Thursday, November 29, 2012

මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා...


කාලෙකට පස්සෙ ලැබුනු නිවාඩුවේදි මට අනුරපුරේ සංචාරය කරන්න ලැබුනා. ඉතින් ඒ අත්දැකීමුත් එක්ක මම අද සූදානම් වෙන්නෙ, ......................
ඔබව වැව් බැඳි රාජධානියේ වන්දනා ගමනක් ‍රැගෙන යන්න! :)
ගොඩක් දෙනෙක් චාරිකාවක් ආරම්භ කරන්නෙ අදාල ස්ථානයට ගියාම. ඒ කියන්නෙ අනුරාධපුර චාරිකාවක් නම්, අනුරාධපුරේ නගරයට ගියාම. ඒත් මම හිතන්නේ අපි චාරිකාවක් රසවිඳින්න පටන් ගතයුත්තේ ගෙදරින් පිටත්වෙන විටමයි. අතරමගදී ඔබට ගොඩක් ලස්සන තැන් හමුවේවි. නැරඹිය හැකි ස්ථාන හමුවේවි. ඒවා නරඹමින් පරිසරය විඳිමින් ගමන්කරන්න.
කොළඹ ඉඳල අනුරාධපුරේට යන්න මාර්ග කීපයක්ම තියෙනවා. ඒ අතරින් අපේ අවශ්‍යතාවය අනුව ‍තෝරාගත් මාර්ග දෙකක විස්තර පහතින් දක්වන්නම්.
පුත්තලම හරහා
කි.මී. 210ක් පමණ වූ මේ මාර්ගය අදියර 4කින් විස්තර කරන්නම්.
  • මුලින්ම A3 මාර්ගය ඔස්සේ කොළඹ සිට මීගමුවට (36KM) යා යුතුයි. මේ ගමනේදී පෑලියගොඩ, වත්තල, මාබෝල, වැලිසර, නාගොඩ, කඳාන, ජාඇල, බණ්ඩාරවත්ත, සීදූව, ක‍ටුනායක වැනි නගර ඔබට හමුවෙනවා.
  • අනතුරුව එම මාර්ගයේම මීගමුවේ සිට හලාවත දක්වා 47KMක දුරක් ඔබ යායුතුයි. එහිදී කොච්චිකඩේ, වෙන්නප්පුව, මාරවිල වැනි නගර පසුවෙනවා.
  • ඊලඟට එම මාර්ගයේම තවත් 54KM ක දුරක් පසුකර ඔබ පුත්තලමට සේන්දු වෙනවා.  එහිදී බංගදෙනිය, කිරියක්කල්ලි, මදුරන්කුලි, පලාවි යන ප්‍රදේශ පසුකරනවා.
  • පුත්තලමේ සිට A12 මාර්ගයේ තවත් 75KM ක් ඇවෑමෙන් ඔබට අනුරාධපුරයට ලඟාවිය හැකියි. පෙරියවිල්ලු, මීඔය, කරුවලගස්වැව, දයියගම වැනි නගර ඔබට හමුවේවි.
දඹුල්ල හරහා
මෙම මාර්ගයත් දළවශයෙන් කි.මී. 210 ක් පමණ දුරයි. මෙම මාර්ගයත් පියවර 4කින් විස්තර කරන්නම්.
  • පලමුව, කොළඹ සිට අඹේපුස්ස දක්වා කි.මී 58ක දුරක් A1 මාර්ගයේ යා යුතුයි. එහිදී, කිරිබත්ගොඩ, කඩවත, මිරිස්වත්ත, යක්කල, නිට්ටඹුව, පස්යාල, කජුගම, වේවැල්දෙනිය, දංඕවිට, වරකපොල වැනි නගර පසුවෙනවා.
[ඕනෑ නම් පස්යාල හන්දියෙන් හැරී මීරිගම, ගිරිඋල්ල, නාරම්මල, වාරියපොල, පාදෙනිය හරහාත් අනුරාධපුරයට යාහැකියි. එසේ යනවා නම්, කි. මී. 10-15ක පමණ දුරක් අඩුවේවි.]
