Tuesday, November 1, 2011

මම කැමතිම ගී 20

එක්තරා ගුවන් විදුලි නාලිකාවක මීට කලකට පෙර මම ආසාවෙන් අහපු වැඩසටහනක් තිබුනා.
"මම කැමතිම ගී 10".  රටේ ප්‍රසිද්ධ චරිත තමන් අහන්න කැමතිම ගීත 10ක් රුචිකත්වයේ ආරෝහණ පිලිවෙලට විකාශනය කරනවා. තාමත් ඒ වැඩසටහන විකාශනය වුනත්, කාර්ය්‍යබහුලත්වය නිසා ලඟදිනම් ඇහුවේ නෑ.
අද ලිපියෙ තියෙන්නෙ මම අහන්න කැමතිම ගීත. ගීත 10ක් වෙනුවට මම 20ක්ම ‍තෝරනවා. කියවා බලන්න. මගේ රුචිකත්වය ඔබේ රුචිකත්වයෙන් අපගමණය වන්නේ කවර කෝණයකින්ද කියා. එසේත් නැත්නම් අප දෙදෙනාගේම රුචිකත්වයන් සමපාත වෙනවාද කියා බලන්න.
20. ක‍ටු අකුලේ
එඩ්වඩ් ජයකොඩිගේ විශිෂ්ට ලමා ගීතයක්. අඹයාලුවෝ ටෙලිනාට්‍යයේ තේමා ගීතය. අඹයාලුවෝ ටෙලිනාට්‍යයේ ගීත සියල්ල ඉතාමත් ලස්සනයි. මම 20 වැනි ස්ථානයට ‍තෝරන මේ ගීතයේ සිත ප්‍රමෝදයට පත් කරවන ස්වභාවයක් තියෙනවා. පරිසර වර්ණනාවක අපූරුව අසන්න. 


19. කවුරුවත් නැහැ
අමරසිරි පීරිස් විසින් ගායනා කරන මේ ගීතයේ මුල් කොටස පුරාවටම ඇත්තේ උපේක්ෂා සහගතබවයි.
"ලන්තෑරුම කෝ... ඔහෙ තිබුනාවේ..."
"කවුරුවත් නැහැ.. කවුරුවත් නැහැ.. "
පාරුකරුවා කියන්නේ කුමක්දැයි නිවැරදිව වැටහෙන්නේ ගීතයේ දෙවන හා තෙවැනි කොටස් වලිනි. ගඟ හරහා ඉදිවන පාලම් නිසා පරිසරයට හා තමන්ගේ බඩ රස්සාවට සිදුවන හානිය ගැන ඔහු මෙසේ අදෝනා දෙයි.


18. පිපුනු මලක හැඩ
ශාලිත අබේවික්‍රමයන්ගේ අපූරු ගීතයක්. ඉතා සුන්දර වචන පෙලක්. රිද්මයකට අනුව ගැයෙන ලස්සන ප්‍රේම ගීයක අපූර්වත්වය විඳින්න.


17. පාවේ වළා
බොහෝ සංයමයකින් ගායනා කෙරෙන ආදර ගීතයක්. මීගොඩ විල්සන් ශූරීන් අතින් ලියැවුනු මේ ගීතය මර්වින් පෙරේරාගේ සංගීතයෙන් ඔපවී වික්ටර් රත්නායකයන්ගේ මධුර හඬින් ගැයෙන අපූරුව අසන්න.


16. දෙනුවර මින්පසු
සෝමතිලක ජයමහ ශූරීන්ගේ තවත් එක් විශිෂ්ට නිර්මාණයක්.  ඉතාමත් ප්‍රීතිමත් ස්වරයකින් ගැයෙන අපූර්ව යුග ගීතයක්.


