Friday, November 18, 2011

මනුස්සකම

මාතෘකාව 'මනුස්සකම' වුවත් මේ ලිපිය වෙනත් දෙයක් ගැනයි.  එසේනම් මේවගේ මාතෘකාවක් දැම්මේ ඇයි? ඔබේ අවබෝධ ශක්තිය හොඳ නම් ලිපිය අවසානයේ එයට උත්තරයක් ලැබේවි.
ඔබ ජීවිතයේ ඕනෑතරම් දේ පරිත්‍යාග කරල ඇති. ඒ පිනෙන් ඔබ නොයෙක් ලෞකික සැප බලාපොරොත්තු වෙන්න ඇති. එසේ නම් ඔබ කර ඇත්තේ සැබෑ පරිත්‍යාගයක් නොවේ.
පරිත්‍යාගය නොඑසේනම්, දානය යනු අත්හැරීමයි. සැබෑ දානයක් අර්ථගැන්වෙන්නේ ධාර්මිකව උපයාගත් දෙයක්, අත්හැරීමේ චේතනාවෙන් හා කිසිඳු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී පරිත්‍යාග කිරීමෙනි. ඔබ දානයක් තුලින් බලාපොරොත්තු විය යුත්තේ දානය ලබන්නාගේ සතුට මිස අන් කිසිවක් නොවේ. ඔබ දුන්නේ ආහාරයක් නම් ඔබේ ආහාරය නිසා එය ලැබූ අයගේ කුසගින්න නිවෙන අයුරු මෙනෙහිකර සතු‍ටුවන්න. ඔබ යමෙකුට යහපත පහදා දී වරදින් මුදවා ගත්තේ නම්, ඒ තැනැත්තා යහමඟ යන අයුරු බලා සතු‍ටුවන්න. ඔබ යම් ප්‍රාණියෙකු අනතුරකින් හෝ මරණයෙන් මුදවා ගත්තේ නම්, ඒ ප්‍රාණියා තවමත් ජීවත්වන අයුරු මෙනෙහිකර සතු‍ටු වන්න.

දානය පිලිබඳව බුද්ධ දර්ශණයේ කුමක් කියැවේදැයි විමසාබලමු.

දානය පිලිබඳ බුද්ධ සංකල්පය
දිනක්‌ මහා ප්‍රජාපති ගෝතමිය ඇය විසින්ම බුදුරජාණන් වහන්සේ උදෙසාම පිලියෙල කල ඉතා වටිනා සිවුරු දෙකක් ‍රැගෙන බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට පැමිණියා. තමාට ඒවන විටත් අවශ්‍ය ප්‍රමාණයට වස්ත්‍ර තිබූනු නිසා එම සිවුරු බාර නොගත් උන්වහන්සේ, ඒවා මහා සංඝරත්නයට පූජා කරන ලෙසත්, එසේ පූජාකිරීම තමාට පූජාකිරීම හා සමවන බවත් වදාලා සිටියා. එහි අර්ථය නොවැටහුණු මහා ප්‍රජාපති ගෝතමිය, ඉතා කණගා‍ටුවට පත්වී ආනන්ද තෙරුන් හමුවී මේ බව සැලකර සිටියා.
ආනන්ද තෙරනුවෝ පසුව බුදුරජාණන් වහන්සේ හමුවී එය විමසනවා. මතු දැක්වෙන්නේ එයට බුදුරජාණන් වහන්සේ ලබාදුන් දීර්ඝ පිලිතුරේ සාරාංශයකි.

දානය වර්ග දෙකකට වෙන්කල හැක.
1) පුද්ගලික දානය
එක්තරා ‍තෝරාගත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් වෙනුවෙන් දෙන දානය පුද්ගලික දානයකි. පුද්ගලික දාන වර්ග 14ක් පවතී.
  1. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට දන්දීම.
  2. පසේ බුදුරජාණන් වහන්සේට දන්දීම.
  3. රහතන් වහන්සේට දන්දීම.
  4. රහත් ඵලය අවබෝධ කරගැනීමේ මාර්ගයට පිවිසුනු උතුමන්ට දන්දීම.
  5. අනාගාමී වූ උතුමන්ට දන්දීම.
  6. අනාගාමී ඵලය ලබාගැනීමේ මාර්ගයට පිවිසුනු උතුමන්ට දන්දීම.
  7. සකෘදාගාමී වූ උතුමන්ට දන්දීම.
  8. සකෘදාගාමී ඵලය ලබාගැනීමේ මාර්ගයට පිවිසුනු උතුමන්ටද දන්දීම.
  9. සෝවාන් වූ උතුමන්ට දන්දීම .
  10. සෝවාන් ඵලය ලබාගැනීමේ මාර්ගයට පිවිසුනු උතුමන්ට දන්දීම.
  11. සසුන්ගත නොවූමුත් කාමයන් පහකල තාපසයන් කෙරෙහි දන්දීම. 
  12. පෘථග්ජන සිල්වතුන්ට (භික්‍ෂූන් වහන්සේලා) දන්දීම. 
  13. පෘථග්ජන දුස්‌සීලයාට දන්දීම.
  14. තිරිසන් සතුන්ට දන්දීම.

