Thursday, October 24, 2013

ලංකාවේ හරි මැද සොයා යමු!

මම මෙතෙක් ලියපු චාරිකා සටහන් වලට මගේ බ්ලොග් රසිකයන්ගෙන් ඉහල ප්‍රතිචාර ලැබුනා. විශේෂයෙන්ම බණ්ඩාරවෙල, අනුරාධපුර, මාතර, කතරගම, නුවරඑළිය වගේ චාරිකා සටහන් වලට. ඉතින් මම අදත් ඔයගොල්ලන්ව එක්ක යනවා සුන්දර මාතලේ පුරවරයේ සංචාරයකට!
කොළඹ සිට මාතලේට ලඟාවිය හැකි මාර්ග කීපයක්ම තියෙනවා.
ඒ අතරින් අපි ‍තෝරාගත්තේ පේරාදෙණිය-ක‍ටුගස්තොට හරහා මාර්ගයයි. A1 මාර්ගය ඔස්සේ පේරාදෙණිය හන්දියට ගමන් කල අපි එතැනින් ගන්නොරුව පාරට හැරී එතැනින් ගොහාගොඩ පාර ඔස්සේ ක‍ටුගස්තොටට පැමිණියා. එතැන් සිට කි. මී 20ක් පමණ උතුරින් මාතලේ නගරය පිහිටා තිබෙනවා. ගමනේ මුලු දුර කි.මී. 140ක් පමණ වෙනවා.
දැන් අපි ඉන්නේ මාතලේ නගරයේ. මාතලේ කිව්වම ගොඩක් දෙනෙකුට මතක්වෙන්නේ අළුවිහාරය. ඒ හැරුණුකොට මාතලේ අවට නැරඹිය හැකි වෙනත් තැන් තිබෙනවාද? තිබේ නම් ඒ මොනවාද? මේ සිතියම ඒ ගැටලුවට පිලිතුරු සපයාවි.

රිවස්ටන්
මාතලේ ඉඳන් කි. මී 28ක් පමණ දුරින් රිවස්ටන් පිහිටා තිබෙනවා. රිවස්ටන් කියන්නේ දුම්බර මිටියාවතේ නකල්ස් කඳු පංතියට අයත් සුන්දර කන්දක්. ඒ වගේම සුළං කපොල්ලක්. මාතලේ ඉඳන් රිවස්ටන් යන ඔබට හමුවෙන එකම ප්‍රධාන නගරය තමයි රත්තොට. රත්තොට ඉඳන් රිවස්ටන් දක්වා වූ කි. මී 15 ක පමණ දුර යන්න තියෙන්නේ බොහොම ප‍ටු පාරක. පළල් වාහන දෙකක් මාරුවීම ඉතාමත් ප්‍රවේශමෙන් කරන්න ඕනෙ. මේ ඡායාරූපයේ තියෙන්නේ රිවස්ටන් කන්ද මුදුනේ පිහිටා ඇති ටෙලිකොම් කුලුන. එතැනට ලඟාවීමට ඔබට කිලෝමීටරයක පමණ දුරක් පාගමනින් ඇවිද යාමට සිදුවෙනවා.
පහලින් තියෙන්නේ ඒ අතරමඟ ඔබේ නෙත ගැටෙන සුන්දර දසුන් කීපයක්.




පිටවල පතන (දික් පතන)
රිවස්ටන් ඉඳන් කි. මී. 6ක දුරක් ගෙවා ඔබට පිටවල පතනට ලඟාවෙන්න පුලුවන්. නකල්ස් සංරක්ෂණ වනාන්තරයට අයත් පිටවල පතන පිහිටල තියෙන්නේ මුහුදු මට්ටමේ සිට මීටර් 865ක් උසින්. සදාහරිත වනාන්තර සහ නීල දිය දහරා වලින් පෝෂිත දුම්බර මිටියාවත වසා පැතිරුනු නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුලදී ඔබට ලංකාවට ආවේණික ශාඛ හා සත්ව විශේෂ රාශියක් දැකගැනීමට හැකිවෙනවා. පිටවල පතන කෙලවර ඇති කුඩා ලෝකාන්තය නැරඹීමටත් මේ ස්ථානයට එන කිසිවෙකු අමතක කරන්නේ නෑ. ඒ සඳහා රු. 28/- ක ටිකට් පතක් ලබාගන්නා ඔබ කිලෝමීටරයකට අඩුදුරක් පාගමනින් ඇවිද යායුතු වෙනවා.
ඔබට දැන් ස්නානය කිරීමේ අවශ්‍යතාවයක් ඇත්නම්, මෙතැන්සිට කි.මී 4ක් දුරින් පිහිටි තෙල්ගමු ඔය ඊට කදිම ස්ථානයක්. ඒ වගේම මෙතැන් සිට වස්ගමුව ජාතික වනෝද්‍යානයට කි. මී 42ක් දුරක් ඇති බව දැනගැනීමට ලැබුනා.

