? ඒ ගැන විමසා බලන්නට නම් ලංකාවේ වර්ෂාපතන රටාව ගැන අධ්‍යයනයක් කල යුතුයි.
ශ්‍රී ලංකාවේ වර්ෂාපතනය ප්‍රධාන ආකාර 3කට ලැබෙනවා. එම වැසි වර්ග තුන සහ එම වැසි බලාපොරොත්තු වියහැකි කාලසීමාවන් පහත පරිදි වෙනවා.
1. මෝසම් වැස්ස
      අ) නිරිතදිග මෝසම් වැස්ස (මැයි - සැප්තැම්බර්)
     ආ) ඊසානදිග මෝසම් වැස්ස (දෙසැම්බර් - පෙබරවාරි)
2. සංවහන වැස්ස (මාර්තු - අප්‍රේල් සහ සැප්තැම්බර් - ඔක්තෝම්බර්)
3. වාසුළි වැස්ස (ඔක්තෝම්බර් - දෙසැම්බර්)

අවුරුද්දේ මෝසම් වැස්ස පතිත නොවන කාල සීමාව "අන්තර් මෝසම" ලෙස හැඳින්වෙනවා. බොහෝ විට සංවහන සහ වාසුළි වැසි වැඩිපුර ලැබෙන්නේ මේ අන්තර් මෝසම් කාලයේදියි.
හොඳයි. දැන් අපි එක් එක් වැසි ඇතිවන ආකාරය සහ එම වැසි පතිතවන ප්‍රදේශ ගැන අධ්‍යයනයක් කරමු.

නිරිතදිග මෝසම් වැස්ස (මැයි  - සැප්තැම්බර්) 
රටේ නිරිතදිග ප්‍රදේශයෙන් රටතුලට ඇතුල්වෙන සුළඟ නිසා මෙම වැස්ස ඇතිවෙනවා. රටේ නිරිතදිග ප්‍රදේශයට සහ මධ්‍යම කඳුකරයට නිරිතදිග මෝසම නිසා වැස්ස ඇතිවෙනවා.













ඊසානදිග මෝසම් වැස්ස (දෙසැම්බර් - පෙබරවාරි)
රටේ ඊසානදිග ප්‍රදේශයෙන් රටතුලට ඇතුල්වෙන සුළඟ නිසා මෙම වැස්ස ඇතිවෙනවා. රටේ උතුර, නැගෙනහිර සහ උතුරු මැද ප්‍රදේශ වලට ඊසානදිග මෝසම නිසා වැස්ස ඇතිවෙනවා.












සංවහන වැස්ස (මාර්තු - අප්‍රේල් සහ සැප්තැම්බර් - ඔක්තෝබර්)
"අද නම් හරි රස්නෙ දවසක්. හවසට වහීවි වගේ..." මේ අපි හොඳින් අසා පුරුදු කියමනක්. අව් රශ්මිය වැඩි දවස්වල සිදුවන සංවහන ක්‍රියාවලිය  නිසා ඇතිවන වර්ශාව මේ නමින් හැඳින්වෙනවා. බොහෝ විට මේ සංවහන ක්‍රියාවලිය නිසා සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි අපේක්ශා කරන්න පුලුවන්. බක්මහ අකුණු ලෙස හැඳින්වෙන්නේ මෙයයි. සංවහන ක්‍රියාවලිය යනු කුමක්දැයි නොදන්නවා නම් පහල  දකුණු රූපසටහන බලන්න. මේ වැස්ස වැඩිපුර බලාපොරොත්තු විය හැක්කේ අන්තර්මෝසම් කාල වලදීයි. පහල වම් ඡායාරූපයේ දැක්වෙන්නෙ පලමු අන්තර්මෝසම් කාලයේදී, එසේත් නැත්නම් මාර්තු-අප්‍රේල් මාසවලදී ලංකාවේ වර්ෂාපතන සිතියමයි.


