Saturday, August 31, 2019

පොල් රුප්පාවෙන් තල් රුප්පාවට

අවුරුදු තිස්ගානක ජීවිතකාලය තුල අනුරාධපුරයෙන් උතුරට ගමන් කරන පලවෙනි අවස්ථාව. ජීවිතයේ විශාල අඩුවක්ව තිබූ දෙයක් පිරවීමට තැත්කරන සේයාවක් මට දැනෙන්න ගත්තා. යාපනය! මම එනවා! ඒ තනියම නෙවෙයි. මගේ බ්ලොග් පාඨක ඔබ සැමදෙනා එක්කයි. උදෑසනම කොළඹින් පිටත් වූ අපි උදෑසන 8 පමණ වනවිට අනුරාධපුරයට සේන්දු උනා. එතැනින් මැදවච්චිය හරහා වවුනියාවට පැමිණි අපිට පරිසරයේ සිදුවන වෙනස්කම් හොඳින් දැනෙන්නට උනා. අව්වට වියලුනු ගහකොල, කර්කශ පොලොව, පොල් වෙනුවට යායට වැවුනු තල් ගස් අප තුල ඇතිකලේ ආගන්තුක හැඟීමක්.

මේ තියෙන්නේ අපේ පලමු නවාතැන. කිලිනොච්චි යුධ ස්මාරකය. කොටි ත්‍රස්තවාදය සංකේතවත් කරමින් ඉදිවුනු ඝනකාභයකින්, එය දෙදරවූ හමුදාබලය පිළිඹිඹු කරන වෙඩි උණ්ඩයකින්, මානුෂීය මෙහෙයුමේ අනුහසින් පැන නැගුනු සාමයේ පියුමෙන් සහ නිදහසේ අභිමානය විහිදාලමින් ලෙලදෙන ජාතික ධජයෙන් සුසැදි මේ ස්මාරකය කිලිනොච්චි නගරය මධ්‍යයේ අභිමානයෙන් ලෙලදුන්නේ මෙහෙමයි.


කිලිනොච්චියේ සිට අලිමංකඩට තියෙන්නේ කි.මී. 15කට අඩු දුරක්. මේ තියෙන්නේ අලිමංකඩ හසලක ගාමිණී රණවිරු ස්මාරකය. හසලක ගාමිණී ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. කිලෝ දහස් ගනනක වෙඩිබෙහෙත් පිරවූ මෙම බුල්ඩෝසරය අලිමංකඩ කඳවුර දෙසට ඇදෙන්නට උනා. ඒ 1991 ජූලි 13 වෙනිදා රාත්‍රියේයි. සිදුවීමට යන අනතුර කල්තියා තේරුම් ගත් ගාමිණී අත්බෝම්බ දෝතින්ගෙන බුල්ඩෝසරයට කඩාපැන මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කලා. එමඟින් අලිමංකඩ කඳවුරත් සහෝදර සෙබලුන් සියගනනකගේ ජීවිතත් ‍රැකදීමට ගාමිණී සමත්වුනා. පසුව පරම වීර විභූෂණ සම්මානයට පාත්‍ර වූ මේ වීරෝධාර රණවිරුවා වෙනුවෙන් උපහාර දක්වන්න තියෙන හොඳම තැන මෙතනයි. ඔහුගේ ඡායාරූප, හමුදා ජීවිතයේ භාවිතා කල උපකරණ ආදී බොහෝදෑ මෙහි ප්‍රදර්ශණයට තබා තිබෙනවා. මෙකී දෑ නරඹන බොහෝ දෙනාගේ නෙත් කඳුලින් තෙත් කිරීමට මේ ප්‍රදර්ශණ කුටිය සමත් වෙනවා. අවසානයේ රු. 25/-කට මිලදී ගත හැකි මල් කලඹක් ගාමිණී පිලිරුව ඉදිරියේ තැන්පත් කිරීමටත් නරඹන්නන්ට අවස්ථාව සලසල තියෙනවා.

