Thursday, January 31, 2013

මහ බැංකුව විනාශයි

අද 2013 ජනවාරි 31 වෙනිදා. අද මම ඔබට කියන්න යන්නෙ හරියටම අවුරුදු 17 ක් පරන කතාවක්. දිනය 1996 පෙබරවාරි 1. එදා දිවයින පුවත්පතේ සිරස්තලය තමයි මේ.

'මහ බැංකුව විනාශයි.'
'මියගිය ගණන කියන්න බෑ.'

'ඊයේ පිපිරුණු බිහිසුණු බෝම්බයෙන් ශ්‍රී ලංකා මහබැංකු ගොඩනැගිල්ල සහ ඒ ඉදිරිපිට පිහිටි සෙලින්කෝ මන්දිරය ගිනිගෙන දුම් ගුලි අහසට විහිදෙද්දී ' යනුවෙන් සඳහන් වූ ඡායාරූප කීපයක් මුල්පි‍ටුව පුරා දක්නට ලැබුනා.

ලංකාවම කඳුලු ගංගාවක ගිල්ලූ ඒ ශෝචනීය කතා පුවත දිවයින පුවත්පත වාර්ථාකර තිබුනේ මෙහෙමයි.

'ශ්‍රී ලංකාවේ දරුණුම පිපිරීම'
'බෝම්බ ලොරිය පුපුරුවන්නට පෙර හතර පැත්තටම වෙඩි තබති.'
මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් ‍රැගෙන එන ලදැයි කියන අධි බලැති බෝම්බ සහිත ලොරියක් කොළඹ කො‍ටුවේ ශ්‍රී ලංකා මහබැංකු ගොඩනැගිල්ල වෙත ඊයේ (31) පෙරවරු 10.49 ට කඩා වැදීමෙන් එම ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලිවල සේවය කළ විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. මෙය මෑත සමයේ සිදුවූ දරුණුම බෝම්බ පිපිරීම ලෙස සැලකේ.
ශ්‍රී ලංකා මහ බැංකු ගොඩනැගිල්ල, සෙලින්කෝ ගොඩනැගිල්ල, එයාර් ලංකා ගොඩනැගිල්ල ඇතුලු ගොඩනැගිලි ‍රැසක් ගිනිගෙන සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වූ අතර දහසකට අධික පිරිසක් කොළඹ මහ රෝහල ඇතුලු රෝහල් ගණනාවකට ඇතුළත් කර ඇත. මෙයින් සියයකට අධික පිරිසකගේ තත්වය බරපතල බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. මියගිය ගණන ඊයේ සවස් වනතුරුත් හරිහැටි වාර්තා වී නොතිබිණි.
බෝම්බය පිපිරීමෙන් ඇවිළී ගිය ගින්න නිවා දැමීමට ගිනි නිවන හමුදාව දැරූ උත්සාහය ව්‍යාර්ථ විය.
බෝම්බ ලොරිය ශ්‍රී ලංකා මහ බැංකුවේ මහ දොර වෙත ගෙනයෑමට පෙර වාහනයකින් පැමිණි පිරිසක් එම වාහනයෙන් බැස හතර පැත්තටම දිගට හරහට වෙඩි තැබීමට පටන්ගෙන ඇත. බෝම්බ ලොරිය පුපුරුවා ඇත්තේ ඉන් පසුවය.
