Friday, October 26, 2012

අවවාදයයි! ඔබත් ෆෝබියාවෙන් පෙලෙන්නෙක් විය හැක.


ෆෝබියාව කියල කියන්නෙ යමකට තියෙන අධික සහ අසාමාන්‍ය බයට. ඒවගේම ෆෝබියාව කියන්නේ මානසික රෝග විශේෂයක්.
ෆෝබියාව සාමාන්‍ය භීතියෙන් වෙනස් වන්නේ කෙසේද?
එන්නතක් විදින්න කලින් එන්නත් ක‍ටුවක් දැක්කම බය හිතෙන එක සාමාන්‍යයි. නමුත්, ඒ හේතුවෙන් අතවශ්‍ය වෛද්‍යප්‍රතිකාර වලින් ඉවත්වී සිටී නම්, ඔබට ඇත්තේ ෆෝබියාවක් විය හැකියි.
යමෙකුට ෆෝබියාව වැලඳීමට නිශ්චිත හා ස්ථිර හේතුවක් කියන්න බැහැ. නමුත් ෆෝබියාවට හේතුකාරක වියහැකි දේවල් කීපයක් මෙසේ දක්වන්න පුලුවන්.
  • පාරම්පරික ෆෝබියා තත්වයන්.
  • තමන් ලැබූ බියජනක අත්දැකීමක් නිසා.
  • තමන් දු‍ටු බියජනක අත්දැකීමක් නිසා.
  • ෆෝබියාවෙන් පෙලෙන්නෙකු ඊට හේතුවන අත්දැකීමක් ලබද්දී ඒ සමීපයෙහි සිටීම.
  • බියජනක අවස්ථාවක් ගැන දැනගැනීමට ලැබීම.
ෆෝබියාව පහත ආකාරයට වර්ග කීපයකට බෙදා දක්වන්න පුලුවන්.
  1. Natural environment phobia - ස්වාභාවික සංසිද්ධීන්ට දක්වන අධික බිය
  2. Animal phobia - සත්ව වර්ග වලට දක්වන අධික බිය
  3. Blood-injection-injury phobia - රුධිරය/එන්නත් වැනි දෑට ඇති අධික බිය
  4. Situational phobia - ඇතැම් ස්ථාන හා අවස්ථා වලට ඇති අධික බිය
ඉහත මුල් අවස්ථා තුන බොහෝවිට ආරම්භ වන්නේ කුඩාකාලයේදී. Situational phobia යන්න බොහෝවිට වැඩිහිටි වයසේදී ආරම්භ වෙනවා. ඒවගේම කාන්තාවන් පිරිමින්ට වඩා ෆෝබියා තත්වයට පත්වීමේ හැකියාව වැඩි බවයි පර්යේෂකයන් සඳහන් කරන්නේ.

මේ වන විට හඳුනාගෙන ඇති ෆෝබියා වර්ග ගනන 500 කට අධිකයි. පහත දැක්වෙන්නේ එයින් මම ‍තෝරාගත් කිහිපයක ලයිස්තුවක්. කියවා බලන්න. සමහරවිට ඔබත් ෆෝබියාවෙන් පෙලෙන්නෙක් විය හැකියි.