මාතලේ අළුවිහාරය
මාතලේ නගරයට ඉතා ආසන්නයේ ඇති අළුවිහාරය බෞද්ධයන්ට කාරණා කීපයක් නිසා වැදගත් වෙනවා. සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 454 කට පසු වළගම්බා රජ දවස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කර ඇත්තේ මෙම විහාරයේදී. මේ සඳහා රහතුන් වහන්සේ 500ක් දෙනා සහභාගී වූ බවත් උන්වහන්සේලා අවුරුදු තුනකුත් මාස තුනක් පුරා මෙම කාර්ය්‍ය සිදු කර වෙසක් පොහෝ දිනයකදී අවසන් කල බවත් දැන ගැනීමට ලැබුනා. එමෙන්ම පස් වැනි ධර්ම සංගායනාව පවත්වා ඇත්තේද මාතලේ අළුවිහාරය කේන්ද්‍රකරගෙන.
මෙහි ඉදිරිපස ගල් ලෙන ආසන්නයේ මෙසේ සඳහන් පුවරුවකුත් දක්නට ලැබුනා.
"ථේරවාදී හෙළ අ‍ටුවා ග්‍රන්ථ පාලියට නැගීමට දඹදිව සිට පැමිණි බුද්ධ ඝෝෂ අ‍ටුවාචාරීන් වහන්සේ ත්‍රිපිටකය සහිත හෙල අ‍ටුවා ප්‍රථම වරට ග්‍රන්ථාරූඪ කර තැබූ අලුවිහාර පොත් ගුලද පරිහරණය කරණුවස් මෙහි පැමිණ වැඩ සිටියේ ඉදිරිපස ගල්ලෙනෙහිය. මෙසේ හෙල අ‍ටුවාව උන්වහන්සේ අතින් පාලියට නැගුණු නිසා ථේරවාදී බුදු දහම අතීතයේ බෞද්ධ රටවල ව්‍යාප්තියට හේතුවිය."

කවටයාමුණ විහාරය
මාතලේ සිට A9 පාර ඔස්සේ කි. මී. 8ක්  පමණ ගොස් පලාපත්වලින් හැරී මීටර් 500ක් පමණ ගිය තැන මෙම කවටයාමුණ විහාරය හමුවෙනවා. ගජබාහු රජ දවස සිරිසෙවන් නම් සෙන්පතියෙකු විසින් මෙම විහාරය කරවූ බව පැවසෙනවා. මෙම විහාරයේ ඇති අපාය ප්‍රතිනිර්මාණය මෙහි සංචාරක ආකර්ශණය සඳහා බලපා තිබෙනවා. පහත දැක්වෙන්නේ එහිදී මගේ කැමරා කාචයේ සටහන් වුනු ඡායාරූප කිහිපයක්.