දීර්ඝ ගමනකින් පස්සෙ අපි අවසානයේ යාපනය නගරයට ලඟා උනා. මේ තියෙන්නෙ හින්දු භක්තිකයින්ගේ වන්දනාවට පාත්‍ර වුනු නල්ලූර් කන්දස්වාමි කෝවිල. යාපනය නගර මධ්‍යයේ පිහිටා ඇති මේ කෝවිල ක්‍රි.ව. 1734 දී ඉදිකොට තිබෙනවා. මෙහිදී මුරුගන් දෙවියන් ප්‍රධාන හිංදු දෙවිවරුන් වන්දනාවට පාත්‍ර වෙනවා. පිරිමි අය කෝවිලට ඇතුල් විය යුත්තේ උඩුකය නිරුවත්වයි. කාන්තාවන් දෙඋර වැසෙන සේ සංවර ඇඳුමින් සැරසිය යුතුයි. මෙහි පූජාවේලාවන් වන්නේ පෙ.ව. 4.30, පෙ.ව. 10.00 සහ ප.ව. 4.30 යි. එමෙන්ම සෑම වසරකම අගෝස්තු 6 සිට 30 දක්වා වාර්ෂික කෝවිල් සැණකෙලිය පවත්වනවා. මේ නිසා කෝවිලට දැඩි ආරක්ෂාවක් සපයා තිබුනා.

කෝවිල අවටදී දමිළ ජාතිකයින් කීපදෙනෙකු හඳුනාගැනීමට ලැබුනා. ඔවුන් සමඟ කල කතාබහේ දී පැහැදිලි උනේ ඔවුන් ඉතා ලෙන්ගතු පිරිසක් බවයි. දකුණේ දී විදේශ සංචාරකයෙකුට ලැබෙන මට්ටමේ පිලිගැනීමක් උතුරේදී සිංහල අපිට ලැබුනා. භාෂාවෙන් හා සංස්කෘතියෙන් වෙනස් උනත් ඔවුන් අපේම රටේ අපේම සහෝදරයින් පිරිසක් බව අපිට පසක් උනා. ඔවුන්ගේ සුහදශීලීත්වය, ආගන්තුක සත්කාර ඉදිරියේ මට මතක් උනේ ගුණදාස කපුගේ ගේ මේ ගීතය.
උතුරු කොනේ නුඹ හිනැහෙන් නඩරාජා මල්ලියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන් සුමනසිරි මල්ලියේ
උතුරු කොනේ නුඹ හිනැහෙන් සෙල්ලම්මා නංගියේ
දකුණු කොනේ නුඹ හිනැහෙන් සෙනෙහෙලතා නංගියේ

අද අපේ යාපන සංචාරයේ දෙවෙනි දවස. අද දිනයේ අපේ පලවෙනි නැරඹුම් ස්ථානය වුනේ නිලවරෛ ලිඳ. පතුල නොපෙනෙන ලිඳ ලෙස ප්‍රචලිත මෙය නල්ලූර් කෝවිලේ සිට කි.මි. 12ක පමණ දුරකින් පිහිටා තිබෙනවා. යාපනයේ කි.මී. 12ක් යාමට ගතවෙන්නේ කොළඹදී ගතවනවාට වඩා ඉතා අඩු කාලයක්. ඒ මනාව සැකසූ කාපට් පාරවලුත්, අඩු වාහන ප්‍රමාණයකුත් ඇති නිසා. පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම්කර ඇති මේ ඉපැරණි ලිඳට පතුලක් නොමැති බව බොහෝදෙනා විශ්වාස කරනවා. නමුත් මෑතකදී නාවික හමුදාවෙන් කල ගවේශණයකදී හෙළි උනේ මීටර් 52.5ක් ගියකල මෙහි පතුල හමුවෙන බවයි. ඉන් මීටර් 18.3ක් දක්වා මිරිදියත්, එතැන් සිට කරදියත් ඇති බව සොයාගෙන තිබෙනවා. ලිඳ තුල විවිධ දිශාවලට විහිදී යන දෝනා කීපයකුත් හඳුනාගෙන තියෙනවා. එමෙන්ම ලිං පතුලේ තිබී කරත්ත කීපයක කොටස්ද හමුවී ඇතිබව දැනගැනීමට ලැබුනා.