අබ්ලුට්‍රොෆෝබියා (Ablutophobia) - දිය නෑමට ඇති බිය

අකරොෆෝබියා (Acarophobia) - කැසීමට ඇති බිය

ඒසරොෆෝබියා (Acerophobia) - පැඟිරි රසයට ඇති බිය

අවුලුඕෆෝබියා (Achluophobia)- අඳුරට ඇති බිය

අකවුස්ටික්ෆෝබියා (Acousticophobia) - ශබ්දයට ඇති බිය

ඇක්‍රොෆෝබියා (Acrophobia) - උස ස්ථාන වලට ඇති බිය

එයරොෆෝබියා (Aerophobia) - ගුවන් යානාවල යාමට ඇති බිය

ඇග්ලිඔෆෝබියා (Agliophobia) - සුලු වේදනාවක්පවා විඳීමට ඇති බිය

ඇග්‍රිසූෆෝබියා (Agrizoophobia) - වන සතුන්ට ඇති බිය

එකොමොෆෝබියා (Aichmophobia) - උල් සහිත උපකරණ වලට ඇති බිය

ඇමතොෆෝබියා (Amathophobia) - දූවිල්ලට ඇති බිය

ඇල්බමයිනුරෝෆෝබියා (Albuminurophobia) - වකුගඩු රෝගයක් සෑදෙතැයි ඇති බිය

කොයිමෙට්‍රොෆෝබියා (Coimetrophobia) - සුසානභූමි වලට ඇති බිය

ඩිසිඩොෆෝබියා (Decidophobia) - තීරණ ගැනීමට ඇති බිය

ඉලෙක්ට්‍රොෆෝබියා (Electrophobia) - විදුලිබලයට ඇති බිය

එන්ටොමොෆෝබියා (Entomophobia) - කෘමින්ට ඇති බිය

එපිස්ටැක්සියොෆෝබියා (Epistaxiophobia) - නාසයෙන් ලේ ගලනු ඇතැයි බිය වීම

ගැමොෆෝබියා (Gamophobia) - විවාහවීමට ඇති බිය

ගෙ‍රැස්කොෆෝබියා (Gerascophobia) - වයසට යාමට ඇති බිය

හෙලියොෆෝබියා (Heliophobia) - හිරු එලියට ඇති බිය

හර්පෙටොෆෝබියා (Herpetophobia) - උරගයින්ට ඇති බිය

හිමොෆෝබියා (Hemophobia) - රුධිරයට ඇති බිය

හොප්ලොෆෝබියා (Hoplophobia) - ගිනි අවි වලට ඇති බිය

හයිඩ්‍රොෆෝබියා (Hydrophobia) - වතුරට ඇති බිය

ඉයට්‍රොෆෝබියා (Iatrophobia) - වෛද්‍යවරුන්ට ඇති බිය

ඇ‍රැක්නොෆෝබියා (Arachnophobia) - මකුලුවන්ට ඇති බිය

ඇටැක්සොෆෝබියා (Ataxophobia) - අපිරිසිදු තැන්වලට යාමට ඇති බිය

ඔටෝමැට්නො ෆෝබියා (Automatonophobia) - ඉටිරූප, පිළිම ආදියට ඇති බිය.

බැසිලොෆෝබියා (Bacillophobia) - විෂබීජ වලට ඇති බිය

බාතොෆෝබියා (Bathophobia) - ගැඹුරු ස්ථාන වලට ඇති බිය

බුෆොනොෆෝබියා (Bufonophobia) - ගෙම්බන්ට ඇති බිය

කාසිනෝෆෝබියා (Carcinophobia) - පිළිකාවක් වැල‍ඳෙතැයි ඇති බිය.

සෙරව්නොෆෝබියා (Ceraunophobia) - අහසේ ගෙරවිලි ශබ්දවලට ඇති බිය

ක්‍රොමොෆෝබියා (Chromophobia) - වර්ණ වලට ඇති බිය

ක්ලයිමකොෆෝබියා (Climacophobia) - පඩිපෙලවලට ඇති බිය

මෙලොෆෝබියා (Melophobia) - සංගීතයට ඇති බිය

මෙතිෆෝබියා (Methyphobia) - මත්පැන්වලට ඇති බිය

නෙක්‍රොෆෝබියා (Necrophobia) - මරණයට ඇති අධික බිය

නොසොකොමෙෆෝබියා (Nosocomephobia) - ආරෝග්‍යශාලා වලට ඇති අධික බිය

පැන්තොෆෝබියා (Panthophobia) - රෝග වලට ඇති අධික බිය

පොගොනොෆෝබියා (Pogonophobia) - ‍රැවුලට ඇති බිය

ෆයිරොෆෝබියා (Pyrophobia) - ගින්දරට ඇති බිය

සියොෆෝබියා (Sciophobia) - සෙවනැලි වලට ඇති බිය

ටැකොෆෝබියා (Tachophobia) - වේගයට ඇති බිය

තාලාසොෆෝබියා (Thalassophobia) - මුහුදට ඇති බිය

ට්‍රිස්කයිඩෙකාෆෝබියා (Triskaidekaphobia) - අංක 13ට ඇති බිය

සියුසොෆෝබියා (Zeusophobia) - දෙවිවරුන්ට ඇති බිය
මූලාශ්‍ර : මුතුහර සඟරාව, අන්තර්ජාලය, සතිඅන්ත පුවත්පත්
            මෙහි එන සියලු ඡායාරූප අන්තර්ජාලයෙන් ලබාගන්නා ලදී.
read more "අවවාදයයි! ඔබත් ෆෝබියාවෙන් පෙලෙන්නෙක් විය හැක."

Friday, September 21, 2012

වසර 82 ක් පැරණි මුල්ම සිළුමිණ පුවත්පත

මට හම්බ උනා ගොඩක් වටින කෞතුක භාණ්ඩයක්! ඒ තමයි අවුරුදු 82ක් පරණ, ලංකාවේ මුල්ම සිළුමිණ පුවත්පත.  ප්‍රකාශිත දිනය 1930 මාර්තු 30 වන ඉරිදා. පත්තරේ මිල ශත 10යි.
අද මගේ ලිපියෙන්  ගෙන එන්නෙ ඒ පුවත්පතින් උපුටා ගත් ලිපි හා ඡායාරූප කීපයක්.