15. මේ නගරය මා ඔබ
මර්වින් පෙරේරා ගායනා කරන තවත් හැඟීම්බර ගීතයක්. බිඳීගිය සරසවි ප්‍රේමයක් ගැන මෙයින් කියවෙනවා. ඔහු අද විවාහකයෙක්. බිරිඳත්, කුඩා පුතුත් සමඟ ඔහු වීදියක ගමන් කරනවා. එසේ යන අතර තුර එදා තම සරසවි පෙම්වතිය සමඟ ඒ වීදියේම ගිය අයුරු ඔහුට සිහි වෙනවා. ඔහුගේ සිතුවිලි මේ ආකාරයැයි තේරුම් ගැනීමේ හැකියාවක් ඔබටත් ඇත්දැයි දැනගැනීමට මේ ගීතය අසා බලන්න. මිහිරි සංගීතයෙන් ඔපවත්ව සිලි සිලි තාලෙන් ගැයෙන අපූරුව අත්විදින්න.


14. අඳුරු කුටිය තුල
මිත්‍යාදෘශ්ඨිකත්වයට එල්ලකරන අතුල් පහරක්! T. M. ජයරත්න ශූරීන් මේ ගීතයෙන් දෙන පණිවිඩයේ ප්‍රභලත්වය වටහා ගන්න.


13. සදාකාලික නොවූ ලෝකේ
පරාජිත ප්‍රේමවන්තයින්ට සුනිල් එදිරිසිංහගෙන් ලද ත්‍යාගයක් බඳු මෙම ගීතය රචනා කොට ඇත්තේ ආනන්ද අමරසිරි විසින්. ඔහු විරහව දෙස ආධ්‍යාත්මික දෘෂ්ටි කෝණයකින් බලා තිබෙනවා. වෙනස්වන සුලුබව හා නැසෙන සුලුබව ලොව අන් සියලු දේට මෙන්ම ප්‍රේමයටද පොදුබව මේ ගීතයෙන් කියා තිබෙනවා. මෙහි සංගීතය රෝහන වීරසිංහයන්ගෙන්.


12. සුළං කුරුල්ලෝ
හරූන් ලන්ත්‍රා සමඟ ඇන්ජලීන් ගුණතිලක ගායනා කරන මෙය සිංහල ගීත සාහිත්‍යයේ ලස්සනම ආරම්භයක් සහිත යුගගීතයක් කියලයි මට හිතෙන්නේ. ප්‍රේමසිරි කේමදාස විසින් රචිත මෙය ආදර ගීයක්. නමුත්, පෙම්වතා පෙම්වතියටවත්, පෙම්වතිය පෙම්වතාටවත් කියන ගීතයක් නෙවෙයි. ඔවුන් දෙදෙනාගේම චිත්ත සන්තානය තුල ආදරය නැමැති මානව හැඟීම උද්දීපනය වන අපූර්වත්වය මෙහිදී විග්‍රහ කෙරෙනවා. විඳින්න.
"සුළං කුරුල්ලෝ... හිමින් ඉගිල්ලී...
මල් සුවඳකි අර.. ගෙන එන්නේ.....
ආදර උයනේ... දොර‍ටුව හැරගෙන...
ඔච්චම් කරමින්.. පියඹන්නේ..."


11. සිතින් මා නොසැලී ඉඳිද්දී
T. M. ජයරත්න ශූරීන් ගායනා කරන ලස්සන ගීතයක්. නැවත නැවතත් ඇසීමට ආස හිතෙන ගීතයක්. සිත තැන්පත් කරවන සුලු මහා ශාන්ත බවක් මේ ගීතය පුරා ඇතැයි මට සිතෙනවා. ඔබටත් එසේ සිතේදැයි බලන්න.

10. හන්තානෙට පායන සඳ
ධම්මික බණ්ඩාර විසින් රචනා කරන ලදුව අමරසිරි පීරිස් විසින් ගායනා කරන මෙය ඉතා අපූරු ගීතයක්. සත්‍ය කතා පුවතක් මීට පාදකවී තිබෙනවා.
පෙම් යුවලකින් පෙම්වතිය පමණක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරෙනවා. පෙම්වතා කුමක් කරනු ඇත්ද? ඔහු ඇයට ඊර්ෂ්‍යා කරන්නේ නෑ. තහංචි, සම්භාධක පනවන්නේත් නෑ.  විශ්වවිද්‍යාල ජීවිතයේ සුන්දරත්වය ඔහු දන්නවා. පෙම්වතුන් එක කුඩය යටින් දෙ අත් පටලවාගෙන යන අපූරුව ඔහුට දැනෙනවා. ඔහුට ඇය ගැන ඊර්ෂ්‍යාවක් වෙනුවට අනුකම්පාවක් ඇතිවෙනවා. මා අමතක කර දමා ඒ සුන්දරත්වය විඳගන්නා ලෙස ඔහු ඇයට යෝජනා කර සිටිනවා.
"ලතා මඩුලු අතවනාවි.. එපා අහක බලන්න....
මා ගැන මතකය ගුලිකර.. මහවැලියට දමන්න..."


9. දුවේ නුඹ මගෙ ප්‍රාණයයි.
මෙය විවාහ උත්සව වලදී ඇසෙන ගීතයක්. පියෙකු තම දියණිය විවාහවන දිනයේ කියන ගීතයක්. මීට සමාන ගීත කීපයක්ම තියෙනවා. "අද දීගෙක...", "පුංචි දවස්වල..." වගේ ගීත. මේ ගීතවලට පොදු ලක්ෂණයක් වන්නේ,  යුවලක් පිටත්වන මොහොතේ මේ ගීත ඇසෙනවිට ඉතාමත් හැඟීම්බර සහ ඇඟ කිරිපොලායන ස්වභාවයක් ඇතිවීමයි. මේ ආරට ගැයෙන සියලු ගීත අතරින්, සුනිල් එදිරිසිංහගේ "දුවේ නුඹ මගෙ ප්‍රාණයයි" ගීතයේ සුවිශේෂබවක් මා දකිනවා.
ඒ එහි පදමාලාවෙන් දෙන "පොදු" පණිවිඩයේ ප්‍රභලත්වයයි. මෙය බණ්ඩාර ඇහැලියගොඩගේ විශිෂ්ටත්වය කියාපාන තවත් එක් සාක්ෂියක්.
"දුක දිනා හිනහෙන හැටි දුවේ...
නුඹ දැන උගත් පාඩම තමයි..
මිල මුදල නිල බල යා නොදෙයි...//
කල හොඳම පමණක් ඉතිරි වෙයි...//"
පියෙකු විසින් දරුවෙකුට දියයුතු මීට වඩා වටිනා පනිවිඩයක් තිබේද?


8. පාලොස්වක සඳ පායනු වැන්නේ
පණ්ඩිත් අමරදේවයන් හා නීලා වික්‍රමසිංහයන් විසින් ගායනා කරන මනරම් යුගගීතයක්. සිංහල ගීත සාහිත්‍යයේ උච්චතම අවස්ථාව සොයායන ගමනේ අට වැනි ස්ථානයේ මා නතර වන්නේ මේ ගීතයත් සමඟයි.


7. අම්මා සඳකි.
මාලනී ජයරත්න විසින් රචනා කරන ලදුව, රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හැඩවී T. M. ජයරත්න විසින් ගයන මේ හැඟීම්බර ගීතය, ලොව සියලුම ආදරණීය පියවරුන්ට උපහාරයක් පිණිසම වේවා!
"සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ..
කුසයේ නොදැරුවත් දිවිබර මට දැනුනේ..
මහමෙරකට උසයි දරුපෙම හද පතුලේ..
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ.."


6. පියමං කෙරුවෙමු
සෝමතිලක ජයමහ ශූරීන්ගේ ඉතාමත් හැඟීම්බර ගීතයක්. මේ ගීතය අසන වාරයක් පාසා මට මාගේ පාසැල් කාලය සහ විශ්වවිද්‍යාල අවදිය යන දෙකම මතක් වෙනවා.
"නෙත කඳුළින් හසකැනින් මුවා කල..
සොඳුරු පැතුම් පුරවා මන මත්කල ..
මගෙ කෙළිලොල් විය ගෙවුනු වගයි..."
ඕනෑම කෙනෙකුට ශිෂ්‍ය අවදිය කියන්නේ ජීවිතයේ සුන්දරම කාලයක්. වගකීම් අඩුයි. නිදහස වැඩියි. සමවයසෙ යාලුවො ගොඩයි. මොහොතක් ආපසු හැරීබලන්න. සිහිකරන්න ඔබේ ශිෂ්‍ය අවදිය.
"දෙපා වාරු නැත ඔබ හැර යන්නට...."


