Friday, December 22, 2017

මේ තරම් සියුමැලිද කලුගල් සිතන්නටවත් බැරි නිසා....

වසර 1400කට අධික කාලයක් පැවතුනු අනුරාධපුර රාජධානිය චෝල ආක්‍රමණයත් සමඟ බිඳවැ‍ටුනු ආකාරය ඔබ අසා ඇති. එසේ බිඳවැ‍ටුනු රාජධානිය ඉන් අනතුරුව විකාශනය වන්නේ පොලොන්නරුවට. පොලොන්නරුව කියන්නේ වසර 200කට ආසන්න කාලයක් පුරාවට රජවරු 20කට ආසන්න ගනනක් තෙද බල පරාක්‍රම පැතිර වූ පුරයක්. ඉතින් අද මම ඔබත් එක්ක යන්නේ ඒ ඓතිහාසික පොලොන්නරු රාජධානියට.
කොළඹ ඉඳල පොලොන්නරුවට කි. මී. 225ක විතර දුරක් තියෙනවා. නුවර පාරේ අඹේපුස්සෙන් හැරී කුරුණැගල, දඹුල්ල හරහා හබරණට සේන්දු උන අපි, හබරණින් හැරී තවත් කි. මී. 45ක් ඇවෑමෙන් පොලොන්නරුවට ලඟා උනා.
නටඹුන් බලන්න යන්න කලින් පොළොන්නරුවේ ඉතිහාසය මඳක් පිරික්සා බලමු. ක්‍රි.ව. 1070 දී පිහිටවූ පොළොන්නරු රාජධානියේ ප්‍රථම මෙන්ම වැඩිම කාලයක් (වසර 55ක්) පාලනය කල රජතුමා වන්නේ 1 වන විජයබාහු. එතුමාට අමතරව පොලොන්නරු නටඹුන් අතර නම කියැවෙන තවත් රජවරු දෙපලක් ඉන්නවා. ඒ තමයි වසර 33ක් පාලනය කල 1 වන පරාක්‍රමබාහු සහ වසර 9ක් පාලනය කල නිශ්ශංකමල්ල. මේ රජවරු දෙපල අතර ප්‍රධාන වෙනස්කමක් මා දකිනවා. 1 වන පරාක්‍රමබාහු හෙවත් මහා පරාක්‍රමබාහු කියන්නෙ මෙරට එක්සේසත් කර මුලු රටම තනි පාලනයකට නතුකරගත් කීර්තිමත් රජතුමෙක්. රට එක්සේසත් කිරීමෙන් නොනැවතී රජරට විශාල සංවර්ධනයක් මෙතුමා කරනවා. වැව්, දාගැබ්, රෝහල්, පිලිම, විහාර රාශියක් මෙතුමා ඉදිකරනවා. ඒත්, රට එක්සේසත් කිරීමේදී සිදුවන ලේවැගිරීම් සහ සංවර්ධනයේදී දැරීමට සිදුවන වියදම් ගැන රටේ ඇතැම් ජන කොටස් තුල තිබුනේ විශාල අප්‍රසාදයක්.
මහා පරාක්‍රමබාහුගෙන් වසරකට පසු පොලොන්නරු රාජධානිය නතු කරගන්නේ කාලිංග වංශික නිශ්ශංකමල්ල රජතුමා. නිශ්ශංකමල්ල කියන්නේ උපතින් ලාංකිකයෙකු හෝ බෞද්ධයෙක් නෙවේ. ඔහු සිංහල ගොවිකුළ ඇත්තන් කෙරෙහි බද්ධ වෛරයකින් පසුවූවෙක්. ඒ පිළිබඳ ඔහුගේ සෙල්ලිපි සාක්ශි දරනවා.
"ගොවි කුලයේ අයද, චෝල, කේරළ යන අබෞද්ධ කුමාරවරුන්ද ලංකාවේ රජකමට නුසුදුසු බවත් කාලිංග පෙලපතට පමණම් රජකම උරුම බවත්" සඳහන් පොළොන්නරුව උතුරු දොර‍ටුව අසල පුවරු ලිපිය ඒ සඳහා කදිම උදාහරණයක්!
මේ සියල්ලටම වඩා නිශ්ශංකමල්ල කියන්නේ කපටියෙක්. පුරාජේරු කාරයෙක්! මහා පරාක්‍රමබාහු ඇතුලු වෙනත් රජවරුන්ගේ නිර්මාණ තමන් කරවූ ලෙස සෙල්ලිපි ලිවීමට නිශ්ශංකමල්ල රජු කටයුතු කර තිබෙනවා. ඇතැම්විට මෙතුමා ඒ නිර්මාණවල පසුකාලීන ප්‍රතිසංස්කරණවලට පමණක් දායක වන්නට ඇති.
මේ තියෙන්නේ පරාක්‍රම සමුද්‍රය. ‍තෝපා, දුඹු‍ටුළු, එරබදු, කලහගල, භූ යන වැව් පහ එකතුවීමෙන් පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කර තියෙනවා. නිශ්ශංකමල්ල රජුගේ එක්තරා සෙල් ලිපියක "නිශ්ශංක සමුද්‍රය" නමින් එතුමා කරවූ වැවක් ගැන කියවෙනවා. නමුත් එවැනි වැවක් මෙතෙක් හමුවී නෑ. පරාක්‍රම සමුද්‍රය අසල කල කැනීම් වලදී එය තමන් විසින් කරවූ "නිශ්ශංක සමුද්‍රය" ලෙස සඳහන් පුවරුවක් හමුවෙනවා. තවදුරටත් සිදුකරන කැනීම්වලදී මෙය සැබෑ ලෙසම කරවා ඇත්තේ මහාපරාක්‍රමබහු රජතුමා බව තහවුරු වෙනවා.

පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම ඔස්සේ ටික දුරක් ගියවිට පොත්ගුල් වෙහෙරත් ඒ අසල ඇති උස අඩි 11යි අඟල් 8ක් වූ මේ ගල් පිලිමයත් හමුවෙනවා. මහාපරාක්‍රමබාහු රජතුමා විසින් කරවූ පොත්ගුල් විහාරය හෙවත් කපිල විහාරය සැලකෙන්නේ ලංකාවේ හමුවූ පැරණිම පුස්ථකාල සංකීර්ණය ලෙසයි. ඊට මෑතින් ඇති මේ පිලිමය පුලස්ථි, අගස්ත්‍ය හෝ කපිල යන ඍෂිවරුන්ගේ වියහැකියැයි ඇතැමුන් පවසනවා. තවත් සමහරුන් කියන්නේ මෙය මහාපරාක්‍රමබාහු පිලිරුව වියහැකි බවයි. පිලිමයේ වම් උරහිසට ඉහලින් හාවෙකුගේ කන්දෙකක් තිබෙනවා. සස ලකුණ රාජ්‍යත්වයේ සලකුණක් වන බැවින් මෙය පරාක්‍රමබාහු පිලිරුව වියහැකිබව ඔවුන් ඊට හේතු සාධක ලෙස පවසනවා. ඡායාරූපයේ රතුපාටින් රවුම් කර ඇත්තේ එකී හා කන් දෙකයි. නමුත් උඩුකය නිරුවතින් සහ කිසිඳු රාජාභරණයක් නොපැලඳ සිටින නිසා මෙය ඍෂිවරයෙකු වියහැකි බවට අනිත් පිරිස හේතු දක්වනවා.
දැන් මම ඔබව ‍රැගෙන යන්නේ දීප උයනට. පොලොන්නරුව කෞතුකාගාරයට මෑතින් ඇති දීප උයන තුල ඇති කැපී පෙනෙන ඉදිකිරීම වන්නේ නිශ්ශංකමල්ල රජුගේ රාජසභාවයි.
ඡායාරූපය බලන්න. මේ සිංහාසනය මත සිට නිශ්ශංකමල්ලයන් රාජ්‍ය පාලනය සම්බන්ධ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ කොපමන ගන්නට ඇතිද?