නාලන්දා ගෙඩිගේ
පලාපත්වල ඉඳන් A9 ඔස්සේ දඹුල්ල දෙසට කි. මී. 13ක් පමණ යන ඔබට නාලන්දා ගෙඩිගේ වෙත යන පාර හමුවෙනවා. (මාතලේ සිට කි. මී 22 ක් පමණ) ඒ අතරමඟදී මඩවල වැනි නගර ඔබට හමුවේවි. A9 පාරෙන් හැරී කිලෝමීටරයක් පමණ ගිය තැන බෝවතැන්න ජලාශයෙන් වටවී ඇති මේ මනරම් ස්ථානය දැකබලා ගත හැකියි. ප්‍රතිමා මන්දිරය, චෛත්‍යය, බෝධිය ලෙස කොටස් තුනකින් සමන්විත මෙය 8-10 සියවස් වලට අයත් පල්ලව ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ අංග ලක්ෂණ වලින් යුක්ත වනවා. මෙහි හින්දු කෝවිලක අංග ලක්ෂණ ඉතා පැහැදිලිව දැකගැනීමට හැකියි. ප්‍රතිමා මන්දිරය ඇතුලත පද්මාසනයක් මත වැඩසිටින ශෛලමය හිටි බුද්ධ ප්‍රතිමාවක් දැකගැනීමට හැකියි.
නාලන්දා ගෙඩිගේ පවතින ස්ථානය සැලකෙන්නේ ලංකාවේ මධ්‍ය ලක්ෂය ලෙසයි. මේ බ්ලොග් ලිපියේ මාතෘකාව ගැන දෙගිඩියාවෙන් කවුරු හරි හිටිය නම් ඔන්න දැන් ඒ අයටත් පිලිතුරු ලැබෙන්න ඇති. අපි මෙහි සේයා රූ කීපයක් බලල ඉමු.



ඔය තුන්වෙනි ඡායාරූපයේ තියෙන්නේ බෝවතැන්න ජලාශය. නාලන්දා ගෙඩිගේ මුලින් තිබිල තියෙන්නේ බෝවතැන්න ජලාශය ඇති ස්ථානයේ. මෙය ජලාශයෙන් යටවීමට නොදී කොටස්වලට ගලවා නැවතත් මෙම ස්ථානයේ සවිකර 1985 වර්ෂයේ විවෘත කර තිබෙනවා. ඒ සඳහා උපදෙස් ලබා දීල තියෙන්නේ එවකට සංස්කෘතික ඇමති ලෙස සිටි එඩ්වින් ලොකුබණ්ඩාර හුරුල්ලේ මහත්මයා විසින්. නාලන්දා ගෙඩිගේ නරඹන ඔබ එහි ඇති නාලන්ද පුරාවිද්‍යා ඡායාරූප කෞතුකාගාරය නැරඹීමටත් අමතක කරන්න එපා.

මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතය සහ වෘක්ෂෝද්‍යානය
නාලන්දාවෙන් සමුගත් අපි නැවතත් A9 ඔස්සේ අරංගල පසුකර පනම්පිටිය හංදිය වෙත ගමන් කරා. එතැනින් වමට හැරී කි. මී 5ක් පමණ ගිය තැන අපි මනරම් භූමියකට පිවිසුනා. ඒ තමයි මැණික්දෙන පුරාවිද්‍යා රක්ෂිතය සහ වෘක්ෂෝද්‍යානය. සෙනසුරාදා දිනයක් වෙලත් භූමියේ හැදී වැඩෙන බලුපැටව් කීප දෙනෙක් හැරෙන්න කිසිවෙක් එහි සිටියේ නෑ. අපිට තේරුම් ගිය දෙයක් තමයි, මෙතන වටිනාකමට සරිලන ආකර්ෂණයක් සංචාරකයන්ගෙන් ලැබිල නෑ කියන එක. මෙහි වෘක්ෂෝද්‍යානයට අමතරව උපෝසථාගාරයක්, පිළිමගෙයක්, සභා ශාලාවක්, චෛත්‍යයක් සහ බෝධිඝරයක් දක්නට ලැබුනා.
ඒ අතර තිබූ මැණික්දෙන පුවරු ලිපිය මගේ අවධානය දිනා ගත්තා. එහි සඳහන්ව තිබුනේ කොබොයතෙළෙහි වාසය කරන සෙන්ගේ බිරිඳ රන් කළං පහක් වැය කොට මිළ දී ගත් බුත්ගමු විහාරයේ පැළ පහක මහදෙනඋළු නම් කුඹුර එම විහාරයේ සලාක බත සඳහා පූජා කළ බවත් ඒ දීමනාව හිරු සඳු පවත්නා තාක් පවතින බවයි.
බලන්න. මේ ඡායාරූප මේ භූමියේ අසිරිය කියාපාන අන්දම....



