Wednesday, October 2, 2013

අටවිසි බුදුවරු පිටදුන් බෝධී

අප ගෞතම බුදුරජාණන්වහන්සේ බුදුවරුන් තුන් නමකගෙන් අනියත විවරණත් (*) තවත් බුදුවරුන් විසිහතර දෙනෙකුගෙන් නියත විවරණත් (**) ලැබූ බව ඔබ දන්නවා ඇති. එසේ විවරණ දුන් බුදුවරුන් ගැනත් උන්වහන්සේලාට බුදුවීමට සෙවන දුන් වෘක්ෂ ගැනත් අද ලිපියෙන් සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා.



ඔබේ දැනගැනීම සඳහා අතුරු කාරණා දෙකක් සඳහන් කරන්නම්.
1)  මෙතෙක් පහල වූ බුදුවරුන් ගණන සංඛ්‍යාවකින් දැක්විය නොහැකි තරම් අප්‍රමාණ බව බුද්ධ දේශනාවේ සඳහන්වෙනවා. ඒ සියලු බුදුරජාණන්වහන්සේලා දෙසූ ධර්මය පමණක් නොව උන්වහන්සේලාගේ බුද්ධාත්මභාවයට සම්බන්ධ බොහෝ කාරණාත් සමානයි. උදාහරණ කිහිපයක් පවසනවා නම්, සතර පෙරනිමිති දැකීම, පුත් කුමරෙකු උපදින දින ගිහිගෙය හැරයාම, බුදුවන දවස කිරිපිඬු වැළඳීම, පරිනිර්වාණයට පෙර ගන්නා ආහාරය (සූකර මද්දවය) වැනි තවත් බොහෝ දෑ සියලු බුදුවරුන්ට පොදු වෙනවා.
2)  මේ ලිපියේ කියැවෙන අටවිසි බුදුරජාණන්වහන්සේලා මහා කල්ප 12ක් තුල පහලවී තිබෙනවා. පහලවන බුදුවරු ප්‍රමාණය මත මහා කල්ප වර්ග කොට තිබෙනවා.
  • ශුන්‍ය කල්පය - බුදුරජාණන්වහන්සේලා පහල නොවන කල්ප.
  • සාර කල්පය - එක්  බුදුරජාණන්වහන්සේ නමක් පමණක් පහල වන කල්ප.
  • මණ්ඩ කල්පය - බුදුරජාණන්වහන්සේලා දෙනමක් පහල වන කල්ප.
  • වර කල්පය - බුදුරජාණන්වහන්සේලා තුන්නමක් පහල වන කල්ප.
  • සාරමණ්ඩ කල්පය - බුදුරජාණන්වහන්සේලා සිවුනමක් පහල වන කල්ප.
  • භද්‍ර කල්පය - බුදුරජාණන්වහන්සේලා පස්නමක් පහල වන කල්ප.
අප ජීවත්වන්නේ භද්‍ර කල්පයක බවත්, දැනට කකුසඳ, කෝණාගම, කස්සප, ගෞතම යන බුදුන්වහන්සේලා පහලවී, මෛත්‍රී බුදුරජාණන්වහන්සේ ඉදිරියේදී පහල වීමට ඇති බවත් ඔබ දන්නවා ඇති. කල්පයක් යනු කොපමණ කාලයක් දැයි ඔබ දැන් සිතනවා විය යුතුයි. මීට කදිම උපමාවක් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. “මහණෙනි, යම් සේ දිගින්, පළලින් හා උසින් යොදුනක් (සැතපුම් 16ක්) බැගින් එක සමාන වූ ඝන මහා කළුගල් පර්වතයක් වේද, එම කළුගල් පර්වතය  අවුරුදු සීයයකට වතාවක් ඉතා සිනිදු කසීසළුවකින් පිරිමැදීම  නිසා ඉතා දිර්ඝ කාලයක් ඇවෑමෙන් මේ මහා පර්වතය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වී යා හැකියි. එය, එසේ ගෙවී අවසන් වූවත්, කල්පයකට ඇති කාලය හෝ අවුරුදු ගණන අවසන් නොවේ”. ඒ ගැන සිතීම එතැනින්ම නතර කර අපි මේ ලිපියට අවධානය යොමු කරමු.