සිද්ධිය වී ස්වල්ප වේලාවකින් අප එම ස්ථානයට ගිය අවස්ථාවේ ගිනි ගනිමින් තිබූ ගොඩනැගිලිවල ඉහළ මාලයන්හි කො‍ටුවී සිටි විශාල පිරිසක් තමන් ඇඳසිටි ඇඳුම් වනමින් ආධාර ඉල්ලා කෑ ගසන අයුරු දක්නට ලැබිණි. ගින්න නිසා ඇතිවූ දුමාරයෙන් එම ප්‍රදේශය සම්පූර්ණයෙන් වැසී තිබූ අතර, ගොඩනැගිලිවල සිරවී සිටි කාර්ය්‍යාල සේවක සේවිකාවන්ගේ විලාපය මුළු කො‍ටුව පුරාම දෝංකාර දුන්නේය. ක්‍රමයෙන් පැතිරගිය ගින්න මුහුදු සුළඟ නිසා ඊයේ දහවල්වන විට ගොඩනැගිලිවල ඉහල මාලවලට සීඝ්‍රයෙන් පැතිර යන අයුරු දක්නට ලැබිණි. රුපියල් 1000, 500 මුදල් නෝට්‍ටු පාර පුරා විසිරී ඇවිලෙමින් තිබිණි.
සෙලින්කෝ ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ සිරවී සිටි විශාල පිරිසක් ගිනි නිවන හමුදාවේ ඉනිමං මගින් ඉවතට ගනු ලැබූ අතර ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් ලේවලින් රත් පැහැ ගැන්වී තිබිණි. බෝම්බය පිපිරීමත් සමඟම එම ගොඩනැගිලිවල සිවිලිම ඇතුළු කොටස් කඩා වැටීම නිසා තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.
සිද්ධිය වන විට කොළඹ කො‍ටුව ප්‍රදේශයේත් ජනාධිපති ලේකම් කාර්යාලය අතරත් ධාවනය වෙමින් තිබූ බස් රථ ඇතුළු වාහන ‍රැසකටද විශාල ලෙස හානි සිදුවී ඇති අතර, ඒවායේ ගමන් කළ විශාල පිරිසක් ද තුවාල ලබා සිටිති.
රෝහල් ගතකල තුවාලකරුවන්ගෙන් අසාධ්‍ය තත්වයේ සිටි කිහිප දෙනෙකු ඊයේ දහවල් වනවිට මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. තුවාලකරුවන් අතර විදේශිකයන්ද සිටිනු දක්නට ලැබුණි.
ගොඩනැගිලිවල සිරවී සිටි පිරිස් බේරා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා යොදවා දැරූ උත්සාහය ව්‍යාර්ථ වූයේ ප්‍රදේශය පුරා පැතිරී තිබූ කළු දුමාරය නිසාය.
බෝම්බය පිපිරීමත් සමඟ කො‍ටුව ප්‍රදේශයේ විවිධ අවශ්‍යතා සඳහා පැමිණ සිටි ජනයා මෙන්ම පදික වෙළෙඳුන් ඇතුළු විශාල පිරිසක් දිවි බේරා ගැනීම සඳහා හිස් ලූ ලූ අත දිව ගියහ.