දීප උයනත් ඊට යාබදව ඇති පොලොන්නරු කෞතුකාගාරයත් දැකබලාගත් අපේ ඊලඟ නැවතුම්පල උනේ ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන වල පිවිසීම් දොර‍ටුවයි.
මෙතනින් රු 50/-ක ප්‍රවේශපතක් මිලට ගන්නා ඔබ ඒ ප්‍රෞඩ අතීතයට එබිකම් කරන්නට මගපාදා ගන්නවා. ඔබට මේ භූමියේදී නටඹුන් 100කට අධික සංඛ්‍යාවක් නැරඹිය හැකියි. එමෙන්ම, ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන 30කට අධික සංඛ්‍යාවක් දැකබලාගැනීමට හැකිවෙනවා. ඒ සියල්ලේම ඡායාරූ සහිත විස්තර පලකිරීමෙන් ලිපියේ බර වැඩිකර ගැනීමට මම බලාපොරොත්තු වන්නේ නෑ. නමුත් මින් කිහිපයක හෝ කෙටි විස්තරයක් නොකියා යාමට සිත් දෙන්නේත් නෑ.
මෙහිදී ඔබට මුලින්ම හමුවෙන්නේ පරාක්‍රමබාහු රජමාලිගය, පරාක්‍රමබාහු රජුගේ රාජ සභා ගොඩනැගිල්ල  සහ කුමාර පොකුණ යන ගොඩනැගිලි ත්‍රිත්වයයි.
ඉහල වම් ඡායාරූපයේ දැක්වෙන්නේ පරාක්‍රමබාහු රජමාලිගය. කාමර 1000කින් හා මහල් 7කින් සමන්විත වූ මෙය වෛජයන්ත ප්‍රාසාදය සහ සත්බුමුපාය යන නම් වලින් හැඳින්වූ බව මහාවංශය සාක්ෂි දරනවා. පසුකාලීනව කාලිංඝ මාඝ විසින් ගිනිබත් කල මාලිගයේ මහල් 3ක සාධක අදටත් ඉතිරිවී පවතිනවා. ඉහල දකුණු ඡායාරූපයේ දැක්වෙන්නේ පරාක්‍රමබාහු රජුගේ රාජ සභා ගොඩනැගිල්ල. එදා මෙය මහල් තුනකින් යුක්තවී තිබෙනවා.
අනතුරුව අපි නතරවුනේ අංක 1 ශිව දේවාලය අසල. පොලොන්නරු රාජධානියේ සැලකියයුතු කාලයක් රජකම් කර ඇත්තේ කාලිංග වාංශිකයින්. මෙකී කාලිංග පාලකයන් ශේෂ කොට ගිය ශිව දේවාල කිහිපයක්ම පොලොන්නරු භූමියේ දකින්න ලැබෙනවා. එමෙන්ම මෙම හින්දු බලපෑම නිසා පොලොන්නරු යුගයේ සඳකඩ පහනෙන් ගවයා ඉවත්ව ගොස් තිබෙනවා. මේ ශිව දේවාලය කවුරුන් විසින් කරවූවක්ද කියා අවිනිශ්චිත බව දැනගැනීමට ලැබුනා.
ඊලඟට ආසන්න වපසරියක් තුලදී ථූපාරාමය, වටදාගෙය, අටදාගෙය, හැටදාගෙය, නිශ්ශංකලතා මණ්ඩපය, ගල්පොත සහ සත්මහල් ප්‍රාසාදය යන ස්ථාන වල නටඹුන් දැකගැනීමට හැකි වෙනවා.
ඉහළ වම් කෙලවරේ තියෙන දර්ශනීය ගොඩනැගිල්ල වටදාගෙය ලෙස හඳුන්වනවා. මහා පරාක්‍රමබාහු විසින් දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකර තිබූ මෙය එදා දළදා මන්දිරය ලෙස භාවිතා වන්නට ඇති.
ඉහළ මැද ඡායාරූපයේ දැක්වෙන්නේ නිශ්ශංකලතා මණ්ඩපය. නිශ්ශංකමල්ල රජතුමා විසින් පිරිත් ශ්‍රවනයට සහ දළදා ප්‍රදර්ශනයට සාදවන ලද්දක්. මෙහි නෙලුම් දණ්ඩක හැඩැති ගල්කනු අද වනවිට ඉතිරිවී තිබෙනවා. ඉහළ දකුනු ඡායාරූපයේ තියෙන්නේ සත්මහල් ප්‍රාසාදය. ගඩොලින් නිමකල මෙකී ගොඩනැගිල්ල ඉහලට යනවිට ප්‍රමාණයෙන් කුඩා වනවා. මෙහි අතීත නම හෝ නිර්මාපකයා අවිනිශ්චිත බව සඳහන් වී තිබුනා.
මීට අමතරව අටදාගෙයත්, හැටදාගෙයත් පිලිවෙලින් 1 වන විජයබාහු සහ නිශ්ශංකමල්ල යන රජවරුන්ගේ දළදා මාලිගා ලෙස යොදාගෙන තිබෙනවා. මෙම ද්විත්වයම දෙමහල් ගොඩනැගිලි ලෙස එදා ඉදිකර තිබෙනවා.
