Friday, June 29, 2012

සුන්දර අයිස්ලන්තය

යාලුවනේ... ඉතින් කොහොමද? ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න බැරිවීම ගැන කනගා‍ටුව ප්‍රකාශකරනවා. 2012 කියන්නෙ මගේ ජීවිතයේ ගොඩක් වෙනස්කම් සිදුවෙච්ච සහ සිදුවෙමින් පවතින වසරක්. විශේෂයෙන්ම ‍රැකියාව පැත්තෙන්. ඉතින් අලුත් ලිපියක් ලියන්න වෙලාවක් හොයාගන්න අමාරු උනා. කාලෙකට පස්සෙ ලැබුනු විවේකයේදී, මේ විදියේ තොරතුරු ටිකක් බෙදාගන්න හිතුවා... අයිස්ලන්තය ගැන.
මුලින්ම අයිස්ලන්තය ලෝක සිතියමේ කොයි ඉසව්වක පිහිටල තියෙනවද කියල බලමු.
අයිස්ලන්තය කියන්නේ වර්ග කිලෝමීටර් 103,000 ක විශාලත්වයෙන් යුතු සුන්දර දූපතක්. විශාලත්වය ගැන අදහසක් ගන්න ඕන නම් ලංකාවෙ වර්ගඵලයත් (65,610 km2) එක්ක සංසන්දනය කරන්න.
Naddoddr නමැති දේශාටකයෙක් වරක් මුහුදේ අතරමං වී සිටියදී හුමාලයක් වැනි දෙයක් දැක ඒ දෙසට යාත්‍රා ගොඩ බස්සවා තිබෙනවා.  ඔවුන් ඒ ගොඩබිම "දුම්දැමීම" යන අර්ථය ඇතිව "රයික්ජවික්" යනුවෙන් නම්කලා. වර්තමාන අයිස්ලන්තයේ අගනුවර වෙන්නේ ඒ නගරයයි.
මේ සිතියම මත click කරල "රයික්ජවික්" (Reykjavík) නගරය සොයාගන්න.

එසේ සොයාගත් අයිස්ලන්තයේ මුල් පදිංචිකරුවන් ලෙස සැලකෙන්නේ ක්‍රි.පූ. 874 දී ගොඩබට ඉන්ගොල්ෆ ආනසන් (Ingólfur Arnarson) ඇතුලු පිරිසයි.

අයිස්ලන්තය සොයාගත්තවුන් හුමාලයක් ලෙස දැක ඇත්තේ කුමක්දැයි ඔබට සිතෙනවා ඇති. ඒකට පිලිතුර මේ ඡායාරූපයේ තියෙනවා.
අයිස්ලන්තය කියන්නේ හිම කදු වගේම ගිනි කදු වලටත් ප්‍රසිද්ද රටක්. "land of fire & ice" කියල අයිස්ලන්තය හඳුන්වන්නෙ ඒක නිසයි.
සක්‍රීය ගිනිකඳු 15ක් පමණ අයිස්ලන්තයේ තියෙනවා. මීට අමතරව දිය ඇලි 10,000ක් පමණ සහ උණුදිය උල්පත් 800කට වඩා මෙහි තියෙනවා.

අයිස්ලන්තයේ සුන්දර ඡායාරූප කීපයක් මේ.

අයිස්ලන්තයේ ජනගහනය ලක්ෂ 3ක් පමණ වෙනවා. ලක්ෂ 200 ඉක්මවූ ලංකාවෙ ජනගහනය සමග සැසඳුවොත් මෙය ඉතා කුඩා අගයක්. මෙයිනුත් 10%කට අඩු පිරිසක් තමයි රට අභ්‍යන්තරයේ ජීවත් වෙන්නේ. ඉතුරු සියල්ලම ඉන්නෙ වෙරලබඩ ප්‍රදේශවල.
අයිස්ලැන්ඩික් සහ ඉංග්‍රීසි කතාකරන අයිස්ලන්ත ජාතිකයින් ආහාර වශයෙන් ගන්නේ අර්තාපල්, බැටලු හා ගවමස්, මාලු, කිරි, ටර්නිප් අල යනාදියයි. රාත්‍රී ආහාරයට පෙර මුදවපු කිරි, සීනි සහ ක්‍රීම් සමඟ සෑදූ "ස්කර්" නමැති ආහාරයක් ගැනීමට ඔවුන් හුරුවී සිටිනවා.
අයිස්ලන්ත ජාතිකයින්ගේ ප්‍රධාන ‍රැකියාව මසුන්මැරීමයි.  ඔවුන්ගේ ආයු අපේක්ෂාව ලෙස සඳහන් වෙන්නේ පිරිමියෙකුගේ 79ක් සහ ගැහැණියකගේ 83ක් ලෙසයි.  මෙම ඉහල ආයු අපේක්ෂාවට හේතුවක් විය හැක්කේ ඔවුන්ගේ ආහාර රටාවද? එසේත් නැත්නම් රටේ දේශගුණයද?
මාර්තු-සැප්තැම්බර් අතර කාලය අයිස්ලන්තයේ උෂ්ණ ඍතුවයි. ජූලි මාසයේ පමණ වාර්තාවෙන 11C ක උෂ්ණත්වය එහි උපරිම අගය ලෙස දැක්වෙනවා. ජනවාරි මාසයේදී එය 0C පමණ දක්වා පහත බහිනවා. මෙම දේශගුණික තත්වය නිසා එරට අතු අතර විහිදී ගිය විශාල ගස් කොලන් දක්නට ලැබෙන්නේ නෑ.
අයිස්ලන්තය කියන්නේ ගොඩක් සුන්දර රටක්. ඒ වගේම ජීවත්වීමටත් ගොඩක් උචිත රටක්. 2007 වසරේදී එක්සත් ජාතීන් විසින් ජීවත්වීමට හොඳම රට ලෙස ‍තෝරා ගත්තේත් අයිස්ලන්තය.
මේ සුන්දර රටේ සංචාරයක් කිරීමට කැමති නම්, ඒ සඳහා විස්තර මෙතනින් ලබා ගන්න. www.goiceland.org
read more "සුන්දර අයිස්ලන්තය"

Monday, February 20, 2012

දැනගෙන ගියොත් කතරගම... නොදැන ගියොත් අතරමග!

ඉකුත් සතිඅන්තයේ මට කතරගම සංචාරය කිරීමට අවස්ථාව ලැබුනා. හදිස්සියේ යෙදුන ගමනක් නිසා ගොඩක් තැන්වල යන්නටවත් බොහෝ තොරතුරු ‍රැස් කරන්නටවත් අවස්ථාවක් ලැබුනෙ නෑ. නමුත් ඒ කෙටි සංචාරයේ අත්දැකීම මගේ බ්ලොග් රසිකයන් අතර මේ විදියට බෙදාගන්න හිතුවා.
කොලඹ ඉඳන් කතරගමට යා හැකි ප්‍රධාන මාර්ග 2ක් තියෙනවා.
රත්නපුර හරහා
230km ක් පමණ වූ මේ මාර්ගයේ යන්නේ නම්, හොරණ හෝ අවිස්සාවේල්ල හරහා රත්නපුරයට පැමිණිය යුතු වෙනවා. එතැනින් පැල්මඩුල්ලට පැමිණි විට කතරගමට තවත් 150km ක දුරක් තියෙනවා. එතැනින් කහවත්ත, ගොඩකවෙල, පල්ලෙබැද්ද, කොළඹගේආර , තිබොල්කැටිය ආදී නගර පසු කරමින් උඩවලවට පැමිණිය යුතුයි. එතැන්සිට තණමල්විල හන්දිය දක්වා ඇත්තේ තරමක් ප‍ටු, ඍජු, නමුත් හොඳින් පිලිසකර කල මාර්ගයක්. මාර්ගයේ දිග 30km ක්. තණමල්විල හන්දියෙන් දකුණට හැරී වීරවිල මාර්ගයේ ඔබ ලුණුගම්වෙහෙරට ලඟාවිය යුතුයි. එතැන් සිට තවත් 20km ක දුරින් කතරගම නගරය පිහිටා තියෙනවා.

මාතර හරහා
284km ක් පමණ වූ මේ මාර්ගයේ යන්නේ නම්, 161km ක් පමණ දුර ගෙවා ගාල්ල හරහා මාතරට පැමිණිය යුතුයි. අධිවේගී මාර්ගය නිසා ඊට වැඩිවේලාවක් යන්නේ නෑ. මාතර සිට තවත් 123km පමණ දුරකින් කතරගම නගරය පිහිටා තියෙනවා.