2) සාංඝික දානය
මහා සංඝරත්නය වෙනුවෙන් ලබාදෙන දානය සාංඝික දානයයි.
  1. බුදුරජාණන් වහන්සේ  ප්‍රධාන භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිස වෙනුවෙන් දෙන දානය.
  2. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිස වෙනුවෙන් දෙන දානය.
  3. භික්‍ෂු සංඝරත්නයට දෙන දානය.
  4. භික්‍ෂුණී සංඝරත්නයට දෙන දානය.
  5. ආරාධනාවක්‌ ඇතිව වඩින‌ භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිස වෙනුවෙන් දෙන දානය.
  6. ආරාධනාවක්‌ ඇතිව වඩින භික්‍ෂු සංඝරත්නයට දෙන දානය.
  7. ආරාධනාවක්‌ ඇතිව වඩින භික්‍ෂුණි සංඝරත්නයට දෙන දානය.
වර්තමානයේ ප්‍රායෝගික භාවිතයේදී ඔබ දෙන්නේ 6 වන වර්ගයට අයත් සාංඝික දානයකි.

තවද බුදුරජාණන්වහන්සේ මෙසේ වදාල සේක.
"ආනන්දය, තිරිසන් සතෙකුටවුවද දෙන දානය සිය ගුණයක ආනිසංස ලැබෙන පුන්‍යක්‍රියාවකි. පෘථග්ජන දුස්‌සීලයාට දෙන දානය දහස් ගුණයක ආනිසංස ලැබෙන පුන්‍යක්‍රියාවකි. පෘථග්ජන සිල්වතාට දෙන දානය ලක්‍ෂයක් අනුහස් ලැබෙන්නකි. සසුන්ගත නොවූමුත් කාමයන් පහකල තාපසයාට දෙන දානයේ අනුහස් කෝටිලක්‍ෂයකි. එසේනම් මාර්ගඵල ලැබූ හෝ එම මාර්ගයට පිවිසුනු උතුමන්ට දෙන දානයේ ආනිසංස ගැන කවර කතාද? පසේ බුදුරජාණන් වහන්සේට දෙන දානයේ ආනිසංස ගැන කවර කතාද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දානයේ ආනිසංස ගැන කවර කතාද?"

"එසේම ආනන්දය, පුද්ගලික දානයට වඩා සාංඝික දානය මහත්ඵල මහානිසංස ලැබෙන්නකි. අනාගතයේදී දුෂ්ශීලී භික්ෂූන්(කාසාවකණ්ඨ) ලොව පහල වන්නේය. ඒ දුෂ්ශීලී භික්ෂූන් වෙනුවෙන් දෙන සාංඝික දානය පවා පුද්ගලික දානය අභිබවා ගිය අප්‍රමාණ අනුහස් ඇත්තේය."

එසේම දාන විශුද්ධි 04 ක් ගැනද බුදුරජාණන්වහන්සේ දේශනාකල සේක.
1. සිල්වතෙක් විසින් දුශ්ශීලයෙකුට දන්දෙයිද, ඒ දානය දායකයා කෙරෙන් පිරිසිදුවේ.
2. දුශ්ශීලයෙක් විසින් සිල්වතෙකුට දන්දෙයිද, ඒ දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදුවේ.
3. දුශ්ශීලයෙක් විසින් දුශ්ශීලයෙකුට දන්දෙයිද,  ඒ දානය දෙපසින්ම පිරිසිදු නොවේ.
4. සිල්වතෙක් විසින් සිල්වතෙකුට දන්දෙයිද, එවන් වූ දානය මහත් ඵල ඇත්තේ වෙයි. ආමිස දාන අතුරින් අග්‍රවෙයි.

අවබෝධයෙන් පරිත්‍යාග කරමු
පරිත්‍යාගයේදී අවබෝධය ඉතා වැදගත්ය. බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත්තේ තිරිසනාට දෙන දානයට වඩා සිල්වතාට දෙන දානයේ ආනිසංස වැඩිබවයි. එය එසේ හෙයින්, වැඩි පිනක් පතමින් කුසගින්නේ සිටින තිරිසනා දෙස නොබලා කුස පිරී ඇති සිල්වතාට දන්දියයුතු බවක් උන්වහන්සේ දේශනා කොට නැත.

දිනක් චඡ්චගොත්ත නම් බමුණෙකුට බුදුරජාණන්වහන්සේ  මෙසේ වදාල සේක.
"වඡ්චය, අසූචි පිරි මඩ වලක හෝ ගම් දොර ගවර වලක හෝ යම් ප්‍රාණියෙක් වෙත්ද, එම සත්වයෝ මෙයින් ජීවත් වෙත්වායි, ප්‍රාර්ථනයෙන්  සැළි හෝ මළ සේදූ වතුරක් හෝ දමත්ද, මම ඒ හේතුකොටගෙනද පින් සිදුවන බව කියමි."

තවද, දැන දැනම අකුසලයකට හෝ අසාධාරන ක්‍රියාවකට දෙන ආධාරය දානයක් නොවේ.
එසේම, තමා කුසගින්නේ සිටිමින් අනිකාගේ කුස පිරවිය යුතු බවක්ද උන්වහන්සේ දේශනා කොට නැත. තමන් පරිත්‍යාග කල යුත්තේ තමන්ට ඇති හැකි අයුරින්ය.

