Saturday, September 3, 2016

උඩවලවේ සවාරියක්

කෙටි නිවාඩුවකදී සංචාරය කරන්න තැනක් සොයන හිතවතුන්ට අපූරු අදහසක් අරගෙනයි මම අද ආවෙ. මෙවර මම ඔබව ‍රැගෙන යන්නේ උඩවලව ප්‍රදේශයට. උඩවලව කිව්වම හැමෝටම මතක් වෙන්නෙ සෆාරි. ඒ හැරෙන්නට උඩවලව හා ඒ අවට නැරඹිය හැකි ස්ථාන තැන් මොනවාද? විමසා බලන්නට යමු මාත් එක්ක.



රත්නපුර සිට කි.මී. 23ක් පමණ A4 මාර්ගයේ ගමන් ගන්නා ඔබට පැල්මඩුල්ල නගරය හමුවෙනවා. එතැනින් A18 මාර්ගයට පිවිසෙන ඔබ තවත් කි.මී 13ක් ඇවෑමෙන් මාදම්පේ නගරයට පිවිසෙනවා.
එතැන් සිට ඔබේ ගමන් මඟත් උඩවලව ආසන්නයේ නැරඹිය හැකි ස්ථානත් මේ සිතියමේ දක්වා තියෙනවා.




අපේ පලවෙනි ඉලක්කය උනේ සංඛපාල විහාරය වැඳපුදා ගැනීම. මාදම්පේ සිට සංඛපාල විහාරයට ඇත්තේ කි. මී 25ක පමණ දුරක්. විහාරයට කි. මී. 2කට පමණ පෙරාතුව මෙන්න මේ පුස්සදේව සොහොන දක්නට ලැබුනා.

කවුද මේ පුස්සදේව?

දු‍ටුගැමුණු රජුගේ දසමහා යෝදයන් ගැන ඔබ අසා ඇති. ඔවුන් අතුරින් දුනු ශිල්පයේ සහ හක් පිඹීමේ කෙලපැමිණි යෝදයෙක් හිටියා. ඔහු තමයි පුස්සදේව. එළාර රජු සමඟ පැවති යුධ ජයෙන් උද්දාමයට පත්ව සිටි දු‍ටුගැමුණු රජතුමා දසමහා යෝදයන්ට වරදාන පිරිනමනවා. ඒ අනුව පුස්සදේවට පල්ලෙබැද්ද ගම්වරය හිමිවුනා. ඔහු විසින් එහි සංඛපාල විහාරය කරවල තියෙනවා. සංඛපාල විහාරයේදී මගේ කැමරාව ක්‍රියාත්මක උනේ මෙහෙමයි.




තට්‍ටු ආකාරයෙන් කඳු ගැටයක ඉදිකර තියෙන මනරම් විහාරයක්! මෙහි ගිය මට සිහි වුනේ මාලිගාතැන්න සහ ඇඹුල්ගම රජමහා විහාර. එළාර-දු‍ටුගැමුණු යුධ ජය සැමරීමට පුස්සදේව යෝදයා විසින් දක්ශිණාවෘත හක්ගෙඩියක් (සංඛයක්) පිඹ තියෙනවා. මේ චෛත්‍යයේ එය නිදන් කර ඇතැයි ඉතිහාසඥයන් පවසනවා.
පසුකාලීනව බුද්ධ පුත්‍රයෙක් බවට පත්වුනු පුස්සදේව යෝදයා, රහත් භාවයට පැමිණි බව සඳහන් වෙනවා. මහාපරාක්‍රමබාහු, නිශ්ශංකමල්ල යන රජවරුන් යටතේ ප්‍රතිසංස්කරණය වුනු සංඛපාල විහාරය 1786 දී රාජාධිරාජසිංහ රජු විසින් කරතොට කීර්ති ශ්‍රී ධර්මාරාම හිමිට පූජා කර ඇති බවත් දැනගැනීමට ලැබුනා.
සංඛපාල විහාරය වැඳපුදා ගත් අපි ඊලඟට ගියේ උඩවලව අපේ නවාතැන්පලට. නවාතැන්පලවල් සහ සෆාරි ජීප් නම් උඩවලව ප්‍රදේශයේ අඩුවක් නැතුව තියෙනවා.

