Tuesday, April 23, 2019

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා


දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා
පේවී රකිති සොඳ සීලේ නිබන්දා//
ක්ලේශ නස්නා භික්ෂූ ඇත්තේය බෝ සේ//
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ//

සිංහල ගීත සාහිත්‍යයේ බිහිවුනු විශිෂ්ටතම පුර වැයුම ආරම්භවන්නේ එහෙමයි. ඍද්ධියෙන් යන රහතුන් සිටි, ඕලු, නෙළුම්, මානෙල් ආදියෙන් පිරුණු, සේරුන් පීනන පොකුණුවලින් සමන්විත වූ අනුරාධපුරය ජෝන් ද සිල්වා ශූරීන් විසින් මිහි පිට දෙව්ලොවකට උපමා කරනවා. යමු මාත් එක්ක ඒ දෙව් ලොවේ සංචාරය කරන්න.

[සැ. යු: පෙර දවසක මම ඔබව අටමස්ථානයේ වන්දනා ගමනක් එක්ක ගියා මතක ඇතැයි සිතමි. ඒ නිසා අද මම ඔබව ‍රැගෙන යන්නේ අනුරාධපුරය තුල අටමස්ථාන වලට අයත් නොවන නටඹුන් දැක බලා ගැනීමට.]


මේ තියෙන්නේ ඉසුරුමුණි විහාරය හා කෞතුකාගාරය. අනුරාධපුරයේ සිද්ධස්ථාන අතුරින් වඩාත්ම ආකර්ෂණීය ස්ථානය ලෙස මා හඳුනාගත්තේ ඉසුරුමුණිය. මිනිසා සහ අශ්ව හිස, දිය කෙලින ඇතුන්,  දු‍ටුගැමුණු රජ පවුල, ඉසුරුමුණි පෙම්යුවල ආදී බොහෝ කලා නිර්මාණ ඔබට මෙහිදී දැක ගැනීමට පුලුවන්.
මේ තියෙන්නෙ ඉසුරුමුණිය පි‍ටුපසින් ඇති තිසාවැව් බැම්මේදී මගේ කැමරා කාචයේ සටහන් වූ දසුනක්.
ඉසුරුමුණියට දකුණු දෙසින් ඇත්තේ රන්මසු උයන. දු‍ටුගැමුණු රජතුමාගෙ පුත් සාලිය කුමරුට අශෝකමාලා හමුවී ඇත්තේ මෙහිදීයි. මේ තියෙන්නේ එකී රාජකීය උයනේදී මගේ කැමරාව ක්‍රියාත්මක වූ ආකාරයයි. පහල මැද ඡායාරූපයේ දැක්වෙන්නේ විශ්ව චක්‍රය නමින් හඳුන්වන සංකේත සටහන. ලෝකයේ පැරණිම සිතියමක් ලෙස මෙය අනුමාන කරනවා. මෙය ලෝක ධර්මතාවය පිලිබඳ බෞද්ධ සටහනක් බවටත් මහායාන තන්ත්‍රිකයන්ගේ යන්ත්‍රයක් බවටත් භාවනා කිරීමට යොදා ගත් රූ සටහනක් බවටත් වූ විවිධ මත පවතිනවා. ඊලඟ සේයාරුවේ දැක්වෙන්නේ එය ඉදිරිපිට යෝගී ක්‍රියාකාරකමක නිරතවෙන තරුණ පරිභ්‍රාජකයින් දෙදෙනෙක්.
ඉසුරුමුණි කෞතුකාගාරයට අමතරව, අනුරාධපුරයේ තවත් ප්‍රධාන කෞතුකාගාර 3ක් දැකගැනීමට ලැබුනා. පහල වම් කෙලවරේ තියෙන්නේ අනුරාධපුර ප්‍රධාන කෞතුකාගාරය. ප්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එහි ප්‍රධාන ගොඩනැගිල්ල මේ දිනවල වසා දමා තිබෙනවා. පහල මැද ඇත්තේ ඊට ඔබ්බෙන් දැකගැනීමට ලැබුනු ජන කෞතුකාගාරය. පහල දකුණු කෙලවරේ තියෙන්නේ අභයගිරි කෞතුකාගාරය.




