Friday, September 21, 2012

වසර 82 ක් පැරණි මුල්ම සිළුමිණ පුවත්පත

මට හම්බ උනා ගොඩක් වටින කෞතුක භාණ්ඩයක්! ඒ තමයි අවුරුදු 82ක් පරණ, ලංකාවේ මුල්ම සිළුමිණ පුවත්පත.  ප්‍රකාශිත දිනය 1930 මාර්තු 30 වන ඉරිදා. පත්තරේ මිල ශත 10යි.
අද මගේ ලිපියෙන්  ගෙන එන්නෙ ඒ පුවත්පතින් උපුටා ගත් ලිපි හා ඡායාරූප කීපයක්.



"බෞධ රටවල දෙකක් අතර යුධයක් ඇතිවන්ට යාමේ ලකුණු." පත්තරේ සිරස්තලේ තමයි ඒ.
ලේක්හවුසියේ රාත්‍රීකාලයේ ගන්නා ලද ඡායාරූපයකුත් ඊට යටින් මුද්‍රණය කරල තිබුනා.

"නේපාල ආණ්ඩුව විසින් තිබැට් රට අල්වා ගැනීම සඳහා යුධ හමුදාවක් පිටත් කර හරින ලදැයි බීතියෙන් තිබැට් රටේ ප්‍රභූවරයා වන දලයි ලාමා "රට ආරක්ෂාකර ගැනීම සඳහා අප්‍රමාදව බලසම්පන්න යුධ සමුදාවක් එවනු මැනවැ" යි චීනයේ ජාතික ආණ්ඩුව වෙත ආයාචනයක් යවා තිබේ.
නේපාල තිබැට් යන දෙරටම බෞධ රාජ්‍ය දෙකකි-මේ දෙරටම සම්බන්ධයෙන් ලැබී තිබෙන මේ ප්‍රවෘත්තිය සම්බන්ධ වැඩි විස්තර අනිත් ලෝකයා අතර තවම ව්‍යාප්ත නැත. නමුත් නේපාල යුධ සමුදාවේ ගමන දන්වා දලයිලාමා වෙත ඉන්දියාවෙන් විදුලි පණිවුඩ කීපයක්ම ලැබී තිබෙන බැව් කියා තිබේ."
ඒ තමයි සිරස්තලයෙන් කියැවෙන කතාව.

මගේ වැඩිපුරම සිත ඇදගත්තෙ මෙන්න මේ වගේ වෙලඳ දැන්වීම්.


තවත් තැනක තිබුනා මෝටර් රථ දැන්වීමක් මෙන්න මෙහෙම... 


අභිනව රථ දෙකක්.
අශ්වබල 10-28 ක වේගවත් සිලින්ඩර් 4රේ ආසන 4 රේ රථය - රු. 3,200
අශ්වබල 18-55 ක වේගවත් සිලින්ඩර් 6යේ ආසන 5 හේ රථය - රු. 4,750
මෙහි අවුත් මේ පුදුම කාර් දෙක බලත්වා.

මේ ගණනට තිබෙන අවයව ඉතා සම්පූර්ණ රථය මෙයවේ.

ටයර් සහිත වැඩිපුර රෝද දෙක ඉස්සරහට සහ පස්සටද යෙදූ බම්පර්ස්, ලූකස්ගේ හුලං හෝර්න් එක, බෝෂ්ඩ්ගේ ඉලැක්ට්‍රික් හෝර්න් එක, ඔරලෝසුව, ස්පීඩො මීටර් එක, හයිඩ්‍රොලික්ෂොක් ඇබ්සෝර්බර්ස්, ඉබේ වැඩකෙරෙන වින්ඩ්ස්ක්‍රීන් වයිපර් එක, ඉතා අනගි ආවුද ‍රැසකින් හා නොමිලේ රිජිස්ටර් කිරීමද මෙම කාරෙක සමග ලැබේ.


තවත් තැනක, බයිසිකල් දැන්වීමක් යටින් මෙහෙම තිබුනා.
"දැන් මිල ගැන බලනු. රු.65/ අඩු නැහැ."



පුවත්පතේ ක්‍රීඩා පි‍ටුවේ රාජකීය- ශාන්ත ‍තෝමස් වාර්ෂික ක්‍රිකට් තරඟය වාර්ථා කර තිබුනේ මෙහෙමයි.

රාජකීය සැන්තෝමස් තරඟ පන්දු ක්‍රීඩාව

රාජකීය කණ්ඩායමට ජය අත්වීම
පණස් එක්වන "රෝයල්-‍තෝමියන්" තරඟ පන්දු ක්‍රීඩාව මේ මස 27 වෙනි බාහස්පතින්දා පෙරවරු 10 ට සිංහල ක්‍රීඩා සමිති භූමියේ ආරම්භවිය. මෙය දර්ශනය කිරීමට කෙළිලොල් ශිෂ්‍යයන් සහ නෝනාවරුන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියාය. මිනිත්තු පහක් පසුවීමෙන් "රාජකීය" ක්‍රීඩාකරුවෝ ක්‍රීඩා භූමියට අවතීර්ණවූහ. ‍තෝමියන් කණ්ඩායමේ ආර්. සේනානායක සහ එච්. බීබි ක්‍රීඩා කිරීම පටන්ගත්හ.
ලකුණු 11ක් ගැණීමෙන් පසු සේනානායක පිච්චුණේය. බීබි ලකුණු 23ක් හා එච්. ජී. වික්‍රමසිංහ පළමු දවසේ ඉතා විශාල ගණන වන ලකුණු 29ක්ද ගත්හ. ලකුණු දෙකක් ගත් ජේ. ඇස් ද සිල්වා පළමු වාරයේ අන්තිම ක්‍රීඩාකරු විය. මෙදින රාජකීය කණ්ඩායමේ ඩී. බී. ගුණසේකර සමර්ථ ලෙස "බෝල්" කෙළේය.
දෙවෙනි දින
සිකුරාදා උදය රාජකීය කණ්ඩායමේ ඩී. බී. ගුණසේකර සහ ඒ. ජී. වයිමන් ක්‍රීඩාව පටන්ගත්හ. ගෝඩර් බෝල් කෙළේය. පසුව සේනානායක විසින් වෙයිමන් පුච්චන ලදී. ජයනාදන් හිස්වූ ස්ථානය ගෙන සමර්ථ ලෙස ක්‍රීඩාකෙළේය. ලකුණු ගනන ශීඝ්‍රලෙස වැඩිවීමෙන් 170 විය.
ගුණසේකර විසින් මේ ගණන නොපමාව 200 ක් කරනලදී. මේ සමර්ථ ක්‍රීඩා කරුවන් දෙදෙන ප්‍රීතිඝෝෂා මධ්‍යයෙහි ලකුණු සංඛ්‍යාව දියුණු කළහ. ලෑල්ලේ 324 සටහන් වෙනවාත් සමගම සියයට අටක් අඩුවෙන් ලකුණු ගත් ජගනාදන් බීබි විසින් පුච්චනලදී. නමුත් ක්‍රීඩා දර්ශනයකළ පිරිස ප්‍රීතිඝෝෂාවෙන් ඔහු සතුටින් පිළිගත්තාය.
හිස් අතින් යෑම.
පස්වරු 1.45ට ‍තෝමියන් වරුන්ගේ දෙවන වාරය ආරම්භ වුනේය. බීබි සහ සෙල්වදොරේ පළමුකොට ක්‍රීඩා භූමියට එළඹුණහ. මේ දෙදෙනාම හිස් අතින් ආපසු ගියෝය. නමුත් විජේසේකර ලකුණු 71ක් ගත්තේය. ඒ. වී. සිවසම්බු ලකුණු පහකුත් සමග සවස 5.10ට ක්‍රීඩා භූමියෙන් ගියේය. තරඟය මෙතෙකින් අවසානවිය. සම්පූර්ණ වාරයකින් සහ ලකුණු 67 කින් රාජකීය කණ්ඩායම ජයග්‍රහණය කළාය.
ශ්‍රෙෂ්ඨ තරඟ ක්‍රීඩාව
මෙය වූකලී ලංකාවෙ පාඨශාලා පිළිබඳ ශ්‍රෙෂ්ඨ තරඟ ක්‍රීඩාවයි. පෙරෙයිදා මධ්‍යම රාත්‍රිය වනතෙක් පැගොඩා තේපැන් ශාලාව විවෘත කොට තිබුණේය. රාජකීය ශිෂ්‍යයෝ නගරයේ පෙරහැර පැවැත්වූහ. ආර්ය සිංහල නාට්‍ය සභාව විසින් මේ නිමිතිකොට "ඇලඩින් සහ පුදුම පහන" විශෙෂාලංකාරයෙන් යුක්තව දක්වනලදී. රාජකීය ශාස්ත්‍ර ශාලාවේ ශිෂ්‍යයෝ මෙහිද පැමිණ කෑ කෝ ගසමින් ප්‍රීතිවූවෝය. එක් ශිෂ්‍යයෙක් නාත්‍ය පණ්ඩපයට නැගී නැටීමත් කෙළේය.

මෙන්න ඒකාලෙ මඟුල් ෆොටෝ ටිකක්...


ඊට අමතරව පාඨකයින්ට සහභාගි විය හැකි නිර්මාණ තරඟයක් ගැනත් තිබුනා.
ඒකෙ ප්‍රථම ත්‍යාගය රු.20/-ක්. දෙවෙන හා තෙවෙනි ත්‍යාග පිලිවෙලින් රු.10/-ක් හා රු.5/-ක්.
මේ තියෙන්නෙ මංගල කලාපය වෙනුවෙන් පැවති තරඟයේ ජයග්‍රාහකයින්ගෙ නම් ලයිස්තුව.

මේ තියෙන්නෙ පත්තරේ තිබුනු එකම කාටූනය

දැනට ඇති. 
ලංකාවේ විශේෂ සිදුවීම් වල පුවත්පත් වාර්ථා සහිත පත්තර කිහිපයකුත් මට හම්බවුනා. මේ ලිපියට ලැබෙන ප්‍රතිචාර අනුව, ඉඩ ලැබෙන විදියට ඉදිරියේදි ඒවත් පලකරන්නම්. 