මේ තියෙන්නේ නිශ්ශංකමල්ල රජුගේ පුරාජේරුව! ගල්පොත ලෙස හඳුන්වන මෙය ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය වනවා. ටොන් 15ක පමණ බරකින් යුතු මෙය මිහින්තලයේ සිට කි. මී. 100කට අධික දුරක් ගෙවාගෙන ‍රැගෙන විත් තිබෙනවා.
ඊලඟට අපි නතර උනේ, පබලු වෙහෙර ලඟ. පහල වම් ඡායාරූපයේ තියෙන්නෙ පබලු වෙහෙර. මෙය මහා පරාක්‍රමබාහු රජුගේ රූපවතී නම් බිසවක් විසින් කරවූ බව කියැවෙනවා. මේ අවටින් විශාල වශයෙන් පබලු හමුවීම නිසා මේ චෛත්‍යයට මෙකී නම පටබැඳුනු බව සඳහන්.
ඉහල මැද සේයාරුවේ තියෙන්නෙ නිශ්ශංකමල්ලයන් විසින් ඉදිකලායැයි සැලකෙන රන්කොත් වෙහෙර. ඉහල දකුණු කෙලවරේ තියෙන්නෙ මැණික් වෙහෙර ලෙස හඳුන්වන විහාර සංකීර්ණයේ කොටසක්.
අපේ ඊලඟ නැවතුම්පල උනේ ලංකාතිලක පිලිමගෙය, කිරි වෙහෙර, නෙලුම් පොකුණ කියන ගොඩනැගිලියි.  ඉහල සේයා රූ වල පිලිවෙලින් දැක්වෙන්නේ එකී ගොඩනැගිලි ත්‍රිත්වයයි.  ලංකාතිලකය මහා පරාක්‍රමබාහු විසින් කරවන ලද්දක්. මෙය පොලොන්නරුවේ ගොඩනැගිලි අතුරින් විශාලතම සහ අලංකාරම ගොඩනැගිල්ල ලෙස හැඳින්වීමේ වරදක් නෑ. කිරි වෙහෙර මහා පරාක්‍රමබාහු රජතුමාගේ "සුභද්‍රා" නම් බිසව විසින් සාදවන ලද්දක්. නෙලුම් පොකුණ මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දක්.  එතුමා මෙවන් පොකුණු 8 ක් කරවන ලද බව මහාවංශයේ සඳහන් වෙනවා. ඉන් කීපයකම නටඹුන් අදටත් මේ ප්‍රදේශයේ දක්නට ලැබෙනවා.
මීට අමතරව ගල් විහාරය, දෙමල මහා සෑය, ආලාහණ පිරිවෙන, තිවංක පිලිමගෙය ආදී ගොඩනැගිලි කිහිපයකම නටඹුන් මේ ප්‍රදේශයේ දක්නට ලැබෙනවා. ඒ අතරින් මගේ සිත්ගත් ගොඩනැගිල්ල උනේ මේ ඡායාරූපයේ දැක්වෙන තිවංක පිලිමගෙයයි. මෙයත් මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලද්දක්. මෙහි ඇති බුද්ධ ප්‍රතිමාව දණ, උකුල, උරහිස යන ස්ථාන වලින් නැමී ඇති නිසා 'තිවංක' යන නාමය ලැබූ බව සඳහන්. පිළිමගෙය තුල තවමත් ශේෂව පවතින චිත්‍ර මේ ගොඩනැගිල්ලට විශාල අගයක් එක්කර තිබෙනවා.
පොලොන්නරුව පැරණි නගරය තුල ඇති මෙකී පුරා විද්‍යා නටඹුන් වලට අමතරව පොලොන්නරු දිස්ත්‍රික්කය තුල ඇති තවත් පූජනීය ස්ථාන කිහිපයක් හඳුනා ගැනීමට ලැබුනා.
මේ තියෙන්නේ පොලොන්නරුවේ සිට කි.මී. 38ක පමණ දුරකින් ඇති සෝමාවතී චෛත්‍යය. පොලොන්නරුවේ ඇති පැරණිම ස්ථූපය ලෙස මෙය සැලකෙනවා. සෝම නුවර ප්‍රාදේශීය පාලකයාව සිටි ගිරි අබා කුමරු තම බිසව වූ සෝමා දේවිය සිහිවීම පිනිස සාදවන ලද්දක්. බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ මෙහි තැන්පත් කර තිබෙනවා.
මේ තියෙන්නේ මැදිරිගිරිය වටදාගෙය. පොලොන්නරුව නගරයේ සිට කි.මී. 34ක පමණ දුරකින් පිහිටා තිබෙනවා. මෙය අතීතයේ මණ්ඩලගිරි, මැඩිලිගිරි යන නම් වලින් හඳුන්වා තිබෙනවා. මෙය සෑදවූ අය හඳුනාගෙන නැතත් රජවරු බොහෝ පිරිසක් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකර ඇති බව සොයාගෙන තිබෙනවා. එමෙන්ම දියුණු රෝහලක්ද මැදිරිගිරි භූමියේ තිබූ බව ශිලා ලිපියක සඳහන්ව තිබෙනවා. එම රෝහලේ නශ්ඨාවශේෂ අදටත් මැදිරිගිරි භූමියේ දක්නට ලැබෙනවා.

පොලොන්නරුවේ සිට කි. මී 20ක පමණ දුරකින් දිඹුලාගල පිහිටා තියෙනවා. ඊට තවත් කි.මී 3ක් පමණ මෑතින් නාමල් පොකුණ නටඹුන් පිහිටා තියෙනවා. පොලොන්නරු චාරිකාවේ අපේ අවසාන නැරඹුම් ස්ථානය වුනේ නාමල් පොකුණ. නාමල් පොකුණ කියන්නේ අනුරාධපුර යුගයේ සිට ක්‍රමික විකාශනයක් සහිතව ආ පබ්බත විහාර සංකීර්ණයක්.


වසර 200කට අඩු කාලයක් පැවති පොලොන්නරු රාජධානිය කාලිංඝ මාඝ ආක්‍රමණයත් සමඟ විනාශවී යනවා. මාඝ පොලොන්නරුවේ බොහෝ ගොඩනැගිලි විනාශ කර දමනවා. මාඝ ආක්‍රමණයෙන් පසු තවත් වසර 800ක පමණ ඇවෑමෙන් අදටත් පොලොන්නරු නටඹුන් ශේෂව පවතිනවා. එදවස මේ ගොඩනැගිලි පොලොන්නරු භූමියේ කොතරම් ප්‍රෞඩත්වයකින් විරාජමානව බැබලෙන්නට ඇත්ද? මේසා කාලයක් නොනැසී පැවතීමට තරම් ශක්තිමත් ශෛල නිර්මාණ කිරීමට ලාංකේය ගල් වඩුවාට කොතරම් නිපුණතාවක් තිබෙන්නට ඇත්ද? සිතන්නට ඉතුරු කරමින් සමුගන්නම් අදට. සුභ දවසක් ඔබට!
read more "මේ තරම් සියුමැලිද කලුගල් සිතන්නටවත් බැරි නිසා.... "

Monday, February 6, 2017

ගෝකණ්ණ පුර වරුණ

ගෝකණ්න නමින් පුරාතනයන් හැඳින්වූ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට තමයි අද මම ඔබව ‍රැගෙන යන්නේ.
කොළඹ සිට කි. මී. 250 ක පමණ දුරක් ගෙවා අපි ත්‍රිකුණාමලය නගරයට සේන්දු උනා. පැය 7ක පමණ ගමනක් යැයි සාමාන්‍ය පිලිගැනීම වුනත් රාත්‍රී කාලයේ පැ. කි. මී 70ක පමණ අඛන්ඩ වේගයකින් පැමිණි නිසා පැය 4කදී අපි ගමන සම්පූර්ණ කලා.
ත්‍රිකුණාමලය කියන්නේ බොහෝ කාලයක් ත්‍රස්ත ග්‍රහනයේ තිබූ නගරයක්. අද වනවිට බහුතරයක් වූ මුස්ලිම්, දෙමළ හා සිංහල සුලුතරයක් සාමකාමීව මේ ප්‍රදේශයේ ජීවත් වෙනවා. අවම පහසුකම් සහිත කුඩා නගරයක් වුවත් ත්‍රිකුණාමය අවට ඉතා හොඳ මාර්ග පද්ධතියක් දකින්නට ලැබුනා. නගරය අවට ඔබට දැක බලා ගත හැකිතැන් මොනවාද? මේ සිතියමේ දැක්වෙන්නේ ත්‍රිකුණාමලය නගරය හා ඒ අවට ඔබට නැරඹිය හැකි ප්‍රසිද්ධ ස්ථාන.

ආටෝප ගැට පද අවශ්‍ය නෑ. විස්තර අඩුවෙන් සහ ඡායාරූප වැඩියෙන් යොදාගෙන අද අපේ සංචාරය සිදුකරමු.

ත්‍රිකුණාමලයට එන සංචාරකයින් අනිවාර්ය්‍යයෙන් යන තැනක් තමයි කෝනේශ්වරම් කෝවිල. ෆෙඩ්‍රික් කො‍ටුවෙන් ඇතුල්වන ඔබට කෝනේශ්වරම් කෝවිලත් රාවණ කැපුම හෙවත් lovers leap යනුවෙන් හැඳින්වෙන ස්ථානයත් දැක බලා ගැනීමට පුලුවන්. මෙම ස්‌ථානයෙන් පැන දිවි නසාගත් සුදු ජාතික යුවළක්‌  නිසා මේ "lovers leap" නම ලැබූ බව සඳහන්. වම් ඡායාරූපයේ දැක්වෙන්නේ එකී රාවණ කැපුමයි.




මේ තියෙන්නේ වෙල්ගම්වෙහෙර. පිහිටි ස්ථානය, දුර සහ මාර්ග විස්තරය සිතියමෙන් සොයාගත හැකියි. ත්‍රස්තවාදී සමයේ මෝටාර් උණ්ඩ වලින් පවා බැට කෑ වෙල්ගම්වෙහෙර බෝ සමිඳුන් අදටත් විරාජමානව වැජඹෙනු දකින්නට ලැබුනා. ඒ අවට තිබූ පුරාණ නටඹුන් සහිත භූමිය නෙතට මෙන්ම ගතටත් සිසිලසක් එක් කිරීමට සමත් වුනා.


අද අපේ සංචාරයේ දෙවෙනි දවස!  අනුරාධපුර හන්දියෙන් (4 කණුව හන්දිය) හැරී ත්‍රිකුණාමලය-අනුරාධපුරය මාර්ගයේ මද දුරක් යනවිට වෙල්ගම්වෙහෙරට කලින් කන්නියා උණුවතුර ළිං දකින්නට ලැබුනා. මෙහි යාමට සුදුසුම වේලාව උදෑසන කාලයයි. සතිඅන්ත දිනවල උදෑසන 6ට මෙම ස්ථානය විවෘත වෙනවා. රු. 10/- ක ප්‍රවේශපතක් ලබාගනීමෙන් සිතේ හැටියට උණුවතුර නාගැනීමට මෙය කදිම ස්ථානයක්. පහත සේයාරුවේ දැක්වෙන ආකාරයේ ලිං 7ක් මෙම ස්ථානයේ ඉදිකර තියෙනවා. 60 °C ක හෝ ඊට වැඩි උෂ්ණත්වයක් මේ වතුරේ තියෙන බව අනුමාන කරන්න පුලුවන්.


පෙර අවසරයකින් තොරව නැරඹිය හැකි කෞතුකාගාර දෙකක් ත්‍රිකුණාමලය නගරය තුල පිහිටා තියෙනවා. පහල වම් ඡායාරූපයේ දැක්වෙන්නේ සමුද්‍ර හා නාවික ඉතිහාස කෞතුකාගාරය. ගාල්ල කො‍ටුව තුල පිහිටි සමුද්‍ර හා නාවික කෞතුකාගාරයට සමාන කමක් දක්වන මෙහිදී සමුද්‍ර හා නාවික ඉතිහාසයට සම්බන්ධ බොහෝ දෑ දැකගැනීමට පුලුවන්. පහල දකුණු ඡායාරූපයේ දැක්වෙන්නේ ඔර්ස් හිල් යුධ හමුදා කෞතුකාගාරය. මෑතකදී විවෘත කරන ලද මෙහි යුධ හමුදාව භාවිතා කරන ලද බොහෝ අවි ආයුධ, වාහන මෙන්ම කොටි ත්‍රස්තවාදීන්ගෙන් අත්පත් කරගන්නා ලද ආයුධ කීපයකුත් දැකගැනීමට ලැබුනා.