මේ තියෙන්නේ අපේ දෙවෙනි නැරඹුම් පොල. කන්තරෝදය පුරාවිද්‍යා භූමියේ පිහිටි කදුරුගොඩ පන්සල. කදුරුගොඩ කියන්නෙ බෞද්ධයින්ට කීප දිශාවකින් වැදගත්වෙන පුදබිමක්. සංඝමිත්තා තෙරණිය සමඟ වැඩමවූරහතන් වහන්සේලා 60 නමක් මේ ස්ථානය කේන්ද්‍ර කොට ගනිමින් ධම්ම ප්‍රචාරක කටයුතු කර තිබෙනවා. දිනක්, විශ හතුවර්ගයක් වැලඳීමෙන් මේ රහතන් වහන්සේලා 60 නමම අපවත් වී තිබෙනවා. පසුකාලීනව දේවානම්පියතිස්ස රජතුමා විසින් උන්වහන්සේලාගේ භෂ්මාවශේෂ නිධන් කොට උන්වහන්සේලාගේ ජේෂ්ඨත්වය අනුව විවිධ ප්‍රමාණයින්ගෙන් මෙසේ දාගැබ් 60ක් සාදවා තිබෙනවා. කොරල් හා හුණුගලින් නිමවූ මෙකී දාගැබ් වලින් 22ක් පමණ අදටත් සු‍රැකිව මෙහි දැකගැනීමට පුලුවන්. මීට අමතරව බුදුන්වහන්සේ දෙවනවර ලංකාවට වැඩම කල අවස්ථාවේ කදුරුගොඩ පංසලේ සුලු මොහොතක් විවේකීව සිටි බව පැවසෙනවා. 1917 දී යාපනය ආණ්ඩුකාර පෝල් පීරිස් විසින් මෙම ස්ථානය පරීක්ෂාකර තිබෙනවා. එහිදී හමුවූ පුරාවස්තු රාශියක් යාපනය කෞතුකාගාරයේදී අදටත් දැකිය හැකියි.


කදුරුගොඩින් සමුගත් අපි ඊලඟට නතර උනේ කැශුරිනා වෙරළ තීරයේ. මෙය සංචාරකයින් අතර ප්‍රචලිත වී තිබෙන්නේ බොහෝ දුරක් යනතෙක් නොගැඹුරුව පවතින කරදිය තටාකයක් විදියට. ස්නානය කරන්න කදිම ස්ථානයක්. කැශුරිනා මුහුදු වතුරේ හිතේ හැටියට විනෝදවුනු අපි එතැනින් පිටත් උනේ දඹකොළප‍ටුනට.


මේ තියෙන්නේ දඹකොළප‍ටුන සංඝමිත්තා බෞද්ධ විහාරය. බු.ව. 3 වන සියවසේදී සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ‍රැගෙන ලංකාවට ගොඩබසින්නේ මෙතනදියි. අතීතයේ මෙය නැව්තොටක් ලෙසත් භාවිතා වෙලා තියෙනවා.
සංඝමිත්තා විහාරය වැඳපුදාගෙන අවසන්වනවිට දවල් ආහාර වෙලාවත් ලංවෙලා තිබුනා. විහාරයට යාබදව තියෙන දඹකොළප‍ටුන රෙස්ට් කියන්නෙ දිවා ආහාරයට කියාපු තැනක්. නාවික හමුදාවෙන් පාලනය වෙන මෙහි ආහාර වලට අමතරව නවාතැන්පහසුකම්ද සපයනු ලබනවා.