උඩවලව සිට තණමල්විල හංදිය දක්වාවූ 30km ක මාර්ගය ගැන කලින් සඳහන් කලා. පහත වම් කෙලවරේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඒ මාර්ගයයි. 
ඒ මඟ යන අතරමගදී ඔබට මාර්ගය දෙපස විදුලි වැටෙන් එහා සිට ආහාර යදින අලින් දැක ගැනීමට පුලුවන්. මැද ඡායාරූපයෙන් දැක්වෙන්නේ මගේ කැමරාවේ සටහන් වූ එවැනි අලින් දෙදෙනෙක්. දකුණු කෙලවරේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ තණමල්විල හංදියයි.


මුලින්ම අපි ගියේ සිතුල්පව්ව විහාරයට. එය පිහිටල තියෙන්නෙ කතරගම සිට 18km දුරින්. නමුත් අපි ගියේ තිස්සමහාරාමය හරහා. තිස්සමහාරාමයේ සිට සිතුල්පව්වට 35km ක් තියෙනවා. ඒක ඉතාමත් දුෂ්කර ගමනක්. යන්නට තියෙන්නේ තාර නොදැමූ ගුරු පාරකින්.

 රුහුණු ජාතික වනෝද්‍යානය මධ්‍යයේ පිහිටි ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරය අවුරුදු 2200ක් පැරණියි. කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද මෙහි මහ රහතන්වහන්සේලා 12000ක් වැඩ සිටි බව සඳහන් වෙනවා. මේ ස්ථානයේ දාන ශාලා, ධර්ම ශාලා , උපෝසථ ශාලා, ගිමන්හල්, සක්මන් මළු, පැන් පොකුණු ආදී කෞතුක වස්තූන් බොහෝ ප්‍රමාණයක් තියෙනවා.
මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ සිතුල්පව්ව සිට කතරගමට එන අතරමගදී දැක ගැනීමට ලැබුනු වල් ඌරු රංචුවක්.
කතරගම අවට නවාතැන් පහසුකම් නම් ඕනෑ තරම් තියෙනවා. කුඩා පෞද්ගලික නිවාස වල පවා "නවාතැන් පහසුකම් ඇත" කියල ලියපු කාඩ්බෝඩ් පුවරු දක්නට ලැබුනා. අපි නවාතැන් ගත්තේ සංචාරක නිවාසයක (cottage). කාමර දෙකකින් යුත් එවැනි නිවසක්  රු.3000/-කට පමණ ලබාගන්න පුලුවන්.

කිරි වෙහෙර
කතරගම දේවාල භූමියට නුදුරින් ඇති කිරි වෙහෙරත් කතරගම එන බැතිමතුන් අනිවාර්යයෙන් යන තැනක්. අධික අව් රශ්මියක් පවතින නිසා මෙය වැඳපුදා ගැනීමට සුදුසුම වන්නේ උදෑසන හෝ රාත්‍රී කාලයේදීයි.
මෙකී භූමිය බුදුරජානන් වහන්සේගේ පාද ස්පර්ෂය ලද ස්ථානයක් ලෙස සැලකෙන අතර, කේෂධාතූ නිදන් කර කිරිවෙහෙර ඉදිකර ඇති බවත්, එහි පවත්නා බෝධිය අනුරාධපුර ජයශ්‍රීමහ බෝධීන් වහන්සේ රෝපනය කරන අවස්ථාවේ හටගත් අෂ්ඨඵල බෝධි අංකුරවලින් එක් අංකුර බෝධියක් බවත් ජනප්‍රවාදයේ සදහන් වෙනවා.

ඉන්පසු අපි ගියේ සෙල්ලකතරගම. සෙල්ලකතරගමට කතරගම නගරයේ සිට වැඩිදුරක් නෑ. මහසෙන් රජු විසින් කරවන ලදැයි සැලකෙන මහසෙන් මහා සෑය පිහිටල තියෙන්නෙත් මේ භූමියේ. එහිදී ගත් සේයාරූ දෙකක් තමයි පහත තියෙන්නෙ.
අපි කතරගම සංචාරයට ගතකලේ දවස් දෙකක් පමණයි. කතරගම අවට සියලු ස්ථාන නැරඹීමට නම් දවස් දෙකක් ප්‍රමාණවත් වෙන්නේ නෑ. අපේ එහෙම අරමුණක් තිබුනෙත් නෑ. ඉතින් අපි බොහොම සාර්ථක සංචාරයක් නිමා කරල මාතර හරහා කොළඹ ආවා. අධිවේගී මාර්ගය නිසා අපේ ගමන ගොඩක් ඉක්මන් උනා.
read more "දැනගෙන ගියොත් කතරගම... නොදැන ගියොත් අතරමග!"

Thursday, January 12, 2012

යටත්විජිත සමයේ විමුක්ති අරගල

මෙම ලිපිය කියවන ඔබ වයස අවුරුදු 64 ඉක්මවා නැතැයි උපකල්පනය කලහොත්, ඔබත් මා මෙන්ම නිදහසින් පසු ඉපදී ඇත්තෙක්ය. යටත්විජිත්වාදයේ අත්දැකීම් ඔබටත් මටත් නැත. නමුත් මේ ලක් පොලව වසර 424 ක පමණ කාලයක් විවිධ ජාතීන්වල යටත් විජිතයක්ව පැවතිබව ඔබ අමතක කල යුතු නැත. වසර 153ක් පෘතුගීසීනුත් වසර 138ක් ලන්දේසීනුත් තවත් වසර 133ක් ඉංග්‍රීසීනුත් යටතේ ලංකාව පාලනය වී ඇත. එම සියවස් හතරකට අධික කාලය තුල නිදහස පතා දහසකුත් ලාංකිකයන් මොවුන් සමඟ සටන් වැද තිබේ. දිවි පුදා තිබේ. ඇතමුන් වීරයන් වෙත්දී ඇතමුන් ද්‍රෝහීන් වී තිබේ. මේ ලිපියෙන් සිහිපත් කරන්නේ එකී සියවස් හතර තුල ලාංකේය නිදහස වෙනුවෙන් කෙරුනු සටන් හා කැරලි පිලිබඳවයි.


පෘතුගීසි ජාතිකයින්ගේ ප්‍රථම ලංකා ගමන වාර්ථාවන්නේ 1505දී පමණය. 'ලොරොන්සෝද අල්මේදා' නමැති පෘතුගීසි ජාතිකයා 1505 දී ලංකාවේ ගාල්ල වෙරළට ගොඩබසින ලදී. එසේ ප්‍රථමවරට ලංකාවට පැමිණි පෘතුගීසින් ක්‍රමයෙන් රට තුල පැලපදියම් වීමටත් පාලන තන්ත්‍රයට අත පෙවීමටත් පටන් ගත්තේය. ඔවුන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනයකල වසර 153ක කාලයේදී බොහෝ වතාවක් උඩරට ආක්‍රමණය කිරීමට උත්සහ කලහ. ඒ වකවානුව තුල සිදුවූ ප්‍රධාන සටන් 5ක් අපට හඳුනාගත හැක.