5. ආදරයේ උල්පත වූ අම්මා
නන්දා මාලනියගේ "අම්මාවරුනේ" ගීතයට වඩා මෙහි ප්‍රකාශනය පුලුල් කියා මට සිතෙනවා. "බුද්ධෝ විය මාතා, මාතා විය බුද්ධෝ" (අම්මා බුදුන්වහන්සේ බඳුය,  බුදුන්වහන්සේ අම්මා බඳුය.) යන බුද්ධ වචනයෙන් බුදුදහමේ  කෙතරම් ඉහල ස්ථානයක් අම්මාට ලබාදී තිබේද යන්න පැහැදිලියි. ඒ සියලු ආදරණීය අම්මාවරුන්ට වික්ටර් රත්නායකයන්ගේ මේ ගීතය උපහාරයක් වේවා!


4. ලඳුනේ
රංබණ්ඩා සෙනෙවිරත්න විසින් ලියන ලද ලඳුනේ ගීතයට පාදක වන්නේ  නගරශෝබනියකි. ඔහු කෙතරම් සංයමයකින් මේ ගීතයේ පද හසුරුවා ඇත්ද බලන්න. රසයක්, අර්ථයක් නැති වචනයක් මේ ගීතයේ සොයාගැනීම අපහසුය.
"අඳුරේ පව් කරන දනා... එලියෙ රවන ලඳුනේ.."
ඔහු නගරශෝබනිය දෙස සාම්ප්‍රධායික ඇසකින් නොබලයි.  ඇය ගැන බහුතරයකට නොපෙනෙන පැත්තක් ඔහු මේ ගීතය හරහා පෙන්වා දෙයි.
"ලැම පමණක්... ලොවට පෙනෙන.. ළය නොපෙනෙන ලඳුනේ.."
ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයෙන් හැඩවී, අමරසිරි පීරිස්ගේ ශක්තිමත් හඬින් එය ගැයෙන අපූරුව බලන්න.


3. සන්නාලියනේ
මහගමසේකර, අමරදේව  සුසංයෝගයෙන් නිර්මිත මේ ගීතය සන්නාලියක් ගැන නොවේ. ජීවිතය ගැනයි. උපත, විවාහය, මරණය... අප සැමට පොදු ලෝක ධර්මතාවයක්. මිනිස් ජීවිතයක අනිත්‍යබව, දිරාපත්වන ශරීරය ගැන ඉතා  සෞම්‍ය හඬකින් ගැයෙන මෙය පුලුල් අර්ථ රසයක් ඇති මිහිරි ගීතයක්.
ගීතයේ මුල් කොටස මධ්‍යස්ථ හඬකින්, මැද කොටස ප්‍රීතිමත් තියුණු හඬකින් හා අග කොටස දුක්බර ස්වරයකින් ගායනා කෙරෙන අපූරුව විඳින්න.


2. සැඳෑ අඳුර ලොව
සෝමතිලක ජයමහ ශූරීන්ගේ ඉතා සංවේදී ගීතයක්. රසික හදවත් අමන්දානන්දයට පත් කරවන සුලු හඬ පෞරුෂයක් ඔහුට හිමියි. ඔහුගේ "සැඳෑ අඳුර" ගීතය, ඕනෑ තරම් වාර ගනනක් අසාසිටිය හැකි සර්වකාලීන ගීතයක්. සිංහල ගීත සාහිත්‍යයේ බිහිවූ අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස මා මෙය දකිනවා.


