Thursday, December 8, 2011

තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු!

ඔබ විධායක ශ්‍රේණියේ ‍රැකියාවක හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත අයෙක් නම්, බොහෝ විට තරු පංතියේ හෝටල්වල භෝජන සංග්‍රහ වලට ආරාධනා ලැබෙනවා. කුමක් හෝ විශේෂ දවසක, පවුලේ අය සමඟ මෙවැනි හෝටලයකින් ආහාර ගන්නා අයත් ඕනෑ තරම් ඉන්නවා. ඒසේත් නැත්නම් අඩුම තරමින් හිතවතෙකුගේ විවාහ උත්සවයකදීවත් ඔබ තරු පංතියේ හෝටලයකින් ආහාර ගන්න ඇති.
ඔබ දන්නවාද.. එවැනි හෝටල්වල, ආහාර ගැනීමේ සහ පිලිගැන්වීමේ පිලිගත් සම්ප්‍රදායන් තිබෙන බව? ඒ ගැන හරි හැටි දැනුවත් නැත්නම්, මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි.
  • භෝජන සංග්‍රහයට ආරාධනා ලැබුනු පසු, සතියක් පමණ ඇතුලත ඔබේ පැමිනීම ස්ථිර කරන්න. ආරාධනාපත හොඳින් කියවන්න. කොතැනක හෝ "dress code" එකක් සඳහන්ව තිබේනම්, ඔබ එදිනට ඇඳගෙන යා යුත්තේ එහි සඳහන් වර්ගයට හා වර්ණයට අයත් ඇඳුමක්. සමහරවිට ඔබ එදින ඉඳගත යුතු මේසයේ අංකයත් එහි සඳහන්ව ඇති.
  • නියමිත වේලාවට හෝටලයට යන ඔබ සුදුසු මේසයක් ‍තෝරාගතයුතුයි. කලින් වෙන්කරවාගත් මේසවල "Reserved" යනුවෙන් සඳහන්ව තිබෙනවා. ඒවගේම, ඔබේ කණ්ඩායමේ සිටින්නේ 4 දෙනෙක් නම්, 12කට පමණ ආසන පැනවූ මේසයක් ‍තෝරා නොගත යුතුයි.
  • සාමාන්‍යයෙන් හෝටල්වල ආහාර පිළිගන්වන්නේ ප්‍රධාන ක්‍රම 2කට අනුවයි.
    •  බුෆේ ක්‍රමය
    •  මෙනු ක්‍රමය
මෙනු ක්‍රමයේදී "3 course, 4 course, 5 course... " ආදී ලෙස ආහාර වර්ග ප්‍රමාණය මත කෑම වට්ටෝරුව වෙනස් වෙනවා. මීට අමතරව අවශ්‍යනම්, තමාට කැමති ආහාරයක් තමා කැමති ලෙස පිලියෙල කර දෙන්නැයි, ඉල්ලා සිටින්නත් පුලුවන්.
තමාට කැමති ආහාර වට්ටෝරුව ‍තෝරාගත් පසු ඔබ ආහාර ගැනීමට සූදානම්. දැන්, කෑම මේසයේ සැකැස්ම ගැන අවබෝධයක් ලබාගනිමු.