සංඝමිත්තා විහාරයට සමුදුන් අපේ ඊලඟ නවාතැන උනේ කීරිමලෛ පොකුණ. යාබදව පිහිටි නගුලේෂ්වරම් කෝවිලට අයිති මේ පොකුණ කාන්තා/පිරිමි ලෙස කොටස් දෙකකට වෙන්ව පවතිනවා. කීරිමලෛ යන්නෙහි තේරුම මුගටි කන්ද යන්නයි. ජනප්‍රවාදයෙන් එන අපූර්ව කතා පුවතක් මේ පොකුණේ ගැබ්වෙලා තියෙනවා. මුගටි මුහුණක් තිබුනු  ඍෂිවරයෙක් මේ පොකුණෙන් දිය නාල තියෙනවා. දිය නෑමෙන් පස්සෙ ඔහුගේ මුගටි පෙනුම නැතිවෙලා තියෙනවා. ඊට කෘතගුණ සැලකීමක් වශයෙන් ඔහු මෙම නගුලේෂ්වරම් කෝවිල ඉදිකල බවයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නෙ. විශේෂත්වය වෙන්නේ මුහුද අසල තිබුනත් මේ පොකුණේ තියෙන්නේ මිරිදිය. පෙර සඳහන් කල නිලවරෛ ලිඳේ ඇති දෝනාවකින් මේ පොකුණට ජලය ගෙන එන බවටත් විශ්වාසයක් තියෙනවා. සතියේ  දවසක් උනත් අපි එහි යනවිට බොහෝ දමිල සහෝදරයින් පිරිසක් එහි දියනාමින් සිටියා.
කීරිමලෛන් පසු කන්කසන්තුරේ, වැල්වැටිතුරෙයි (ප්‍රභාකරන්ගේ උපන් ගම) හරහා අපි ආවෙ ලංකාවේ උතුරු කොනට. සක්කොටෛ තුඩුව ලෙස මෙය හඳුන්වනවා. එහිදී අපිට දකින්න ලැබුනේ හුණුගල් බහුල වෙරලක්. උතුරු මුහුදෙන් හමා එන සැඳෑ සුලඟ අපේ ගත සෙනෙහසින් වෙලාගන්නා සේයාවක් දැනෙන්නට උනා. මේ එහිදී මගේ කැමරාවේ සටහන් වුනු ඡායාරූපයක්.
ලංකාවේ උතුරු කොනෙන් සමුගත් අපි ඊලඟට නතර උනේ යාපනය මහජන පුස්තකාලය තුල. මෙය 1933 වසරේදී ඉදිකර තිබෙනවා. 1981 ජාතිවාදී ගිනිදැල් මේ පුස්තකාලය වෙලාගන්නා විට මෙය ආසියාවේ විශාලතම පුස්තකාල වලින් එකක් ලෙස නම් කෙරී තියෙනවා. ඒ 97000කට අධික පොත් ප්‍රමාණයක් සහිතවයි. 2001 වසරේදී යලි ප්‍රතිසංස්කරණය කෙරුණු මේ මහා පොත්ගුල මගේ කැමරා කාචයේ සටහන් උනේ මෙහෙමයි. සඳුදා සහ රජයේ නිවාඩු දිනවල හැර අනිත් දිනවල ප.ව. 6.30 දක්වා මෙය නරඹන්නන්ට විවෘත වනවා.
දෙවෙනි දිනයේ අපේ අවසාන නැරඹුම් ස්ථානය උනේ යාපනය ශ්‍රී නාගවිහාරය. විශේෂ ආකර්ශණයක් ගන්නා ස්ථානයක් නොවුනත් මෙහි ඇති ඓතිහාසික වටිනාකම නිසා බොහෝ පිරිස් මේ ස්ථානය වන්දනාකිරීමට පැමිණෙනවා.