දැන් අපි යමු වෙස්සගිරියට. වෙස්සගිරිය කියන්නේ මිහිඳු හිමිගෙන් පැවදි බව ලැබූ 500ක් භික්ෂූන් වහන්සේලා වැඩ සිටි පින්බිමක්. විවිධ රජවරුන් අතින් පසුකාලීනව ප්‍රතිසංස්කරණය වුනු වෙස්සගිරියේදී සෙල් ලිපි සහිත ලෙන්, පබ්බත විහාරයක නටඹුන්, බෝධිඝර, උපෝසථාඝර, චෛත්‍යක නටඹුන් ආදී බොහෝ පුරා වස්තු දැකගැනීමට ලැබුනා.


වෙස්සගිරියෙන් සමුගත් අපේ ඊලඟ නැවතුම උනේ රත්නප්‍රාසාදය. කණිට්ඨතිස්ස රජු කරවූ පොහොය ගෙයක් මත ඉදිකෙරුනු මෙය 7-10 සියවස් අතර කාලයට අයත් වෙනවා. එදවස පස් මහල් ප්‍රාසාදයක් වූ මෙය හඳුනාගෙන ඇත්තේ අභයගිරිවාසී භික්ෂූන් මසකට දෙවරක් ‍රැස්වී තම වැරදි කමා කරගත් ස්ථානයක් ලෙසයි. රත්නප්‍රාසාදයේ දොර‍ටුව අද්දර මේ මුරගල සහ කොරවක්ගල දක්නට ලැබෙනවා. මෙය ලංකාවේ කලාත්මකම මුරගල ලෙස සැලකෙනවා. පුන්කළසක් ‍රැගත් නාගරාජ පිලිරුව සශ්‍රීකත්වය විදහා පාද්දී ඊට ඉහලින් මකර කටින් පිටවෙන පෙම් යුවලක් පෙන්නුම් කරනවා. මෙය ප්‍රජනනය හෝ ලෞකික සැප යනු මකර කටට පිවිසීමක් ලෙස හෝ අර්ථ නිරූපණය කරනවා.
රත්නප්‍රාසාදයට මදක් පි‍ටුපසින් ඇත්තේ මෙන්න මේ සඳකඩපහණ. සෙනරත් පරණවිතානයන්ට අනුව ලංකාවේ කලාත්මකම සඳකඩපහණ මෙයයි. පලාපෙතිවලින් ලෝකයේ ගිනිගත් ස්වරූපයද, සිව්පාවුන්ගෙන් ජාති, ජරා, ව්‍යාධි හා මරණද, ලියවැලින් තණ්හාවද, හංසයන්ගෙන් සාධු ජනයාද, කුඩා ලියවැලෙන් තණ්හාව හීන වීමද, පද්මයෙන් විමුක්තියද නිරූපණය වෙනවා.
පෙර සඳහන් කල සඳකඩපහණට පසු ලංකාවේ කලාත්මක අතින් දෙවන ස්ථානය ගන්නේ මෙන්න මේ සඳකඩපහණ. මෙය පිහිටා තිබුනේත් පෙර කී සඳකඩපහණ ආසන්නයේමයි.හොඳින් බලන්න. පොලොන්නරු යුගයේ සඳකඩපහණ තුල දක්නට නොමැති ගවයා මේ සඳකඩපහණ තුල දක්නට ලැබෙනවා. හින්දු බලපෑම නිසා පොලොන්නරු යුගයේ සඳකඩපහණින් ගවයා ඉවත් වූ බව ඔබ අසා ඇති. මෙකී සඳකඩපහණට ඉහලින් ඇති පියගැටපෙලේ තිබූ වාමන රූප මගේ සිත් ගත්තා.