මැණික් දෙන රක්ෂිතයේ බොහෝ වේලාවක් ගත කල අපි නැවතත් A9 මාර්ගයට අවතීර්ණ උනා. දැන් අපි ඉන්නේ දඹුල්ල නගරයට කි. මී 10 කට නොවැඩි දුරකින්. ඔව්! අපි දඹුල්ලටත් ගියා. ඒ තලගොයි මරන්න නම් නෙවෙයි. මගේ බ්ලොග් රසිකයන් වෙනුවෙන් දඹුලු විහාරය වැඳපුදා ගන්න.

රංගිරි දඹුලු රජමහා විහාරය
දඹුල්ල නගරයට කි. මී. 2ක් පමණ මෑතින් A9 මාර්ගයට මුහුණ ලා මෙම විහාරය පිහිටා තිබෙනවා. දඹුල්ල ලෙන් විහාරයත්, බෞද්ධ කෞතුකාගාරයත් ඔබට මෙහිදී දැක බලා ගත හැකියි. ඒ අතර දඹුලු ගල මත්තෙහි ඈතින් පෙනෙන සීගිරි පර්වතයත් කන්ඩලම වැවත් ඉතා මනරම් දසුනක් මවනවා. ඒ වගේම ධර්මචක්‍ර මුද්‍රාවෙන් යුත් ලෝකයේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේත් (උස අඩි 100) ඔබට මෙහිදී දැකබලා ගත හැකියි. එච්. ප්‍රේමදාස නමැති මූර්ති ශිල්පියෙකු විසින් ඉදිකල මෙය විවෘත කර ඇත්තේ 2001 වර්ශයේදී. දඹුලු විහාරයේ ඓතිහාසික වටිනාකමත් වැදගත්කමත් ඔබ ඕනෑ තරම් අසා ඇතුවාට සැකයක් නෑ. ඒ නිසා ඒ ගැන පුනර්කථනය කිරීමට මම බලාපොරොත්තුවන්නේ නෑ.  මේ ඡායාරූප රස විඳින්න. ඔබට එහි අසිරිය දැනේවි.



දඹුල්ලේ සිට කි. මී 150 කට ආසන්න දුරක් ගෙවාගෙන අපි ආපසු කොළඹ ආවා. අපි ගිය චාරිකාව මේ බ්ලොග් ලිපිය තුලින් ඔබටත් රසවිඳින්න පුලුවන් වුනා නම් ඒකයි මගේ සතුට. එහෙනම් තවත් දවසක හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නම්. සුභ දවසක්!
read more "ලංකාවේ හරි මැද සොයා යමු!"

Wednesday, October 2, 2013

අටවිසි බුදුවරු පිටදුන් බෝධී

අප ගෞතම බුදුරජාණන්වහන්සේ බුදුවරුන් තුන් නමකගෙන් අනියත විවරණත් (*) තවත් බුදුවරුන් විසිහතර දෙනෙකුගෙන් නියත විවරණත් (**) ලැබූ බව ඔබ දන්නවා ඇති. එසේ විවරණ දුන් බුදුවරුන් ගැනත් උන්වහන්සේලාට බුදුවීමට සෙවන දුන් වෘක්ෂ ගැනත් අද ලිපියෙන් සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා.