දානය පිලිබඳ බෞද්ධ දර්ශණය පැහැදිලි කලේ බුදුදහමින් එදිනෙදා ජීවිතයට උගතහැකි දේ බොහෝ බැවිනි. එසේ හෙයින් මේ ලිපිය බෞද්ධ ලිපි අතරට වෙන්කරනවාට මගේ කැමැත්තක් නැත. මා එසේ කියන්නේ, යමෙකුට යමක් දීමෙන් ලැබෙන සතුට හා ආනිසංස බෞද්ධයන්ට පමණක් සීමා නොවන බැවිනි. ඔබේ ආගම, ජාතිය, දේශය කුමක් වුවත්, ඔබේ හමේ වර්ණය කුමක් වුවත්, ඔබේ වයස හෝ තරාතිරම කුමක් වුවත්, පරිත්‍යාගයෙන් ලැබෙන නිරාමිස ප්‍රීතියේ වෙනසක් නැත. එය ලෝක ධර්මතාවයකි. ආගමකට සීමා වූවක් නොවේ.
දන්දීමේ චේතනාව වුව ඇතිවන්නේ, තෘෂ්ණාව අඩුකරගත් විටය. ඔබ දසණ්‌ණක ජාතකය ගැන අසා තිබේද? එය ලියා දැක්වීමෙන් ලිපිය දික්කරගැනීමට නොකැමති නිසා, ඉන් කියැවෙන අදහස පමණක් ලියා දක්වමි. ඉන් කියැවෙන්නේ, තමා සතුදෙයක් අනුන්ට දෙමියි කියා යමෙක් කියයිද, එය ඉතා අපහසු කටයුත්තක් බවයි. තෘෂ්ණාව හැරපියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර ක්‍රියාවක් බවය. දුන් දේ ගැන පසුව නොතැවේ නම් එය පෙර කී කරුණු දෙකටත් වඩා දුෂ්කර බවය.
ඔබ බෞද්ධයෙක් නම් මේ ටිකත් සිතන්න.
මේ සක්වලෙහි සත්වයන් සෑමවිටම මැරෙමින් ඉපිදෙමින් අනන්ත කාලයක සිට පැවත එනබව බුදුරජාණන්වහන්සේ වදාල සේක. මේ ආරම්භයක් නොමැති සසරේ සෑම සත්වයෙක්ම සෑම වර්ගයකම සත්වයන් හැටියටම ඉපදී ඇත්තේය. එසේම, එක සත්වයෙකුගේ මව, පියා, සහෝදරයා, සහෝදරිය, පුතෙකු, දියණියක, නොවූ තවත් සත්වයෙකු සොයාගැනීමට අපහසු බව උන්වහන්සේ දේශනා කර ඇත. තවද, මේ අනන්ත සංසාරයේදී එක සත්වයෙකු විසින් බොනලද මවුකිරි ප්‍රමාණය හෝ අඩනාවිට සැලූ කඳුලු ප්‍රමාණය මහ මුහුදේ වතුර ප්‍රමාණයට වඩා වැඩි බවද දේශනා කර ඇත. එවන් වූ අනන්ත සසරක කෙටිකාලීන නවාතැන්පොලක නතරව සිටින අපි, තෘෂ්ණාවෙන් වස්තුව  ‍රැස්කරගන්නේ කුමටද? පරිත්‍යාගශීලියෙකුවීමට ඔබ තවත් කල්මැරිය යුතුද? පෙන්වන්න... ඔබේ මනුස්සකම!
read more "මනුස්සකම"

Monday, November 14, 2011

සැබෑ වූ සිහින

අද පලකරන්නේ මට ලැබුනු ඊමේල් පණිවිඩයක්. කාලීන වැදගත්කමක් තියෙන නිසා ඒක ඔයගොල්ලොත් එක්ක මේ විදියට බෙදාගන්න හිතුවා. මේක පොතකින් උපුටාගෙන තියෙන්නේ. නමුත් පොතේ කතෘ හෝ චිත්‍ර ශිල්පියා කවුදැයි සොයාගන්න බැරිවුනා.
බුදුන් දවස, කොසොල් රාජ්‍යයේ රජකම් කළ පසේනදි කොසොල් රජතුමා දිනක් මහා බියකරු හීන 16ක් දකිනවා.  පසු දින වහාම සිය උපදේශක බමුණන්  කැඳවන රජතුමා ඒ සිහිනවල පලාඵල විමසනවා. බමුණන්ගේ මතය වන්නේ මෙය කොසොල් රාජ්‍යයට ඉතා අසුභ බවත් ඊට පිලියම් ලෙස බිලි පූජාවක් කර විශාල යාගයක් කලයුතු බවත්ය. මේ අතර රජතුමා බුදුරජාණන්වහන්සේ හමුවටද ගොස් මේබව සැලකර සිටිනවා. 

මෙහි දැක්වෙන්නේ තථාගතයන් වහන්සේ විසින් එම සිහිනවල අර්ථය පහදා දුන් ආකාරයයි.


















බුදුරජාණන්වහන්සේ විසින් එදා කී ඒ අනාගතය අද පැමිණ ඇතැයි සිතෙනවා. ඒ තරමටම මේ සිහින වලින් කියැවෙන දේ අද කාලයට ගැලපෙනවා. සිහියෙන් විමසාබලන්න. සිහින සැබෑ වී ඇතිබව ඔබට වැටහේවි.
read more "සැබෑ වූ සිහින"

Wednesday, November 9, 2011

අයියණ්ඩි, බිය නොවන්න. මැරෙනහැටි මම පෙන්වන්නම්!

1815 මාර්තු 2 වෙනි දින ඇතිකරගත් උඩරට ගිවිසුමෙන් ලංකාව පූර්ණ යටත්විජිතයක් වූ බව අප හොඳින් දන්නා කාරණයක්. මෙසේ ඉංග්‍රීසීන්ට කන්ද උඩරට යටත් කරගැනීම පහසු කරවූ විවිධ කාරණා තිබුනා. උඩරට රදලයන්ගේ සහ සිංහලයන්ගේ සහයෝගය ලැබීම එහිදී ඉංග්‍රීසීන්ට මහත් වාසියක් වුනා. එය එසේ වූයේ ඇයි? ඊට බලපෑ බහුවිධ කාරණා අතුරින් එකක් වන්නේ ඇහැලේපොල කුමාරිහාමි සහ දරුවන්ට ලබාදුන් කෲර දඬුවමයි. එය රජු කෙරෙහි ජනතාවගේ කලකිරීම ත්‍රීව්‍ර කිරීමට හේතු වුනා. අද ලිපියෙන් සිහිපත් කරන්නේ ලංකා ඉතිහාසය වෙනස් කිරීමට තරම් බලපෑ ඒ සිදුවීමයි.