ඉන්පසු අපේ නැරඹුම් ස්ථාන වුනේ සමාධි පිලිමය සහ කූට්ටම් පොකුණ. පෙර ලිපියේත් සඳහන් කල නිසා මේ පුරාවස්තු ද්විත්වය ගැන වැඩියමක් නොකියා සිටින්නම්. කූට්ටම් පොකුණ ක්‍රි.ව. 7-9 අතර කාලයේදී අභයගිරිවාසී භික්ෂූන්ගේ පැන් පහසුව සඳහා ඉදිකර ඇති බව පමණක් සඳහන් කර තබන්නම්.

අඩවන් වූ දෙනෙතින් ගලනා...
මෙත් මුදිතා කරුණා ධාරා//
සමාධි පිලිමයට ඔබ්බෙන් දිස්වූ මේ බෝධිඝරය මගේ සිත් පැහැරගැනීමට සමත් වුනා. විතර්ක මුද්‍රාවෙන් යුක්ත වූවා යැයි සැකකෙරෙන මෙය 6-8 අතර සියවස් වලට අයත් වූවක්. ඇතැම්හූ මෙය දෙවන සමාධිය ලෙස වරදවා වටහාගෙන ඇති බව දැනගැනීමට ලැබුනා.

අනුරාධපුර පුරාවස්තු අතර සැරිසැරීමේදී පධානඝර කීපයක නටඹුන් දක්නට ලැබුනා. පතනගල, පියන්ගල ආදී නම්වලින් හැඳින්වෙන මේ ආරාම විශේෂය භාවනායෝගී භික්ෂූන්වහන්සේලා උදෙසා නිර්මාණය කර තිබෙනවා. දිය අගලකින් වටවුනු ද්විත්ව ගොඩනැගිලි ලෙස එදා මේවා ඉදිවී තිබෙනවා. ආරාම තුල කැටයම් හෝ මූර්ති නොතිබූ බව සඳහන් වුවත්, වැසිකිලි හා කැසිකිලි අලංකාර කැටයමින් සරසා ඇති අයුරු දක්නට ලැබුනා. පහල ඡායාරූප වල දැක්වෙන්නේ පධානඝරයක නටඹුන්.


මේ තියෙන්නේ ගල්පාලම. අනුරාධපුරයේ සිට උතුරු ප්‍රදේශයට යාමට මල්වතු ඔයට ඉහලින් ඉදිවූ පාලමක් ලෙස මෙය හඳුනාගෙන තිබෙනවා.

පහල වම් ඡායාරූපයෙන් ඔබ දකින්නේ විජයබා මාලිගය. ක්‍රි. ව. 1073 දී චෝල පාලනයෙන් රට බේරාගත් පළමුවෙනි විජයබාහු රජතුමා විසින් අනුරාධපුරයේදී තම රාජාභිෂේකය සඳහා ඉදිකල තාවකාලික දෙමහල් මන්දිරයක් ලෙස මෙය හැඳින්වෙනවා.  පසුකාලීනව මෙතුමා පොලොන්නරුව සිය අගනුවර කරගෙන තිබෙනවා. පහල දකුණු ඡායාරූපයේ දැක්වෙන්නේ මාර්ගයේ අනිත්පස පිහිටි ගොඩනැගිලි කොටසක්. මෙය මාලිගයේ ද්වාර මණ්ඩපය ලෙස හඳුනාගෙන තිබෙනවා.


මානෙල් නෙළුම් හා ඕලු පුෂ්පාදී…
ඇත්තේ පොකුණුවල බෝ ජල පෑදී…

මේ සේයාරුවේ දැක්වෙන්නේ ඇත් පොකුණ හෙවත් මාස්පොත පොකුණ. ලංකාවේ විශාලතම පොකුණ ලෙස සැලකෙන්නේ මෙයයි. මෙයත් අභයගිරිවාසී භික්ෂූන්වහන්සේලාගේ පැන් පහසුව සඳහා ඉදිකර තිබෙනවා.