තණ්හංකර බුදුරජාණන් වහන්සේ - රුක්අත්තන  
මණ්ඩ කල්පයක පහල වූ තණ්හංකර බුදුරජාණන්වහන්සේ සුනන්ද සහ සුනන්දා යුවලට දාව ඉපිද රුක්අත්තන ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. 
මේධංකර බුදුරජාණන් වහන්සේ - කෑල
මණ්ඩ කල්පයක පහල වූ මේධංකර බුදුරජාණන්වහන්සේ සුදේව රජු සහ යසෝධරා දේවියට දාව ඉපිද කෑල ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක.
සරණංකර බුදුරජාණන් වහන්සේ - පලොල්
මණ්ඩ කල්පයක පහල වූ සරණංකර බුදුරජාණන්වහන්සේ සුමංගල සහ යසවතී දෙපලට දාව ඉපිද වසර 7000කට පසු ගිහිගෙය හැරගොස් පලොල් ගසක් මුල බුදුවී වසර 80,000ක් ආයුශ වැලඳූ සේක.
දීපංකර බුදුරජාණන් වහන්සේ - පතන
සාරමණ්ඩ කල්පයක පහල වූ දීපංකර බුදුරජාණන්වහන්සේ සුදේව රජුට සහ සුමේධා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් පතන ගසක් මුල බුදු වූ සේක. එකල අප බෝසතාණෝ වැඩ නිම නොවූ මාර්ගයක මඩ වලක් තරණය කිරීමට තම ශරීරය ඒ දණ්ඩක් කොට දීම නිසා නියත විවරණ ලැබීය.
කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ - සල්
සාරමණ්ඩ කල්පයක පහල වූ කොණ්ඩඤ්ඤ බුදුරජාණන්වහන්සේ සුනන්දා  සහ සුජාතා යුවලට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් සල් ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ වස්සාන මාසයේ මහා දානයක් දීම නිසා නියත විවරණ ලැබීය.
මංගල බුදුරජාණන් වහන්සේ - නා
සාරමණ්ඩ කල්පයක පහල වූ මංගල බුදුරජාණන්වහන්සේ උත්තර රජුට සහ උත්තරා දේවියට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් නා ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ පැන් නුමුසු කිරිබතක් සත් දිනක් දන් දීම නිසා නියත විවරණ ලැබීය. නා ගස ලංකාවේ ජාතික වෘක්ෂයයි.
සුමන බුදුරජාණන් වහන්සේ - නා
සාරමණ්ඩ කල්පයක පහල වූ සුමන බුදුරජාණන්වහන්සේ සුදත්ත සහ සිරිමා යුවලට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් නා ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ කෙල ලක්ෂයක් පමණ සඟලු දන් දීම නිසා නියත විවරණ ලැබීය.
රේවත බුදුරජාණන් වහන්සේ - නා
සාරමණ්ඩ කල්පයක පහල වූ රේවත බුදුරජාණන්වහන්සේ විපුල රජු සහ විපුලා දේවියට දාව ඉපිද වසර 6000කට පසු ගිහිගෙය හැරගොස් නා ගසක් මුල බුදුවී වසර 60,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ ශාසනයෙහි ගුණ වනා උතුරු සළුවක් පිදීම නිසා නියත විවරණ ලැබීය.
සෝභිත බුදුරජාණන් වහන්සේ - නා
සාරමණ්ඩ කල්පයක පහල වූ සෝහිත බුදුරජාණන්වහන්සේ සුධර්ම සහ සුධර්මා යුවලට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් නා ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බුදු පාමොක් සඟනට තුන් මසක් දන් දීම නිසා නියත විවරණ ලැබීය.
අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ - කුඹුක්
වර කල්පයක පහල වූ අනෝමදස්සී බුදුරජාණන්වහන්සේ යසවන්ත රජුට සහ යශෝදරා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් කුඹුක් ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බුදු පාමොක් සඟනට සත් දිනක් දන් දීම නිසා නියත විවරණ ලැබීය.
පදුම බුදුරජාණන් වහන්සේ - මුරුත
වර කල්පයක පහල වූ පදුම බුදුරජාණන්වහන්සේ අසම රජු සහ අසමා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් මුරුත ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ පදුම බුදුරජාණන්ට ජීවිත පරිත්‍යාගයෙන් සතියක් උපස්ථාන කිරීම නිසා නියත විවරණ ලැබීය.
නාරද බුදුරජාණන් වහන්සේ - මුරුත
වර කල්පයක පහල වූ නාරද බුදුරජාණන්වහන්සේ සුදේව රජු සහ අනෝමා දේවියට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් මුරුත ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ මහා දානයක් දී රත්හඳුන් පූජා කිරීම නිසා නියත විවරණ ලැබීය.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේ - හොර
සාර කල්පයක පහල වූ පදුමුත්තර බුදුරජාණන්වහන්සේ වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් හොර ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බුදු පාමොක් සඟනට පිරිකර සහිතව දන් දීම නිසා නියත විවරණ ලැබීය.
සුමේධ බුදුරජාණන් වහන්සේ - බක්මී
මණ්ඩ කල්පයක පහල වූ සුමේධ බුදුරජාණන්වහන්සේ සුදත්ත සහ සුදත්තනා යුවලට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් බක්මී ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ අසූ කෝටියක් ධනය දන් දීම නිසා නියත විවරණ ලැබීය.
සුජාත බුදුරජාණන් වහන්සේ - උණ