පෙරවදන
ඒ 1798 වසරයි. රාජාධිරාජසිංහ රජු අභිරහස් ලෙස ඝාතනය වන්නේ මේ වකවානුවේය. ඒ මරණයත් සමග රජකමට නීත්‍යානුකූල උරුමකරුවා වූයේ මුත්තුසාමි නම් කුමාරයාය. නමුත් පිළිමතලව්වේ අධිකාරම විසින් තම අනියම් බිරිඳ වූ සිරියම්මාගේ පුතු 18 වියැති කන්නසාමි කුමරුට "ශ්‍රී වික්‍රම රාජසිංහ" නමින් රජකම ලබාදුන්නේය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට මුල් කාලයේදී ජනතා සහය හොඳින් ලැබුනි. එසේ නොවන්නට 1803 ජනවාරි 31 දා එල්ලවූ ඉංග්‍රීසි ආක්‍රමණයට සාර්ථකව මුහුනදිය නොහැකිවන්නට තිබුනි. නමුත් පසුකාලීනව ජනතාව සහ උඩරට රදලයන් රජු කෙරෙහි කලකිරුනු බව සඳහන්ය. 
1812 දී දළදා මැදුර හා මල්වතු විහාරය අතර පිහිටි හෙක්ටයාර් 18ක් පමණ විශාල කුඹුරු යායක් බලෙන් පවරාගත් රජු දහස් ගණනින් මිනිසුන් බලෙන් සේවයේ යොදවා නුවර වැව තනවන ලදී. ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් කිසිදු ගෙවීමක් හෝ ආහාර සැපයීමක් නොකෙරුණි. මේ අතර නිලමේවරුන් හා රජු අතර නිතර ගැ‍ටුම් ඇතිවිය. එම ගැ‍ටුම්වල ප්‍රතිඵලයක් ලෙස 1811 අගෝස්තු 26 දින, පිළිමතලව්වේ මරණ දඬුවම ලැබීය. හිස් වූ මහ අදිකාරම් තනතුර හිමිවූයේ ඇහැලේපොලටයි. ඇහැලේපොල මහ අදිකාරමුත් වැඩි දිනක් නොගොස් රජු සමඟ ගැ‍ටුම් ඇතිකර ගත්තේය. (රජු රූමත් කුල කතක වූ ඇහැලේපොල කුමාරිහාමි පිලිබඳව ආශාවෙන් සිටි බවද කියැවේ.) මෙහි ප්‍රතිඵලයක් ලෙස, රජු විසින් ඇහැලේපොල මහ අදිකාරම බදු එකතුකිරීමේ රාජකාරි සඳහා සබරගමුවට යවන ලදී. මේ අතර බලකාමයෙන් මත්ව සිටි මොල්ලිගොඩ හා කඳපොල වැනි නිලමේවරුන් සිදු කරේ, ඇහැලේපොලට විරුද්ධව රජුට ගතු කීමයි. මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය වූයේ, රජු තව තවත් ඇහැලේපොල මහාධිකාරම කෙරෙහි උදහස්වීමත්, මහාධිකාරම තව තවත් ඉංග්‍රීසීන්ට ලංවීමත්ය. රාජවිරෝධී චෝදනා යටතේ, ඇහැලේපොල කුමාරිහාමි, දරුවන් ඇතුලු නෑසිය පරපුර ඝාතනය වන්නේ මේ හේතුව නිසාය.