“දෙව්ලොව දෙවියන් පුද කළ බෝධිය
නා ලොව සතියක් පුද ලද බෝධිය
දෙනෝ දහක් දෙන වඳිනා බෝධිය
අපිත් වඳිමු ජය සිරි මහ බෝධිය”

බෝධි පූජා කවි පොතේ ඇති මේ කවිය ඔබට මතක ඇතැයි සිතමි. සංඝමිත්තාවන් වැඩමවන ලද ශ්‍රී මහා බෝධිය දේවානම්පියතිස්ස රජු විසින් මෙම ස්ථානයට ‍රැගෙනවිත් තිබෙනවා. එහිදී නාග ගෝත්‍රිකයින් විසින් සතියක් පුරාවට බෝධිය මෙම ස්ථානයේ තබාගෙන පුද සත්කාර කල බව සඳහන් වෙනවා. "නා ලොව සතියක් පුද ලද බෝධිය" ලෙස සඳහන්වන්නේ මෙය බවයි දැනගැනීමට ලැබුනේ.
අද අපේ යාපන සංචාරයේ තෙවන සහ අවසාන දිනය. කාලයේ හිඟකම නිසාත්, අපේ නඩයේ කුඩා දරුවන් කීප දෙනෙකු සිටි නිසාත් නාගදීපය සහ ඩෙල්ෆ් දූපත්වල සංචාරය අපි පසුවට කල් දැමුවා. නමුත් ඔබේ යාපන සංචාරයේදී මෙම දූපත් දෙක අනිවාර්යයෙන්ම නරඹන ලෙස මම ඔබට යෝජනා කරනවා. මෙම දූපත් නැරඹීමට නොගියත් ඒගැන කරුණු සොයා බැලීමට මා අමතක කලේ නෑ.
චූලෝදර මහෝදර නාරජවරුන් අතර මැණික් පු‍ටුවක අයිතිය අරඹයා සටනක් ඇතිවුනා. මේ සටන සන්සිඳවනු පිණිස බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවන්නේ නාගදීපයටයි. එකී මැණික් පු‍ටුව (මිණිපළඟ) තැන්පත්කොට නාගදීප දාගැබ තනා ඇතිබව කියැවෙනවා. ඇතමුන් එකී මැණික් පු‍ටුව කැළණි දාගැබ තුල ඇතැයි පවසන්නේ 'මැණික්පු‍ටුව' සහ 'මැණික්මණ්ඩපය' යන වචන පටලවාගැනීම නිසා බව දැනගැනීමට ලැබුනා.
ඔබ ඩෙල්ෆ් දූපතේ සංචාරය කරනවා නම්, ලන්දේසි බලකො‍ටුවක්, ආදම්ගේ යැයි විශ්වාසකරන විශාල අඩි සලකුණක්,ශිලාමය පරෙවි කුලුනක් ,හිරිගල් නිර්මාණ ,දැවැන්ත බැබෝ ගසක් සහ කැලෑ අශ්වයන් දැක ගැනීමට හැකිබව දැනගැනීමට ලැබුනා.

හොඳයි. අපි අපේ යාපන සංචාරයේ තුන්වන දිනය පටන් ගනිමු. මේ තියෙන්නේ යාපන කෞතුකාගාරය. කදුරුගොඩින් හා යාපනයේ වෙනත් ප්‍රදේශ වලින් හමුවූ පෞරාණික භාණ්ඩ රාශියක් මෙහි තැන්පත් කොට තිබෙනවා. ඒ වගේම තල් ලීයෙන් නිමවූ කැටයම් සහිත ඉපැරණි දැව නිර්මාණ කිහිපයක් මෙහි ප්‍රදර්ශණයට තබා තියෙනවා. 1978 වසරේදී ආරම්භ කරන ලද මේ කෞතුකාගාරය අඟහරුවාදා හැර අනිකුත් දිනවල උදෑසන 8 සිට සවස 4.45 දක්වා නරඹන්නන්ට විවෘත වෙනවා.
අපේ ඊලඟ ගමනාන්තය උනේ යාපනය ලංදේසි බලකො‍ටුව. ලංදේසි බලකො‍ටුව ලෙස හැඳින්වුනත් මෙය මුලින්ම ඉදිකරල තියෙන්නේ පෘතුගීසීන් විසින්. ඒ වර්ශ 1619 දී. අනතුරුව 1658 දී ලංදේසීන්ට නතුවන යාපනය කො‍ටුව ඔවුන් අද පවතින තත්වයට විශාල කර ඉදිකරනවා. පංචාශ්‍රාකාර හැඩයෙන් යුතුව අක්කර 62ක් පුරා මෙය පැතිර පවතිනවා. ක්‍රි. ව. 1795 දී ඉංග්‍රීසීන් අතට පත්වෙන යාපනය කො‍ටුව ඔවුන් විසින් යුධ හා පරිපාලන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිහින් තියෙනවා. 