කෑම මේසයේ සැකැස්ම බොහෝ දුරට මේ වගේ. හොඳින් බලන්න. පිහිවල කැපෙන පැත්ත, තියෙන්නේ පිඟාන දෙසට. ඒ වගේම උපකරණ පාවිච්චිකල යුත්තේ පිඟානේ පිටත සිට පිඟාන දෙසට. රතු පාට ඊතල වලින් දක්වා ඇත්තේ එයයි.
දැන් නැප්කිනය ගෙන දිගහැර උකුලේ තබාගන්න. එය කමිසය ආවරණය වනලෙස ඇඳුමේ කොලරයට පහතින් රඳවා ගන්නත් පුලුවන්. නමුත් එය තරමක් පැරණි ක්‍රමයක්. කෑම ගැනීම නිමවූ පසු නැවත පිඟානට වම් පැත්තෙන් තියන්න.
දැන් ඔබ ‍තෝරාගත් මෙනුවට අදාල කෑම වර්ග එකින් එක ඔබට ලැබෙනවා.
  • මුලින්ම ඔබට ලැබෙන්නේ ඇපෙටයිසර් (ස්ටාටර්) විය හැකියි. එය ආහාර රුචිය වැඩිකිරීමට දෙන දෙයක් නිසා කුඩා ප්‍රමාණයක් ගැනීම ප්‍රමාණවත්.
  • දෙවනුව සුප් හා සලාද ලැබේවි. ඒ සඳහා අදාල හැඳි පාවිච්චි කරන්න. වරකදී, සුප් හැන්ද සම්පූර්ණයෙන් පුරවා ගැනීම නොකල යුතුයි. භාගයක් පමණ පුරවා ගැනීම සුදුසුයි.
  • අනතුරුව ප්‍රධාන ආහාරය ඔබට ලැබෙනවා. ඒ මෙනුවට අදාලව මාලු, කුකුල් මස් හා වෙනත් මස් වර්ග යන පිලිවෙලටයි.
  • අවසානයේ අතුරුපසත්, තේ හෝ කෝපිත් ඔබට ලැබේවි.
කෑම බෙදීමේදී වේටර් පැමිණෙන්නේ ඔබට දකුණු පැත්තෙන්. ඔබේ මේසයේ සිටින කුඩා ලමුන්ට මුලිනුත්, කාන්තාවන්ට දෙවනුවත්, පුරුෂයන්ට තෙවනුවත් කෑම බෙදීම සිදු කරනවා. කෑම බෙදීමෙන් පසු වේටර්වරයාට ස්තුති කිරීමට අමතක කරන්න එපා.
කෑම ගැනීමට ප්‍රථමයෙන් පිහිය සහ ගෑරුප්පුව අල්ලන නිවැරදි ක්‍රමයත්, ඔබ වයින් පානය කරනවා නම්, වයින් වීදුරුව අල්ලන නිවැරදි ක්‍රමයත් දැන සිටීම ප්‍රයෝජනවත් වේවි. පහත රූපවල ඇඟිලි තබාගෙන ඇති ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න.
    රූපයේ දැක්වෙන පරිදි සුරතින් පිහියත් වමතින් ගෑරුප්පුවත් ගෙන ආහාර කපා ගැනීම සිදුකරන්න. ඇමරිකන් ක්‍රමයට නම්, කපාගත් පසු, පිහිය පසෙකින් තබා ගෑරුප්පුව සුරතට ගෙන ආහාර ගත යුතුයි. යුරෝපීය ක්‍රමයට නම්, ගෑරුප්පුව සුරතට මාරුකරන්නේ නෑ. නමුත් ඔබ ආහාරයට ගන්නේ බත් නම් එය රඳවා ගැනීමේදී ගෑරුප්පුව මදක් කරදරකාරී විය හැකියි. එවැනි විටක හැන්දක් පාවිච්චි කිරීමේ වරදක් නෑ. 