  • දෙවනුව අඹේපුස්ස සිට දඹුල්ල දක්වා කි.මී 90ක දුරක් A6 මාර්ගයේ ගමන් කල යුතුයි. එහිදී තුල්හිරිය, අලව්ව, වලකුඹුර, පොල්ගහවෙල, පොතුහැර, බෝයගනේ, වඳුරාගල, කුරුණෑගල, ඉබ්බාගමුව, ගොක‍රැල්ල, මැල්සිරිපුර, පන්ලියැද්ද, ඕමාරගොල්ල, බෙලිගමුව, ගලේවෙල, තලකිරියාගම යන ප්‍රදේශ ඔබට හමුවේවි.
[අවශ්‍යනම් කුරුණෑගලින් හැරී පාදෙනිය හරහාත් ඔබට අනුරාධපුරයට යාහැකියි. ඒ මාර්ගයේ යනව නම් කි.මී 6-7ක් ඉතුරුකරගන්න පුලුවන්. ]
හරි! දැන් ඔබට දඹුල්ල විහාරයත්, අවශ්‍ය නම්, ඊට කි.මී. 22ක් එහායින් වූ සීගිරියත් නැරඹීමට යන්න පුලුවන්.
  • දඹුල්ලේ සිට A9 මාර්ගයේ කි. මී 52ක් දුරින් පිහිටියේ ගල්කුලම නගරය. (නමුත්, දඹුල්ලේ සිට ගල්කුලම දක්වා මාර්ගය අලුත්වැඩියා කටයුතු නිසා තරමක් දුෂ්කරයි. ඉතින්, ලඟදි අනුරාධපුරේ යන්න ඉන්න කෙනෙකුට නම් මේ මාර්ගය අනුමත කරන්න බෑ. අපි ඒ මාර්ගය ‍තෝරාගත්තේ දඹුල්ල හා සීගිරිය යාමේ අවශ්‍යතාවය තිබූ නිසයි.) මේ මාර්ගය අතරමගදී මද‍ටුගම, කැකිරාව, මරදන්කඩවල, තිරප්පනේ යන නගර හමුවෙනවා. ඒඅතරතුරදී ඔබට ජාතික නාමල් උයන හෝ අව්කන පිලිමය නැරඹීමට යා හැකියි.
  • ගල්කුලමේ සිට තවත් කි.මී. 12ක් A13 මාර්ගයේ ගමන් කිරීමෙන් ඔබට අනුරාධපුරයට පිවිසිය හැකියි.
දැන් අප සිටින්නේ අපේ ගමනාන්තයේ. ඒ කියන්නේ, අනුරාධපුර නගරයේ. මුහුදුමට්ටමේ සිට අඩි 295ක් උසින් පිහිටි අනුරාධපුරය මෙරට වැඩිම කාලයක්, වැඩිම රජවරු පිරිසක් විසින් පාලනය කල රාජධානියයි.
ක්‍රි.පූ. 437 සිට ක්‍රි.ව. 1029 දක්වා කාලය තුල පණ්ඩුකාභය රජුගේ සිට Vවන මිහිඳු දක්වා රජවරුන් සියයකට අධික ප්‍රමාණයක් අනුරාධපුරය සිය රාජධානිය කරගෙන සිටියා. 
අනුරාධපුර සංචාරය කරන බෞද්ධයින්ගේ ප්‍රධාන අරමුණක් වන්නේ අටමස්ථාන වන්දනා කිරීම. දුරාතීතයේ පටන් අටමස්ථාන ලෙස හඳුන්වාඇත්තේ තිස්සාරාමය, කම්මාලකය, ඡන්තාඝර පොකුණ, ශ්‍රීමහා බෝධිය, ලෝවාමහාපාය, ලභබත්ගෙය, දාන ශාලාව සහ රුවන්වැලි මහා සෑයයි.
කාලිංඝ මාඝ ආක්‍රමණයෙන් නටඹුන් වූ අනුරාධපුර නගරය සෑහෙන කාලයක් වල් වැදී පැවතුනා. එසේ තිබියදී ක්‍රි.ව. 1856 දී ඉංග්‍රීසි රජය විසින් අටමස්ථානය යලි නාමකරණය කරනවා.
ඉහත සිතියම විශාල කර බලන්න. එහි නිල් පාට සලකුණුවලින් දක්වා ඇත්තේ එසේ නම්කෙරුණු අටමස්ථානයි. රෝස පැහැ සලකුණුවලින් දක්වා ඇත්තේ ඒ අවට ඇති සෙසු පෞරාණික සිද්ධස්ථාන කීපයක්.