1) මුල්ලේරියා සටන (1562)
මුල්ලේරියා සටන පිලිබඳ ඉතිහාසය 1521 දී සිදුවූ විජයබා කොල්ලය දක්වා දිව යන්නකි. කෝට්ටේ රාජධානිය කොටගෙන රජකම් කල VII වන විජයබාහු රජුගෙන් කොල්ල කෑ ලංකා රාජ්‍යය, ඔහුගේ පුතුන් තිදෙනා විසින් කොටස් 3කට බෙදාගෙන පාලනය කල සමයයි. කෝට්ටේ ප්‍රදේශය පාලනය කරන්නේ VII වන බුවනෙකබාහු රජතුමාය. ලංකාවේ බලය තහවුරු කර ගැනීමේ අපේක්ෂාවෙන් උන් පෘතුගීසීන් විසින් මෙතුමාව මරාදමන ලදී. පසුව 1557 දී එතුමාගේ මුනුපුරා වූද, වීදියබණ්ඩාරගේ පුත් වූද, ධර්මපාල නම් කුමරුවා පෘතුගීසි අනුග්‍රහය යටතේ 'දොන් ජුවන්' නමින් රජ කරවන ලදී.
පෘතුගීසි රූකඩයක් වූ දොන් ජුවන් රජු ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉෂ්ට කරමින් බෞද්ධ විහාරස්ථාන විනාශකරමින් කෝට්ටේ ප්‍රදේශය පාලනය කලේය. මේ සියල්ල අතරතුර මායාදුන්නේ රජතුමා සීතාවක ප්‍රදේශයේ ස්ථාවර පාලනයක් ගෙනයන ලදී.
පෘතුගීසින්ට මීලඟට උවමනා කලේ සීතාවක ආක්‍රමණය කිරීමටයි. එයට ප්‍රතිචාර දැක්වීමට ඉදිරිපත්වන්නේ මායාදුන්නේ රජුගේ පුත් ටිකිරිබණ්ඩාර නම් කුමාරයෙකි. සෙබලුන්, කර්මාන්තකරුවන්, අලි ඇතුන්, ගොනුන් ආදීන්ගෙන් සමන්විත තම සේනාව කාලතුවක්කු, අලවංගු, පොරෝ, කැති, උදලු, ගල්ක‍ටු ආදී ආයුධවලින් සන්නද්ධ කරගන්නා ටිකිරි කුමරු පෘතුගීසින් සමඟ සටනට එලඹුනි.
ඒ 1562 අගෝස්තු මාසයයි. මුල්ලේරියාව ප්‍රදේශයේදී දෙපිරිස අතර දරුණු සටනක් ඇතිවිය. මෙහිදී පෘතුගීසි සේනාවේ 1600ක් පමණ දෙනා මියගියෝය. ඔවුන්ගේ රුධිරයෙන් මුල්ලේරියාව වැව රත්පැහැ වූ බව සඳහන් වේ. එහිදී පෘතුගීසීන්ට අන්ත පරාජයක් ගෙනදුන් ටිකිරි කුමරු පසුව 'I වන රාජසිංහ' නමින් සීතාවක රජකමට පත්විය. පෘතුගීසි රූකඩයක් වූ දොන් ජුවන් තමන් සතු රාජ්‍යය පෘතුගීසින්ට තෑගි කර 1597දී මියගියේය.
මෙම ජායාරූපයේ දැක්වෙන්නේ හංවැල්ල නගරයේ පිහිටි ටිකිරි කුමාරයාගේ ප්‍රතිමාවකි.

2) දන්තුරේ සටන (1594)
 I වන රාජසිංහ රජුට සියල්ලන්ගේ ආශිර්වාදය මැද වැඩිකලක් පාලනය ගෙනයාමට නොහැකි විය. රජු සමඟ විරසක වූ උඩරට ප්‍රධානීන් පෘතුගීසීන්ට සහය දෙන්නට පටන් ගත්තේය. යමසිංහ බණ්ඩාර, කොනප්පු බණ්ඩාර, කුසුමාසන ආදීන් මේ අතර විය. පෘතුගීසීන් සිදුකලේ මේ අතරින් ජේෂ්ඨයා වූ යමසිංහ බණ්ඩාරයන් "දොන් පිලිප්" නමින් උඩරට රජකරවීමයි. මේ ගැන කොනප්පු බණ්ඩාර හෙවත් දොන් ජුවන්ට ඇතිවූයේ කෝපයකි. ඔහු I වන රාජසිංහ රජු සමඟ සටන් කොට අවසානයේ "I වන විමලධර්මසූරිය" නමින් උඩරට රජවිය.
ඒ 1594 ඔක්තෝබර් මාසයයි. කුසුමාසන දේවිය රජකරවීමේ අරමුන ඇතිව පෘතුගීසීන් විසින් උඩරට ආක්‍රමණය කරන්නේ මේ වකවානුවේදීය. සාර්ථකව උඩරට අත්පත් කරගත්තත්, ඔවුන්ට නොසිතූ විරූ ඇබැද්දියකට මුහුණදෙන්නට විය. ඒ සිංහල කුලී හමුදාවේ සහය උඩරට රජුට ලැබීමයි. එයින් ධෛර්ය්‍යමත් වූ  විමලධර්මසූරිය රජුගේ සේනාව පෘතුගීසීන්ට එලව එලවා පහර දෙන්නට විය. දෙපිරිස අතර දරුණුම සටන ඇවිලුනේ දන්තුරේ ප්‍රදේශයේදීය. මෙහිදී පෘතුගීසි හමුදා සමූල ඝාතනය වූ බව කියැවේ.  පෘතුගීසි මූලාශ අනුව ඔවුන් ලංකාවේදී ලද දරුණුම පරාජය මෙය බව සඳහන් වේ.  පසුකාලීනව කුසුමාසන දේවිය විවාහ කර ගැනීමෙන් රාජ්‍යත්වයට පෙලපත් උරුමයත් ලබාගැනීමට විමලධර්මසූරිය රජතුමා සමත් විය.

3) බලන සටන (1603)
ඒ 17වන සියවසේ මුල් භාගයයි. පෘතුගීසි හමුදාවේ කෲර කපිතාන්වරයෙකු වූ ජෙනරාල් 'දොන් ජෙරනිමෝද අසවේදු' 25000ක පමණ භටයන් පිරිසක් සමඟ උඩරට ඇල්ලීමට පැමිණෙන්නේ මේ අවදියේය. සංග්‍රාමික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක් ලෙස බලන ප්‍රදේශය ඒ වන විට හදුනාගෙන තිබුනි. උඩරට පාලනය කල විමලධර්මසූරිය රජු බලන ප්‍රදේශය ආවරණය වන සේ බලකො‍ටු 3ක් ඉදිකරන ලදී. අසවේදුගේ සේනාව, පිලිවෙලින් බුද්දස්ගොඩ, අලුත්නුවර හා ගනේතැන්න බලකො‍ටු අත්පත් කර ගනිමින් සාර්ථක ගමනක් එන්නටවිය. නමුත් ඒවනවිට පෘතුගීසි හමුදාවේ විශාල පිරිසක් තම ජීවිත පරිත්‍යාග කොට තිබුනි.
ඒ 1603 ජනවාරි 18 වැනිදායි. පෘතුගිසීන්ගේ ඊලඟ ඉලක්කය වූ බලන කො‍ටුවට පහරදීම ඇරඹුනි. නමුත් එය සිතූතරම් පහසු කාර්ය්‍යයක් නොවීය. බලන ප්‍රදේශයේ ස්වාභාවික පිහිටීමෙන් උපරිම ප්‍රයෝජනය ගත් සිංහල හමුදාව ගරිල්ලා සටන් ක්‍රම යොදාගනිමින් පෘතුගිසීන් එකාපිට එකා මරා දමන්නට විය. අවසානයේදී ජෙනරාල් අසවේදු සිය උපරිම යුධ ශක්තිය හා කාලතුවක්කු ශක්තිය යොදා බලන කො‍ටුවට පහරදෙන්නට විය. ඔවුන්ගේ යුධ ශක්තියට මුහුණදීමට අපහසු වූ සිංහල හමුදාව බලන කො‍ටුවට ගිනිතබා පසුබසින්නට විය.
1603 පෙබරවාරි දෙවනිදා වනවිට බලන කො‍ටුව පෘතුගීසි හමුදාවන් විසින් අත්පත්කරගන්නා ලදී. නමුත් ඔවුන්ට වැඩිකල් ජයපැන් බොන්නට නොහැකිවිය. නැවත වරක් සේනා සංවිධානය කරගත් විමලධර්මසූරිය රජතුමා පෘතුගීසින්ට මාරාන්තික ප්‍රහාර එල්ලකරමින් බලන හා ඒ අවට ප්‍රදේශ නැවත අත්පත් කර ගත්තේය. පෘතුගීසීන්ගේ උඩරට ඇල්ලීමේ තවත් තැතක් එලෙස ව්‍යර්ථවිය.
පහත වම්පස දැක්වෙන්නේ ඓතිහාසික බලන ගලේ වර්තමාන ජායාරූපයකි. දකුනුපස ජායාරූපයෙන් දැක්වෙන්නේ බලන කො‍ටු පවුරේ කොටස්ය.