මහා ඛේදවාචකය
එදා 1814 මැයි 17 වැනිදාය. හාත්පස මහා මූසල බවක් දිස්විය. සිරභාරයේ සිටි ඇහැලේපොල පවුල, දළදා මැඳුර අබියස නාථ හා විෂ්ණු දේවාල අතර පිහිටි දේව සංහිද නමින් හැඳින්වුණ භූමියට ‍රැගෙන එන ලදී. තමාට අත්වීමට යන ඉරණම තේරුම්ගත් කුමාරිහාමි, දරුවන් අස්වසාලන්නට විය. ඇය මේ ලේ පිපාසිත කෲර රජුට සාපකරන්නට විය. තම ස්වාමියාගේ ගුණ සිහිකරන්නට විය. මේ සියල්ල දෙස රජු රජ වාසලේ සිට බලා සිටියේය. 
දඬුවම් පැමිණවීමේ වාරය උදාවිය. රාජනීතියට අනුව ස්ත්‍රීන් දියේ ගිල්වා මැරීමටත්, පිරිමි දරුවන්ගේ හිස් ගසාදැමීමටත් නියෝග කෙරුණි. ඇතැම් ඉතිහාසඥයින්ගේ මතය වන්නේ මේ අණ ලබාදෙන විට රජු වයින් පානයකර බමන මතින් සිටි බවයි. මුලින්ම මරණයට කැපවූයේ එකොළොස්‌ හැවිරිදි ලොකුබණ්ඩාරය. මරණ බියෙන් තැතිගත් ඔහු, අඬා වැලපෙමින්, මවු තුරුලේ සැඟවෙන්නට විය. එය දු‍ටු නව හැවිරිදි මද්දුම බණ්‌ඩාර, ධෛර්ය්‍යසම්පන්නව ඉදිරියට පැමිණ, "අයියණ්‌ඩි, බිය නොවන්න, මැරෙන හැටි මම පෙන්වන්නම්" යෑයි පවසමින් ගහලයාට ගෙල පෑවේය. ඉන්පසු ලොකු බණ්‌ඩාර ඇතුලු දරුවන් ඝාතනය කරන ලදී. කෝපයෙන් ගිනියම්ව සිටි රජු මීලගට නියෝග කර සිටින්නේ කුඩා දරුවාගේ(ඩිංගිරිමැණිකා) හිස වංගෙඩියට දමා කෙටීමටයි. කුමාරිහාමි එය ඉ‍ටු නොකොට ශෝකයෙන් බලාසිටින්නට විය. නියෝගය ඉටු නොකළොත් මුළු පරපුරම රොඩී රැහැට යවන බවට කෲර රජු නැවතත් තර්ජනය කලේය. එහි දී මොල්ලිගොඩ අදිකාරම් ඇයට මෙසේ කීවේය. "සහෝදරිය, තමුන්ගෙ වංශෙට නින්දා කරන්න එපා. එය පිලිපදින්න."
ගෙලෙන් ලේ සහ මුවින් කිරි වැගිරෙන බිලිඳු හිස මත, කුමාරිහාමි එක වරක් මෝල්ගහ පතිතකල බවත්, ඉන් අනතුරුව කලාන්ත වී ඇදවැ‍ටුනු බවත් සඳහන් වේ.
නියෝගය ක්‍රියාත්මක කළ පලිපාලන කෝරාළ ද සිහිසුන්ව වැටුණි. මෙවැන්නකට මුහුනදීමට ශක්තියක් නැති නිලධාරියෙක් සිටීම මට අවනම්බුවකැයි පැවසූ රජු, එවෙලේම ඔහුව බලයෙන් පහ කරන ලදී. අනතුරුව ඇහැලේපොල කුමාරිහාමිත්, ඇයගේ නෑනණ්‌ඩිය වන පුස්‌සැල්ලේ කුමාරිහාමි හා සෙසු කාන්තාවනුත් බෝගම්බර වැවේ ගිල්වා මරාදමන ලදී. 
ඔබ මේ සිදුවීම ගැන චිත්තරූප මවාගැනීමට වෙහෙස විය යුතු නැත. මද්දුමබණ්ඩාර චිත්‍රපටයෙන් උපටාගත් පහත දර්ශණපෙල ඊට උපකාරී කරගත හැක. සැබෑ සිදුවීමට 100%ක් සමාන නොවුනත්, සිදුවීම පිලිබඳ දල අදහසක් ලබාගැනීමට මෙය උපකාරී වේ.


video
[දර්ශන අනුග්‍රහය - www.col3negoriginal.com අයිතිය - Dinith Entertainment]

මේ සිද්ධියෙන් කෝපයට හා ශෝකයට පත් රටවැසියන් දින දෙකක් පමණ යනතුරු ගිනි පත්තු කිරීම් නොකොට නිරාහාරව සිටි බව සඳහන් වේ. ඇහැලේපොල දරු පවුල මුහුණ දුන් ඛේදවාචකය 1815 උඩරට ගිවිසුමට කුරිරු දඬුවම් නැවැත්වීම පිළිබඳ වගන්තියක්‌ ඇතුලත් කිරීමටද හේතුවක්‌ විය. ඒ සිදුවීමෙන් පසු මද්දුමබණ්ඩාර කුමරු ලමා වීරයෙක් ලෙස සැලකූ අතර, දළදාමැඳුර දෙසට මුහුණලා සිටින මද්දුමබණ්ඩාර පිලිරුව අදටත් මහනුවර දළදාමාලිග පරිශ්‍රයේ දක්නට ලැබේ.

පසුවිපරම
උඩබලාගෙන කෙල ගැසීමක් බඳු මේ සිදුවීමෙන් වැඩි වාසි අත්වූයේ ඉංග්‍රීසින්ටයි. අවසානයේ රජුට සිදු වූයේ ඉංග්‍රීසීන්ගෙන් බේරීමට සැඟවී සිටීමටයි. 
ඒ 1815 පෙබරවාරි 18 වන දිනයි. මේ වන විට රජු තම බිසවුන් දෙදෙනෙකු සමඟ මහනුවර බෝමුරේ පිහිටි උඩුපිටියේ ගෙදර ආරච්චිලාගේ නිවසේ සැඟවී සිටියේය. එක්‌නැලිගොඩ ප්‍රමුඛ පිරිස රජු අත් අඩංගුවට ගැනීමට පැමිනෙන්නේ මේ අතරය. රජු එකවරම යටත් වූයේ නැත. මහත් කලහයකට පසු, රජු ඇතුලු පිරිස අත් අඩංගුවට ගන්නා පිරිස, ඔවුනට හිරිහැර කරමින් කොළඹට ‍රැගෙන එන ලදී. මේජර් හුක් ප්‍රමුඛ පිරිස ඔවුන්ව හිංසනයෙන් මුදවාගත් බව සඳහන් වේ. 
පසුකාලීනව මුරුසියට පි‍ටුවහල් වූ ඇහැලේපොල නිළමේ වසර 56ක් ආයු වළදා 1829 දීත්, වෙල්ලෝරයට පි‍ටුවහල් කරන රජු වසර 52ක් ආයු වලඳා 1832 ජනවාරි 30 වෙනිදාත් මියගියබව ඉතිහාසයේ සඳහන්වේ.
read more "අයියණ්ඩි, බිය නොවන්න. මැරෙනහැටි මම පෙන්වන්නම්!"

Tuesday, November 1, 2011

මම කැමතිම ගී 20

එක්තරා ගුවන් විදුලි නාලිකාවක මීට කලකට පෙර මම ආසාවෙන් අහපු වැඩසටහනක් තිබුනා.
"මම කැමතිම ගී 10".  රටේ ප්‍රසිද්ධ චරිත තමන් අහන්න කැමතිම ගීත 10ක් රුචිකත්වයේ ආරෝහණ පිලිවෙලට විකාශනය කරනවා. තාමත් ඒ වැඩසටහන විකාශනය වුනත්, කාර්ය්‍යබහුලත්වය නිසා ලඟදිනම් ඇහුවේ නෑ.
අද ලිපියෙ තියෙන්නෙ මම අහන්න කැමතිම ගීත. ගීත 10ක් වෙනුවට මම 20ක්ම ‍තෝරනවා. කියවා බලන්න. මගේ රුචිකත්වය ඔබේ රුචිකත්වයෙන් අපගමණය වන්නේ කවර කෝණයකින්ද කියා. එසේත් නැත්නම් අප දෙදෙනාගේම රුචිකත්වයන් සමපාත වෙනවාද කියා බලන්න.
20. ක‍ටු අකුලේ
එඩ්වඩ් ජයකොඩිගේ විශිෂ්ට ලමා ගීතයක්. අඹයාලුවෝ ටෙලිනාට්‍යයේ තේමා ගීතය. අඹයාලුවෝ ටෙලිනාට්‍යයේ ගීත සියල්ල ඉතාමත් ලස්සනයි. මම 20 වැනි ස්ථානයට ‍තෝරන මේ ගීතයේ සිත ප්‍රමෝදයට පත් කරවන ස්වභාවයක් තියෙනවා. පරිසර වර්ණනාවක අපූරුව අසන්න. 


19. කවුරුවත් නැහැ
අමරසිරි පීරිස් විසින් ගායනා කරන මේ ගීතයේ මුල් කොටස පුරාවටම ඇත්තේ උපේක්ෂා සහගතබවයි.
"ලන්තෑරුම කෝ... ඔහෙ තිබුනාවේ..."
"කවුරුවත් නැහැ.. කවුරුවත් නැහැ.. "
පාරුකරුවා කියන්නේ කුමක්දැයි නිවැරදිව වැටහෙන්නේ ගීතයේ දෙවන හා තෙවැනි කොටස් වලිනි. ගඟ හරහා ඉදිවන පාලම් නිසා පරිසරයට හා තමන්ගේ බඩ රස්සාවට සිදුවන හානිය ගැන ඔහු මෙසේ අදෝනා දෙයි.


18. පිපුනු මලක හැඩ
ශාලිත අබේවික්‍රමයන්ගේ අපූරු ගීතයක්. ඉතා සුන්දර වචන පෙලක්. රිද්මයකට අනුව ගැයෙන ලස්සන ප්‍රේම ගීයක අපූර්වත්වය විඳින්න.


17. පාවේ වළා
බොහෝ සංයමයකින් ගායනා කෙරෙන ආදර ගීතයක්. මීගොඩ විල්සන් ශූරීන් අතින් ලියැවුනු මේ ගීතය මර්වින් පෙරේරාගේ සංගීතයෙන් ඔපවී වික්ටර් රත්නායකයන්ගේ මධුර හඬින් ගැයෙන අපූරුව අසන්න.


16. දෙනුවර මින්පසු
සෝමතිලක ජයමහ ශූරීන්ගේ තවත් එක් විශිෂ්ට නිර්මාණයක්.  ඉතාමත් ප්‍රීතිමත් ස්වරයකින් ගැයෙන අපූර්ව යුග ගීතයක්.


15. මේ නගරය මා ඔබ
මර්වින් පෙරේරා ගායනා කරන තවත් හැඟීම්බර ගීතයක්. බිඳීගිය සරසවි ප්‍රේමයක් ගැන මෙයින් කියවෙනවා. ඔහු අද විවාහකයෙක්. බිරිඳත්, කුඩා පුතුත් සමඟ ඔහු වීදියක ගමන් කරනවා. එසේ යන අතර තුර එදා තම සරසවි පෙම්වතිය සමඟ ඒ වීදියේම ගිය අයුරු ඔහුට සිහි වෙනවා. ඔහුගේ සිතුවිලි මේ ආකාරයැයි තේරුම් ගැනීමේ හැකියාවක් ඔබටත් ඇත්දැයි දැනගැනීමට මේ ගීතය අසා බලන්න. මිහිරි සංගීතයෙන් ඔපවත්ව සිලි සිලි තාලෙන් ගැයෙන අපූරුව අත්විදින්න.


14. අඳුරු කුටිය තුල
අ‍ටුවා ටීකා අවශ්‍ය නැත. T. M. ජයරත්න ශූරීන් මේ ගීතයෙන් දෙන පණිවිඩයේ ප්‍රභලත්වය වටහා ගන්න.


13. සදාකාලික නොවූ ලෝකේ
පරාජිත ප්‍රේමවන්තයින් සුනිල් එදිරිසිංහගෙන් ලද ත්‍යාගයක් බඳු මෙම ගීතය රචනා කොට ඇත්තේ ආනන්ද අමරසිරි විසිනි. ඔහු විරහව දෙස ආධ්‍යාත්මික දෘෂ්ටි කෝණයකින් බලා ඇත. වෙනස්වන සුලුබව හා නැසෙන සුලුබව ලොව අන් සියලු දේට මෙන්ම ප්‍රේමයටද පොදුබව මේ ගීතයෙන් කියා ඇත. මෙහි සංගීතය රෝහන වීරසිංහයන්ගෙනි.