පුවත්පත පුරාම දකින්න තිබුනේ මේ ආකාරයේ අතුරු සිරස්තල.

'දුරකථන ගොළුවේ'

'සියලුම වර්ගවල ලේ ඕනෑ'

'ගැලවුම්කරුවන් ප්‍රමාණවත් නැහැ'

ඒ අතුරින් 'එය කිසිවකු දැකිය යුතු නොවේ' යන සිරස්තලය යටතේ ලියැවුනු මේ ලිපිය මට උපුටා දක්වන්න හිතුනා.

'සත්තකින්ම එය කිසිවෙක් විසින් නොදැකිය යුතු දර්ශණයක්.. කො‍ටුව පැත්තෙන් විශාල දුම්ගොඩ අහස උසට නැගෙන ආකාරය අපි දු‍ටුවේ කොච්චිකඩේ පල්ලිය හරියේදී. යෝක් වීදිය වගේ ඈත තැන්වල (මහබැංකුව පේනතෙක් මානයේවත් නැති) පාරවල්වල නවත්තල තිබුණු වාහන වල වීදුරු පවා කම්පනයට කැඩිල ගිහින්.'
'ඊට පස්සෙ අපිට දකින්න ලැබුනෙ ලංකා ඉතිහාසයටම සිදුවෙච්ච විශාලම විනාශය.'
'මහ බැංකුවේ සහ අනිත් ගොඩනැගිලිවල තැන්වල අඩි 20 විතර ආවාට හැදිලා. හරියට ආර්. පී. ජී. රොකට් වෙඩි ගැහුවා වගේ. බෝම්බය ගෙනාව ලොරිය පුපුරල ගිය තැන හැදිල තිබුණේ විශාල වලක්. ඒ ලොරි යෙ රෝදයක රිම් එකක් යැයි සිතිය හැකි කොටසක් තිබුණේ චැතැම් වීදිය හන්දියේ ඔරලෝසු කණුව ළඟ. මේ හැම දෙයකටම වඩා මහ පොළොව නුහුලන දර්ශනය දකින්න ලැබුණේ සෙලින්කෝ මන්දිරය උඩතට්‍ටුවල. ඒ ගොඩනැගිල්ලේ ගිනි ගන්න තට්‍ටුවල ඊට ටිකක් එහාට වෙන්න ලේ පෙරාගත්ත උදවිය බිම දිහා බලාගෙන අත් වැනුවේ ආධාර ඉල්ලලා. ඒ උදවිය ගොඩනැගිලි උඩ ඉඳන් ආධාර ඉල්ලුවේ ඇඳගෙන හිටපු සාරිවල කොටස් ඉරල අහසට වනමින්.'
'ඒත්... මහ ගින්නත් කඩා වැටෙන සුන්බුන් හින්දත් කිසි කෙනෙකුට ඒ අහලකටවත් යන්න විදියක් තිබුනේ නැහැ. උඩ හිටපු අයට මරණ බය හොඳටම දැනෙන්න ඇති. සමහරු අමු අමුවේ පිච්චුණු නිසා එතෙක් එකට වැඩකළ සහෝදර සහෝදරියන්ට වෙච්ච විපත්තිය ඔවුන් දකින්න ඇති. නමුත්... තමන්ටත් ඒ ඉරණම අත්වෙන බව දැනිදැනී කොහොම නම් තවත් ඉවසා සිටින්නද? ඔවුන් එහාට මෙහාට දුව පනිමින් බිම හිටපු අපෙන් ආධාර ඉල්ලුවේ වෙනත් කරන්න දෙයක් නැති නිසා. අපට සිදුවුණේ මම මුලින් ලියපු විදියට නොදැකියයුතු දර්ශණයක් දකිමින් හූල්ලන්න විතරයි.'
'අතපය කැඩිච්ච අය, හිසේ, පපුවේ පැත්තක් විනාශවෙච්ච අය, බඩවැල් මොළය එලියට ආව අය, උස්සගෙන ඇවිත් බස්, ලොරි,වෑන්, ට්‍රක්, ජීප් වලින් කඩිමුඩියේ අරන් ගියේ ඒ වන විටත් පණ නැතිවූ අය වුණත් තවදුරටත් යම් මෙහෙයක් ඔවුන් වෙනුවෙන් ඉ‍ටුකල යුතු නිසා. සමහර අයගෙ අරන් යන්න තිබුනේ අතපය කෑලි විතරයි.එහෙමත් නැතිනම් ක‍ඳෙන් වෙන්වුණු හිසක් විතරයි. ඒ අතරේ උදේ පාන්දර සිය දරු සිඟිත්තන්ගේ මුහුණු සිඹ නිවසින් පිටත් වුණු දෙමාපියන්... අම්ම, තාත්තගේ දෙපා නැමද පැමිණි වැඩට ආව දූ දරුවන්.'
පුවත්පතේ එක් පි‍ටුවක් පිරෙන්න තිබුනේ තුවාල ලබා රෝහල් ගතකර සිටින පිරිසේ නම් ලයිස්තුවක්. තවත් බොහෝ පි‍ටුවල තුවාල කරුවන් සහ මියගිය අයගේ සිරුරු දැක්වෙන ඡායාරූප පලකර තිබුනා.