4) රන්දෙනිවෙල සටන (1630)
I වන විමලධර්මසූරිය රජුගෙන් පසු උඩරට රජ වන්නේ ඔහුගේ සොහොයුරෙකු වූ සෙනරත් රජතුමාය. මෙතුමාගේ කාලයේදීත් නිරන්තරයෙන් පෘතුගීසි ආක්‍රමණවලට මුහුණදීමට උඩරට රාජ්‍යයට සිදුවිය. 1617 දී ඇතිකරගත් සාම ගිවිසුමත් සමඟ ඊට මඳ අස්වැසිල්ලක් ලැබුනි.
ඒ 1630 අගෝස්තු මාසයයි. පෙර කී සාම ගිවිසුම මේ වනවිට බිඳවැටී තිබූ අතර ත්‍රිකුණාමලය, මඩකලපුව, ගාල්ල, කොලඹ යන ප්‍රදේශවල පෘතුගීසි බලකො‍ටු ඉදිවී තිබුනි. නැවත් වරක් උඩරට ආක්‍රමණය කිරීමට ඔවුන් සේනා සංවිධානය කරන්නට විය. මෙවර ඔවුන්ගේ නායකත්වය ගත්තේ, කපිතාන් ජනරාල් "කොන්ස්‌තන්තීනු ද සා"ය. පෙර සටන් වලින් උගත් පාඩම් නිසා දෙපිරිසම නව උපායන් යොදන්නට විය. සිංහල කුලීහමුදාවන්ගේ ඥාතීන් වත්තල හා මෝදර ප්‍රදේශවල පදිංචිකරවන ලදී.  ඥාතීන්ට වන හානිය නිසා මෙම කුලී හමුදා උඩරට රජුට එක් නොවනු ඇතැයි පෘතුගීසීහු සිතූහ.
සෙනරත් රජුත් පෘතුගීසි හිතැති ප්‍රභූන් පිරිසක් ලංකරගෙන ඔවුන්ට විරුද්ධව කුමන්ත්‍රණයක් දියත් කරන ලදී. එකී කුමන්ත්‍රණයේ පරිදි පහතරට කැරලි කිහිපයක් ඇතිකරන ලදී. ඉන් කිපුණු පෘතුගීසීන් සිංහල හමුදාවන්ට පහර දෙමින් බදුල්ල දක්වා පැමිණ නගරය ගිනිබත් කරහ. කුමන්ත්‍රණයේ ඊලඟ අදියර ක්‍රියාත්මක වන්නේ මෙතැනදීය. ඉහත කී ප්‍රභූන් පිරිස උඩරට හමුදාවට එක්වූ අතර, පෘතුගීසීන්ට එලව එලවා පහර දෙන්නට විය. පෘතුගීසීන් සතු සිංහල කුලී සේනාවත් මේවන විට උඩරට හමුදාවට එක්වී උන්හ. පෘතුගීසීන්ට යටත් වන ලෙස දැනුම්දුන්නත් ඊට එකග නොවූ බැවින් රන්දෙනිවල ප්‍රදේශයේදී අවසන් සටන ඇතිවිය. මෙහිදී පෘතුගීසීන් 350ක් පමණ මැරුම් කෑ අතර, ඔවුන්ගේම භටයෙකුගේ වෙඩිල්ලක් වැරදීමකින් වැදීමෙන් "ද සා" මරමුවට පත් විය. ලද ජයග්‍රහණය නිසා උද්දාමයට පත් සෙනරත් රජු පහතරටත් ආක්‍රමණය කිරීමට තීරණය කලේය. නමුත් අවසානයේදී,  නාකොළගමදී ලද පරාජයත් සමඟ ඒ අදහස අතහැර දැමීමට සිදුවිය. 

5) ගන්නොරුව සටන (1638)
ඒ 1638 මාර්තු අගභාගයයි. මෙවර උඩරට පාලනය කරන්නේ IIවන රාජසිංහ රජතුමාය. එතුමා පෙරකී I වන විමලධර්මසූරිය හා සෙනරත් යන දෙදෙනාටම බිරිය වූ කුසුමාසන දේවියගේ පුතෙකි. නැවතවරක් උඩරට ආක්‍රමණය කිරීමට පෘතුගීසීන් තීරණය කරන ලදී. මෙවර ඔවුන්ට නායකත්වය දුන්නේ කපිතාන් ජෙනරාල්  "දියෝගුද මේලෝද කැස්ත්‍රෝ" ය.
 IIවන රාජසිංහ රජතුමාගේ සොයුරු විජයපාල කුමරුගේ සහයෝගය පෘතුගීසීන්ට ලැබුණි. මීට අමතරව 5000ක සිංහල කුලී හමුදාවකින්ද, පෘතුගීසි සොල්දාදුවන් 700ක් කොංකන් භටයන් 200ක් අප‍්‍රිකානු භටයන් 300ක් හා තුප්පායි භට කණ්ඩායමකින්ද ඔවුන්ගේ සේනාව සන්නද්ධ විය.
රාජසිංහ රජුගේ සේනාවට අයත් වූයේ උඩරට හා පහතරට භටයන් සහ දකුණු ඉන්දීය කුලීභට හමුදාවකි. ක්‍රමයෙන් ඉදිරියට ඇදුනු පෘතුගීසි හමුදාව මහවැලියට නුදුරුන් ගන්නොරුව ප්‍රදේශයේ කඳවුරු බැඳගන්නා ලදී.  මේවනවිට  රාජසිංහ රජු හා විජයපාල කුමරු අතර තුබූ විරසක තුරන් වී රට බේරාගැනීමේ එකඟතාවයක් ඇතිවිය.
මහවැලිය අවට ‍රැකවල් තර කල සිංහල හමුදාවෝ මාර්තු මස විසි අටවැනි දින ගන්නොරුව පෘතුගීසි කඳවුරට පහරදීම ආරම්භකරන ලදී. දුනුවාගල (ප්‍රිම්රෝස්) නම් කන්ද යුධමය අතින් ඉතා වැදගත් ස්ථානයක් විය. එහි සිට ගිනි තැබූ කරුංකා ගෙඩි විදීමෙන් පෘතුගීසින් සතු වෙඩි බෙහෙත් ගබඩා ගිනිබත් කරන ලදී. ඒ අතර ඇදහැලුනු වර්ෂව නිසා ඔවුන්ගේ ඉතිරි වෙඩිබෙහෙත් ප්‍රමාණයත් විනාශවිය. මෙසේ යුධශක්තිය හීන වූ පෘතුගීසි හමුදාවේ 2500ක් පමණ මිය ගිය අතර, ඉතිරිවී සිටි සිංහල කුලී හමුදාවත් පැනගොස් සිටියහ.  ජෙනරාල් දියෝගුද  මේලෝද කැස්ත්‍රෝත් මෙම සටනේදී මියගියේය.
පහත ජායාරූපයේ දැක්වෙන්නේ දුනුවාගල කන්දේ ඊතල විදිනලද ස්ථානයයි.



ජොරිස් වෑන් ස්පිල්බර්ජන් නමැති ඕලන්ද (නෙදර්ලන්ත) ජාතික දේශගවේෂකයෙක් 1602දී මඩකලපුවට ගොඩ බසින ලදී. එසේ පැමිණි ස්පිල්බර්ජන් මහනුවරට ගොස් විමලධර්මසූරිය රජු මුනගැසී සාකච්ඡා පවත්වා ඇත. ලන්දේසි ජාතීන්ගේ ප්‍රථම ලංකාගමනය ඉතිහාසයේ වාර්ථාවන්නේ එලෙසිනි.
එසේ පැමිණි ලන්දේසි ජාතිකයින් ක්‍රමයෙන් ලංකාව තුල පැලපදියම් විය. 1638 වන විට පෘතුගීසීන්ගේ නොපනත්කම් ඉවසීමට නොහැකිවූ IIවන රාජසිංහ රජු ලන්දේසීන් සමඟ ගිවිසුමකට එලඹියේය. එහි අරමුණ වූයේ පෘතුගීසීන් මෙරටින් පි‍ටුවහල් කිරීමයි. ඉන් වසර 20කට පසු 1658දී සම්පූර්ණයෙන්ම පෘතුගීසීන් පළවාහැරි ලන්දේසීන් ලංකාවේ බලය සියතට ගැනීමට සමත් විය.  ඔවුන් වසර 138ක් පමණ කාලයක් ලංකාවේ 1/4ක පමණ ප්‍රදේශයක පාලනය ගෙනයන ලදී. මෙය ඉඟුරු දී මිරිස් ලබාගැනීමකට සමාන බව නොබෝකලකින්ම ලක්වාසීන්ට අවබෝධ විය. පෘතුගීසීන්ට නොදෙවනි පාලනයක් ගෙනගිය ඔවුන් බෞද්ධ හා හින්දු ඇදහීම් තහනම් කල අතර තම ආගමට ලක්වාසීන් බලෙන් යොමුකරවා ගන්නට ගන්නට පටන් ගත්තේය. තවද අධික බදු පටවමින් වෙළඳපොල ඒකාධිකාරයක් පවත්වාගනිමින් ලක්පොලොව සූරාකන්නට විය. ලන්දේසි සමයේත් වරින්වර කැරලි හා යුද්ධ ඇතිවිය. මෙම ගැ‍ටුම් කෙලවර වී ඇත්තේ 1766 පෙබරවාරි 14 දින අත්සන් තැබූ සාම ගිවිසුමකිනි. නමුත්, මෙම ලිපියේ සඳහන් කිරීමට තරම් නමගිය සටනක් ලන්දේසි යුගයේදී වාර්තාවන්නේ නැත.