ඉහළ වම් ඡායාරූපයේ තියෙන්නේ යාපනයේ සුප්‍රසිද්ධ රියෝ අයිස්ක්‍රීම් වෙලඳසල. රසවත් අයිස්ක්‍රීම් එකක් ඉතා අඩු මුදලකට රස බැලීමට මෙය කදිම ස්ථානයක්. ඉහල දකුණු ඡායාරූපයේ තියෙන්නේ ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ස්මාරකය.
දින තුනක සාර්ථක සංචාරයකින් පසුව අපි නැවත තල් රුප්පාවෙන් පොල් රුප්පාවට පැමිණීමට පිටත් උනා. එහිදී අපි A32 මාර්ගය ඔස්සේ පූනරින් දක්වාත් එතැනින් පරන්තන් දක්වාත් පැමිණීමට තීරණය කලා. පහල වම් ඡායාරූපයේ දැක්වෙන්නේ ඒ අතරතුර මුන ගැසෙන සංගුපිටි පාලම. දකුණු ඡායාරූපයේ තියෙන්නේ පුනරීන් බලකො‍ටුව. මෙය ඉදිකර ඇත්තේ ක්‍රි. පූ. 1770 තරම් ඈත වකවානුවක බව සඳහන් උනා. යාපනය කො‍ටුව තරම් විශාල නොවූවත් මෙයත් පෘතුගීසීන් විසින් සාදන ලදුව, පසුව ලන්දේසීන් අතටත් අවසානයේ ඉංග්‍රීසීන් අතටත් පත්වී තිබෙනවා. 1991දී LTTE ග්‍රහණයට නතුවුනු පුනරීන් බලකො‍ටුව ත්‍රස්තවාදය පරාජය කල 2009 වසර වන තෙක්ම කොටි බලකො‍ටුවක් ලෙස පැවතුනා.




පරන්තන් වලින් A9 මාර්ගයට පිවිසුනු අපි එතැනින් A35 මාර්ගය ඔස්සේ පුදුකුඩියිරුප්පු බලා පිටත් උනා. මේ තියෙන්නේ පුදුකුඩියිරුප්පු යුධ ස්මාරකය. දශක තුනකට අධික කාලයක් මවුබිම වෙලාගත් කුරිරු යුධ ශාපයෙන් රට මුදාගත් බව මේ ස්මාරකයෙන් සංකේතවත් කෙරෙනවා. ඒ අසල පිහිටි තොරතුරු මධ්‍යස්ථානයෙන් යුද්ධයේ ජයග්‍රාහී ගමන්මග පිලිබඳ තොරතුරු ‍රැසක් සිතියම් ආශ්‍රයෙන් විස්තර කෙරෙනවා. පුදුකුඩියිරුප්පුවලට සමුදුන් අපි ඔඩ්ඩුසුඩාන් හරහා පුලියන්කුලමෙන් නැවත A9 මාර්ගයට සේන්දු උනා. නැවත හමුවෙන තුරු සමුගන්නට අවසරයි. සමුගන්න පෙර කපුගේ ශූරීන්ගේ 'උතුරු කොනේ' ගීතයේ කොටසක් මෙසේ සටහන් කර තබන්නම්.
"කොතැනක සිටියත් ඉපැදුණු මියයන බිම එකනේදෝ
ඒ බිම එක් වී සුරකින යුතුකම අප සතු නේදෝ"

2 comments:

  1. අනගි සංචාරයක්. පින්තූරත් එක්කර තිබිම නිසා වටිනාකම වැඩියි. ස්තුතියි

    ReplyDelete