යමු මාත් එක්ක.. ඒ ප්‍රෞඩ අතීතයට යලිත් එබිකම් කරන්නට!

මේ තියෙන්නෙ ශ්‍රී මහා බෝධිය

ශ්‍රී මහා බෝධිය ගැන යමක් කියනවානම්, ක්‍රි. පූ. 3 වන සියවසේදී සංඝමිත්තා තෙරණිය විසින් මෙය ලංකාවට වැඩම කරවූවා. ජය ශ්‍රීමහා බෝධිය වැඳ පුදාගැනීමෙන් ඔබට අටමස්ථාන වන්දනාව ආරම්භ කල හැකියි.




ශ්‍රී මහා බෝධියට පි‍ටුපසින් තියෙන්නෙ, ලෝවාමහාපාය. මෙහි ගල්කණු 1600ක් දැකගත හැකියි. IIවන පෑතිස් රජු විසින් කරවන ලද මෙය දු‍ටුගැමුණු රජතුමා විසින් නවමහල් කොට නවීකරණය කරවූවා. මෙහි යට මහලේ පෘතග්ජන භික්ෂූනුත්, දෙවැන්නේ සිට නව වැනි මහල දක්වා රහතන් වහන්සේලාත් වැඩසිටි බව සඳහන් වෙනවා. පසුකාලීනව බොහෝ රජවරුන් මෙය ප්‍රතිසංස්කරණය කල බව කියැවෙනවා. ලෝවාමහාපායේ මැද ඇති ගොඩනැගිල්ල නම් මෑතකාලයේ සාදන ලද්දක්.

මහාවිහාර භූමියට අයත් ගොඩනැගිලි ත්‍රිත්වයෙන් දෙකක් අපි දැන් වැඳපුදාගත්තා. ඊට අයත් ඉතිරි ගොඩනැගිල්ල රුවන්වැලිසෑයයි. වම්පසින් තියෙන්නේ මගේ කැමරා කාචයේ සටහන් වූ රුවන්වැලිසෑය. දකුණුපසින් තියෙන්නේ සොලීන් විසින් විනාශ කරන ලද රුවන්වැලිසෑයේ පෞරාණික ඡායාරූපයක්!.
බුබ්බුලාකාර හැඩයෙන් යුතු මෙය සාදවන ලද්දේ දු‍ටුගැමුණු රජු විසින්. මෙය සාදවා නිමකරවන ලද්දේ සද්ධාතිස්ස රජතුමා විසින්. අඩි 300ක් පමණ උස වූ මෙහි සර්වඥධාතුන් වහන්සේලා ද්‍රෝණයක් පමණ නිධන් කොට ඇති බව සඳහන් වෙනවා.