ඔබේ දැනගැනීම සඳහා අතුරු කාරණා දෙකක් සඳහන් කරන්නම්.
1)  මෙතෙක් පහල වූ බුදුවරුන් ගණන සංඛ්‍යාවකින් දැක්විය නොහැකි තරම් අප්‍රමාණ බව බුද්ධ දේශනාවේ සඳහන්වෙනවා. ඒ සියලු බුදුරජාණන්වහන්සේලා දෙසූ ධර්මය පමණක් නොව උන්වහන්සේලාගේ බුද්ධාත්මභාවයට සම්බන්ධ බොහෝ කාරණාත් සමානයි. උදාහරණ කිහිපයක් පවසනවා නම්, සතර පෙරනිමිති දැකීම, පුත් කුමරෙකු උපදින දින ගිහිගෙය හැරයාම, බුදුවන දවස කිරිපිඬු වැළඳීම, පරිනිර්වාණයට පෙර ගන්නා ආහාරය (සූකර මද්දවය) වැනි තවත් බොහෝ දෑ සියලු බුදුවරුන්ට පොදු වෙනවා.
2)  මේ ලිපියේ කියැවෙන අටවිසි බුදුරජාණන්වහන්සේලා මහා කල්ප 12ක් තුල පහලවී තිබෙනවා. පහලවන බුදුවරු ප්‍රමාණය මත මහා කල්ප වර්ග කොට තිබෙනවා.
  • ශුන්‍ය කල්පය - බුදුරජාණන්වහන්සේලා පහල නොවන කල්ප.
  • සාර කල්පය - එක්  බුදුරජාණන්වහන්සේ නමක් පමණක් පහල වන කල්ප.
  • මණ්ඩ කල්පය - බුදුරජාණන්වහන්සේලා දෙනමක් පහල වන කල්ප.
  • වර කල්පය - බුදුරජාණන්වහන්සේලා තුන්නමක් පහල වන කල්ප.
  • සාරමණ්ඩ කල්පය - බුදුරජාණන්වහන්සේලා සිවුනමක් පහල වන කල්ප.
  • භද්‍ර කල්පය - බුදුරජාණන්වහන්සේලා පස්නමක් පහල වන කල්ප.
අප ජීවත්වන්නේ භද්‍ර කල්පයක බවත්, දැනට කකුසඳ, කෝණාගම, කස්සප, ගෞතම යන බුදුන්වහන්සේලා පහලවී, මෛත්‍රී බුදුරජාණන්වහන්සේ ඉදිරියේදී පහල වීමට ඇති බවත් ඔබ දන්නවා ඇති. කල්පයක් යනු කොපමණ කාලයක් දැයි ඔබ දැන් සිතනවා විය යුතුයි. මීට කදිම උපමාවක් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. “මහණෙනි, යම් සේ දිගින්, පළලින් හා උසින් යොදුනක් (සැතපුම් 16ක්) බැගින් එක සමාන වූ ඝන මහා කළුගල් පර්වතයක් වේද, එම කළුගල් පර්වතය  අවුරුදු සීයයකට වතාවක් ඉතා සිනිදු කසීසළුවකින් පිරිමැදීම  නිසා ඉතා දිර්ඝ කාලයක් ඇවෑමෙන් මේ මහා පර්වතය සම්පූර්ණයෙන් ගෙවී අවසන් වී යා හැකියි. එය, එසේ ගෙවී අවසන් වූවත්, කල්පයකට ඇති කාලය හෝ අවුරුදු ගණන අවසන් නොවේ”. ඒ ගැන සිතීම එතැනින්ම නතර කර අපි මේ ලිපියට අවධානය යොමු කරමු.