මණ්ඩ කල්පයක පහල වූ සුජාත බුදුරජාණන්වහන්සේ උද්ගත රජු සහ ප්‍රභාවතී දේවියට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් උණ ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ සක්විති රජෙකුව ඉපිද සතර මහා දිවයින් පූජා කිරීම නිසා නියත විවරණ ලැබීය.
පියදස්සී බුදුරජාණන් වහන්සේ - කුඹුක්
පියදස්සී බුදුරජාණන්වහන්සේ සුදත්ත රජු සහ සුනන්දා දේවියට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් කුඹුක් ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ කෙළ ලක්ෂයක විහාරයක් කර දීම නිසා නියත විවරණ ලැබීය.
අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ - සපු
අත්ථදස්සී බුදුරජාණන්වහන්සේ සාගර රජු සහ සුදර්ශනා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් සපු ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ මදාරා මලක් කුඩයක් කර බුදුන්ට පිදීම නිසා නියත විවරණ ලැබීය.
ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ - රත්කරව්
ධම්මදස්සී බුදුරජාණන්වහන්සේ සරණ රජු සහ සුනන්දා දේවියට දාව ඉපිද වසර 8000කට පසු ගිහිගෙය හැරගොස් රත්කරව් ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ රුවන් කරඬුවක ලා දිව්‍ය පුෂ්ප පිදීම නිසා නියත විවරණ ලැබීය.
සිදුහත් බුදුරජාණන් වහන්සේ - කිණිහිරියා
සාර කල්පයක පහල වූ සිදුහත් බුදුරජාණන්වහන්සේ උදේන රජුට සහ සුඑස්සා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් කිණිහිරියා ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බුදු පාමොක් සඟනට දඹ පැලඳවීම නිසා නියත විවරණ ලැබීය.
තිස්ස බුදුරජාණන් වහන්සේ - අසන
මණ්ඩ කල්පයක පහල වූ තිස්ස බුදුරජාණන්වහන්සේ ජනසන්ධ සහ පදුමා යුවලට දාව ඉපිද වසර 8000කට පසු ගිහිගෙය හැරගොස් අසන ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ පැවිදි වී මල් පිදීම නිසා නියත විවරණ ලැබීය.
ඵුස්ස බුදුරජාණන් වහන්සේ - නෙල්ලි
මණ්ඩ කල්පයක පහල වූ ඵුස්ස බුදුරජාණන්වහන්සේ ජයසේන රජුට සහ සිරිමා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් නෙල්ලි ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ දන් දී පැවදි වීම නිසා නියත විවරණ ලැබීය.
විපස්සි බුදුරජාණන් වහන්සේ - පලොල්
විපස්සී බුදුරජාණන්වහන්සේ බන්ධුමත්තු සහ බන්දුමතී යුවලට දාව ඉපිද වසර 8000කට පසු ගිහිගෙය හැරගොස් පලොල් ගසක් මුල බුදුවී වසර 80,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ සත් දිනක් දන් දී සත් රුවන් පු‍ටුවක් පූජා කිරීම නිසා නියත විවරණ ලැබීය.
සිඛි බුදුරජාණන් වහන්සේ - ඇටඹ (අඹ)
මණ්ඩ කල්පයක පහල වූ සිඛී බුදුරජාණන්වහන්සේ අරුණවත්තු සහ ප්‍රභාවතී යුවලට දාව ඉපිද වසර 7000කට පසු ගිහිගෙය හැරගොස් ඇටඹ ගසක් මුල බුදුවී වසර 70,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බුදු පාමොක් සඟනට දන් දී ඇතකු පිදීම නිසා නියත විවරණ ලැබීය.
වෙස්සභු බුදුරජාණන් වහන්සේ - සල්
මණ්ඩ කල්පයක පහල වූ වෙස්සභු බුදුරජාණන්වහන්සේ සුප්පකිත රජු සහ යසවතී දේවියට දාව ඉපිද වසර 6000කට පසු ගිහිගෙය හැරගොස් සල් ගසක් මුල බුදුවී වසර 60,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ දන් දී ගඳ කිළියක් සහ විහාර දහසක් කරවීම නිසා නියත විවරණ ලැබීය.
කකුසඳ බුදුරජාණන් වහන්සේ - මාර
භද්‍ර කල්පයක පහල වූ කකුසඳ බුදුරජාණන්වහන්සේ ඛේමා රජු සහ විශාකා දේවියට දාව ඉපිද වසර 4000කට පසු ගිහිගෙය හැරගොස් මාර ගසක් මුල බුදුවී වසර 40,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ සිවුරු පිරිකර පූජා කිරීම නිසා නියත විවරණ ලැබීය.
කෝණාගම බුදුරජාණන් වහන්සේ - අට්ටික්කා
භද්‍ර කල්පයක පහල වූ කෝණාගම බුදුරජාණන්වහන්සේ යඤ්ඤදත්ත සහ උත්තරා යුවලට දාව ඉපිද වසර 3000කට පසු ගිහිගෙය හැරගොස් අට්ටික්කා ගසක් මුල බුදුවී වසර 30,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ වස් තුන්මාසයේ දන් දීම නිසා නියත විවරණ ලැබීය.
කස්සප බුදුරජාණන් වහන්සේ - නුග
භද්‍ර කල්පයක පහල වූ කාශ්‍යප බුදුරජාණන්වහන්සේ බ්‍රහ්මදත්ත සහ ධනවතී යුවලට දාව ඉපිද වසර 2000කට පසු ගිහිගෙය හැරගොස් නුග ගසක් මුල බුදුවී වසර 20,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බ්‍රාහ්මණ වත් පිලිවෙත් කිරීම නිසා නියත විවරණ ලැබීය.
ගෞතම බුදුරජාණන් වහන්සේ - ඇසතු
භද්‍ර කල්පයක පහල වූ ගෞතම බුදුරජාණන්වහන්සේ සුද්ධෝදන රජු සහ මහාමායා දේවියට දාව ඉපිද වසර 29කට පසු ගිහිගෙය හැරගොස් ඇසතු ගසක් මුල බුදුවී වසර 80ක් ආයුශ වැලඳූ සේක.