වාසුළි (ඔක්තෝම්බර් -දෙසැම්බර්) 
මෝසම් සහ සංවහන වැස්ස හැරුනුකොට ලංකාවට වැසි ලැබෙන අනිත් ක්‍රමය තමයි වාසුළි. වාසුළි කියන්නේ ඉතාමත් ප්‍රචණ්ඩකාරී වැසි වර්ගයක්. බෙංගාල බොක්කේ කැලඹීම නිසා ඇතිවන වැස්ස ගැන ඔබ අසා ඇති. බෙංගාල බොක්ක කැළඹෙන්නේත් ඒ නිසා ලංකාවට වැස්ස ඇතිවන්නේත් කෙසේද?
බෙංගාල බොක්කේ සාගර ජලයත් ඒ අවට වාතයත් සමහර කාලවලදී ඉතා උණුසුම් තත්වයකට පත්වෙනවා. මේ උණුසුම් වාතය ඉතා සැහැල්ලුයි. මේ සැහැල්ලු වාතය ඉහලට ගමන් කිරීම සිදුවෙනවා. මේ ඉහල යන උණුසුම් වාතය නිසා වලාකුළු ඇතිවෙනවා. ඒ අතර ඇතිවන අව පීඩන කලාපය දෙසට පිටතින් සුලන් ඇදී එනවා. මෙය වාසුළියක් ලෙසින් අසල තියෙන ලංකාව හරහා ඇදී යනවා. නිවර්තන සුලි සුලන් ලෙසත් මේ වාසුලි ප්‍රවාහය හැඳින්වෙනවා. වසරේ ඕනෑම කාලයක වාසුළි ඇතිවිය හැකි උනත් ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී ලංකාවට වාසුළි බලපෑම අධික බව සැලකෙනවා. එනම් දෙවන අන්තර්මෝසම් කාලය ආසන්නව වාසුළි බලපෑම වැඩිවෙනවා. පහල වම් සිතියමේ දැක්වෙන්නේ දෙවන අන්තර්මෝසම් කාලයේදී, එනම් ඔක්තෝම්බර්-නොවැම්බර් මාසවලදී ලංකාවේ වර්ෂාපතන සිතියමයි. දකුණේ දැක්වෙන්නේ විවිධ කාල වලදී ලංකාවට බලපෑ නිවර්තන වාසුළි ඇසුරෙන් සැකසුනු සිතියමක්.


භෝග වගාව කියන්නේ සංචාරයට ඍජු සම්බන්ධතාවයක් තියෙන විශයක් නෙවෙයි. ඒත්, භෝග වගාව කියන්නේ වර්ෂාපතනය සමඟ බැඳීපවතින දෙයක්. ඒ නිසා ලංකාවේ ප්‍රධාන වගාකන්න දෙක ගැන සඳහනක් කරන්නත් මේ හොඳම අවස්ථාව කියල මම හිතුවා.
පහත තියෙන්නෙ ලංකාවේ භෝගවගාව සහ ඒ හා බලපාන වර්ෂාපතනය පිලිබඳ ඇතුලත් වගුවක්.


හොඳයි. දැන් අපි නැවතත් අපේ මාතෘකාවට පිවිසෙමු. විවිධ මාස වලදී ලංකාවේ සංචාරයට සුදුසුම ප්‍රදේශ මොනවාද? ඒ ඇසුරෙන් කල අධ්‍යයනයකින් පස්සෙ මම වගුවක් පිලියෙල කරා. පහත තියෙන්නේ ඒ ඒ කාලවලදී මම සංචාරයට නිර්දේශ කරන ප්‍රදේශ.
ඔබේ ඊලඟ සංචාරය සැලසුම් කරගන්න මේ ලිපිය අත්වැලක් වෙනවා නම්... එසේත් නැත්නම් ලංකාවේ වර්ෂාපතන රටාව පිලිබඳ යම් දැනුමක් ඔබට ලැබුනා නම් මගේ සතුට එයයි. නැවත හමුවෙනතුරු සමුගන්නට අවසරයි. සුභ දවසක්!
read more "හිත මිතුරු සුලඟ ලග එන වැහි වලාවට කියන්..."