තණ්හංකර බුදුරජාණන් වහන්සේ - රුක්අත්තන  
මණ්ඩ කල්පයක පහල වූ තණ්හංකර බුදුරජාණන්වහන්සේ සුනන්ද සහ සුනන්දා යුවලට දාව ඉපිද රුක්අත්තන ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. 
මේධංකර බුදුරජාණන් වහන්සේ - කෑල
මණ්ඩ කල්පයක පහල වූ මේධංකර බුදුරජාණන්වහන්සේ සුදේව රජු සහ යසෝධරා දේවියට දාව ඉපිද කෑල ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක.
සරණංකර බුදුරජාණන් වහන්සේ - පලොල්
මණ්ඩ කල්පයක පහල වූ සරණංකර බුදුරජාණන්වහන්සේ සුමංගල සහ යසවතී දෙපලට දාව ඉපිද වසර 7000කට පසු ගිහිගෙය හැරගොස් පලොල් ගසක් මුල බුදුවී වසර 80,000ක් ආයුශ වැලඳූ සේක.
දීපංකර බුදුරජාණන් වහන්සේ - පතන
සාරමණ්ඩ කල්පයක පහල වූ දීපංකර බුදුරජාණන්වහන්සේ සුදේව රජුට සහ සුමේධා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් පතන ගසක් මුල බුදු වූ සේක. එකල අප බෝසතාණෝ වැඩ නිම නොවූ මාර්ගයක මඩ වලක් තරණය කිරීමට තම ශරීරය ඒ දණ්ඩක් කොට දීම නිසා නියත විවරණ ලැබීය.
කොණඩඤ්ඤ බුදුරජාණන් වහන්සේ - සල්
සාරමණ්ඩ කල්පයක පහල වූ කොණ්ඩඤ්ඤ බුදුරජාණන්වහන්සේ සුනන්දා  සහ සුජාතා යුවලට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් සල් ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ වස්සාන මාසයේ මහා දානයක් දීම නිසා නියත විවරණ ලැබීය.
මංගල බුදුරජාණන් වහන්සේ - නා
සාරමණ්ඩ කල්පයක පහල වූ මංගල බුදුරජාණන්වහන්සේ උත්තර රජුට සහ උත්තරා දේවියට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් නා ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ පැන් නුමුසු කිරිබතක් සත් දිනක් දන් දීම නිසා නියත විවරණ ලැබීය. නා ගස ලංකාවේ ජාතික වෘක්ෂයයි.
සුමන බුදුරජාණන් වහන්සේ - නා
සාරමණ්ඩ කල්පයක පහල වූ සුමන බුදුරජාණන්වහන්සේ සුදත්ත සහ සිරිමා යුවලට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් නා ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ කෙල ලක්ෂයක් පමණ සඟලු දන් දීම නිසා නියත විවරණ ලැබීය.
රේවත බුදුරජාණන් වහන්සේ - නා
සාරමණ්ඩ කල්පයක පහල වූ රේවත බුදුරජාණන්වහන්සේ විපුල රජු සහ විපුලා දේවියට දාව ඉපිද වසර 6000කට පසු ගිහිගෙය හැරගොස් නා ගසක් මුල බුදුවී වසර 60,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ ශාසනයෙහි ගුණ වනා උතුරු සළුවක් පිදීම නිසා නියත විවරණ ලැබීය.
සෝභිත බුදුරජාණන් වහන්සේ - නා
සාරමණ්ඩ කල්පයක පහල වූ සෝහිත බුදුරජාණන්වහන්සේ සුධර්ම සහ සුධර්මා යුවලට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් නා ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බුදු පාමොක් සඟනට තුන් මසක් දන් දීම නිසා නියත විවරණ ලැබීය.
අනෝමදස්සී බුදුරජාණන් වහන්සේ - කුඹුක්
වර කල්පයක පහල වූ අනෝමදස්සී බුදුරජාණන්වහන්සේ යසවන්ත රජුට සහ යශෝදරා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් කුඹුක් ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බුදු පාමොක් සඟනට සත් දිනක් දන් දීම නිසා නියත විවරණ ලැබීය.
පදුම බුදුරජාණන් වහන්සේ - මුරුත
වර කල්පයක පහල වූ පදුම බුදුරජාණන්වහන්සේ අසම රජු සහ අසමා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් මුරුත ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ පදුම බුදුරජාණන්ට ජීවිත පරිත්‍යාගයෙන් සතියක් උපස්ථාන කිරීම නිසා නියත විවරණ ලැබීය.
නාරද බුදුරජාණන් වහන්සේ - මුරුත
වර කල්පයක පහල වූ නාරද බුදුරජාණන්වහන්සේ සුදේව රජු සහ අනෝමා දේවියට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් මුරුත ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ මහා දානයක් දී රත්හඳුන් පූජා කිරීම නිසා නියත විවරණ ලැබීය.
පදුමුත්තර බුදුරජාණන් වහන්සේ - හොර
සාර කල්පයක පහල වූ පදුමුත්තර බුදුරජාණන්වහන්සේ වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් හොර ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බුදු පාමොක් සඟනට පිරිකර සහිතව දන් දීම නිසා නියත විවරණ ලැබීය.
සුමේධ බුදුරජාණන් වහන්සේ - බක්මී
මණ්ඩ කල්පයක පහල වූ සුමේධ බුදුරජාණන්වහන්සේ සුදත්ත සහ සුදත්තනා යුවලට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් බක්මී ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ අසූ කෝටියක් ධනය දන් දීම නිසා නියත විවරණ ලැබීය.
සුජාත බුදුරජාණන් වහන්සේ - උණ
මණ්ඩ කල්පයක පහල වූ සුජාත බුදුරජාණන්වහන්සේ උද්ගත රජු සහ ප්‍රභාවතී දේවියට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් උණ ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ සක්විති රජෙකුව ඉපිද සතර මහා දිවයින් පූජා කිරීම නිසා නියත විවරණ ලැබීය.
පියදස්සී බුදුරජාණන් වහන්සේ - කුඹුක්
පියදස්සී බුදුරජාණන්වහන්සේ සුදත්ත රජු සහ සුනන්දා දේවියට දාව ඉපිද වසර 9000කට පසු ගිහිගෙය හැරගොස් කුඹුක් ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ කෙළ ලක්ෂයක විහාරයක් කර දීම නිසා නියත විවරණ ලැබීය.
අත්ථදස්සී බුදුරජාණන් වහන්සේ - සපු
අත්ථදස්සී බුදුරජාණන්වහන්සේ සාගර රජු සහ සුදර්ශනා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් සපු ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ මදාරා මලක් කුඩයක් කර බුදුන්ට පිදීම නිසා නියත විවරණ ලැබීය.
ධම්මදස්සි බුදුරජාණන් වහන්සේ - රත්කරව්
ධම්මදස්සී බුදුරජාණන්වහන්සේ සරණ රජු සහ සුනන්දා දේවියට දාව ඉපිද වසර 8000කට පසු ගිහිගෙය හැරගොස් රත්කරව් ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ රුවන් කරඬුවක ලා දිව්‍ය පුෂ්ප පිදීම නිසා නියත විවරණ ලැබීය.
සිදුහත් බුදුරජාණන් වහන්සේ - කිණිහිරියා
සාර කල්පයක පහල වූ සිදුහත් බුදුරජාණන්වහන්සේ උදේන රජුට සහ සුඑස්සා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් කිණිහිරියා ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බුදු පාමොක් සඟනට දඹ පැලඳවීම නිසා නියත විවරණ ලැබීය.
තිස්ස බුදුරජාණන් වහන්සේ - අසන
මණ්ඩ කල්පයක පහල වූ තිස්ස බුදුරජාණන්වහන්සේ ජනසන්ධ සහ පදුමා යුවලට දාව ඉපිද වසර 8000කට පසු ගිහිගෙය හැරගොස් අසන ගසක් මුල බුදුවී වසර 100,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ පැවිදි වී මල් පිදීම නිසා නියත විවරණ ලැබීය.
ඵුස්ස බුදුරජාණන් වහන්සේ - නෙල්ලි
මණ්ඩ කල්පයක පහල වූ ඵුස්ස බුදුරජාණන්වහන්සේ ජයසේන රජුට සහ සිරිමා දේවියට දාව ඉපිද වසර 10000කට පසු ගිහිගෙය හැරගොස් නෙල්ලි ගසක් මුල බුදුවී වසර 90,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ දන් දී පැවදි වීම නිසා නියත විවරණ ලැබීය.
විපස්සි බුදුරජාණන් වහන්සේ - පලොල්
විපස්සී බුදුරජාණන්වහන්සේ බන්ධුමත්තු සහ බන්දුමතී යුවලට දාව ඉපිද වසර 8000කට පසු ගිහිගෙය හැරගොස් පලොල් ගසක් මුල බුදුවී වසර 80,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ සත් දිනක් දන් දී සත් රුවන් පු‍ටුවක් පූජා කිරීම නිසා නියත විවරණ ලැබීය.
සිඛි බුදුරජාණන් වහන්සේ - ඇටඹ (අඹ)
මණ්ඩ කල්පයක පහල වූ සිඛී බුදුරජාණන්වහන්සේ අරුණවත්තු සහ ප්‍රභාවතී යුවලට දාව ඉපිද වසර 7000කට පසු ගිහිගෙය හැරගොස් ඇටඹ ගසක් මුල බුදුවී වසර 70,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බුදු පාමොක් සඟනට දන් දී ඇතකු පිදීම නිසා නියත විවරණ ලැබීය.
වෙස්සභු බුදුරජාණන් වහන්සේ - සල්
මණ්ඩ කල්පයක පහල වූ වෙස්සභු බුදුරජාණන්වහන්සේ සුප්පකිත රජු සහ යසවතී දේවියට දාව ඉපිද වසර 6000කට පසු ගිහිගෙය හැරගොස් සල් ගසක් මුල බුදුවී වසර 60,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ දන් දී ගඳ කිළියක් සහ විහාර දහසක් කරවීම නිසා නියත විවරණ ලැබීය.
කකුසඳ බුදුරජාණන් වහන්සේ - මාර
භද්‍ර කල්පයක පහල වූ කකුසඳ බුදුරජාණන්වහන්සේ ඛේමා රජු සහ විශාකා දේවියට දාව ඉපිද වසර 4000කට පසු ගිහිගෙය හැරගොස් මාර ගසක් මුල බුදුවී වසර 40,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ සිවුරු පිරිකර පූජා කිරීම නිසා නියත විවරණ ලැබීය.
කෝණාගම බුදුරජාණන් වහන්සේ - අට්ටික්කා
භද්‍ර කල්පයක පහල වූ කෝණාගම බුදුරජාණන්වහන්සේ යඤ්ඤදත්ත සහ උත්තරා යුවලට දාව ඉපිද වසර 3000කට පසු ගිහිගෙය හැරගොස් අට්ටික්කා ගසක් මුල බුදුවී වසර 30,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ වස් තුන්මාසයේ දන් දීම නිසා නියත විවරණ ලැබීය.
කස්සප බුදුරජාණන් වහන්සේ - නුග
භද්‍ර කල්පයක පහල වූ කාශ්‍යප බුදුරජාණන්වහන්සේ බ්‍රහ්මදත්ත සහ ධනවතී යුවලට දාව ඉපිද වසර 2000කට පසු ගිහිගෙය හැරගොස් නුග ගසක් මුල බුදුවී වසර 20,000ක් ආයුශ වැලඳූ සේක. එකල අප බෝසතාණෝ බ්‍රාහ්මණ වත් පිලිවෙත් කිරීම නිසා නියත විවරණ ලැබීය.
ගෞතම බුදුරජාණන් වහන්සේ - ඇසතු
භද්‍ර කල්පයක පහල වූ ගෞතම බුදුරජාණන්වහන්සේ සුද්ධෝදන රජු සහ මහාමායා දේවියට දාව ඉපිද වසර 29කට පසු ගිහිගෙය හැරගොස් ඇසතු ගසක් මුල බුදුවී වසර 80ක් ආයුශ වැලඳූ සේක.

සමුගන්නට පෙර තවත් එක් අතුරු කාරණාවක් මතක් කරන්නම්. රහත්බව ලබන්නට අඩු ම ගණනේ කල්ප ලක්ෂයක්  පෙරුම් පිරිය යුතු බව බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා. අප ගෞතම බුදුරජාණන්වහන්සේගේ බෝධිසත්ව අවදියේ පමණක් හමුවී ඇති බුදුවරුන්ගේ ගණන 512027 ක් බව උන්වහන්සේ දේශනා කර තිබෙනවා. සසර ගමනේ දුර ගැන මීටත් වඩා සාධක කුමටද?

* අනියත විවරණය යනු බුද්ධකාරක ධර්මයන් සම්පූර්ණ කළ හොත් බුදු බව ලබාගත හැකි යැ යි බුදුරජාණන් වහන්සේ නමක් අනියමාර්ථයෙන් ප්‍රකාශ කිරීමයි.
** අනියත විවරණ යනු බුද්ධකාරක ධර්මයන් සපුරණ බෝසතෙක් අනිවාර්‍යයෙන්ම බුදුවන බව තවත් බුදුවරයෙක් විසින් ප්‍රකාශ කිරීමයි.

මූලාශ්‍ර : අන්තර්ජාලය, බෞද්ධ පොත්පත්, උද්භිද විද්‍යා පොත්පත්.
ඡායාරූප : අන්තර්ජාලයෙනි.
read more "අටවිසි බුදුවරු පිටදුන් බෝධී"