අනුරාධපුර පූජාභූමිය කියන්නේ නටඹුන් නගරයක්. බැලූ බැලූ අත දිස්වෙන්නේ අපේ අතීත උරුමය. පයට පෑගෙන වැලිකැටයක් ගානේ කියාපාන්නේ ඒ අතීත ශ්‍රී විභූතිය. මේ ලිපියට පාදක උනේ ඒ ප්‍රෞඩ ඉතිහාසයේ ඉතා කුඩා කොටසක් පමණයි. අනුරාධපුරය වන්දනා කරන්න එන බොහෝ බැතිමතුන් අටමස්ථාන වන්දනාවෙන් සෑහීමකට පත්වෙනවා. ඔවුන් මෙකී නටඹුන් දැකබලා ගැනීමට දක්වන්නේ ඉතා අඩු අවධානයක්. බොහෝ විට එයත් ඉසුරුමුණියට, කූට්ටම්පොකුණට සහ සමාධි පිලිමයට පමණක් සීමා වෙනවා. එය එසේ නොවිය යුතු බව මගේ අදහසයි. තවත් දිනක් හෝ දෙකක් අනුරාධපුරයේ නැවතී මෙකී නටඹුන් දැකබලා ගන්නා ලෙස මම ඔබට යෝජනා කරනවා. තවත් රසබර ලිපියකින් නැවත හමුවෙනතුරු, සමුගන්නම් අදට. සුභ දවසක් ඔබට.

*********************************************************************************
ප.ලි : මගේ බ්ලොග් සම්ප්‍රදායෙන් පිට ගිහින් මේක කියන්න හිතුනා. සමහරු අනුරාධපුරේ එන්නේ හුදෙක්ම විනෝද චාරිකාවක් විදියට විතරයි. මත්පැන් උගුරක් තොලගෑමත්, වැවක නෑමත්, වැව් මාලුකෑල්ලක රස බැලීමත් හැරුණු කොට වෙනත් කිසිඳු අරමුණක් ඔවුන්ගේ නෑ. කාපු බිස්කට් පැකැට්‍ටුව හෝ ඉඳුල් පාර්සලය, එතනම දමා යන්නේ ඒකයි. පරිසරය වනසන සිදුවීම් රාශියක් මම දු‍ටුවා. ඉන් මගේ කැමරාවේ සටහන් වුනු සිදුවීම් කීපයක් පමණක් පෙන්වන්නම්. වම් ඡායාරූපයේ දැක්වෙන්නේ වෙස්සගිරි සෙල් ලිපි අතරින් මතුවුනු නූතන සෙල් ලිපියක්. මැද ඡායාරූපයේ දැක්වෙන්නේ කසල පිරුණු තවත් එක් කුණු ඇළක් නෙවෙයි. විශ්වාසකරන්න. මේ ඔබ දකින්නේ කූට්ටම් පොකුණේ ජලය විශවී මසුන් මැරී ඇති ආකාරයයි. දකුණු ඡායාරූපයේ දැක්වෙන්නේ තිසාවැව අද්දර කුණු දමන්න එපා යැයි සඳහන් වුනු පුවරුවක් පාමුල කුණු දමා තිබුණු ආකාරය.



මම ඉතා අහිංසක ඉල්ලීමක් කරන්නම්. මේ නටඹුන් දැකීමෙන් අපේ අතීත ශ්‍රී විභූතිය ගැන හැඟීමක්, ආවේගයක් ඇති නොවේ නම්, හිරිගඩු නොපිපේනම්, මයිල් කෙලින් නොවේනම්, ඔබේ විනෝදචාරිකාවට අනුරාධපුරය ‍තෝරා ගන්න එපා.

2 comments: