Wednesday, December 25, 2019

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ

අද අපි යනවා අවාරයේ පාසිකුඩා සංචාරය කරන්න. ඇයි අවාරයේ යන්නෙ? ඔබට එහෙම හිතෙනවා ඇති. නත්තල් නිවාඩුවට යන්න තැනක් හොයද්දි මට ඕනෙ උනේ මීට පෙර නොගිය තැනකට යන්න. ලංකාවෙ මම මෙතෙක් නොගිය තැන් නම් බොහොමයි. ඒත් ප්‍රාදේශීය වශයෙන් ගත්තම මම මෙතෙක් නොගිය දිස්ත්‍රික්ක තියෙන්නෙ බොහොම සීමිත ප්‍රමාණයක්. එයින් මම අද ‍තෝරාගන්නේ නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කය. මීට හරියටම වසර දෙකකට පෙර මම ඔබව පොලොන්නරු සංචාරයක් සඳහා ‍රැගෙන ගියා මතක ඇති. අද මම ඊට එහා ඔබව ‍රැගෙන යනවා. යමු මාත් එක්ක. නැවුම් සංචාරක අත්දැකීමක් විඳගන්න.
පොලොන්නරුවේ සිට පාසිකුඩා දක්වා ඇත්තේ කි.මී. 70කට අඩු දුරක්. ඒ සඳහා ඔබට පැය 1 1/2කට ආසන්න කාලයක් ගතවේවි. ඒ අතර එක යායට වැවුනු කුඹුරු, මුඩු බිම් හැරුනුකොට වෙන යමක් දැකගැනීමට ඇත්නම් ඒ ශරියා විශ්වවිද්‍යාලය (මඩකලපු විශ්වවිද්‍යාලය) පමණයි.
පාසිකුඩා එන දෙස් විදෙස් සංචාරකයින්ගේ මූලික අරමුණ වෙරලේ අසිරිය විඳගැනීම. අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා ඒ සඳහා සුදුසුම කාලය ලෙස නම් කෙරෙනවා. අවාරය නිසා මුහුද තරමක් රළුවී තිබුනත් සැලකිය යුතු සංචාරකයින් පිරිසක් අප යනවිටත් පාසිකුඩා වෙරලේ දකින්න ලැබුනා.
වෙරළට අමතරව පාසිකුඩා අවට නැරඹිය හැක්කේ මොනවාද? ඒ ප්‍රශ්නයට උත්තර හොයන්න යමු මාත් එක්ක.
මේ තියෙන්නෙ මඩකලපු ප්‍රදීපාගාරය. පාසිකුඩා වෙරලේ සිට කි. මී. 35ක් දකුණින් මෙය පිහිටා තිබෙනවා. 1913දී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් නිර්මාණයකරන ලද මේ ප්‍රදීපාගාරය මීටර් 28ක් උස බව දැනගැනීමට ලැබුනා. විශේෂ ආකර්ශණයක් නොගත් කුලුණක් උනත් තවමත් මෙය රාත්‍රියේදී නැවියන්ට මග කියනවා. මඩකලපු ප්‍රදීපාගාරය නරඹන ඔබට කලපුව හරහා බෝට්‍ටු සවාරියක් යන්න පුලුවන්. එසේත් නැත්නම් ප්‍රදීපාගාරය ඉදිරිපිට ඇති වෙලඳසලෙන් තල් නිෂ්පාදන කිහිපයක් මිලදී ගන්නත් පුලුවන්.
ඊලඟට අපි නැවතුනේ කල්ලඩි පාලම ලඟ. 1924 දී ඉදිකෙරුණු මෙය ලංකාවේ පිහිටි දිගම යකඩ පාලම (මීටර් 228ක්) ලෙස හැඳින්වෙනවා. අදටත් මේ පාලම යතුරු පැදි හා පාපැදි සඳහා විවෘතව පවතින ආකාරය දැකගැනීමට ලැබුනා.

කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
ඇයි ගොළු ගැහුණේ
සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ //

කල්ලඩි පාලම යට කලපු දිය දෙස මොහොතක් අපි නිසොල්මන්ව බලා සිටියා. ඒත් රල බි‍ඳෙන හඬ හැරෙන්න මාළුවෝ සින්දු කියන හඬක් නම් අපිට ඇසුනේ නෑ. උන් දැන් ගොළුවී ඇද්ද? එසේ නම් ඒ ඇයි? මඩකලපුව කියන්නේ දශක තුනක යුද්ධයෙන් පීඩා විඳි නගරයක්. මිනිසුන් බිම් අයිතිය වෙනුවෙන් යුධ වදිද්දී, ඒ කිසිවක් නොදත් මත්ස්‍ය කැල එදා පාලම යට සිට සතුටින් ගී ගයන්නට ඇති. එකී අරුමයත්, යුද්ධයේ ශෝකාලාපයත් ගුණදාස කපුගේ ගේ හඬින් ගීයකට පෙරලුනේ එහෙමයි.
මීලඟට අපි ගියේ මඩකලපුව කලපුව ඇතුලේ පිහිටි පුලියන්තිව් දූපතට. එහි පිහිටි ගාන්ධි උද්‍යානය තමයි ඔබ මේ දකින්නේ. උද්‍යානයට අමතරව, මඩකලපුව කො‍ටුවත්, පුස්තකාලයක්, කුඩා කෞතුකාගාරයක්, මහනගර සභාව, බන්ධනාගාරය, රෝහල, ආදී වැදගත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන ගනනාවක් මේ දූපත තුල පිහිටල තියෙනවා.