1762 පමණ සිට බ්‍රිතාන්‍යයේ අධිරාජ්‍යවාදී බලපෑම් ලංකාවට එල්ලවිය. ලංදේසීන්ගෙන් බැටකමින් සිටි උඩරට පාලනය, ඔවුන් පන්නා දැමීමට  ඉංග්‍රීසීන්ගේ උපකාර බලාපොරොත්තුවිය. මෙය තම වාසියට හරවාගත් ඉංග්‍රීසීන් 1796 වනවිට ලංකාවේ මුහුදුබඩ පලාත් සියතට ගැනීමට සමත් විය. 1796 සිට 1815 දක්වා කාලය තුලදී ඔවුන් උඩරට යටත්කර ගැනීමට නොයෙක්වර උත්සහ ගත්තේය. මින් ප්‍රධාන වන්නේ 1803 මැයි මාසයේ ඇතිවූ වටපුලුව සටනයි. එහිදී ඉංග්‍රීසීන්ටත් අත්වූයේ පෙර විජාතිකයින්ට අත් වූ ඉරණමයි.
ඉංග්‍රීසි පාලන සමය තුල ඇතිවූ ප්‍රධාන කැරලි 2ක් අපට හඳුනාගත හැක.

1) වෙල්ලස්ස කැ‍රැල්ල (1818)
1815 මාර්තු 2 වෙනිදා ඇතිකරගත් උඩරට ගිවිසුමත් සමඟ ලංකාව ඉංග්‍රීසීන්ගේ පූර්ණ යටත්විජිතයක් වූ බව ඔබ දන්නවා ඇති. මෙම ගිවිසුම පසුකාලීනව ඉංග්‍රීසීන් අතින් කඩවන්නට විය. මෙහි උච්චතම අවස්ථාව වූයේ වෙල්ලස්සේ නායකයා ලෙස හජ්ජි මුහන්දිරම් නම් මුස්ලිම් ජාතිකයා පත්කිරීමයි. මෙයින් කිපුනු  සිහලුන් හා උඩරට ප්‍රභූන්, ශ්‍රී වික්‍රමරාජ්සිංහට නෑකම් කියූ "දොරේසාමි" නැමැත්තෙක් වටා එක්විය. දොරේසාමි ප්‍රමුඛ සේනාව සමඟ ඇතිවූ ගැ‍ටුම් වලින්  හජ්ජි මුහන්දිරම්ගේ පිරිස් ඝාතනය විය.  එය දැනගත් බදුල්ලේ උපදිසාපති "සිල්වෙස්ටර් විල්සන්" කැරලිකරුවන් හා සටනට පිවිසුනි. නමුත් අවසානයේ ඔහුත් ඝාතනය විය. මෙසේ වෙල්ලස්සෙන් ආරම්භවූ කැ‍රැල්ල, ක්‍රමයෙන් ඌව ප්‍රදේශය පුරා ව්‍යාප්ත විය.
දිනය 1817 නොවැම්බර් 1 වැනිදාය. කැ‍රැල්ල මැඩලීම සඳහා බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා විසින් සේනාවක් උඩරටට එවන ලදී. එම සේනාවේ නායකත්වය දැරුවේ කැප්පෙටිපොල විසිනි. නමුත් ඔහුගේ දේශප්‍රේමය හා ජාත්‍යාලය ඉස්මතුවන්නට වූයෙන් කැ‍රැල්ල මැඩලනු වෙනුවට එයට නායකත්වය දුන්නේය. එසේ සියල්ලන්ගේ ආශිර්වාද මැද ඌව ප්‍රදේශය කැරලිකරුවන් අතට පත්වීමට වැඩිදිනක් ගත නොවීය. මේ අවස්ථාවේදී ඉංග්‍රීසීන් උඩරට අත්හැරීමට පවා සූදානම් විය.
නමුත් අවසානයේදී බෙංගාලයෙන් හා මදුරාසියෙන් අතිරේක බල ඇණි ගෙන්වාගත් ඔවුන් නැවතත් උඩරට වටකලහ. 1818 ඔක්තෝබර් වනවිට උඩරට නැවත අල්ලා ගැනීමට ඉංග්‍රීසීන් සමත් විය. මේවනතෙක් ඇතිවූ සටන් වලින් සිංහලයන් 10000ක් පමණද, ඉංග්‍රීසීන් 1000ක් පමණද මියයන ලදී.
ඔක්තෝබර් 28 දින කැප්පෙටිපොල අත්අඩංගුවටගැනීමට ඉංග්‍රීසීන්ට හැකි විය. ඉංග්‍රීසීන්ට ද්‍රෝහිවීමේ වරදට 1818 නොවැම්බර්  දෙවෙනිදා කැප්පෙටිපොල හා මඩුගල්ලේයන දෙදෙනාගේ හිස් ගසා දමන ලදී. මෙහිදී කැප්පෙටිපොලත් වීර මද්දුමබණ්ඩාරයන් මෙන්ම සිය කැමැත්තෙන්ම දංගෙඩියට හිසදුන් බව කියැවේ.
වෙල්ලස්ස කැ‍රැල්ල අසාර්ථක වූයේ  මොල්ලිගොඩ, එක්නැලිගොඩ වැනි ප්‍රභූන් කැරලිකරුවන්ට විරුද්ධව ක්‍රියාකිරීම නිසාය. එමෙන්ම ඉංග්‍රීසීන්ට ඔත්තුසැපයූ මුහන්දිරම්වරු හා ටිකිරිමල්ලියා වැනි දේශද්‍රෝහීන් නොවන්නට ලක් ඉතිහාසය මීටවඩා වෙනස් අයුරකින් ලියවෙන්නට ඉඩතිබුනි. මෙකී කැ‍රැල්ලට සහයෝගය දුන් අප්‍රකට විරුවන් රාශියක් සිටි අතර ඔවුන් සියල්ලන්ම පසුකාලීනව ඉංග්‍රීසීන් අතින් ඝාතනය විය.

2) මාතලේ කැ‍රැල්ල (1848)
1848 වන විට ලාංකිකයින් ඉංග්‍රීසි පාලනයෙන් හෙම්බත්ව සිටියහ. ඇඟ බද්ද, පොල් බද්ද, ඉස්තෝප්පු බද්ද, බලු බද්ද, කරත්ත බද්ද, මුද්දර බද්ද ආදී වශයෙන් එකී මෙකී නොකී බදු රාශියක බර ජනතාව වෙත පැටවී තිබුනි. මෙකී බදු ඉවත්කරගැනීම සඳහා පෙත්සමක් සකස්කර ටොරින්ටන් ආණ්ඩුකාරයා වෙත යැව්වත් ඔහු එය ඉවත දමන ලදී. මෙයින් පීඩාවටපත් ජනතාව ඉංග්‍රීසීන්ට විරුද්ධව උද්ඝෝෂණය කලහ. එලෙස ආරම්භවූ උද්ඝෝෂණ ‍රැල්ල කැ‍රැල්ලක් ලෙස රට පුරා ව්‍යාප්තවිය.  මීට නායකත්වය දුන්නේ ගොන්ගාලේගොඩ බණ්ඩා සහ පුරන්අප්පුය. කුඩහපොල හිමි ඇතුලු අප්‍රකට විරුවන් රාශියක් ඊට සහයෝගය ලබාදුන්හ.
පසුව කැ‍රැල්ල සාර්ථකව මැඩපැවැත්වීමට ඉංග්‍රීසීන්ට හැකිවිය. 1848 නොවැම්බර් 27 දින අත් අඩංගුවට පත් ගොන්ගාලේගොඩ බණ්ඩා 1849 මැයි මස 3 වන දින කසපහර 100ක් ලබාදී මලක්කාවට පි‍ටුවහල් කරන ලදී. වීර පුරන්අප්පු 1848 අගෝස්තු 8 වනදාත්, කුඩහපොල හිමියන් 1848 අගෝස්තු 26 වනදාත් මරාදමන ලදී. සෙසු විරුවනුත් බොහෝදෙනෙක් ඉංග්‍රීසීන් විසින් මරාදැමුනු අතර  අනෙකුත් අයවලුන් රටින් පි‍ටුවහල් කරන ලදී.
ටොරින්ටන් ආණ්ඩුකාරයාගේ හිතුවක්කාරකම මෙම කැ‍රැල්ලට හේතු වූ බව පසුව ඉංග්‍රීසීන් තේරුම්ගන්නා ලදී.  කැ‍රැල්ලේ ප්‍රතිඵලයක් ලෙස පීඩාකාරී බදු අවලංගු වූ අතර, දළදාමාලිගාවේ ආරක්ෂාවට කටයුතු යෙදීම වැනි වාසි සහගත ප්‍රතිඵල අත්විය.

සේයාරූ සහ රූපසටහන් - සතිඅන්ත පුවත්පත් හා අන්තර්ජාලයෙනි.
කරුණු - පොත්පත්, සඟරා, ඉතිහාස ග්‍රන්ථ, සතිඅන්ත පුවත්පත් හා අන්තර්ජාලයෙනි.
read more "යටත්විජිත සමයේ විමුක්ති අරගල"

Tuesday, December 20, 2011

දිය කැපීමේ චාරිත්‍රය

අපේ ගමේ පංසලේ පෙරහැර මංගල්‍යය ගිය සතියේ තිබුනා. පංසලේ නම "පුලිනථලාරාමය". පිහිටල තියෙන්නෙ රත්මලාන කල්දෙමුල්ල ප්‍රදේශයේ.  ඕනෑම පෙරහැර මංගල්‍යයක් අවසාන වෙන්නෙ  දිය කැපීමේ චාරිත්‍රයෙන්. පෙරහැරට වගේම පෙරහැරට පසුදා උදේ දිය කැපීමේ චාරිත්‍රයටත් සහභාගීවීමේ දුර්ලභ අවස්ථාවක් මට හිමි වුනා. ඒ අවස්ථාවට අදාල ඡායාරූප කීපයක් ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා.

චාරිත්‍රය සිදුකෙරුනේ බොල්ගොඩ වැවේ. මුලින්ම දේවාලයේ චාරිත්‍ර කීපයක් සිදුකරල, පෙරහැරකින් වැවට ආවෙ මෙහෙමයි.

කපුමහත්තයට අමතරව ගමනට සහභාගිවෙන්න අවසර ලැබුනෙ, නිළමෙ වරුන්ට විතරයි. මම නිළමෙ කෙනෙක් නොවුනට මටත් මේ ගමනට ආරාධනා ලැබුනා. රන්මල් නිවාඩු නිකේතනයට අයිති බෝට්‍ටුවකින් ගමන පිටත් උනේ මෙහෙමයි. ඔය ඉස්සරහින්ම යන්නෙ ප්‍රධාන කපු මහත්තය.


අනතුරුව රතු රෙද්දකින් මූන වසාගත්තු කපුමහත්තයා කඩුවකින් දිය මතට පහර දෙනවා. ඒ අවස්ථාවේ බෝට්‍ටුවේ හිටිය ඔක්කොටම ඉවත බලාගන්න කිව්වා. ඒ නිසා ඒ අවස්ථාවේ නම් ඡායාරූපයක් ගන්න බැරි වුනා.
පසුව කළ දෙකකට ජලය පුරවා ගත්තා. කපු මහත්තයා ගොඩබිමට එනකම්ම හිටියේ මුහුණ වසාගෙන.

ගොඩබිමට ආ සැනින් මෙන්න මේවගේ වත් පිලිවෙතක් සිදු කලා.

ජලය පුරවාගත් කළ දෙකත් ‍රැගෙන ආපහු විහාරස්ථානයට ආවෙ මෙහෙමයි.

මෙම ජලය ඊලඟ වසරේ පෙරහැර එනකම්ම සුරක්ෂිතව තියා ගන්නවලු.
දිය කැපීමේ චාරිත්‍රය නිමකරල පැය කීපයක් ගිය තැන මොරසූරන වැස්සක් ඇදහැලුනා. කවුරුත් කතා වුනේ වැරදිලාවත් කලින් දවසෙ මේ විදියට වැස්සනම්, පෙරහැර සාර්ථක කරගන්න ලැබෙන්නෙ නෑ නේද කියල.

සැ.යු. - මෙහි එන සියලු ජායාරූප මා විසින් ලබාගත් ඒවා බවත් ඒවායේ අයිතිය මා සතුබවත් මතක් කරමි.
read more "දිය කැපීමේ චාරිත්‍රය"

Thursday, December 8, 2011

තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු!

ඔබ විධායක ශ්‍රේණියේ ‍රැකියාවක හෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත අයෙක් නම්, බොහෝ විට තරු පංතියේ හෝටල්වල භෝජන සංග්‍රහ වලට ආරාධනා ලැබෙනවා. කුමක් හෝ විශේෂ දවසක, පවුලේ අය සමඟ මෙවැනි හෝටලයකින් ආහාර ගන්නා අයත් ඕනෑ තරම් ඉන්නවා. ඒසේත් නැත්නම් අඩුම තරමින් හිතවතෙකුගේ විවාහ උත්සවයකදීවත් ඔබ තරු පංතියේ හෝටලයකින් ආහාර ගන්න ඇති.
ඔබ දන්නවාද.. එවැනි හෝටල්වල, ආහාර ගැනීමේ සහ පිලිගැන්වීමේ පිලිගත් සම්ප්‍රදායන් තිබෙන බව? ඒ ගැන හරි හැටි දැනුවත් නැත්නම්, මේ ලිපිය ඔබට ප්‍රයෝජනවත් වේවි.
  • භෝජන සංග්‍රහයට ආරාධනා ලැබුනු පසු, සතියක් පමණ ඇතුලත ඔබේ පැමිනීම ස්ථිර කරන්න. ආරාධනාපත හොඳින් කියවන්න. කොතැනක හෝ "dress code" එකක් සඳහන්ව තිබේනම්, ඔබ එදිනට ඇඳගෙන යා යුත්තේ එහි සඳහන් වර්ගයට හා වර්ණයට අයත් ඇඳුමක්. සමහරවිට ඔබ එදින ඉඳගත යුතු මේසයේ අංකයත් එහි සඳහන්ව ඇති.
  • නියමිත වේලාවට හෝටලයට යන ඔබ සුදුසු මේසයක් ‍තෝරාගතයුතුයි. කලින් වෙන්කරවාගත් මේසවල "Reserved" යනුවෙන් සඳහන්ව තිබෙනවා. ඒවගේම, ඔබේ කණ්ඩායමේ සිටින්නේ 4 දෙනෙක් නම්, 12කට පමණ ආසන පැනවූ මේසයක් ‍තෝරා නොගත යුතුයි.
  • සාමාන්‍යයෙන් හෝටල්වල ආහාර පිළිගන්වන්නේ ප්‍රධාන ක්‍රම 2කට අනුවයි.
    •  බුෆේ ක්‍රමය
    •  මෙනු ක්‍රමය
මෙනු ක්‍රමයේදී "3 course, 4 course, 5 course... " ආදී ලෙස ආහාර වර්ග ප්‍රමාණය මත කෑම වට්ටෝරුව වෙනස් වෙනවා. මීට අමතරව අවශ්‍යනම්, තමාට කැමති ආහාරයක් තමා කැමති ලෙස පිලියෙල කර දෙන්නැයි, ඉල්ලා සිටින්නත් පුලුවන්.
තමාට කැමති ආහාර වට්ටෝරුව ‍තෝරාගත් පසු ඔබ ආහාර ගැනීමට සූදානම්. දැන්, කෑම මේසයේ සැකැස්ම ගැන අවබෝධයක් ලබාගනිමු.