"බෞධ රටවල දෙකක් අතර යුධයක් ඇතිවන්ට යාමේ ලකුණු." පත්තරේ සිරස්තලේ තමයි ඒ.
ලේක්හවුසියේ රාත්‍රීකාලයේ ගන්නා ලද ඡායාරූපයකුත් ඊට යටින් මුද්‍රණය කරල තිබුනා.

"නේපාල ආණ්ඩුව විසින් තිබැට් රට අල්වා ගැනීම සඳහා යුධ හමුදාවක් පිටත් කර හරින ලදැයි බීතියෙන් තිබැට් රටේ ප්‍රභූවරයා වන දලයි ලාමා "රට ආරක්ෂාකර ගැනීම සඳහා අප්‍රමාදව බලසම්පන්න යුධ සමුදාවක් එවනු මැනවැ" යි චීනයේ ජාතික ආණ්ඩුව වෙත ආයාචනයක් යවා තිබේ.
නේපාල තිබැට් යන දෙරටම බෞධ රාජ්‍ය දෙකකි-මේ දෙරටම සම්බන්ධයෙන් ලැබී තිබෙන මේ ප්‍රවෘත්තිය සම්බන්ධ වැඩි විස්තර අනිත් ලෝකයා අතර තවම ව්‍යාප්ත නැත. නමුත් නේපාල යුධ සමුදාවේ ගමන දන්වා දලයිලාමා වෙත ඉන්දියාවෙන් විදුලි පණිවුඩ කීපයක්ම ලැබී තිබෙන බැව් කියා තිබේ."
ඒ තමයි සිරස්තලයෙන් කියැවෙන කතාව.

මගේ වැඩිපුරම සිත ඇදගත්තෙ මෙන්න මේ වගේ වෙලඳ දැන්වීම්.


තවත් තැනක තිබුනා මෝටර් රථ දැන්වීමක් මෙන්න මෙහෙම... 


අභිනව රථ දෙකක්.
අශ්වබල 10-28 ක වේගවත් සිලින්ඩර් 4රේ ආසන 4 රේ රථය - රු. 3,200
අශ්වබල 18-55 ක වේගවත් සිලින්ඩර් 6යේ ආසන 5 හේ රථය - රු. 4,750
මෙහි අවුත් මේ පුදුම කාර් දෙක බලත්වා.

මේ ගණනට තිබෙන අවයව ඉතා සම්පූර්ණ රථය මෙයවේ.

ටයර් සහිත වැඩිපුර රෝද දෙක ඉස්සරහට සහ පස්සටද යෙදූ බම්පර්ස්, ලූකස්ගේ හුලං හෝර්න් එක, බෝෂ්ඩ්ගේ ඉලැක්ට්‍රික් හෝර්න් එක, ඔරලෝසුව, ස්පීඩො මීටර් එක, හයිඩ්‍රොලික්ෂොක් ඇබ්සෝර්බර්ස්, ඉබේ වැඩකෙරෙන වින්ඩ්ස්ක්‍රීන් වයිපර් එක, ඉතා අනගි ආවුද ‍රැසකින් හා නොමිලේ රිජිස්ටර් කිරීමද මෙම කාරෙක සමග ලැබේ.


තවත් තැනක, බයිසිකල් දැන්වීමක් යටින් මෙහෙම තිබුනා.
"දැන් මිල ගැන බලනු. රු.65/ අඩු නැහැ."



පුවත්පතේ ක්‍රීඩා පි‍ටුවේ රාජකීය- ශාන්ත ‍තෝමස් වාර්ෂික ක්‍රිකට් තරඟය වාර්ථා කර තිබුනේ මෙහෙමයි.