    කෑම මේසයේදී නොකලයුතු දෑ
    • නාසය, මුහුණ හෝ හැඳි පිසදැමීමට නැප්කිනය කිසිවිටෙකත් යොදාගන්න එපා. 
    • කෑම මේසයේදී ඔබේ ජංගම දුරකතනය නාදවීමට ඉඩ තබන්න එපා.
    • කෑම මේසයේදී රූපලාවන්‍ය උපකරණ හෝ දත් හෑරීමේ කූරු පාවිච්චි කරන්න එපා.
    • තමන්ගෙ මේසයේ සියල්ලන්ම කෑම බෙදාගැනීමට පෙර ඔබ කෑම ගැනීම ආරම්භ කරන්න එපා. 
    • කෑම රස බැලීමටත් ප්‍රථමයෙන් ලුණු/ගම්මිරිස් යනාදිය එකතු කරන්න එපා.
    • වයින් ප්‍රතික්ෂේප කල යුත්තේ බඳුන මුනින් හැරවීමෙන් නොව, බඳුනේ කට අතින් වසා ගැනීමෙනි.
    • වැලමිට මේසය මත තබාගන්න එපා. වමත භාවිතා නොවන විටදී, එය උකුල මත තබා ගන්න.
    • බිම වැ‍ටුනු උපකරණ කිසිවිටෙකත් නැවත ගන්න එපා. ඒ වෙනුවට අලුත් උපකරණයක් ඉල්ලා ගන්න.
    • කෑම මේසයේදී ශබ්දනගා කතා කිරීම හෝ කිසිවක් කතා නොකර සිටීම නොකල යුතුයි. කෑම මේසයේ සියල්ලන් සමඟ ප්‍රසන්න මාතෘකාවක් ගැන සුලු කතාබහක නිරතවන්න.
    • කෑම කටේ තබාගෙන කතාකිරීම නොකල යුතුයි.
    • කැස්සක් හෝ කිවිසීමක් සිදුකරන විට මුඛය හා නාසය නිරාවරනය කරන්න එපා. නැප්කිනයෙන් වසාගන්න. දිගටම එය සිදුවේනම් විවේක කාමරයට යන්න. නැවත කෑම මේසයට එන්න පෙර දෑත් හොඳින් සෝදන්න.
    • පිඟානේ ආහාර මහා පරිමාණයෙන් ඉතිරි කිරීම හෝ කිසිවක් ඉතිරි නොකිරීම නොකල යුතුයි. කෑම බෙදාගැනීමට පෙර තමන්ගේ කුසගින්නේ ප්‍රමාණය ගැන ස්වයංනිර්ණායකයකට පැමිණෙන්න.
    • ආහාර ගැනීමෙන් පසු පිඟාන ඉවතට තල්ලු කිරීම හෝ පිඟන් ගොඩ ගැසීම කරන්න එපා.
    • සියලු දෙනාම ආහාර ගෙන නිමවන තෙක් කෑම මේසයෙන් නැගිටීම නොකල යුතුයි. ඊට ප්‍රථමයෙන් නැගිටීමට අවශ්‍යනම්, අනිකුත් සගයන්ගෙන් අවසර ගන්න.

    කෑම කන අතරතුරදී ආහාර දීසියක් තවත් අයෙකුට යැවීමට අවශ්‍යනම් සැම විටම තමාගේ දකුණුපසට යොමුකල යුතුයි. ඔබෙන් ඉල්ලා සිටින්නේ ලුණු හෝ ගම්මිරිස් නම්, ඒ බඳුන් දෙකම එකවර යැවීම තමයි සිරිත.
    හරි! දැන් ඔබ කෑම කා අවසන්. ඒ බව සංඥා කිරීමට පිහිය සහ ගෑරුප්පුව පහත රූපයේ දැක්වන ආකාරයට සමාන්තරව තබන්න. 

    බිල ගෙවීමෙන් පසු වේටර්වරයාට Tip එකක් දීමත් සිරිතක්. Tip එක විදියට ඔබට කැමති මුදලක් දියහැකියි. සාමාන්‍යයෙන් බිල්පතේ වටිනාකමින් 15%-20% අතර මුදලක් දීම සුදුසුයැයි කියනවා.

    මේ තියෙන්නේ තරු පංතියේ හෝටලයක ආහාර ගැනීමේ සහ පිලිගැන්වීමේ සාමාන්‍ය සිරිත. ඔබට හැඳි සහ ගෑරුප්පු භාවිතය කරදරකාරී කියා සිතෙනවා නම්, අතින් වුවත් ආහාර ගතහැකියි. ඒ සඳහා පසුබට වියයුතු නෑ. නමුත් සිරිත් දැනගෙන යාම ඔබට විශාල පහසුවක් වේවි. ගොඩක් ප්‍රයෝජනවත් වේවි. එය එසේ නම්, මේ ලිපියේ අරමුණත් එයමයි.

    14 comments:

    1. බොහොම ස්තුති සහෝදරයා, වමත හුරු අයට මෙය පොඩ්ඩක් අපහසුයි නේද?

      ReplyDelete
    2. අනේ අම්මේ කොච්චර කරදර වැඩක්ද.. :(((

      ReplyDelete
    3. පොඩ්ඩක් බලන්කොට නං හරිම කරදරයක් වගේ තමා පේන්නෙ හැබැයි පුරුදු උනාම ගානක් නැතිවෙයි ......

      ReplyDelete
    4. ගොඩක් දේවල් දන ගත්ත අත්හද බලන්න ක්‍රමයක් ටම නැට්ටේ

      ReplyDelete
    5. "තමන්ගෙ මේසයේ සියල්ලන්ම කෑම බෙදාගැනීමට පෙර ඔබ කෑම ගැනීම ආරම්භ කරන්න එපා."