ඊලඟට අපි වැඳපුදාගත්තේ මිරිසවැටිය චෛත්‍යය. අඩි 60ක් උස මිරිසවැටිය චෛත්‍යය ක්‍රි.පූ. 161 - 137 අතර කාලයේදී සාදවන ලද්දක්. භික්ෂූන්ට නොදී මිරිස් මාලුවක් කෑමෙන් ඇති වූ පශ්චාත්තාපය නිසා දු‍ටුගැමුණු රජතුමා විසින් මෙය කරවන ලද බව සඳහන් වෙනවා. පහත වම් පැත්තෙ ඡායාරූපයේ තියෙන්නෙ මිරිසවැටිය චෛත්‍යය.
දැන් අපි යමු ථූපාරාමයට. ඉහල දකුණු පැත්තෙ ඡායාරූපයේ තියෙන්නෙ ථූපාරාම චෛත්‍යය. ථූපාරාමය කියන්නෙ මහින්දාගමනයෙන් පසු ලංකාවේ ඉදිවූ පළමු චෛත්‍යය. IIවන පෑතිස් රජතුමා විසින් මෙය ඉදිකර තිබෙනවා. මුලින් ධාන්‍යාකාර වුවත් දැන් ඝාන්ටාකාර හැඩයක් ගන්නා ථූපාරාම දාගැබේ උස අඩි 63ක්. මෙහි බුදුරජාණන්වහන්සේගේ දකුණු අකු ධාතුව නිදන් කොට තිබෙනවා. එවකට දාගැබ වටා වටදාගෙයකුත් තිබිල තියෙනවා. අදටත් ඉන් ශේෂ වූ ගල් කණු දාගැබ වටා පිහිටා ඇති ආකාරය ඔබට දැක ගැනීමට පුලුවන්.
මේ තියෙන්නේ අභයගිරිය ස්තූපය. මේකෙ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් සිදුකරමින් පවතිනවා. අඩි 245ක් උස අභයගිරිය ස්තූපය සාදවන ලද්දේ වලගම්බා රජතුමා විසින්. ක්‍රි. පූ 89-77 අතර කාලයේදී ඉදිකල මෙහි ඉතිහාසය විමසා බැලීම වටිනවා. වලගම්බා රජු පලා යද්දී ගිරි නම් නිඝන්ටයෙකු "මහා කලු සිංහලයා පළා යනෝ.." යැයි කෑ ගැසූ කථාව ඔබ දන්නවා ඇති. මෙම ස්තූපය සාදවා ඇත්තේ එදා ඒ සිදුවීම වූ භූමියේ.
අභයගිරිය වැඳපුදාගත් අපේ ඊලඟ ගමනාන්තය උනේ ලංකාරාමය. මෙයත් වලගම්බා රජතුමා විසින් කරවු බව සඳහන් වෙනවා. අඩි 38ක විශ්කම්භයක් සහිත මෙය සෝමාදේවිය සිහිවීම පිනිස ඉදිකරන ලද්දක් යැයි සැලකෙන බැවින් 'සෝමාරාමය' ලෙසද හඳුන්වනු ලබනවා.
ඊලඟට අපි නතර උනේ ජේතවන ස්තූපය අසල. මෙය ක්‍රි.ව. 273-301 අතර කාලයේදී මහසෙන් රජු විසින් සාදවන ලද්දක්. ඒ කාලයේ මෙය අඩි 400ක් පමණ උස උනත්, දැන් උස අඩි 232ක් පමණ වෙනවා. මෙහි බුදුරජාණන්වහන්සේගේ පටී ධාතුව තැන්පත් කර ඇතිබව සඳහන්වෙනවා.






හරි! දැන් අපේ ප්‍රධාන අරමුණ සම්පූර්ණයි. හැබැයි, අනුරාධපුරයේ ඔබට දැක බලාගන්න තියෙන්නේ අටමස්ථාන විතරක් නම් නෙමෙයි. අටමස්ථාන අවට පුරාවස්තු නම් බොහොමයි. මේක පූජා නගරයක් මෙන්ම කෞතුක නගරයක් ලෙසද හැඳින්වෙන්නෙ ඒකයි.
පහත වම් පසින් දැක්වෙන්නේ මගේ කැමරාව  තුල සටහන් වූ සමාධි පිළිමය. දකුණු පසින් දැක්වෙන්නේ එහි ඉතා පැරණි ඡායාරූපයක්.

මේ මොකක්ද කියලත් ඔබට අමුතුවෙන් කිවයුතු නෑ. ඔව්, ඔබ හරි. මේ තියෙන්නේ කූට්ටම් පොකුණ.
අනුරාධපුරය වන්දනා කරන අය යා යුතුම තැනක් තමයි ඉසුරුමුණිය. මනරම් බිම්කඩක පිහිටා ඇති මෙහි පි‍ටුපසින් තිසාවැව දැකගැනීමට පුලුවන්. මෙහිදී මිනිසා සහ අශ්ව හිස කැටයමත්, දිය කෙලින ඇතුන් කැටයමත් දැකබලාගන්නා ඔබ, ඉසුරුමුණි කෞතුකාගාරයේදී දු‍ටුගැමුණු රජ පවුලත්, ඉසුරුමුණි පෙම්යුවලත් දැකබලාගන්නවා.

මේ ඡායාරූපයේ දැක්වෙන්නේ ඉසුරුමුණි විහාරය.



ඉසුරුමුනියේ නුඹ මැවූ....  පෙම්බරිය කොතනද කියා.....
මා ඇසූ විට හිනැහුනා ඔහු...  තවම තනිකඩයැයි කියා....