සමුගන්නට පෙර තවත් එක් අතුරු කාරණාවක් මතක් කරන්නම්. රහත්බව ලබන්නට අඩු ම ගණනේ කල්ප ලක්ෂයක්  පෙරුම් පිරිය යුතු බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. අප ගෞතම බුදුරජාණන්වහන්සේගේ බෝධිසත්ව අවදියේ පමණක් හමුවී ඇති බුදුවරුන්ගේ ගණන 512027 ක් බව උන්වහන්සේ දේශනා කර තිබෙනවා. සසර ගමනේ දුර ගැන මීටත් වඩා සාධක කුමටද?

* අනියත විවරණය යනු බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කළ හොත් බුදු බව ලබාගත හැකි යැ යි බුදුරජාණන් වහන්සේ නමක් අනියමාර්ථයෙන් ප්‍රකාශ කිරීමයි.
** නියත විවරණ යනු බුද්ධකාරක ධර්මයන් සපුරණ බෝසතෙක් අනිවාර්‍යයෙන්ම බුදුවන බව තවත් බුදුවරයෙක් විසින් ප්‍රකාශ කිරීමයි.

මූලාශ්‍ර : අන්තර්ජාලය, බෞද්ධ පොත්පත්, උද්භිද විද්‍යා පොත්පත්.
ඡායාරූප : අන්තර්ජාලයෙනි.

18 comments:

  1. මේ පෝස්ට් එක හදන්න වුනු මහන්සිය ගොඩක් අගය කරනවා නිෂ්.. හරිම වැදගත්... මම ඊයේ බ්ලොග් රෝලෙන් මේක අයින් කරන්න ගියේ අප්ඩේට් නොවුණු නිසා.. හොඳ වෙලාවට අයින් කලේ නැත්තේ..

    මගේ බ්ලොග් එක. පරණ ඒවා කියවලා , ෆලෝ කරලා යන්න එන්න

    ReplyDelete
    Replies
    1. මේ ශාකයන් බොහොමයක් වැරදියි
      නිවැරදි කරන්න
      ඇටඹ සල් පලොල් තුනම වැරදියි

      Delete
  2. බොහොම ස්තූතියි සහන්! මගේ බ්ලොග් එකට මාතෘකා වෙන්නෙ ඉතිහාසය, ආගම, චාරිකා සටහන් වගේ ඒවා... මම ඊලඟට ලියන්න හිටියේ චාරිකා සටහනක්. ඒත් මේ වැඩ එක්ක ගොඩක් කාලෙකින් ට්‍රිප් එකක් යන්න බැරිඋනා. ඒකයි ගොඩක් කල් නිහඬ වෙලා ඉන්න උනේ.

    ReplyDelete
  3. වටිනාම සටහනක් සහෝ. නොදැන උන්නු දේවල් ටිකක් මේ. බොහොම කාලෙකින්නේද මේ...??

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රතී. ඔව්. හිතට එන හැම දේම නොලිය වැදගත් දෙයක් ලියන්න කරුණු එකතු කරගන්න කාලයක් යනව නොවැ. :) ඉදිරියේදී මීට වැඩි වේගයකින් ලිපි එකතු කරන්නම්.

      Delete
  4. ඉතාමත්ම වටිනා ලිපියක්.... ගොඩක් ස්තූතියි... ඔබට බුදු සරණයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි. බුදුසරණයි!

      Delete
  5. avurudu 100000k jeevath wana minissu, harima vidyathmakayi neda budhu dahama?

    ReplyDelete
    Replies
    1. සහෝදරයා, ලෝකය කියන්නේ අතට අහුවෙන, කනට ඇහෙන, ඇහැට පේන ටිකට විතරක් නෙවෙයි. මනුෂ්‍ය ලෝකයේ ආයුශ අවුරුදු 10 සිට අසංඛ්‍යය දක්වා විහිදෙන බව බුදුදහමේ කියැවෙනවා. ඒක නූතන විද්‍යාවේ සූත්‍ර සමීකරණ වලින් සාධනය කරල පෙන්නන්න බැරි බව ඇත්ත. (ඊනියා විද්‍යාවට අනුව නම් මනුෂ්‍යයෙක් අවු 150ක් ජීවත් වීමත් මැජික් එකක් තමයි.) බෞද්ධයන් විදියට මේ ලිපියේ එන කරුණු පිලිගැනීමට ඇතමුන්ට අයිතිය තියෙනවා. අබෞද්ධයෙක් විදියට එය නොපිලිගැනීමටත් ඔබට අයිතිය තියෙනවා. මම ඒ අයිතියට ගරු කරනවා. තමන්ගේ ආගම ගැන කතාකිරීම පසෙකලා අනුන්ගේ ආගමට ගැරහීම ලංකාවේ ගොඩක් දෙනෙක් කරන වරදක් කියලයි මට හිතෙන්නෙ. තව දෙයක්.. මේ ලිපිය "බුදු දහම" ගැන නෙවෙයි. "පෙර පහල වූ බුදුවරු" ගැනයි.

      Delete
    2. විද්‍යා මනුෂ්‍යයෙක්November 5, 2016 at 8:15 PM

      thawa avurudu biliyanakin polawe jivinta vasaya karannata beri lsa ira expand ve. etakota kalpa kata harima vidyathmakayi neda

      Delete
  6. ගස් ගැන විස්තර හා පින්තුර වලට ස්තුතියි.අර පිටිදුවේ සිරිදම්ම හිමියන් ගාවත් මේ ගස් බොන්සායි කරලා තියනවා කියලා අහල තියනවා.අද කාලේ ගෙදරක මේ ගස් වවන්න නියම ක්‍රමය.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක නම් ඇත්ත. බොහොම ස්තූතියි මේ පැත්තෙ ආවට.

      Delete
  7. good post, many thanks for this ( on this time no unicode for me soory ) thank again

    ReplyDelete
  8. sal gaha nam waradi sahoo.. bohomath sthuthi

    ReplyDelete
  9. sal gaha nam waradi sahoo.. bohomath sthuthi

    ReplyDelete
  10. sal gaha nam waradi sahoo.. bohomath sthuthi

    ReplyDelete
  11. අටවිසි බුදුවරු වැඩම කරපු ලංකාවේ තියන් තැන් මොනවාද ?

    ReplyDelete
  12. බුදු අම්මෝ
    නියම සටහනක් ගොඩක් පින් මෙහෙම එකක් හැදුවට
    ලස්සනයි
    එක දිගටම කියෙව්වා
    පෙර බුදුවරුන් ගැන තියෙන සූත්‍රය මොකක්ද

    ReplyDelete