Wednesday, December 25, 2019

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ

අද අපි යනවා අවාරයේ පාසිකුඩා සංචාරය කරන්න. ඇයි අවාරයේ යන්නෙ? ඔබට එහෙම හිතෙනවා ඇති. නත්තල් නිවාඩුවට යන්න තැනක් හොයද්දි මට ඕනෙ උනේ මීට පෙර නොගිය තැනකට යන්න. ලංකාවෙ මම මෙතෙක් නොගිය තැන් නම් බොහොමයි. ඒත් ප්‍රාදේශීය වශයෙන් ගත්තම මම මෙතෙක් නොගිය දිස්ත්‍රික්ක තියෙන්නෙ බොහොම සීමිත ප්‍රමාණයක්. එයින් මම අද ‍තෝරාගන්නේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කය. මීට හරියටම වසර දෙකකට පෙර මම ඔබව පොලොන්නරු සංචාරයක් සඳහා ‍රැගෙන ගියා මතක ඇති. අද මම ඊට එහා ඔබව ‍රැගෙන යනවා. යමු මාත් එක්ක. නැවුම් සංචාරක අත්දැකීමක් විඳගන්න.
පොලොන්නරුවේ සිට පාසිකුඩා දක්වා ඇත්තේ කි.මී. 70කට අඩු දුරක්. ඒ සඳහා ඔබට පැය 1 1/2කට ආසන්න කාලයක් ගතවේවි. ඒ අතර එක යායට වැවුනු කුඹුරු, මුඩු බිම් හැරුනුකොට වෙන යමක් දැකගැනීමට ඇත්නම් ඒ ශරියා විශ්වවිද්‍යාලය (මඩකලපු විශ්වවිද්‍යාලය) පමණයි.
පාසිකුඩා එන දෙස් විදෙස් සංචාරකයින්ගේ මූලික අරමුණ වෙරලේ අසිරිය විඳගැනීම. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා ඒ සඳහා සුදුසුම කාලය ලෙස නම් කෙරෙනවා. අවාරය නිසා මුහුද තරමක් රළුවී තිබුනත් සැලකිය යුතු සංචාරකයින් පිරිසක් අප යනවිටත් පාසිකුඩා වෙරලේ දකින්න ලැබුනා.
වෙරළට අමතරව පාසිකුඩා අවට නැරඹිය හැක්කේ මොනවාද? ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න යමු මාත් එක්ක.
මේ තියෙන්නෙ මඩකලපු ප්‍රදීපාගාරය. පාසිකුඩා වෙරලේ සිට කි. මී. 35ක් දකුණින් මෙය පිහිටා තිබෙනවා. 1913දී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් නිර්මාණයකරන ලද මේ ප්‍රදීපාගාරය මීටර් 28ක් උස බව දැනගැනීමට ලැබුනා. විශේෂ ආකර්ශණයක් නොගත් කුලුණක් උනත් තවමත් මෙය රාත්‍රියේදී නැවියන්ට මග කියනවා. මඩකලපු ප්‍රදීපාගාරය නරඹන ඔබට කලපුව හරහා බෝට්‍ටු සවාරියක් යන්න පුලුවන්. එසේත් නැත්නම් ප්‍රදීපාගාරය ඉදිරිපිට ඇති වෙලඳසලෙන් තල් නිෂ්පාදන කිහිපයක් මිලදී ගන්නත් පුලුවන්.
ඊලඟට අපි නැවතුනේ කල්ලඩි පාලම ලඟ. 1924 දී ඉදිකෙරුණු මෙය ලංකාවේ පිහිටි දිගම යකඩ පාලම (මීටර් 228ක්) ලෙස හැඳින්වෙනවා. අදටත් මේ පාලම යතුරු පැදි හා පාපැදි සඳහා විවෘතව පවතින ආකාරය දැකගැනීමට ලැබුනා.

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
ඇයි ගොළු ගැහුණේ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ //

කල්ලඩි පාලම යට කලපු දිය දෙස මොහොතක් අපි නිසොල්මන්ව බලා සිටියා. ඒත් රල බි‍ඳෙන හඬ හැරෙන්න මාළුවෝ සින්දු කියන හඬක් නම් අපිට ඇසුනේ නෑ. උන් දැන් ගොළුවී ඇද්ද? එසේ නම් ඒ ඇයි? මඩකලපුව කියන්නේ දශක තුනක යුද්ධයෙන් පීඩා විඳි නගරයක්. මිනිසුන් බිම් අයිතිය වෙනුවෙන් යුධ වදිද්දී, ඒ කිසිවක් නොදත් මත්ස්‍ය කැල එදා පාලම යට සිට සතුටින් ගී ගයන්නට ඇති. එකී අරුමයත්, යුද්ධයේ ශෝකාලාපයත් ගුණදාස කපුගේ ගේ හඬින් ගීයකට පෙරලුනේ එහෙමයි.
මීලඟට අපි ගියේ මඩකලපුව කලපුව ඇතුලේ පිහිටි පුලියන්තිව් දූපතට. එහි පිහිටි ගාන්ධි උද්‍යානය තමයි ඔබ මේ දකින්නේ. උද්‍යානයට අමතරව, මඩකලපුව කො‍ටුවත්, පුස්තකාලයක්, කුඩා කෞතුකාගාරයක්, මහනගර සභාව, බන්ධනාගාරය, රෝහල, ආදී වැදගත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගනනාවක් මේ දූපත තුල පිහිටල තියෙනවා.


ඉහල වම් ඡායාරූපයේ ඔබ දකින්නේ ගාන්ධි උද්‍යානය අසල පිහිටි කුඩා කෞතුකාගාරයක්. සාමාන්‍ය නිදන කාමරයකට වඩා විශාල නොවූ මෙය කෞතුකාගාරයකට වඩා භෞතික විද්‍යාගාරයක් ලෙස හැඳින්වීමට පුලුවන්. මූලික භෞතික විද්‍යා න්‍යායන් කීපයක් ආදර්ශනය කිරීමට සැකසූ අනුරූ කීපයක් මෙය තුල දැක ගැනීමට හැකිවෙනවා. ටෙස්ලා දඟරයක්, ගම්‍යතා අවලම්භයක්, කෲක්ස් විකිරණමානයක්, වෘත්තාකාර චලන ආදර්ශකයක්, Eddy Current ටියුබයක් යනාදිය ඒ අතර වෙනවා. ඉහල දකුණු ඡායාරූපයේ දැක්වෙන්නේ මඩකලපුව ලන්දේසි බලකොටුව. මෙය 1628දී පෘතුග්‍රීසීන් විසින් ඉදිකරන ලද්දක්. 1638 මැයි 18 වන දී ලන්දේසින්ගේ පාලනයට නතුවූ මෙය 1745 වර්ෂයේ පටන්  බ්‍රිතාන්‍යයන් විසින් භාවිතකර තියෙනවා. හතරකොන මුරකුටිත්, ඇතුලත සිර කුටි, වෙඩිබෙහෙත් ගබඩාවක්, කුරුබිලි, උමං සහ වටේට පිහිටවූ කාලතුවක්කු සහිතව මේ බලකො‍ටුව ඉදිවී තිබෙනවා. අද වනවිට මෙය මඩකලපුවේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය ලෙස භාවිතා කෙරෙනවා. මඩකලපුව නගරයට සමුදුන් අපි ආපසු පාසිකුඩාහි පිහිටි අපේ නවාතැන්පොල වෙත පිටත් උනා.
පාසිකුඩා කියන්නේ සංචාරක පාරාදීසයක්. එහි බොහොමයක් හෝටල් සහ ආපනශාලා පාසිකුඩා වෙරලට යාබදව එක පොකුරට පිහිටල තියෙනවා. මේ තියෙන්නේ එකී හෝටල්වලට මධ්‍යගතව පිහිටි පොල් සංස්කෘතික උද්‍යානය. පාසිකුඩා පැමිණෙන ඔබ අනිවාර්ය්‍යයෙන්ම යා යුතු තැනක් ලෙස මා මේ පොල් උයන නම් කරනවා.



මෙය පොල් වගාකිරීමේ මණ්ඩලයට අනුබද්ධිත ආයතනයක්. මෙහිදී ඔබට පොල් වගාවේ මූලිකාංග, පොල් වගාවට බලපාන දේශගුණික හා පාරිසරික සාධක, පොල් වගාවේ ගැටලු, පොල් වර්ග, පොල් වගා ක්‍රම, පොහොර වර්ග හා පලිබෝධනාශක ක්‍රම, පොල් ආශ්‍රිත නිශ්පාදන හා ඒ හා සබැඳි වෙලඳපොල ගැටලු ආදී එකී මෙකී නොකී බොහෝ දෑ ගැන අවබෝධයක් ලබාගැනීමට හැකිවේවි.
මේ ඉන්නේ ක්ෂේත්‍ර නිලධාරී බණ්ඩාර මහත්මයා. ඔහු තමයි අපිට පොල් උද්‍යානය තුල මාර්ගෝපදේශකයා උනේ. ඔහු කියපු විදියට ඔවුන්ට තියෙන ප්‍රධාන ගැටලුව ශ්‍රමිකයින්ගේ හිඟකමලු. "හමුදාව දාල හරි මේක ගොඩගන්න පුලුවන් නම්, ලොකු දෙයක් මහත්තයෝ... එහෙම උනොත් මේක සල්ලි උල්පතක්. දැන් විනාශ වේගෙන යනව... දැන් සංචාරකයොවත් මේක බලන්න එන්නෙ නෑ..." ඔහුගේ වචන තවමත් මගේ දෙසවන් තුල දෝංකාර දෙන සේයාවක් මට දැනෙනවා.

පිට රට හාලේ බත් ටික නැත්තන්

බඩගින්නේ සිංහලයා....//
අන්තිමේදී බුදියන පැදුරත්
දැන් දැන් පිට රටින් එන්නා....//

දේශීය නිෂ්පාදන ආර්ථිකය ගොඩනැංවීම සඳහා බලධාරීන්ගේ ඇස් ඇරේවායි පතමින් සමුගන්නම් අදට. තවත් රසබර ලිපියකින් ලඟදීම හමුවෙන බලාපොරොත්තුවෙන්. සුභ දවසක්!
read more "කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ"

Saturday, September 21, 2019

කන්දේ... ලන්දේ... ගඟුලැල්ලේ පේනා තෙක් මානේ...♪♪♪

කලබලකාරී නාගරික පරිසරයෙන් මිදිල අද අපි යනවා යක්ෂයින්ගේ අඩවියට. තව විදියකින් කියනව නම්, ලංකාවේ ලස්සනම පරිසර පද්ධතියක් පසුකරමින් මහියංගනයට. මහනුවර-පදියතලාව මාර්ගය ඔස්සේ මහනුවර ඉඳන් මහියංගනයට කි.මී. 75ක පමණ දුරක් තියෙනවා. ඒ අතරතුර හමුවෙන මොරගහමුල නගරයෙන් හැරිල කි.මී.10ක් ගිය තැන තමයි අපේ පලවෙනි නැරඹුම්පොල හමුවෙන්නෙ.

වික්ටෝරියා වේල්ල! ලංකාවේ උසම වේල්ල. එමෙන්ම රටේ විශාලතම ජලවිදුලි බලාගාරය ඉදිවන්නේ වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව. ඒ මෙගාවොට් 210ක විදුලිබලයක් මෙරටට දායාද කරමින්. 1980දී ඉදිකිරීම් ආරම්භවුනු වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව රසවත් කතාපුවතක් සැඟවී තියෙනවා. ඉස්සර මේ ස්ථානයේ කුඩා දිය ඇල්ලක් තිබිල තියෙනවා. වික්ටෝරියා දිය ඇල්ල ලෙස හැඳින්වුනු මේ ඇල්ල ආශ්‍රිතව වේල්ලක් ඉදිකිරීමට 1949 සිට ශක්‍යතා අධ්‍යයනයන් කෙරී තිබෙනවා. සමීක්ශණ සාර්ථක උනත් මේ සඳහා ලංකාණ්ඩුව සතුව ප්‍රමාණවත් ප්‍රතිපාදන තිබිල නෑ. ඒ නිසා එංගලන්තයෙන් ණය මුදලක් ලබාගැනීමට යෝජනාවී තියෙනවා. මේ සඳහා ඉල්ලුම් කිරීමට එවකට ජනාධිපති JR, විදුලිබල ඇමති ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි යන තිදෙනා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.
 මෙහිදී එලිසබෙත් ‍රැජින හමුවන මේ තුන්කට්‍ටුව මේ සඳහා ඇගේ මිත්තනිය වන වික්ටෝරියා ‍රැජිනගේ නම යෙදීමට කැමැත්ත පලකරනවා.(ඒත් මේ ස්ථානයේ ඇති වික්ටෝරියා දිය ඇල්ල නිසා ඒ නම ඒවනවිටත් යෝජනාවී තිබුනා.) මේ ගැන පැහැදුනු එලිසබෙත් ‍රැජින මෙය ණයක් ලෙස නොව ආපසු නොගෙවන ආධාරයක් ලෙස ලබාදීමට කැමැත්ත පලකරනවා. වික්ටෝරියා ව්‍යාපෘතියට රු. මිලියන 8900ක ආධාරයක් ලැබෙන්නේ එහෙමයි. මේ සඳහා අවශ්‍ය තාක්ශණික සහය හා ශ්‍රමය පවා එංගලන්තයෙන් ආනයනය කරනවා. 1984 දී වැඩ නිමවන වික්ටෝරියා වේල්ල 1985 අප්‍රේල් 12 වෙනි දින නිලවශයෙන් ලංකාවට පවරාදෙනු ලබනවා. වැඩ නිමවනවිට සේවකයින් 50 දෙනෙකු වේල්ල වෙනුවෙන් දිවි පුදා ඇති බව සඳහන් වෙනවා. උඩ ඡායාරූපයේ තියෙන්නේ ලංකාවේ සුප්‍රසිද්ධ සිත්තරෙක් ඇඳපු ලස්සන චිත්‍රයක්... නෙවෙයි. වික්ටෝරියා වේල්ල අවට පරිසරය මගේ කැමරාවේ සටහන් වූ ආකාරයයි.
වික්ටෝරියා වේල්ලෙන් සමුගත් අපි මහියංගනය දෙසට ගමන් කරන්නට උනා. හුන්නස්ගිරිය පසුකර මඳ දුරක් ඇදෙන විට දහ අට වංගුවට කලින් හමුවෙන "දහ අට වංගුව නැරඹුම් මැදිරිය" කියන්නේ තේ උගුරක් බී ගමන් විඩාව නිවාගැනීමට කදිම ස්ථානයක්.
ඔන්න බලාපන් බුලතා කරපු බලේ...
යතුරු දාපු ගල්දොර යට වතුර හැලේ...
එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ...
සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ....