රාජකීය සැන්තෝමස් තරඟ පන්දු ක්‍රීඩාව

රාජකීය කණ්ඩායමට ජය අත්වීම
පණස් එක්වන "රෝයල්-‍තෝමියන්" තරඟ පන්දු ක්‍රීඩාව මේ මස 27 වෙනි බාහස්පතින්දා පෙරවරු 10 ට සිංහල ක්‍රීඩා සමිති භූමියේ ආරම්භවිය. මෙය දර්ශනය කිරීමට කෙළිලොල් ශිෂ්‍යයන් සහ නෝනාවරුන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියාය. මිනිත්තු පහක් පසුවීමෙන් "රාජකීය" ක්‍රීඩාකරුවෝ ක්‍රීඩා භූමියට අවතීර්ණවූහ. ‍තෝමියන් කණ්ඩායමේ ආර්. සේනානායක සහ එච්. බීබි ක්‍රීඩා කිරීම පටන්ගත්හ.
ලකුණු 11ක් ගැණීමෙන් පසු සේනානායක පිච්චුණේය. බීබි ලකුණු 23ක් හා එච්. ජී. වික්‍රමසිංහ පළමු දවසේ ඉතා විශාල ගණන වන ලකුණු 29ක්ද ගත්හ. ලකුණු දෙකක් ගත් ජේ. ඇස් ද සිල්වා පළමු වාරයේ අන්තිම ක්‍රීඩාකරු විය. මෙදින රාජකීය කණ්ඩායමේ ඩී. බී. ගුණසේකර සමර්ථ ලෙස "බෝල්" කෙළේය.
දෙවෙනි දින
සිකුරාදා උදය රාජකීය කණ්ඩායමේ ඩී. බී. ගුණසේකර සහ ඒ. ජී. වයිමන් ක්‍රීඩාව පටන්ගත්හ. ගෝඩර් බෝල් කෙළේය. පසුව සේනානායක විසින් වෙයිමන් පුච්චන ලදී. ජයනාදන් හිස්වූ ස්ථානය ගෙන සමර්ථ ලෙස ක්‍රීඩාකෙළේය. ලකුණු ගනන ශීඝ්‍රලෙස වැඩිවීමෙන් 170 විය.
ගුණසේකර විසින් මේ ගණන නොපමාව 200 ක් කරනලදී. මේ සමර්ථ ක්‍රීඩා කරුවන් දෙදෙන ප්‍රීතිඝෝෂා මධ්‍යයෙහි ලකුණු සංඛ්‍යාව දියුණු කළහ. ලෑල්ලේ 324 සටහන් වෙනවාත් සමගම සියයට අටක් අඩුවෙන් ලකුණු ගත් ජගනාදන් බීබි විසින් පුච්චනලදී. නමුත් ක්‍රීඩා දර්ශනයකළ පිරිස ප්‍රීතිඝෝෂාවෙන් ඔහු සතුටින් පිළිගත්තාය.
හිස් අතින් යෑම.
පස්වරු 1.45ට ‍තෝමියන් වරුන්ගේ දෙවන වාරය ආරම්භ වුනේය. බීබි සහ සෙල්වදොරේ පළමුකොට ක්‍රීඩා භූමියට එළඹුණහ. මේ දෙදෙනාම හිස් අතින් ආපසු ගියෝය. නමුත් විජේසේකර ලකුණු 71ක් ගත්තේය. ඒ. වී. සිවසම්බු ලකුණු පහකුත් සමග සවස 5.10ට ක්‍රීඩා භූමියෙන් ගියේය. තරඟය මෙතෙකින් අවසානවිය. සම්පූර්ණ වාරයකින් සහ ලකුණු 67 කින් රාජකීය කණ්ඩායම ජයග්‍රහණය කළාය.
ශ්‍රෙෂ්ඨ තරඟ ක්‍රීඩාව
මෙය වූකලී ලංකාවෙ පාඨශාලා පිළිබඳ ශ්‍රෙෂ්ඨ තරඟ ක්‍රීඩාවයි. පෙරෙයිදා මධ්‍යම රාත්‍රිය වනතෙක් පැගොඩා තේපැන් ශාලාව විවෘත කොට තිබුණේය. රාජකීය ශිෂ්‍යයෝ නගරයේ පෙරහැර පැවැත්වූහ. ආර්ය සිංහල නාට්‍ය සභාව විසින් මේ නිමිතිකොට "ඇලඩින් සහ පුදුම පහන" විශෙෂාලංකාරයෙන් යුක්තව දක්වනලදී. රාජකීය ශාස්ත්‍ර ශාලාවේ ශිෂ්‍යයෝ මෙහිද පැමිණ කෑ කෝ ගසමින් ප්‍රීතිවූවෝය. එක් ශිෂ්‍යයෙක් නාත්‍ය පණ්ඩපයට නැගී නැටීමත් කෙළේය.

මෙන්න ඒකාලෙ මඟුල් ෆොටෝ ටිකක්...


ඊට අමතරව පාඨකයින්ට සහභාගි විය හැකි නිර්මාණ තරඟයක් ගැනත් තිබුනා.
ඒකෙ ප්‍රථම ත්‍යාගය රු.20/-ක්. දෙවෙන හා තෙවෙනි ත්‍යාග පිලිවෙලින් රු.10/-ක් හා රු.5/-ක්.
මේ තියෙන්නෙ මංගල කලාපය වෙනුවෙන් පැවති තරඟයේ ජයග්‍රාහකයින්ගෙ නම් ලයිස්තුව.

මේ තියෙන්නෙ පත්තරේ තිබුනු එකම කාටූනය

දැනට ඇති. 
ලංකාවේ විශේෂ සිදුවීම් වල පුවත්පත් වාර්ථා සහිත පත්තර කිහිපයකුත් මට හම්බවුනා. මේ ලිපියට ලැබෙන ප්‍රතිචාර අනුව, ඉඩ ලැබෙන විදියට ඉදිරියේදි ඒවත් පලකරන්නම්. 

read more "වසර 82 ක් පැරණි මුල්ම සිළුමිණ පුවත්පත"