      හැමෝම මේක අනුගමනය කළොත් එකෙකුටවත් කන්න වෙන්නේ නෑ.
      ඇත්තටම මේවා මෝඩ ජෝක් මැනර්ස් තමයි.

      ReplyDelete
      Replies
      1. ඒ කියන්නෙ හැමෝම බෙදාගෙන ඉවර වුණාම පටන් ගන්න කියලා

        Delete
    6. ‍තෝසේ පාරක් දාලා ශේප් වෙනවා .....

      ReplyDelete
    7. සම්ප්‍රදාය යනු ස්ථාවර දෙයක් නොවේ, කලින් කලට වෙනස් වෙන දෙයකි.

      අපිට අපේ සම්ප්‍රදායන් වෙනස් කර අළුතින් ඒවා එකතු කර ගත හැකියි.

      උදාහරණයක් ලෙස වමත හුරු අයෙකු කොහෙමද මස් කෑල්ලක් කපන්නේ දකුණෙන්? නියම හැන්ද නියම දේට පාවිච්චිය සහ අපි කුඩා කාලේ සිට අසා තිබෙන දේ (කතා කිරීම, කට හෑරීම) හැර අන් කිසිවක් වැදගත් නෑ!

      ReplyDelete
    8. බලන් ඉන්න එඋන් හිනා උනාට කමක් නෑ,, හමුදාවේ මෙස් එකකට ගියොත් හැර මට නම් ඕව බෑ.

      ReplyDelete
    9. "තමන්ගෙ මේසයේ සියල්ලන්ම කෑම බෙදාගැනීමට පෙර ඔබ කෑම ගැනීම ආරම්භ කරන්න එපා."

      හැමෝම මේ අදහස පිළිගත්තොත් කවුද ඉස්සෙල්ල බෙදා ගන්නෙ?

      කකා කිව්ව එක හරි. අනික රටෙන් රටට සහ ඒ අය්ගෙ පෙළන්තිය අනුව ඔව්ව වෙනස් වෙනව.

      "සාමාන්‍යයෙන් බිල්පතේ වටිනාකමින් 15%-20% අතර මුදලක් දීම සුදුසුයැයි කියනවා"

      සර්විස් චාර්ජ් එක තරම්ම ටිප් එක දෙන බව මම අදයි ඇහුවෙ!

      ReplyDelete
    10. "තමන්ගෙ මේසයේ සියල්ලන්ම කෑම බෙදාගැනීමට පෙර ඔබ කෑම ගැනීම ආරම්භ කරන්න එපා."

      යකුනේ, මේ කියල තියෙන්නෙ කට්ටිය ඔක්කොම බෙදාගෙන ඉවර වෙන්න කලින් කන්න පටන් ගන්න එපා කියල.

      ReplyDelete
    11. ඇත්තෙන්ම වමතින් කන අයෙක් ඉන්නවා නම් ඒ බව වේටර් වරයෙක්ට කීවාම අදාල හැඳි ගෑරුප්පු අදාල පැති වලට වෙනස් කරලා දෙනවා කියලා මම කලින් වතාවකදී ඉගෙන ගෙන තියෙනවා රූපවාහිනී වැඩසටහනකින්. හැමෝම බෙදන් ඉවර වෙනකන් කන්න පටන් ගන්න එපා කිව්ව මිසක් අනික් අය කන්න පටන් ගන්නකන් කන්න එපා කිව්වේ නෑ මගේ හිතේ... හොඳින් කියවලා බලන්න. අනික ඉතින් මේවා දැන නොගත්තත් අතින් කන්න පුළුවන් කියලා ලිපියේ දාල තියෙනවනේ. ඒත් මේ වගේ දේවල් ඉගෙන ගෙන තිබීම වැදගත් ජීවිතේදි.

      ReplyDelete
    12. Ammata hudu! meka kalin dannawanam Waiter kenek wenwa 15 to 20% tip ekak denawanam? Dawasata 10 dagaththa nam goda thamai? Meka danna etthe waiter kenek wage????????

      ReplyDelete
    13. කඩු හරඹ ලේසි නෑ :D

      ReplyDelete