මහියංගනය නගරයට එන සංචාරකයින් අනිවාර්යයෙන්ම නවතින තැනක් තමයි සොරබොර වැව. මහියංගන විහාරය හැරුණුකොට මේ ප්‍රදේශයේ තියෙන සුවිශේෂිතම සංචාරක මරමස්ථානය සොරබොර වැවයි කිව්වොත් එය අතිශෝක්තියක් නෙවෙයි. මෙහි ඇති පෞරාණික බවත්, වැවේ සැඟවී ඇති අපූරු ඉතිහාස කතාවත්, වැව ආසන්නයේ ඇති ඇළ මාර්ගය ස්නානය කිරීමට කදිම ස්ථානයක් වීමත් ඊට හේතු සපයනවා.
දු‍ටුගැමුණු රජතුමාට බුලත් පිලිගැන්වීම සඳහා බුලතා නමැති සෙනෙවියෙකු සිට තිබෙනවා. ඔහු තම විවේක වේලාවන්හිදී ප්‍රදේශය අවට සංචාරය කරල තියෙනවා. මෙහිදී කඳු අතර පිහිටි පහත් බිමත්, ඒ අසලින් ගලන දියවන්නා ඔයත් දැකපු බුලතාට අපූරු අදහසක් පහල වෙලා තියෙනවා. ඒ අදහස යථාර්තයක් කරගැනීමට බුලතා තනියම වෙහෙස වෙලා තියෙනවා. ඒ මහන්සියේ ප්‍රතිඵලය තමයි සොරබොර වැව. මේ වැවේ විශේෂත්වය තමයි බිසෝකො‍ටුවක් නොමැතිවීම සහ කලුගලක් දෙපලු කර තැනූ ස්වාභාවික සොරොව්වක් පිහිටීම. බුලතාගේ බිරිඳ යෝධි නම් කාන්තාවක්. බුලතා වැව තනද්දී ඔහුට බත ‍රැගෙන ආවේ ඇයයි. ඇය යන එන විට ගල් වලින් පඩිපෙලක් සාදා තිබෙනවා. ඒ පඩිපෙලේ නටඹුන් අදත් දහ අට වංගුව අවට ඇතැයි ගම්මුන් පවසනවා. මේ ශක්තිවන්ත යුවල නිසා අක්කර 2000ක පමණ වගා බිමක් ජලයෙන් පෝෂණය ලැබූ බව සඳහන් වෙනවා.
මේ තියෙන්නේ මහියංගනය දාගැබ. මහියංගනයේ සංචාරය කරන බෞද්ධයින්ගේ නැරඹුම් ලැයිස්තුවේ ප්‍රමුඛතාව හිමිකරගන්නේ මහියංගනය විහාරය. මහියංගන දාගැබ බෞද්ධයින්ට කිහිප දිශාවකින් වැදගත් වෙනවා. බුදුන්වහන්සේගේ අකුධාතුව මේ චෛත්‍යයේ නිධන්කරල තියෙනවා. ඊට අමතරව බුද්ධත්වයෙන් නවවෙනි වස දුරුතු පෝදා බුදුන්වහන්සේ මුල්වරට ලංකාවට වඩිනවා. එසේ වැඩම කල බුදුන්වහන්සේ යක්ශයින් දමනය කිරීම සඳහා සිරි දෙසුම දේශනා කරන්නේ මේ ස්ථානයේ සිට බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම බුදුන්වහන්සේ ජීවමාන කාලයේදීම උන්වහන්සේගේ කේශ ධාතුව නිධන්කොට සෑදූ ලොව මුල්ම චෛත්‍යය මෙය බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා.
මේ තියෙන්නෙ අපේ ඊලඟ නැරඹුම්පොල. දඹාන වැදි ගම්මානය. මහියංගනයේ සිට කි.මී 20ක ඇවෑමෙන් අපි දඹානට සේන්දු උනා.
සොරබොර වැවේ එගොඩෙත් ඉන්නේ වැද්දෝ...
සොරබොර වැවේ මෙගොඩෙත් ඉන්නේ වැද්දෝ...
සොරබොර වැවේ දෙගොඩෙම ඉන්නේ වැද්දෝ...
අපටත් නෙළුම් මල් හුලන්නට දෙද්දෝ...
එදා මහියංගනයේ අණසක පැතිරවූ වැදි ‍රැහේ ඇත්තන්ව ජනකවියා දු‍ටුවේ එහෙමයි. මෙදා වැදි ගම්මානයේදී තිසාහාමි සොහොනත්, ඔහු ජීවත් වූ නිවසත්, වැදි කෞතුකාගාරයත්, සාම්ප්‍රදායක කිරිකොරහ නැ‍ටුමත් දැකබලා ගන්නා ඔබට මීපැණි හෝ සත්ව දත්වලින් නිපදවූ ආභරණ මිලදී ගන්නත් අවස්ථාව ලැබෙනවා. පහත තියෙන්නේ දඹාන වැදි ගම්මානයේදී මගේ කැමරා කාචයේ සටහන් වුනු සේයාරූ කීපයක්.