1. මහ වැස්සක
මහලු බව! සැමටම පොදු ලෝකධර්මතාවයක්. මහලු වයසේ තනිවුනු අයෙකුගේ හැඟීම් ප්‍රකාශිත ගීතයක්. ඔහු උපේක්ෂා සහගත ලෙස අතීතය මෙනෙහි කරන අතරේ අමරදේව ශූරීන් සංවේදී ලෙස එය වචනවලට පෙරලනවා..
"සිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොද හැටි මතකයි"
තමාගේ සුන්දර තරුණ කාලය ඔහු එසේ ආවර්ජණය කරනවා. නමුත් එය අතීතයට එක්වී අවසානයි. ඔහු දැන් මහලුයි.
මෙය කියවන ඔබත්, ලියන මාත්, කවදා හෝ වයසට යනවා. ජීවත් වූ කාලයට වඩා ජීවත් වීමට ඇති කාලය බොහෝ කෙටි වූ දාට, ඔබටත් මහලුබවේ තනිකම දැනේවි. එදාට ඔබටත් ඔහුට සිතුනු දේම සිතේවිද?


සැ. යු. - ඡායාරූපය wikimedia.org වෙතින් උපුටාගන්නා ලදී.

19 comments:

  1. මම නම් 20න් 19යි. අපූරු ගීත එකතුවක්

    ReplyDelete
  2. ඇත්තටම හදවතට දැනෙන, හොද ගීත සමුච්ඡයක් !

    ReplyDelete
  3. සියත එකේ ගිය ඔය වැඩසටහන් මාත් ඉස්සර දිනපතා ඇහුවා!තාම යනවද දන්නෙ නෑ!බස් රේඩියෝ එකේ බ්‍රහස්පතින්දට යන කතා බස් එකත් ඔය වගේම එකක් තමා!

    ReplyDelete
  4. ඉතා හොද තෙරිමක්,,, මෙ සිංදු දැන් ඇහෙන්නෙ අතලොස්සක් රෙඩියො චැනල් වල විතරයි.

    ReplyDelete
  5. 20 න් 20 යි....

    ReplyDelete
  6. පිස්සු කොරයි!! සිරාම තේරීමක්...
    ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට!

    ReplyDelete
  7. මගේ ආසම සින්දු ගොඩක් මේ ලිස්ට් එකෙත් තියනවා...

    ReplyDelete
  8. සියලුම අදහස් වලට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  9. නියමයි... ඔක්කොම මගේ ටේස්ට් එකේ තමා... කිසි වදයක් නැතුව නිස්කලංකේ අහන්න පුළුවන් ලිස්ට් එකක්. MP3 වලටත් ස්තුතියි. ඔන්න මං බුක්මාක් කරගත්තා...

    ReplyDelete
  10. @Chathuranga Perera, බොහොම ස්තූතියි.

    ReplyDelete
  11. ayye aparade download karannapuluwan vidiyatane danna tibune sindu tika
    man godak asay aneth aya kamathi sindu danaganna....

    ReplyDelete
  12. @ Malaka & YZ, බොහොම ස්තූතියි ප්‍රතිචාර වලට.

    @YZ, you can download all the songs. First, install IDM.

    ReplyDelete
  13. මේ අඩවියට ආවේ ගී පැදුරෙන්. මේ ලැයිස්තුවේ තියෙන සින්දු කීපයක්ම ගී පැදුරෙන් ඉදරිපත් වෙන්න නියමිතයි!

    ReplyDelete
  14. මමත් කැමතිම ගීත එකතුවක්... පිළිවෙල නම් වෙනස් වේවි.

    ReplyDelete
  15. හොඳ වැඩක් සහෘදයා - අන්තර්ජාලයේ සිංහල ගී රසය දිනේවා - ඔබට ජය!

    ReplyDelete
  16. මේක ගොඩක් ලස්සන ගීත එකතුවක් 80% විතර මගේ කැමති ගීත

    ReplyDelete
  17. අදහස් දක්වපු සියලුම දෙනාට ගොඩක් ස්තූතියි!

    ReplyDelete
  18. niyamai,mage atheethaya mathak wenawa, eththatama mawa mage atheethyata geniyanawa me sindu walin, niyamai maxaa.

    mano

    ReplyDelete