කෑම මේසයේ සැකැස්ම බොහෝ දුරට මේ වගේ. හොඳින් බලන්න. පිහිවල කැපෙන පැත්ත, තියෙන්නේ පිඟාන දෙසට. ඒ වගේම උපකරණ පාවිච්චිකල යුත්තේ පිඟානේ පිටත සිට පිඟාන දෙසට. රතු පාට ඊතල වලින් දක්වා ඇත්තේ එයයි.
දැන් නැප්කිනය ගෙන දිගහැර උකුලේ තබාගන්න. එය කමිසය ආවරණය වනලෙස ඇඳුමේ කොලරයට පහතින් රඳවා ගන්නත් පුලුවන්. නමුත් එය තරමක් පැරණි ක්‍රමයක්. කෑම ගැනීම නිමවූ පසු නැවත පිඟානට වම් පැත්තෙන් තියන්න.
දැන් ඔබ ‍තෝරාගත් මෙනුවට අදාල කෑම වර්ග එකින් එක ඔබට ලැබෙනවා.
  • මුලින්ම ඔබට ලැබෙන්නේ ඇපෙටයිසර් (ස්ටාටර්) විය හැකියි. එය ආහාර රුචිය වැඩිකිරීමට දෙන දෙයක් නිසා කුඩා ප්‍රමාණයක් ගැනීම ප්‍රමාණවත්.
  • දෙවනුව සුප් හා සලාද ලැබේවි. ඒ සඳහා අදාල හැඳි පාවිච්චි කරන්න. වරකදී, සුප් හැන්ද සම්පූර්ණයෙන් පුරවා ගැනීම නොකල යුතුයි. භාගයක් පමණ පුරවා ගැනීම සුදුසුයි.
  • අනතුරුව ප්‍රධාන ආහාරය ඔබට ලැබෙනවා. ඒ මෙනුවට අදාලව මාලු, කුකුල් මස් හා වෙනත් මස් වර්ග යන පිලිවෙලටයි.
  • අවසානයේ අතුරුපසත්, තේ හෝ කෝපිත් ඔබට ලැබේවි.
කෑම බෙදීමේදී වේටර් පැමිණෙන්නේ ඔබට දකුණු පැත්තෙන්. ඔබේ මේසයේ සිටින කුඩා ලමුන්ට මුලිනුත්, කාන්තාවන්ට දෙවනුවත්, පුරුෂයන්ට තෙවනුවත් කෑම බෙදීම සිදු කරනවා. කෑම බෙදීමෙන් පසු වේටර්වරයාට ස්තුති කිරීමට අමතක කරන්න එපා.
කෑම ගැනීමට ප්‍රථමයෙන් පිහිය සහ ගෑරුප්පුව අල්ලන නිවැරදි ක්‍රමයත්, ඔබ වයින් පානය කරනවා නම්, වයින් වීදුරුව අල්ලන නිවැරදි ක්‍රමයත් දැන සිටීම ප්‍රයෝජනවත් වේවි. පහත රූපවල ඇඟිලි තබාගෙන ඇති ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්න.
    රූපයේ දැක්වෙන පරිදි සුරතින් පිහියත් වමතින් ගෑරුප්පුවත් ගෙන ආහාර කපා ගැනීම සිදුකරන්න. ඇමරිකන් ක්‍රමයට නම්, කපාගත් පසු, පිහිය පසෙකින් තබා ගෑරුප්පුව සුරතට ගෙන ආහාර ගත යුතුයි. යුරෝපීය ක්‍රමයට නම්, ගෑරුප්පුව සුරතට මාරුකරන්නේ නෑ. නමුත් ඔබ ආහාරයට ගන්නේ බත් නම් එය රඳවා ගැනීමේදී ගෑරුප්පුව මදක් කරදරකාරී විය හැකියි. එවැනි විටක හැන්දක් පාවිච්චි කිරීමේ වරදක් නෑ. 

    කෑම මේසයේදී නොකලයුතු දෑ
    • නාසය, මුහුණ හෝ හැඳි පිසදැමීමට නැප්කිනය කිසිවිටෙකත් යොදාගන්න එපා. 
    • කෑම මේසයේදී ඔබේ ජංගම දුරකතනය නාදවීමට ඉඩ තබන්න එපා.
    • කෑම මේසයේදී රූපලාවන්‍ය උපකරණ හෝ දත් හෑරීමේ කූරු පාවිච්චි කරන්න එපා.
    • තමන්ගෙ මේසයේ සියල්ලන්ම කෑම බෙදාගැනීමට පෙර ඔබ කෑම ගැනීම ආරම්භ කරන්න එපා. 
    • කෑම රස බැලීමටත් ප්‍රථමයෙන් ලුණු/ගම්මිරිස් යනාදිය එකතු කරන්න එපා.
    • වයින් ප්‍රතික්ෂේප කල යුත්තේ බඳුන මුනින් හැරවීමෙන් නොව, බඳුනේ කට අතින් වසා ගැනීමෙනි.
    • වැලමිට මේසය මත තබාගන්න එපා. වමත භාවිතා නොවන විටදී, එය උකුල මත තබා ගන්න.
    • බිම වැ‍ටුනු උපකරණ කිසිවිටෙකත් නැවත ගන්න එපා. ඒ වෙනුවට අලුත් උපකරණයක් ඉල්ලා ගන්න.
    • කෑම මේසයේදී ශබ්දනගා කතා කිරීම හෝ කිසිවක් කතා නොකර සිටීම නොකල යුතුයි. කෑම මේසයේ සියල්ලන් සමඟ ප්‍රසන්න මාතෘකාවක් ගැන සුලු කතාබහක නිරතවන්න.
    • කෑම කටේ තබාගෙන කතාකිරීම නොකල යුතුයි.
    • කැස්සක් හෝ කිවිසීමක් සිදුකරන විට මුඛය හා නාසය නිරාවරනය කරන්න එපා. නැප්කිනයෙන් වසාගන්න. දිගටම එය සිදුවේනම් විවේක කාමරයට යන්න. නැවත කෑම මේසයට එන්න පෙර දෑත් හොඳින් සෝදන්න.
    • පිඟානේ ආහාර මහා පරිමාණයෙන් ඉතිරි කිරීම හෝ කිසිවක් ඉතිරි නොකිරීම නොකල යුතුයි. කෑම බෙදාගැනීමට පෙර තමන්ගේ කුසගින්නේ ප්‍රමාණය ගැන ස්වයංනිර්ණායකයකට පැමිණෙන්න.
    • ආහාර ගැනීමෙන් පසු පිඟාන ඉවතට තල්ලු කිරීම හෝ පිඟන් ගොඩ ගැසීම කරන්න එපා.
    • සියලු දෙනාම ආහාර ගෙන නිමවන තෙක් කෑම මේසයෙන් නැගිටීම නොකල යුතුයි. ඊට ප්‍රථමයෙන් නැගිටීමට අවශ්‍යනම්, අනිකුත් සගයන්ගෙන් අවසර ගන්න.

    කෑම කන අතරතුරදී ආහාර දීසියක් තවත් අයෙකුට යැවීමට අවශ්‍යනම් සැම විටම තමාගේ දකුණුපසට යොමුකල යුතුයි. ඔබෙන් ඉල්ලා සිටින්නේ ලුණු හෝ ගම්මිරිස් නම්, ඒ බඳුන් දෙකම එකවර යැවීම තමයි සිරිත.
    හරි! දැන් ඔබ කෑම කා අවසන්. ඒ බව සංඥා කිරීමට පිහිය සහ ගෑරුප්පුව පහත රූපයේ දැක්වන ආකාරයට සමාන්තරව තබන්න. 

    බිල ගෙවීමෙන් පසු වේටර්වරයාට Tip එකක් දීමත් සිරිතක්. Tip එක විදියට ඔබට කැමති මුදලක් දියහැකියි. සාමාන්‍යයෙන් බිල්පතේ වටිනාකමින් 15%-20% අතර මුදලක් දීම සුදුසුයැයි කියනවා.

    මේ තියෙන්නේ තරු පංතියේ හෝටලයක ආහාර ගැනීමේ සහ පිලිගැන්වීමේ සාමාන්‍ය සිරිත. ඔබට හැඳි සහ ගෑරුප්පු භාවිතය කරදරකාරී කියා සිතෙනවා නම්, අතින් වුවත් ආහාර ගතහැකියි. ඒ සඳහා පසුබට වියයුතු නෑ. නමුත් සිරිත් දැනගෙන යාම ඔබට විශාල පහසුවක් වේවි. ගොඩක් ප්‍රයෝජනවත් වේවි. එය එසේ නම්, මේ ලිපියේ අරමුණත් එයමයි.
    read more "තරු පංතියේ හෝටලයකින් ආහාර ගනිමු!"

    Thursday, December 1, 2011

    රජෙකුගේ දවසක්

    පුරාණ ලංකාවේ රජෙකුගේ දෛනික කාලසටහන මොන ආකාර වන්නට ඇත්ද?
    ඒ පිලිබඳ කරුණු සොයාබැලීමේදී "කඳවුරු සිරිත" නම් අපූරු ග්‍රන්ථයක් හමුවෙනවා. එම ග්‍රන්ථයෙන් විස්තර වන්නේ II වන පරාක්‍රමබාහු රජතුමාගේ දින චරියාවයි.
    II වන පරාක්‍රමබාහු යනු ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන නමක්. දඹදෙනිය රාජධානිය කරගනිමින්, ක්‍රි.ව. 1236 සිට ක්‍රි.ව. 1270 දක්වා වසර 34ක් රජකම් කල මෙතුමා තම පාලනකාලය තුලදී කාලිංගමාඝ, චන්ද්‍රභානු වැන්නන්ගේ විදේශ ආක්‍රමණවලට සාර්ථකව මුහුනදෙමින් ධාර්මික පාලනයක් ගෙන ගියා. එසේම විවිධ විශයන් ගැන මනා දැනුමක් තිබූ මෙතුමා "කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත" යන ගෞරව නාමයෙන්ද පිදුම් ලැබුවා.
    "කඳවුරු සිරිත" ග්‍රන්ථයෙන් විස්තර වන්නේ එතුමාගේ දින චරියාව වුවත්,  පුරාණ ලංකාවේ බොහෝ ධාර්මික රජවරුන් මීට සමාන  දින චරියාවක් පවත්වාගන්නට ඇතැයි අපට උපකල්පනය කිරීමට පුලුවන්.

    සිට
    දක්වා
    කාර්ය්‍ය
    උදේ 4.00
    -
    අවදිවීම.
    උදේ 4.00
    උදේ 5.12
    ත්‍රිලක්ෂණ (අනිත්‍ය, දුක්ඛ, අනාත්ම) මෙනෙහි කරමින් භාවනා කිරීම.
    උදේ 5.12
    උදේ 6.00
    ගාථා කීම සහ ධර්ම කරුණු ආවර්ජනය කිරීම.
    උදේ 6.00
    උදේ 9.00
    පුරෝහිත බමුණා ශ්‍රී යහන් ගබඩාවට පැමිණ කුසතණ හා මැතිරූ ජලය පිරි දක්ෂිණාවෘත කිරි හක්ගෙඩියක් පිරිනැමීම.
    පුරෝහිත බමුණා වේද මන්ත්‍ර ජපකරද්දී රජතුමා හක්ගෙඩියත්, කුසතණත් පිරිමැදීම.
    පුරෝහිත බමුණාගෙන් පෙර දින දු‍ටු සිහින විචාලීම.
    මහවෙදනා (රාජකීය වෛද්‍යවරයා)  සිරියහන් ගබඩාවට පැමිණීම සහ රජතුමාගේ ශරීර සෞඛ්‍ය පිරික්සා අවශ්‍ය බෙහෙත් නියම කිරීම.
    මහදොරනා (රජතුමාගේ වත්පිලිවෙත් බාර අය) සිරියහන් ගබඩාවට පැමිණීම සහ සුවඳ ජලයෙන් ශරීර දෝවනයට කටයුතු සැලසීම.
    දළදා මාලිගාවේ උඩුමහල් චාරිත්‍ර
    දළදා මාලිගාවට ගමන් කිරීම සහ දළදා මාලිගාව ඇමදීම.
    පූජාභාණ්ඩ 12කින් දළදාවට පුදපූජා පැවැත්වීම.
    සුවඳ පැන් ඉසූ මල් පූජා කිරීම සහ සිල් සමාදන්වීම.
    පිරිත් පැන් ලබාගැනීම සහ ගිතෙල් බඳුනකින් තම මුහුණ බැලීම.
    ගිතෙල් භික්ෂූන්ට හා බමුණන්ට පිරිනැමීම.
    දළදා මාලිගාවේ බිම්මහල් චාරිත්‍ර
    බුදුරුවක නේත්‍රා පිහි‍ටුවීම.
    උපාසකයින්ට බුදුපිළිම, ධර්ම පොත් යනාදිය ලබාදීම.
    ධර්ම ශ්‍රවණය කිරීම.
    භික්ෂූන්ට දන්දීම.
    පුරෝහිත බමුණාගේ පද 8ක මංගල්‍යාෂ්ඨක ශ්‍රවණය කිරීම.
    දන් දීම. (රෝගීන්ට සහ මහල්ලන්ට බෙහෙත්, බඩදරු ස්ත්‍රීන්ට දොලදුක් කෑම, දරුවන්ට රස කැවිලි, සතුන්ට ආහාර)
    මහවෙදනා හා මූලහිනා (මුලුතැන්ගෙය භාර අය) විසින් උදෑසන රාජභෝජන පිරිනැමීම.
    කැටපත්ගෙට යෑම සහ දවසට යෝග්‍ය යැයි සම්මත ඇඳුම් හා ආභරණ වලින් සැරසීම.
    දකුණු අතින් කඩුව හා වමතින් යෂ්ටිය ගෙන සුදු පියවිලි මතින් සිංහාසන ගබඩාවට යාම.
    නිලමේවරුන්ගේ රාජකාරි වාර්තාවලට (දානශාලාවේ / භාණ්ඩාගාරයේ) සවන් දීම.
    උදේ 9.00
    උදේ 10.00
    සිංහාසනාරූඩ වීම සහ මැතිඇමති වරුන්ගේ රාජකාරි වාර්තාවලට සවන්දීම.
    උදේ 10.00
    උදේ 10.48
    අවිහරඹ පුහුණුවීම.
    උදේ 10.48
    -
    මහනැකැත්තා (රාජකීය දෛවඥයා) දහවල් භෝජනයට සුභ වේලාව දන්වයි.
    උදේ 10.48
    -
    මහවෙදනා සහ මූලහිනා පැමිණ දිවාභෝජනයේ විස්තර සපයයි.
    උදේ 10.48
    සවස 3.00
    භික්ෂූන් 100කට දානය දීම.
    දහවල් රාජ භෝජන ගැනීම.
    1000 දෙනෙකුට පාවාඩබත් බෙදාදීම සහ රජමාලිගාවේ 300කට සංග්‍රහ කිරීම.
    සලුපිලි මාරුකර පියවර 100ක් පමණ ඇවිද, දැහැත් වළඳා 'රාමකුල' නම් යහනේ පැයක් පමණ නිදාගැනීම. [මේ අවස්ථාවේ බ්‍රාහ්මණ ස්ත්‍රීන් පැමිණ රජුගේ හිසකෙස් පීරමින්, නිය ඔපලමින්, පා පිරිමඩිමින් පවන් සලන අතර සේවකයෝ යහන්ගැබ මුර කරති.]
    සිංහාර මණ්ඩපයට පිවිස කෝකිල (විලිසයනය) නම් යහනට වී රජුට විනෝද සපයන පිරිසේ රංගනයන් නරඹමින් පැයක් පමණ විවේක ගනී.
    රජමාලිගාවේ ''රජපාතෙලෙ' නම් ස්ථානයට පිවිස 360 වර්ගයක් කලාකරුවන්ගේ රංගනයන් නරඹමින් සතු‍ටුවෙයි.
    සවස 3.00
    -
    ප්‍රධානීන් 24 දෙනෙකු පිරිවරාගෙන දවසේ දෙවන වරටත් සිංහාසනාරූඩ වීම.
    සවස 3.00
    සවස 5.00
    සනි‍ටුහන් වැදෑරීම. [රජයේ ප්‍රධානීන්ගේ රාජකාරි වාර්ථා වලට සවන්දීම සහ උපදෙස්දීම]
    දර්ශණ මණ්ඩපයට (ඔලක්කම් මණ්ඩපය) ගොස් දෙහල වෙදනාගේ [පශුවෛද්‍ය] උපදෙස් අනුව මගුල් ඇතුට ආහාර දීම.
    සවස 5.00
    සවස 6.00
    සඳලුතලයට ගොස් ස්නානය කර, ඇඳුම් මාරුකර, බුදුන් වැදීම.
    සවස 6.00
    සවස 6.24
    ආලන්ති මණ්ඩපයට ගොස්, සන්ධ්‍යා තූර්යවාදනයට සවන් දීම. ස්ත්‍රීන් 1800ක් විසින් 'ආලන්ති බෑම' නම් ප්‍රාර්ථනය තෙවරක් සිදුකර රජුට සුභාසිරි පැතීම.
    සවස 6.24
    රාත්‍රී 8.00
    නාටක ශාලාවට ගොස් නැ‍ටුම්, ගැයුම්, වැයුම් නැරඹීම.
    රාත්‍රී 8.00
    රාත්‍රී 12.00
    මහනැකැත්තාගේ උපදෙස් අනුව සුභ මූර්තියෙන් බොජුන්ගෙට ගොස් රාත්‍රී රාජභෝජන වැලඳීම.


    පියවර 100ක් පමණ ඇවිද, දැහැත් වළඳා බුදුගුණ සිහිකිරීම.


    බිසෝගබඩාවට ගොස් පැය දෙකක් ගතකිරීම.


    සඳලුතලයට ගොස් සරඹ ක්‍රීඩා කීරීම.


    රාත්‍රී මුරසේවා ගැන උපදෙස් දීම.
    රාත්‍රී 12.00
    පසුදා උදේ 4.00
    යහන් ගබඩාවට ගොස් නිදා ගැනීම.

    මූලාශ්‍ර : කඳවුරුසිරිත, ලංකාදීප, ඉතිහාස කෘති.
    read more "රජෙකුගේ දවසක්"