Friday, June 29, 2012

සුන්දර අයිස්ලන්තය

යාලුවනේ... ඉතින් කොහොමද? ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න බැරිවීම ගැන කනගා‍ටුව ප්‍රකාශකරනවා. 2012 කියන්නෙ මගේ ජීවිතයේ ගොඩක් වෙනස්කම් සිදුවෙච්ච සහ සිදුවෙමින් පවතින වසරක්. විශේෂයෙන්ම ‍රැකියාව පැත්තෙන්. ඉතින් අලුත් ලිපියක් ලියන්න වෙලාවක් හොයාගන්න අමාරු උනා. කාලෙකට පස්සෙ ලැබුනු විවේකයේදී, මේ විදියේ තොරතුරු ටිකක් බෙදාගන්න හිතුවා... අයිස්ලන්තය ගැන.
මුලින්ම අයිස්ලන්තය ලෝක සිතියමේ කොයි ඉසව්වක පිහිටල තියෙනවද කියල බලමු.
අයිස්ලන්තය කියන්නේ වර්ග කිලෝමීටර් 103,000 ක විශාලත්වයෙන් යුතු සුන්දර දූපතක්. විශාලත්වය ගැන අදහසක් ගන්න ඕන නම් ලංකාවෙ වර්ගඵලයත් (65,610 km2) එක්ක සංසන්දනය කරන්න.
Naddoddr නමැති දේශාටකයෙක් වරක් මුහුදේ අතරමං වී සිටියදී හුමාලයක් වැනි දෙයක් දැක ඒ දෙසට යාත්‍රා ගොඩ බස්සවා තිබෙනවා.  ඔවුන් ඒ ගොඩබිම "දුම්දැමීම" යන අර්ථය ඇතිව "රයික්ජවික්" යනුවෙන් නම්කලා. වර්තමාන අයිස්ලන්තයේ අගනුවර වෙන්නේ ඒ නගරයයි.
මේ සිතියම මත click කරල "රයික්ජවික්" (Reykjavík) නගරය සොයාගන්න.

එසේ සොයාගත් අයිස්ලන්තයේ මුල් පදිංචිකරුවන් ලෙස සැලකෙන්නේ ක්‍රි.පූ. 874 දී ගොඩබට ඉන්ගොල්ෆ ආනසන් (Ingólfur Arnarson) ඇතුලු පිරිසයි.

අයිස්ලන්තය සොයාගත්තවුන් හුමාලයක් ලෙස දැක ඇත්තේ කුමක්දැයි ඔබට සිතෙනවා ඇති. ඒකට පිලිතුර මේ ඡායාරූපයේ තියෙනවා.
අයිස්ලන්තය කියන්නේ හිම කදු වගේම ගිනි කදු වලටත් ප්‍රසිද්ද රටක්. "land of fire & ice" කියල අයිස්ලන්තය හඳුන්වන්නෙ ඒක නිසයි.
සක්‍රීය ගිනිකඳු 15ක් පමණ අයිස්ලන්තයේ තියෙනවා. මීට අමතරව දිය ඇලි 10,000ක් පමණ සහ උණුදිය උල්පත් 800කට වඩා මෙහි තියෙනවා.

අයිස්ලන්තයේ සුන්දර ඡායාරූප කීපයක් මේ.

අයිස්ලන්තයේ ජනගහනය ලක්ෂ 3ක් පමණ වෙනවා. ලක්ෂ 200 ඉක්මවූ ලංකාවෙ ජනගහනය සමග සැසඳුවොත් මෙය ඉතා කුඩා අගයක්. මෙයිනුත් 10%කට අඩු පිරිසක් තමයි රට අභ්‍යන්තරයේ ජීවත් වෙන්නේ. ඉතුරු සියල්ලම ඉන්නෙ වෙරලබඩ ප්‍රදේශවල.
අයිස්ලැන්ඩික් සහ ඉංග්‍රීසි කතාකරන අයිස්ලන්ත ජාතිකයින් ආහාර වශයෙන් ගන්නේ අර්තාපල්, බැටලු හා ගවමස්, මාලු, කිරි, ටර්නිප් අල යනාදියයි. රාත්‍රී ආහාරයට පෙර මුදවපු කිරි, සීනි සහ ක්‍රීම් සමඟ සෑදූ "ස්කර්" නමැති ආහාරයක් ගැනීමට ඔවුන් හුරුවී සිටිනවා.
අයිස්ලන්ත ජාතිකයින්ගේ ප්‍රධාන ‍රැකියාව මසුන්මැරීමයි.  ඔවුන්ගේ ආයු අපේක්ෂාව ලෙස සඳහන් වෙන්නේ පිරිමියෙකුගේ 79ක් සහ ගැහැණියකගේ 83ක් ලෙසයි.  මෙම ඉහල ආයු අපේක්ෂාවට හේතුවක් විය හැක්කේ ඔවුන්ගේ ආහාර රටාවද? එසේත් නැත්නම් රටේ දේශගුණයද?
මාර්තු-සැප්තැම්බර් අතර කාලය අයිස්ලන්තයේ උෂ්ණ ඍතුවයි. ජූලි මාසයේ පමණ වාර්තාවෙන 11C ක උෂ්ණත්වය එහි උපරිම අගය ලෙස දැක්වෙනවා. ජනවාරි මාසයේදී එය 0C පමණ දක්වා පහත බහිනවා. මෙම දේශගුණික තත්වය නිසා එරට අතු අතර විහිදී ගිය විශාල ගස් කොලන් දක්නට ලැබෙන්නේ නෑ.
අයිස්ලන්තය කියන්නේ ගොඩක් සුන්දර රටක්. ඒ වගේම ජීවත්වීමටත් ගොඩක් උචිත රටක්. 2007 වසරේදී එක්සත් ජාතීන් විසින් ජීවත්වීමට හොඳම රට ලෙස ‍තෝරා ගත්තේත් අයිස්ලන්තය.
මේ සුන්දර රටේ සංචාරයක් කිරීමට කැමති නම්, ඒ සඳහා විස්තර මෙතනින් ලබා ගන්න. www.goiceland.org
read more "සුන්දර අයිස්ලන්තය"