12. සුළං කුරුල්ලෝ
හරූන් ලන්ත්‍රා සමඟ ඇන්ජලීන් ගුණතිලක ගායනා කරන මෙය සිංහල ගීත සාහිත්‍යයේ ලස්සනම ආරම්භයක් සහිත යුගගීතයක් කියලයි මට හිතෙන්නේ. ප්‍රේමසිරි කේමදාස විසින් රචිත මෙය ආදර ගීයක්. නමුත්, පෙම්වතා පෙම්වතියටවත්, පෙම්වතිය පෙම්වතාටවත් කියන ගීතයක් නෙවෙයි. ඔවුන් දෙදෙනාගේම චිත්ත සන්තානය තුල ආදරය නැමැති මානව හැඟීම උද්දීපනය වන අපූර්වත්වය මෙහිදී විග්‍රහ කෙරෙනවා. විඳින්න.
"සුළං කුරුල්ලෝ... හිමින් ඉගිල්ලී...
මල් සුවඳකි අර.. ගෙන එන්නේ.....
ආදර උයනේ... දොර‍ටුව හැරගෙන...
ඔච්චම් කරමින්.. පියඹන්නේ..."


11. හිතින් මා නොසැලී ඉඳිද්දී
T. M. ජයරත්න ශූරීන් ගායනා කරන ලස්සන ගීතයක්. නැවත නැවතත් ඇසීමට ආස හිතෙන ගීතයක්. සිත තැන්පත් කරවන සුලු මහා ශාන්ත බවක් මේ ගීතය පුරා ඇතැයි මට සිතෙනවා. ඔබටත් එසේ සිතේදැයි බලන්න.


10. හන්තානෙට පායන හඳ
ධම්මික බණ්ඩාර විසින් රචනා කරන ලදුව අමරසිරි පීරිස් විසින් ගායනා කරන මෙය ඉතා අපූරු ගීතයක්. සත්‍ය කතා පුවතක් මීට පාදකවී තිබෙනවා.
පෙම් යුවලකින් පෙම්වතිය පමණක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරෙනවා. පෙම්වතා කුමක් කරනු ඇත්ද? ඔහු ඇයට ඊර්ෂ්‍යා කරන්නේ නෑ. තහංචි, සම්භාධක පනවන්නේත් නෑ.  විශ්වවිද්‍යාල ජීවිතයේ සුන්දරත්වය ඔහු දන්නවා. පෙම්වතුන් එක කුඩය යටින් දෙ අත් පටලවාගෙන යන අපූරුව ඔහුට දැනෙනවා. ඔහුට ඇය ගැන ඊර්ෂ්‍යාවක් වෙනුවට අනුකම්පාවක් ඇතිවෙනවා. මා අමතක කර දමා ඒ සුන්දරත්වය විඳගන්නා ලෙස ඔහු ඇයට යෝජනා කර සිටිනවා.
"ලතා මඩුලු අතවනාවි.. එපා අහක බලන්න....
මා ගැන මතකය ගුලිකර.. මහවැලියට දමන්න..."


9. දුවේ නුඹ මගෙ ප්‍රාණයයි.
මෙය විවාහ උත්සව වලදී ඇසෙන ගීතයක්. පියෙකු තම දියණිය විවාහවන දිනයේ කියන ගීතයක්. මීට සමාන ගීත කීපයක්ම තියෙනවා. "අද දීගෙක...", "පුංචි දවස්වල..." වගේ ගීත. මේ ගීතවලට පොදු ලක්ෂණයක් වන්නේ,  යුවලක් පිටත්වන මොහොතේ මේ ගීත ඇසෙනවිට ඉතාමත් හැඟීම්බර සහ ඇඟ කිරිපොලායන ස්වභාවයක් ඇතිවීමයි. මේ ආරට ගැයෙන සියලු ගීත අතරින්, සුනිල් එදිරිසිංහගේ "දුවේ නුඹ මගෙ ප්‍රාණයයි" ගීතයේ සුවිශේෂබවක් මා දකිනවා.
ඒ එහි පදමාලාවෙන් දෙන "පොදු" පණිවිඩයේ ප්‍රභලත්වයයි. මෙය බණ්ඩාර ඇහැලියගොඩගේ විශිෂ්ටත්වය කියාපාන තවත් එක් සාක්ෂියක්.
"දුක දිනා හිනහෙන හැටි දුවේ...
නුඹ දැන උගත් පාඩම තමයි..
මිල මුදල නිල බල යා නොදෙයි...//
කල හොඳම පමණක් ඉතිරි වෙයි...//"
පියෙකු විසින් දරුවෙකුට දියයුතු මීට වඩා වටිනා පනිවිඩයක් තිබේද?


8. පාලොස්වක සඳ පායනු වැන්නේ
පණ්ඩිත් අමරදේවයන් හා නීලා වික්‍රමසිංහයන් විසින් ගායනා කරන මනරම් යුගගීතයක්. සිංහල ගීත සාහිත්‍යයේ උච්චතම අවස්ථාව සොයායන ගමනේ අට වැනි ස්ථානයේ මා නතර වන්නේ මේ ගීතයත් සමඟයි.


7. අම්මා සඳකි.
මාලනී ජයරත්න විසින් රචනා කරන ලදුව, රෝහණ වීරසිංහයන්ගේ සංගීතයෙන් හැඩවී T. M. ජයරත්න විසින් ගයන මේ හැඟීම්බර ගීතය, ලොව සියලුම ආදරණීය පියවරුන්ට උපහාරයක් පිණිසම වේවා.
"සිරුරේ දුවන්නේ මගෙ ලේ නොවැ පුතුනේ..
කුසයේ නොදැරුවත් දිවිබර මට දැනුනේ..
මහමෙරකට උසයි දරුපෙම හද පතුලේ..
පුදුමයි පුතුනි කිම මගෙ ලේ කිරි නොවුනේ.."