22 comments:

  1. මම හිතන්නේ ඒ කාලේ තිබුණ ආර්ථික සමාජ දේශපාලන තත්වයන් තේරුම් ගන්න මේ දේවල් හොදින් භාවිතා කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. අනිවාර්ය්‍යයෙන්ම ඔව්.

      Delete
  2. අද කාලෙනම් මෙච්චර මාකටිං ඕන නෑ.

    ReplyDelete
    Replies
    1. අද කාලෙ මාකටින් කරන්නෙ කොටස් වශයෙන්නෙ... සුදු ඇපල් ඇඩ් එක මතකනේ.. මේ දවස්වල තව පෝස්ටරයක් යනවා "ඉරිදා වැඩකරන දිනයක් වෙයිද?" කියල...

      Delete
  3. ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන්ද හොයගත්තේ?
    මේවා දැක්කමත් ආසයි.ඒත් ඉතින් අද කියලා සිළුමිණේ එච්චර වෙනසක් නෑ.පුන්කලස ශාස්ත්‍රීය අතිරේකය වගේ පිටු කීපයක් ඇරුණම වැඩි හරියක් තියෙන්නෙ වෙළද දැන්වීම් තමයි.

    ReplyDelete
    Replies
    1. අපෝ නෑ. මට මේක ලැබුනෙ වැදගත් පුවත්පත් සහ පුවත්පත් වාර්තා එකතු කරන එක විනෝදාංශක් කරගත්තු කෙනෙකුගෙන්.

      Delete
  4. මේක බොහොම හොඳ ලිපියක්. ඒ යුගයේ ලංකාවේ සමාජ ආර්ථික පසුබිම ගැන දැනගන්නට වගේම ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාවේ වර්ධනය පිළිබඳව අධ්‍යයනය කරන්නටත් මෙවැනි ලිපි ඉවහල් වනවා. මට මතක හැටියට සිළුමිණ පුවත්පතේ හැටවැනි සංවත්සරය නිමිත්තෙන්, ඒ කියන්නේ මීට අවුරුදු විසි දෙකකට පෙර, ඒ මුල්ම පුවත්පත නැවත මුද්‍රණය කරලා සිළුමිණ සමග බෙදා හැරියා. ඔය ඔබට හමුවී තිබෙන්නේ ඒ පිටපතක් විය යුතුයි. කොහොම වුණත් මෙවැනි දෙයක් ගැන ලිවීම ගැන ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඇති. මට මේක දුන්නු කෙනාට වයස 82ට අඩුයි.

      Delete
  5. ඒ කාලේ ලිවිම නම් මාරයි ආ.
    මන් දවසක් සිළුමිනෙම දැක්කා පළමු සිළුමිණ කලාපයේ පත්තරයක් බර ගානකට විකුනනවා කියලා.ඒවා ඇන්ටික්ලුනේ

    ReplyDelete
    Replies
    1. ඌරගෙ මාලු ඌරගෙ පිටේ තියල කපනවයි කියන්නෙ ඒකටද?

      Delete
  6. රජ්ජුරුවන්ගේ ඉස්කෝලේ ගැන තිබිච්ච එක ගැන බලවත් සතුට :D

    ReplyDelete
    Replies
    1. මට ඉස්කෝලෙ මොකක්ද කියන එක වැදගත් උනේ නෑ. ඒකාලෙ භාෂා ශෛලිය අපූරුයි නේද? "දැවීගියා" කියන එක වෙනුවට තිබිච්ච වචනෙ කොහොමද?

      Delete
  7. "තිබැට් රටේ ප්‍රභූවරයා වන දලයි ලාමා "රට ආරක්ෂාකර ගැනීම සඳහා අප්‍රමාදව බලසම්පන්න යුධ සමුදාවක් එවනු මැනවැ" යි චීනයේ ජාතික ආණ්ඩුව වෙත ආයාචනයක් යවා තිබේ."

    පරිස්සමට තිබ්බ දේ ඈලියාවට යනව කියන්නෙ මෙන්න මේකට තමයි.

    ReplyDelete
  8. ප්‍රතිචාර දක්වපු ඔක්කොටම ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  9. මම ලගත් ඔය පත්තරය තීනව................

    ReplyDelete
  10. මේවා හරි අපූරු විස්තර... මමත් ලිව්වා පැරණි සඟරා කිහිපයකින් ගත්තු තොරතුරු ඇතුලත් ලිපියක්. තව පත්තර විස්තර තියේ නම් ලිපි ලියන්න ඒ ගැන. හරි වටිනවා මෙවැනි දේවල්.

    ReplyDelete
  11. ati wishitai.................agaya kalayutumaya..................

    ReplyDelete
  12. අදහස් දක්වපු සියලුම දෙනාට ගොඩක් ස්තූතියි!

    ReplyDelete
  13. මන් ගාවත් මේ පුවත්පත තියෙනව

    ReplyDelete