මේ සිද්ධියෙන් මියගිය කිසිවෙක් මෙවැනි හදිසි මරණයක් අපේක්ෂා නොකරන්නට ඇති. ඔවුන් කලිසම් කමිස, සාරි වලින් සැරසී, ටයි පටි පැළද, පුයර විලවුන් දමාගෙන උදෑසන ගෙදරින් එන්නට ඇත්තේ හවසට මිනීපෙට්ටියකින් ගෙදර යන්නට නම් නොවෙන්නට ඇති. ජීවිතයේ හැටි එහෙමය. ඊටත් වඩා ත්‍රස්තවාදයේ තරම එහෙමය. එවැනි අඳුරු කාල පරිච්ඡේදයක් පසුකර පැමිණි අපිට දැන් දැන් ඒ අතීතය අමතකව යමින් ඇත. ඒ අමතකව යන අතීතය මතක් කර දීම මෙම ලිපියේ එක්තරා අරමුණකි. එසේම......
ත්‍රස්තවාදයේ බහුවිද මුහුණුවර පවතී. එදා ත්‍රස්තවාදියා පැමිණියේ දෙමල ජාතිය නියෝජනය කරනවා යැයි කියාගනිමිනි. හෙට දිනයේ ත්‍රස්තවාදියා පැමිණෙනු ඇත්තේ වෙනත් ජාතියක්/ආගමක් වෙනුවෙන් යැයි කියා ගනිමින් විය හැක. එවැන්නක් යලි සිදුනොවීම සඳහා මෙය කියවන ඔබටත් මටත් යමක් කල හැක. ඒ සඳහා අවශ්‍යවන්නේ ඔබේ ආවේග පිට කිරීමේ හැකියාව නොව ඔබ සතු බුද්ධිය මෙහෙයවීමේ හැකියාව බව මගේ අදහසයි.

7 comments:

  1. කතා කරලා වැඩක් අනෙ. ඒ කාලෙ ඉතින් රට විනාශ වුනා. දැන නම් යුද්ධ නෑ. තිබොත් මෙලහකට රටම විනාශ වෙලා ඇති. පසු ගිය කාලයේ කොටීන්ගේ ලොකුම ලොකු මාහ පරිමාණ ප්‍රහාර

    ReplyDelete
  2. ඇත්තටම මේ වගේ දේකදී දුරදිග බලලා කටයුතු කිරීම තමා වැදගත්.. අතීතයේ එහෙම නොවුණු නිසා හටගත් දේ තමයි පහුගිය කාලේ භුක්ති වින්දේ.

    ReplyDelete
  3. මේක මට අද උදේ මතක් වුණා. මේ සිද්දිය වෙත්දී මම හිටියේ මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ. අපේ කන ගාව පිපිරුවා වගේ දැනුනේ. ජනෙල් ඇරිලා වැහුනා, කර්ටන් අහසට ගියා. වීදුරු බිඳිලා කඩා වැටෙන සද්දේ හරියට T56 කින් වෙඩි තියනවා වගේ. අපේ යාළුවො සෙට් එකක් එදා ඔෆිස් එකට ලන්ච් දෙන්න චැතම් වීදියට ගිහින් තිබුණේ. එයාල ඇස දෙකෙන්ම දැකල අර වෙඩි තියන සීන් එක. එදා මාර විදියට වැටිලා හිටියේ. ඔයා මේ සිද්දිය මතක් කල එක හොඳයි.

    ReplyDelete
  4. මමත් මේ සිදුවීම වෙද්දී මේ ළඟමයි සිටියේ.පාරෙන් එහා පැත්තේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල පැත්තට වෙන්න මතක් වෙනකොට අදටත් තිගැස්සෙනවා. තව පොඩ්ඩක් ඉස්සෙල්ල එන්න පිටත් වුනානම් මාත් අහුවෙනවා නුලෙන් බේරුනේ.

    ReplyDelete
  5. වචනයෙන් කිව නොහැකියි මෙම කාල වකවානුවේ සිදු වූ විනාශයන්. අද යුද්ධය නැහැ. නමුත් මිනිසුන් දැඩි පිඩිත ජීවන අරගලක. මේ ගැනත් අනාගතයේ දවසක ඉහත පරිදිම ලියැවේවි.

    ReplyDelete

  6. මේක වෙද්දී මන් පිටකොටුව ස්ටේෂමේ හිටියේ ..
    අනේ මන්ද එදා නම් තාම මතකයි ...මතකය ඇවිස්සුනා

    ReplyDelete
  7. සියලුම දෙනාට ගොඩක් ස්තූතියි!

    ReplyDelete