6. පියමං කෙරුවෙමු
සෝමතිලක ජයමහ ශූරීන්ගේ ඉතාමත් හැඟීම්බර ගීතයක්. මේ ගීතය අසන වාරයක් පාසා මට මාගේ පාසැල් කාලය සහ විශ්වවිද්‍යාල අවදිය යන දෙකම මතක් වෙනවා.
"නෙත කඳුළින් හසකැනින් මුවා කල..
සොඳුරු පැතුම් පුරවා මන මත්කල ..
මගෙ කෙළිලොල් විය ගෙවුනු වගයි..."
ඕනෑම කෙනෙකුට ශිෂ්‍ය අවදිය කියන්නේ ජීවිතයේ සුන්දරම කාලයක්. වගකීම් අඩුයි. නිදහස වැඩියි. සමවයසෙ යාලුවො ගොඩයි. මොහොතක් ආපසු හැරීබලන්න. සිහිකරන්න ඔබේ ශිෂ්‍ය අවදිය.
"දෙපා වාරු නැත ඔබ හැර යන්නට...."


5. ආදරයේ උල්පත වූ අම්මා
නන්දා මාලනියගේ "අම්මාවරුනේ" ගීතයට වඩා මෙහි ප්‍රකාශනය පුලුල් කියා මට සිතෙනවා. "බුද්ධෝ විය මාතා, මාතා විය බුද්ධෝ" (අම්මා බුදුන්වහන්සේ බඳුය,  බුදුන්වහන්සේ අම්මා බඳුය.) යන බුද්ධ වචනයෙන් බුදුදහමේ  කෙතරම් ඉහල ස්ථානයක් අම්මාට ලබාදී තිබේද යන්න පැහැදිලියි. ඒ සියලු ආදරණීය අම්මාවරුන්ට වික්ටර් රත්නායකයන්ගේ මේ ගීතය උපහාරයක් වේවා.


4. ලඳුනේ
රංබණ්ඩා සෙනෙවිරත්න විසින් ලියන ලද ලඳුනේ ගීතයට පාදක වන්නේ  නගරශෝබනියකි. ඔහු කෙතරම් සංයමයකින් මේ ගීතයේ පද හසුරුවා ඇත්ද බලන්න. රසයක්, අර්ථයක් නැති වචනයක් මේ ගීතයේ සොයාගැනීම අපහසුය.
"අඳුරේ පව් කරන දනා... එලියෙ රවන ලඳුනේ.."
ඔහු නගරශෝබනිය දෙස සාම්ප්‍රධායික ඇසකින් නොබලයි.  ඇය ගැන බහුතරයකට නොපෙනෙන පැත්තක් ඔහු මේ ගීතය හරහා පෙන්වා දෙයි.
"ලැම පමණක්... ලොවට පෙනෙන.. ළය නොපෙනෙන ලඳුනේ.."
ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීතයෙන් හැඩවී, අමරසිරි පීරිස්ගේ ශක්තිමත් හඬින් එය ගැයෙන අපූරුව බලන්න.


3. සන්නාලියනේ
මහගමසේකර, අමරදේව  සුසංයෝගයෙන් නිර්මිත මේ ගීතය සන්නාලියක් ගැන නොවේ. ජීවිතය ගැනයි. උපත, විවාහය, මරණය... අප සැමට පොදු ලෝක ධර්මතාවයක්. මිනිස් ජීවිතයක අනිත්‍යබව, දිරාපත්වන ශරීරය ගැන ඉතා  සෞම්‍ය හඬකින් ගැයෙන මෙය පුලුල් අර්ථ රසයක් ඇති මිහිරි ගීතයක්.
ගීතයේ මුල් කොටස මධ්‍යස්ථ හඬකින්, මැද කොටස ප්‍රීතිමත් තියුණු හඬකින් හා අග කොටස දුක්බර ස්වරයකින් ගායනා කෙරෙන අපූරුව විඳින්න.


2.  සැඳෑ අඳුර ලොව
සෝමතිලක ජයමහ ශූරීන්ගේ ඉතා සංවේදී ගීතයක්. රසික හදවත් අමන්දානන්දයට පත් කරවන සුලු හඬ පෞරුෂයක් ඔහුට හිමියි. ඔහුගේ "සැඳෑ අඳුර" ගීතය, ඕනෑ තරම් වාර ගනනක් අසාසිටිය හැකි සර්වකාලීන ගීතයක්. සිංහල ගීත සාහිත්‍යයේ බිහිවූ අග්‍රගන්‍ය නිර්මාණයක් ලෙස මම මෙය දකිමි.


1. මහ වැස්සක
මහලු බව! සැමටම පොදු ලෝකධර්මතාවයක්. මහලු වයසේ තනිවුනු අයෙකුගේ හැඟීම් ප්‍රකාශිත ගීතයක්. ඔහු උපේක්ෂා සහගත ලෙස අතීතය මෙනෙහි කරන අතරේ අමරදේව ශූරීන් සංවේදී ලෙස එය වචනවලට පෙරලනවා..
"සිරිපොද වැස්සේ එකම කුඩය යට
තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොද හැටි මතකයි"
තමාගේ සුන්දර තරුණ කාලය ඔහු එසේ ආවර්ජණය කරනවා. නමුත් එය අතීතයට එක්වී අවසානයි. ඔහු දැන් මහලුයි.
මෙය කියවන ඔබත්, ලියන මාත්, කවදා හෝ වයසට යනවා. ජීවත් වූ කාලයට වඩා ජීවත් වීමට ඇති කාලය බොහෝ කෙටි වූ දාට, ඔබටත් මහලුබවේ තනිකම දැනේවි. එදාට ඔබටත් ඔහුට සිතුනු දේම සිතේවිද?


සැ. යු. - ඡායාරූපය wikimedia.org වෙතින් උපුටාගන්නා ලදී.
read more "මම කැමතිම ගී 20"