දඹානට සමුදුන් අපි නැවත මහියංගනය බලා පිටත් උනා. මේ තියෙන්නෙ වැදි ගම්මානයේ සිට කි.මී 2ක් මහියංගනය දෙසට වන්නට ඇති ආයුර්වේද කෞතුකාගාරයක්. මෙය මෑතකදී විවෘතකල පෞද්ගලික කෞතුකාගාරයක්. මෙහිදී රු. 100/-ක ටිකට් පතක් මිලදීගන්නා ඔබට සිංහල ආයුර්වේදයේ ඖෂධ වර්ග, ප්‍රතිකාර ක්‍රම ආදී තොරතුරු දැකබලා ගන්න පුලුවන්. වැදි ගම්මානයේ සිට කි.මී 4ක් මහියංගනය දෙසට වන්නට ඇත්තේ මාවරගල ආරණ්‍ය සේනාසනය. ආරාම, කටාරම්, මුරගල්, ගල් කණු සතිත මෙය ඉපැරණි ලෙන් විහාරයක්. වර්තමානයේ ලෙන් 7ක් පමණ ඉතිරිවී ඇති බවත් සෙල් ලිපි 6ක් සොයාගෙන ඇති බවත් දැනගැනීමට ලැබුනා.
අපේ නවාතැන්පොල තිබුනේ මහියංගන නගරයේ ඉඳන් කි.මී 8ක් දකුණට වන්නට. පහල තියෙන්නේ තියෙන්නේ අපේ නවාතැන්පොල ඉදිරියේ තිබුනු මාපාකඩ වැව. අක්කර 1500ක වපසරියක පැතිරිල තියෙන මේ සුන්දර වැව මහියංගනයේ සංචාරක ආකර්ශණය දිනාගත් තවත් එක් ප්‍රධාන ස්ථානයක්. උදෑසන හිරු කිරණ මාපාකඩ වැව් ඉස්මත්ත සිපගත් අයුරු මගේ කැමරාවේ සටහන් උනේ මෙහෙමයි.