අවසාන වශයෙන් අපි ගියේ මිහින්තලය වැඳපුදා ගන්න. අනුරාධපුර නගරයේ සිට කි. මී 17ක්  පමණ දුරින් පිහිටි මිහින්තල පුදබිමේදී ආරාධනා ගල, මිහිඳු ගුහාව, මිහිඳු සෑය, සේල චෛත්‍යය, සිංහ පොකුණ, සන්නිපාත ශාලාව, මිහිඳු පුවරු ලිපි ඇතුලු තවත් බොහෝ දෑ දැකබලා ගැනීමට හැකියාව ලැබුනා. ඉහල දකුණු පැත්තේ ඡායාරූපයේ තියෙන්නේ මිහින්තලා පුදබිමේදී ලබාගත් ඡායාරූපයක්.

මේ ආදී සිද්ධස්ථාන රාශියක් වැඳපුදාගෙන අපි ආපහු නිවෙස් වලට පිටත් වුනා. ඉදිරියේදී අනුරාධපුරයේ චාරිකා කරන්න ඉන්න අයට මේ ලිපිය ගොඩක් ප්‍රයෝජනවත් වේවි. ඔබටත් එහෙම හිතෙනවනම්, මගේ සතුටත් එයයි.

සැ. යු. සිතියම් ඡායාරූප google map වෙතින් ලබාගන්නා ලදී.  පැරණි ඡායාරූප ඉමේජස් ඔෆ් සිලෝන් වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී. අනිකුත් සියලු ඡායාරූපවල අයිතිය මා සතුයි.

9 comments:

  1. godak lku wistharayak..
    watinawa sahenna...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි... දිරිමත් කලාට.

      Delete
  2. තරුණ අයට හොද ලිපියක්.ලංකාවෙ ඉන්න,පිටරට ඉදල ආපු අයගෙ වැඩිහිටියන්/නෑදෑ/මිත්‍ර/දුවාදරුවන් රැගෙන යන්න ඉන්නා අයට හොද මාර්ගෝපදේශයක්.හැබැයි නලින් අනුරපුරයේ නේද වැඩිම වටරවුම් [roundabout] ප්‍රමාණයක් තියෙන්නේ?මොකද ඉස්සර මම එකම තැන වරු ගණන් කාපු පරිප්පු මතක් වෙනවා.දැන් එහෙම නැද්ද?තියෙනවනම් ඒකත් පැහැදිලි කරානම් 100%.

    ReplyDelete
  3. සම්පූර්ණ විසිතරාත්මක සටහනක් රෑපත් සමඟන්..කියලා වැඩක් නැ වටිනාකම..ආයේ යද්දි කරැණු කාරණා දැනගෙන යන්න පුලුවන්...පින් සිද්ද වෙවා..

    ReplyDelete
  4. @ kenji
    කෙන්ජි එහෙම එකක් නැහැ අනුරාධපුරේට එන ගොඩක් අයට
    ඔලුව විකාර වෙන්නේ පොසොන් එකට අලුතෙන් දාන පොලිස් අය
    නිසා . අද උදේ ඉන්න තැන නෙවේ හවස duty වැටෙන්නේ .
    එයාලවත් දන්නේ නැහැ අනුරාධපුරේ සිතියම .ඉතින් අපි රුවන්වැලිසැයට
    පාර ඇහුවත් කියන්නේ ඔතන් වමට කියනවා .ඒත් ගැලවීමට කියන දෙයක්
    මිස හරි උත්තරයක් නෙවේ ඒක . හැම කෙනාටම වෙන්නේ ඕක ..
    මතක විදිහට වට රවුම් තියෙන්නේ 12 වගේ ... හොදම දේ Gmaps වලින්
    බලාගෙන එන එක.. ඒ වගේම තමන් පහු කරපු වට රවුම මොකක්ද කියන දේත්
    ඔලුවේ තියාගන්න ඕන.. නැත්නම් අග මුල පැටලෙනවා.. ඊට පස්සේ පොලිසියෙන්
    ඇහුවොත් ඔලුව විකාරම වෙනවා පොසොන් කාලෙක නම් ...

    ReplyDelete
  5. වටිනා ලිපියක්...!

    ReplyDelete
  6. වැදගත් විස්තර සහිත ලිපියක්! මේ වගේ ලිපි දිගටම ලියන්න...!

    ReplyDelete
  7. වටිනා කියන ලිපියක් සහෝ...දිගටම ලියන්න හැමදාම එනවා....

    ReplyDelete
  8. අදහස් දක්වපු සියලුම දෙනාට ගොඩක් ස්තූතියි!

    ReplyDelete