ඉහල වම් ඡායාරූපයේ ඔබ දකින්නේ ගාන්ධි උද්‍යානය අසල පිහිටි කුඩා කෞතුකාගාරයක්. සාමාන්‍ය නිදන කාමරයකට වඩා විශාල නොවූ මෙය කෞතුකාගාරයකට වඩා භෞතික විද්‍යාගාරයක් ලෙස හැඳින්වීමට පුලුවන්. මූලික භෞතික විද්‍යා න්‍යායන් කීපයක් ආදර්ශනය කිරීමට සැකසූ අනුරූ කීපයක් මෙය තුල දැක ගැනීමට හැකිවෙනවා. ටෙස්ලා දඟරයක්, ගම්‍යතා අවලම්භයක්, කෲක්ස් විකිරණමානයක්, වෘත්තාකාර චලන ආදර්ශකයක්, Eddy Current ටියුබයක් යනාදිය ඒ අතර වෙනවා. ඉහල දකුණු ඡායාරූපයේ දැක්වෙන්නේ මඩකලපුව ලන්දේසි බලකොටුව. මෙය 1628දී පෘතුග්‍රීසීන් විසින් ඉදිකරන ලද්දක්. 1638 මැයි 18 වන දී ලන්දේසින්ගේ පාලනයට නතුවූ මෙය 1745 වර්ෂයේ පටන්  බ්‍රිතාන්‍යයන් විසින් භාවිතකර තියෙනවා. හතරකොන මුරකුටිත්, ඇතුලත සිර කුටි, වෙඩිබෙහෙත් ගබඩාවක්, කුරුබිලි, උමං සහ වටේට පිහිටවූ කාලතුවක්කු සහිතව මේ බලකො‍ටුව ඉදිවී තිබෙනවා. අද වනවිට මෙය මඩකලපුවේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය ලෙස භාවිතා කෙරෙනවා. මඩකලපුව නගරයට සමුදුන් අපි ආපසු පාසිකුඩාහි පිහිටි අපේ නවාතැන්පොල වෙත පිටත් උනා.
පාසිකුඩා කියන්නේ සංචාරක පාරාදීසයක්. එහි බොහොමයක් හෝටල් සහ ආපනශාලා පාසිකුඩා වෙරලට යාබදව එක පොකුරට පිහිටල තියෙනවා. මේ තියෙන්නේ එකී හෝටල්වලට මධ්‍යගතව පිහිටි පොල් සංස්කෘතික උද්‍යානය. පාසිකුඩා පැමිණෙන ඔබ අනිවාර්ය්‍යයෙන්ම යා යුතු තැනක් ලෙස මා මේ පොල් උයන නම් කරනවා.



මෙය පොල් වගාකිරීමේ මණ්ඩලයට අනුබද්ධිත ආයතනයක්. මෙහිදී ඔබට පොල් වගාවේ මූලිකාංග, පොල් වගාවට බලපාන දේශගුණික හා පාරිසරික සාධක, පොල් වගාවේ ගැටලු, පොල් වර්ග, පොල් වගා ක්‍රම, පොහොර වර්ග හා පලිබෝධනාශක ක්‍රම, පොල් ආශ්‍රිත නිශ්පාදන හා ඒ හා සබැඳි වෙලඳපොල ගැටලු ආදී එකී මෙකී නොකී බොහෝ දෑ ගැන අවබෝධයක් ලබාගැනීමට හැකිවේවි.
මේ ඉන්නේ ක්ෂේත්‍ර නිලධාරී බණ්ඩාර මහත්මයා. ඔහු තමයි අපිට පොල් උද්‍යානය තුල මාර්ගෝපදේශකයා උනේ. ඔහු කියපු විදියට ඔවුන්ට තියෙන ප්‍රධාන ගැටලුව ශ්‍රමිකයින්ගේ හිඟකමලු. "හමුදාව දාල හරි මේක ගොඩගන්න පුලුවන් නම්, ලොකු දෙයක් මහත්තයෝ... එහෙම උනොත් මේක සල්ලි උල්පතක්. දැන් විනාශ වේගෙන යනව... දැන් සංචාරකයොවත් මේක බලන්න එන්නෙ නෑ..." ඔහුගේ වචන තවමත් මගේ දෙසවන් තුල දෝංකාර දෙන සේයාවක් මට දැනෙනවා.

පිට රට හාලේ බත් ටික නැත්තන්

බඩගින්නේ සිංහලයා....//
අන්තිමේදී බුදියන පැදුරත්
දැන් දැන් පිට රටින් එන්නා....//

දේශීය නිෂ්පාදන ආර්ථිකය ගොඩනැංවීම සඳහා බලධාරීන්ගේ ඇස් ඇරේවායි පතමින් සමුගන්නම් අදට. තවත් රසබර ලිපියකින් ලඟදීම හමුවෙන බලාපොරොත්තුවෙන්. සුභ දවසක්!
read more "කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ"