Thursday, November 8, 2012

ටේලර් සාප්පුව ගිනිගනී

අද මම ඔබව ගෙනියනවා අවුරුදු 16 ක් අතීතයට. හරියටම දිනය කියනවනම්, 1996 මාර්තු 18 වැනි සඳුදා. ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත්තු දවසට පසු දිනය. එදා දිවයින පත්තරේ සිරස්තලය තමයි මේ.

අර්ජුන රණතුංග පකිස්තානු අගමැති බෙනාසීර් බූ‍තෝ අතින් ලෝක කුසලානය ලබාගන්නා අයුරු දැක්වෙන අපැහැදිලි ඡායාරූපයක් ඊට වම් පසින් මුද්‍රණය කර තිබුනා.

සිරස්තලයට යටින් තිබුනේ ලංකා නායක අර්ජුන සහ උපනායක අරවින්දගේ ඡායාරූප දෙකක්.

මුල්පි‍ටුවට අමතරව ක්‍රීඩාපි‍ටුව සම්පූර්ණයෙන්ම වාගේ වෙන්ව තිබුනේ අවසාන තරඟයේ තතු විත්ති ගෙන ඒමට.

"ලෝක ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට"
"ටේලර්ගේ මැහුම් වරදියි"
ක්‍රීඩාපි‍ටුවෙන් ඕස්ට්‍රේලියානු නායකයාව උපහාසයට ලක් කර තිබුනේ එහෙමයි.

"ජගත් ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය මතක සටහනක් සනි‍ටුහන් කල අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ, ඊයේ (17 දා) පකිස්තානයේ ලාහෝර්හිදී ඕස්ට්‍රේලියාව කඩුලු හතකින් පරදවා විල්ස් කුසලාන ලෝක ක්‍රිකට් ශූරතාව දිනා ගත් බව දිවයින සාඩම්බරයෙන් වාර්තා කරයි.
ජගත් ක්‍රිකට් ශූරතාව ආසියානු කලාපයේ ක්‍රිකට් කණ්ඩායමක් විසින් දිනාගත් තුන්වන අවස්ථාව මෙය වන අතර මීට පෙර ඉන්දියාව සහ පකිස්තානය පිළිවෙළින් අදාල ශූරතාව දිනා ගැනීමට සමත් වී ඇත.
ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ ලාහෝර්හි දී පැවැති විල්ස් කුසලාන ලෝක ශූරතා අවසන් තරගයේ දී පළමුව ඉනිම ඇ‍රැඹූ ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 50 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 241 ක් ‍රැස් කළ අතර පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46.2 කදී කඩුලු 3 කට ලකුණු 245ක් ‍රැස් කොට සිය ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.
ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ඉනිමක් ගොඩනැගූ උපනායක අරවින්ද ද සිල්වා (ලකුණු 107-නොදැවී) තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවේය.
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ලැබූ මෙම අනභිබවනීය ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වූ ශ්‍රී ලාංකික ජනතාව ප්‍රීති ඝෝෂා නගමින් සාමකාමීව වීදි සංචාරයේ යෙදුනු දක්නට ලැබිණි."

එම විස්තරයට දකුණුපසින් සනත් ජයසූරිය තරගාවලියේ වීරයා සම්මානය ලබාගන්නා ඡායාරූපයත්, අරවින්ද විසින් තරගයේ වීරයා සම්මානය ලබාගන්නා ඡායාරූපයත් දක්වා තිබුනා.

එදා තරගයේ ලකුණු පුවරුව මෙතනින් බලන්න.

එදා එම පුවත්පතේ තිබුනු ක්‍රිකට් වලට සම්බන්ධ නැති දැන්වීමකුත් මගේ අවධානය දිනාගත්තා. ඔබට මතකද "ඉටිපහන්" ටෙලිනාට්‍යය?
එදිනට පසු සතියේ ඉඳන් විකාශය වීමට නියමිතව තිබූ ඉටිපහන් ටෙලිනාට්‍ය දැන්වීමේ රූපරාමුවල ඉන්න කුඩා දැරිය ඔබ අඳුරනවාද? (විශාල කර බලන්න)
ඇය තමයි අද දවසේ ප්‍රසිද්ධ නිලියක් වූ අනර්කලී ආකර්ශා. නලු නිලි ලයිස්තුවේ ඇගේ නම සඳහන්වෙලා තියෙන්නේ "අනර්කලී ජයතිලක" ලෙස.



මේ වගේ තවත් වැදගත් පුවත්පත් කීපයක් මා සතුව තියෙනවා. ඉඩ ලැබෙන විදියට ඉදිරියේදී ඒවා පලකරන්නම්.
වසර 82 ක් පැරණි මුල්ම සිළුමිණ පුවත්පත ගැන මම ලියපු ලිපිය මෙතනින් බලන්න.
read more "ටේලර් සාප්පුව ගිනිගනී"

Friday, October 26, 2012

අවවාදයයි! ඔබත් ෆෝබියාවෙන් පෙලෙන්නෙක් විය හැක.


ෆෝබියාව කියල කියන්නෙ යමකට තියෙන අධික සහ අසාමාන්‍ය බයට. ඒවගේම ෆෝබියාව කියන්නේ මානසික රෝග විශේෂයක්.
ෆෝබියාව සාමාන්‍ය භීතියෙන් වෙනස් වන්නේ කෙසේද?
එන්නතක් විදින්න කලින් එන්නත් ක‍ටුවක් දැක්කම බය හිතෙන එක සාමාන්‍යයි. නමුත්, ඒ හේතුවෙන් අතවශ්‍ය වෛද්‍යප්‍රතිකාර වලින් ඉවත්වී සිටී නම්, ඔබට ඇත්තේ ෆෝබියාවක් විය හැකියි.
යමෙකුට ෆෝබියාව වැලඳීමට නිශ්චිත හා ස්ථිර හේතුවක් කියන්න බැහැ. නමුත් ෆෝබියාවට හේතුකාරක වියහැකි දේවල් කීපයක් මෙසේ දක්වන්න පුලුවන්.
  • පාරම්පරික ෆෝබියා තත්වයන්.
  • තමන් ලැබූ බියජනක අත්දැකීමක් නිසා.
  • තමන් දු‍ටු බියජනක අත්දැකීමක් නිසා.
  • ෆෝබියාවෙන් පෙලෙන්නෙකු ඊට හේතුවන අත්දැකීමක් ලබද්දී ඒ සමීපයෙහි සිටීම.
  • බියජනක අවස්ථාවක් ගැන දැනගැනීමට ලැබීම.
ෆෝබියාව පහත ආකාරයට වර්ග කීපයකට බෙදා දක්වන්න පුලුවන්.
  1. Natural environment phobia - ස්වාභාවික සංසිද්ධීන්ට දක්වන අධික බිය
  2. Animal phobia - සත්ව වර්ග වලට දක්වන අධික බිය
  3. Blood-injection-injury phobia - රුධිරය/එන්නත් වැනි දෑට ඇති අධික බිය
  4. Situational phobia - ඇතැම් ස්ථාන හා අවස්ථා වලට ඇති අධික බිය
ඉහත මුල් අවස්ථා තුන බොහෝවිට ආරම්භ වන්නේ කුඩාකාලයේදී. Situational phobia යන්න බොහෝවිට වැඩිහිටි වයසේදී ආරම්භ වෙනවා. ඒවගේම කාන්තාවන් පිරිමින්ට වඩා ෆෝබියා තත්වයට පත්වීමේ හැකියාව වැඩි බවයි පර්යේෂකයන් සඳහන් කරන්නේ.

මේ වන විට හඳුනාගෙන ඇති ෆෝබියා වර්ග ගනන 500 කට අධිකයි. පහත දැක්වෙන්නේ එයින් මම ‍තෝරාගත් කිහිපයක ලයිස්තුවක්. කියවා බලන්න. සමහරවිට ඔබත් ෆෝබියාවෙන් පෙලෙන්නෙක් විය හැකියි.

අබ්ලුට්‍රොෆෝබියා (Ablutophobia) - දිය නෑමට ඇති බිය

අකරොෆෝබියා (Acarophobia) - කැසීමට ඇති බිය

ඒසරොෆෝබියා (Acerophobia) - පැඟිරි රසයට ඇති බිය

අවුලුඕෆෝබියා (Achluophobia)- අඳුරට ඇති බිය

අකවුස්ටික්ෆෝබියා (Acousticophobia) - ශබ්දයට ඇති බිය

ඇක්‍රොෆෝබියා (Acrophobia) - උස ස්ථාන වලට ඇති බිය

එයරොෆෝබියා (Aerophobia) - ගුවන් යානාවල යාමට ඇති බිය

ඇග්ලිඔෆෝබියා (Agliophobia) - සුලු වේදනාවක්පවා විඳීමට ඇති බිය

ඇග්‍රිසූෆෝබියා (Agrizoophobia) - වන සතුන්ට ඇති බිය

එකොමොෆෝබියා (Aichmophobia) - උල් සහිත උපකරණ වලට ඇති බිය

ඇමතොෆෝබියා (Amathophobia) - දූවිල්ලට ඇති බිය

ඇල්බමයිනුරෝෆෝබියා (Albuminurophobia) - වකුගඩු රෝගයක් සෑදෙතැයි ඇති බිය

කොයිමෙට්‍රොෆෝබියා (Coimetrophobia) - සුසානභූමි වලට ඇති බිය

ඩිසිඩොෆෝබියා (Decidophobia) - තීරණ ගැනීමට ඇති බිය

ඉලෙක්ට්‍රොෆෝබියා (Electrophobia) - විදුලිබලයට ඇති බිය

එන්ටොමොෆෝබියා (Entomophobia) - කෘමින්ට ඇති බිය

එපිස්ටැක්සියොෆෝබියා (Epistaxiophobia) - නාසයෙන් ලේ ගලනු ඇතැයි බිය වීම

ගැමොෆෝබියා (Gamophobia) - විවාහවීමට ඇති බිය

ගෙ‍රැස්කොෆෝබියා (Gerascophobia) - වයසට යාමට ඇති බිය

හෙලියොෆෝබියා (Heliophobia) - හිරු එලියට ඇති බිය

හර්පෙටොෆෝබියා (Herpetophobia) - උරගයින්ට ඇති බිය

හිමොෆෝබියා (Hemophobia) - රුධිරයට ඇති බිය

හොප්ලොෆෝබියා (Hoplophobia) - ගිනි අවි වලට ඇති බිය

හයිඩ්‍රොෆෝබියා (Hydrophobia) - වතුරට ඇති බිය

ඉයට්‍රොෆෝබියා (Iatrophobia) - වෛද්‍යවරුන්ට ඇති බිය

ඇ‍රැක්නොෆෝබියා (Arachnophobia) - මකුලුවන්ට ඇති බිය

ඇටැක්සොෆෝබියා (Ataxophobia) - අපිරිසිදු තැන්වලට යාමට ඇති බිය

ඔටෝමැට්නො ෆෝබියා (Automatonophobia) - ඉටිරූප, පිළිම ආදියට ඇති බිය.

බැසිලොෆෝබියා (Bacillophobia) - විෂබීජ වලට ඇති බිය

බාතොෆෝබියා (Bathophobia) - ගැඹුරු ස්ථාන වලට ඇති බිය

බුෆොනොෆෝබියා (Bufonophobia) - ගෙම්බන්ට ඇති බිය

කාසිනෝෆෝබියා (Carcinophobia) - පිළිකාවක් වැල‍ඳෙතැයි ඇති බිය.

සෙරව්නොෆෝබියා (Ceraunophobia) - අහසේ ගෙරවිලි ශබ්දවලට ඇති බිය

ක්‍රොමොෆෝබියා (Chromophobia) - වර්ණ වලට ඇති බිය

ක්ලයිමකොෆෝබියා (Climacophobia) - පඩිපෙලවලට ඇති බිය

මෙලොෆෝබියා (Melophobia) - සංගීතයට ඇති බිය

මෙතිෆෝබියා (Methyphobia) - මත්පැන්වලට ඇති බිය

නෙක්‍රොෆෝබියා (Necrophobia) - මරණයට ඇති අධික බිය

නොසොකොමෙෆෝබියා (Nosocomephobia) - ආරෝග්‍යශාලා වලට ඇති අධික බිය

පැන්තොෆෝබියා (Panthophobia) - රෝග වලට ඇති අධික බිය

පොගොනොෆෝබියා (Pogonophobia) - ‍රැවුලට ඇති බිය

ෆයිරොෆෝබියා (Pyrophobia) - ගින්දරට ඇති බිය

සියොෆෝබියා (Sciophobia) - සෙවනැලි වලට ඇති බිය

ටැකොෆෝබියා (Tachophobia) - වේගයට ඇති බිය

තාලාසොෆෝබියා (Thalassophobia) - මුහුදට ඇති බිය

ට්‍රිස්කයිඩෙකාෆෝබියා (Triskaidekaphobia) - අංක 13ට ඇති බිය

සියුසොෆෝබියා (Zeusophobia) - දෙවිවරුන්ට ඇති බිය
මූලාශ්‍ර : මුතුහර සඟරාව, අන්තර්ජාලය, සතිඅන්ත පුවත්පත්
            මෙහි එන සියලු ඡායාරූප අන්තර්ජාලයෙන් ලබාගන්නා ලදී.
read more "අවවාදයයි! ඔබත් ෆෝබියාවෙන් පෙලෙන්නෙක් විය හැක."