මහියංගනයේ දෙදින සංචාරයකින් අනතුරුව අපි නැවතත් මහනුවර බලා පිටත් උනා. ආපසු ගමනට අපි ‍තෝරාගත්තේ රන්දෙණිගල, අධිකාරිගම හරහා වැටී තිබුනු කි. මී. 100කට ආසන්න දුරකින් යුත් මාර්ගය. මේ මාර්ගය ‍තෝරා ගැනීමට හේතු දෙකක් අපිට තිබුනා. එකක් තමයි, රන්දෙණිගල වේල්ල නැරඹීම. අනිත් හේතුව තමයි මේ ඡායාරූපයේ දැක්වෙන්නේ. මහියංගන - බදුල්ල පාරේ මැදියාය 17 කණුවෙන් හැරිල කි.මී. 17ක් ගිය තැන ඇති හුදකලා බිම්කඩක ඇති මේ විහාරය හඳුන්වන්නේ නාගදීපය යනුවෙන්. බුදුන්වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ යාපනය නාගදීප විහාරය ගැන ඔබ අසා ඇති. එහෙනම් මොකක්ද මේ නාගදීපය? අපි ඒ ගැන විහාරාධිපති හිමියන්ගෙන්ම අසා දැනගනිමු.
"මහත්තයෝ.. මේ ඔය ඇත්තො ඇවිල්ල ඉන්නෙ එසේ මෙසේ තැනකට නෙවෙයි. ලංකාවෙ පරණම පන්සලකට. මේකෙ දාගැබ් 7ක් තිබිල තියෙනවා. බොහොම පැරණි ඒව. මහියංගන විහාරෙ තරම්ම පරණයි. දැනට ඔය ඇත්තොන්ට දාගැබ් 2ක් පේන්න තියෙනව. අන්න අර පේන ලොකු දාගැබ මැදිකරගෙන මහ විසාල දාගැබක් තිබිල තියෙනව. පරණ විහාරෙ පොලොවට යටවෙල තියෙන්නෙ. ඒව හොයාගන්න දැන් සෑහෙන කාලෙක ඉඳන් කැනීම් කටයුතු වෙනව."


"එතකොට හාමුදුරුවනේ බුදුහාමුදුරුවො දෙවෙනියට වැඩියයි කියන යාපනේ නාගදීපෙයි මෙහෙයි අතර සම්බන්ධයක් තියෙනවද?"
"මහත්තයෝ... යාපනේ තියෙන විහාරෙට නාගදීපෙ කියල කියන්නෙ නයිනතිව් දූපතේ තියෙන නිසා නෙව. බුදුහාමුදුරුවො වැඩම කරපු නාගදීපෙ තමයි මේ. රේණුකාණෙ චන්ද්‍රවිමල හාමුදුරුවො.. එතකොට බලංගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුරුවො වගේ උන්නාන්සෙලත් ඒක කියල තියෙනව."
විහාරය නිරීක්ශණය කරපු මට විහාරය අවට විශාල නටඹුන් ප්‍රමාණයක් දැකගැනීමට ලැබුනා. ඒ වගේම දු‍ටුගැමුණු රජතුමා යුද්ධයට යෑමට පෙර මේ විහාරස්ථානයේ භාරහාර වී ඇති බවත් දැන ගැනීමට ලැබුණා. ඒ අනුව යමින් හිටපු ජනාධිපතිතුමා යුද්ධයේ අවසාන කාලයේදී මේ විහාරයට භාරහාර වී ඇති බවත් විහාරාධිපති හිමියන් මා සමඟ ප්‍රකාශ කලා. ඒ බව සනාථකරන ඡායාරූප කිහිපයක් ආවාසගෙයි බිත්තියේ එල්ලා ඇති අයුරු දැකගැනීමට ලැබුනා.
නාගදීපයෙන් සමුගත්තු අපි ඊලඟට නතර උනේ රන්දෙණිගල වේල්ල ලඟ. 1982 සිට 1986 දක්වා කාලය තුල ඉදිවුනු මේ යෝධ වේල්ල සඳහා 75% පමණ වියදම් දායකත්වය දරා ඇත්තේ ජර්මනියයි. රන්දෙණිගල ජල විදුලි බලාගාරය මෙගාවොට් 126ක විදුලිබලයක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට එක්කරන වග දැනගන්න ලැබුනා. අපි රන්දෙණිගලින් පිටවෙනවිට තරමක් හවස් වී තිබුනා. හිරු බැස යමින් පැවති වේලාවක උනත් අපි මේ පසු කරන්නේ ලංකාවේ ලස්සනම පරිසර පද්ධතියක් බව අපිට අවබෝධ උනා. සතර අත විහිදුනු කඳු යාය, කඳු වසා වැවුනු තුරු ගොමුව, ඒ අතරින් ගලන ඇල දොල පරිසරයට එක්කරන්නේ අපූරු ලාලිත්‍යයක්. ඒ ලාලිත්‍යය රසවිඳින්න ඔබටත් ආරාධනා කරමින් අදට සමුගන්නම්. සුභ දවසක්!
read more "කන්දේ... ලන්දේ... ගඟුලැල්ලේ පේනා තෙක් මානේ...♪♪♪"