මීට අමතරව පූර්ව අවසරයක් සහිතව පමණක් යාහැකි ස්ථාන දෙකක් ත්‍රිකුණාමලය අවට හඳුනාගත හැකියි. ඒ නැගෙනහිර ප්‍රදේශයේ නාවික හමුදා විධාන මූලස්ථානය (Command Headquarters Eastern Naval Area) සහ චීන වරාය (China Bay). නාවික හමුදා මූලස්ථානය නැරඹීමට සති කීපයකට කලින් ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමුකල යුතුයි. චීන වරාය නැරඹීමට නම් වාහන අංකය, සංචාරකයින්ගේ හැඳුනුම්පත් අංක සඳහන් ලිපියක් 0262233601 අංකයට FAX කිරීම ප්‍රමානවත්. 026 226 6100 අංකයට කතා කිරීමෙන් වැඩි විස්තර දැනගැනීමට පුලුවන්. සිතියමේ අශ්රොෆ් ජැටිය ලෙස දක්වා ඇත්තේ මෙකී චීන වරායයි. මෙම ස්ථාන දෙකෙන් අපි නැරඹුවේ චීන වරාය පමණයි. පහත සේයා රූ වලින් දැක්වෙන්නේ චීන වරාය අවට ස්ථාන ගතවී තිබුනු යාත්‍රාවක් සහ ඈතින් පෙනෙන ප්‍රීමා කර්මාන්තශාලාව.


අපේ ඊලඟ ගමනාන්තය උනේ මාබල් බීච්. පුද්ගලික අයිතියට පත්ව ඇති මාබල් මුහුදු වෙරළ නැරඹීමට රු 20/-ක ප්‍රවේශපතක් ලබාගත යුතුයි. අපි ගිය දිනයේ මුහුද තරමක් රළු වී තිබූ නිසා ස්නානයට අවසර ලැබුනේ නෑ.


දෙවෙනි දිනයේ අපේ අවසාන ගමනාන්තය උනේ සේරුවාවිල. අපේ සංචාරයේ ත්‍රිකුණාමල නගරයේ සිට වැඩිම දුරකින් පිහිටි නැරඹුම් ස්ථානය උනෙත් සේරුවාවිල රජමහා විහාරය. A15 මාර්ගය ඔස්සේ කි. මී. 40 ක පමණ දුරක් මේ සඳහා ගෙවා දැමිය යුතුයි. කාවන්තිස්ස රජ දවස ඉදිකරන ලද සේරුවිල චෛත්‍යයේ බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර තිබෙනවා.

තෙවනි දිනයේ අපි ගමන් කලේ නිලාවේලි මුහුදු තීරය වෙතට. මේ තියෙන්නෙ ඒ අතරමඟ හමුවෙන "යුධ සුසානය" (Trincomalee War Cemetery). දෙවනි ලෝක යුද්ධයේදී මියගිය බ්‍රිතාන්‍ය හමුදාවට අයත් සෙබලු 303 දෙනෙකුගේ සොහොන් කොත් මේ භූමියේ දක්නට ලැබුනා. කුඩා නමුත් මනරම් භූමි භාගයක පිහිටි මේ යුධ සුසානය මගේ කැමරා කාචයේ සටහන් උනේ මෙහෙමයි.

මේ තියෙන්නේ නිලාවේලි මුහුදු තීරය. සංචාරකයන් අතර ප්‍රසිද්ධ "පරෙවි දූපත" පිහිටා ඇත්තේත් මේ අසල. ඒ සඳහා කි. මී. 2කට අධික බෝට්‍ටු සවාරියක යෙදීමට ඔබට සිදුවේවි. අපි ගිය දිනයේ මුහුද ඉතා රළු වී තිබුනා. ඒ නිසා අපි අතිරේක අවධානමක් ගත්තේ නෑ.


ත්‍රිකුණාමලය අවට බොහෝ තැන් දැක බලාගත් අපි දවස් 3ක සාර්ථක සංචාරයක් නිමා කරා. ඉදිරියේදී මුල්වරට ත්‍රිකුණාමලයේ සංචාරය කරන්න බලාපොරොත්තුවෙන යමෙක් ඇත්නම් මේ ලිපිය ඔවුන්ට විශාල උපකාරයක් වේවි. එය එසේ නම් මගෙත් සතුට එයයි.


read more "ගෝකණ්ණ පුර වරුණ"