රු 3000/-ක් රු 5000/-ක් වැනි මුදලකට සෆාරි ජීප් රථයක් කුලියට ගන්න පුලුවන්. මේ එක ජීප් රථයක 8 දෙනෙකුට පමණ ගමන් කල හැකියි.
අපේ ඊලඟ ගමනාන්තය උනේ උඩවලව ඇත් අතුරුසෙවන. නිදහසේ සැරිසරන අලි පැටවුන් ‍රැකබලා ගැනීමට 1995 වසරේදී මෙය පිහිටවල තියෙනවා. 2015 දක්වා කාලය තුල අලි පැටවුන් 100ක් පමණ පුනරුත්ථාපනය කර කැළයට මුදා හැර තියෙන බව දැනගැනීමට ලැබුනා. ඒ වගේම දැනට අලි පැටවුන් 45ක් මෙහි ‍රැකවරණය ලබනවා. එක අලි පැටවෙක් රු415/-ක් වටිනා කිරි පැකට් 4ක් දවසට පානය කරනවලු. මෙය නරඹන ඔබට අලි පැටවුන්ගේ කිරි සඳහා දායකත්වය ලබාදෙන්නත් පුලුවන්.


උදේ 9, දවල් 12, හවස 3 වගේම හැන්දෑවේ 6 තමයි අලි පැටවුන්ට කිරිදෙන වේලාවන්.  මේ වේලාවලට තමයි මේකට ඇතුල්වෙන්න පුලුවන්. අලි ගැන වැඩිදුර තොරතුරු හැදෑරීමට අවශ්‍ය කෙනෙකුට තොරතුරු මධ්‍යස්ථානයකුත් මේකෙ පිහිටවල තියෙනවා. උඩ දකුණු කෙලවරේ ඡායාරූපයේ තියෙන්නෙ 'සඳගිරියා' ගේ ඇට සැකිල්ල. සඳගිරියා කියන්නෙ උඩවලව වනෝද්‍යාන මායිමේදී වෙඩිපහරට ලක්ව මියගිය දැවැන්ත හස්තියෙක්.
වවුල්පනේ ගුහා පිහිටල තියෙන්නෙත් උඩවලව ආසන්නයේ. (උඩ සිතියම බලන්න) අපේ නඩයේ කුඩා දරුවන් කීපදෙනෙක් සිටි නිසාත් කාලවේලාව ගැන ගැටලුවක් ඇතිවුන නිසාත් අපි එහි ගියේ නෑ.
අපි ආපසු ඒමට ‍තෝරාගත්තේ, ඇඹිලිපිටිය හරහා සූරියකන්ද -රක්වාන -මාදම්පේ පාර. (සිතියම බලන්න).
ඒ මඩුවන්වෙල වලව්වට ඔබ ගෙන යා යුතු නිසා. මඩුවන්වෙල වලව්ව පිහිටල තියෙන්නෙ කොලොන්න ප්‍රදේශයේ. එය එතරම් ජනාකීර්ණ නොවූ ගමක්. වලව්වේ පැය කීපයක් ගතකල යුතු නිසා දිවා ආහාරය ඇඹිලිපිටිය නගරයෙන් ‍රැගෙන යන ලෙස මම යෝජනා කරනවා. පීත්ත පටියක් සේ විහිදුනු කාපට් පාරක සුව පහසුව පැමිණි අපි කොලොන්න ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට පැමිණියා. එතැන් සිට නම් පාර ඉතා අබලන් වී තිබුනා.

වික්‍රමසිංහ, සේනානායක, බණ්ඩාරනායක.. ආදී මෑතකාලීන ප්‍රභූ පරම්පරාවන් ගැන ඔබ අසා ඇති. වසර 300කට අධික අතීතයක් ඇති මඩුවන්වෙල පරම්පරාව ගැන දැන ගැනීම ඔබේ ඉතිහාස පිපාසාවට දියබිඳක් වනවා නොඅනුමානයි! මඩුවන්වෙල කතාව ඉතිහාසය ගැන දොල දුකක් ඇත්තන්ගේ හිරිගඩු පුප්පවනවා සත්තයි!
කුළු මී හරකුන් බහුලව සිටි වෙල යන අර්ථය ඇති "මඩුවන්වෙල" ප්‍රදේශයත් මඩුවන්වෙල වලව්වත් පිලිබඳ කතාව ක්‍රි.ව. 1700 පමණ ඈතට දිවයන්නක්. ඒ කාලයේ මේ ප්‍රදේශය හඳුන්වල තියෙන්නෙ "බල්ලන් දෑව හේන" නමින්. II වන විමලධර්මසූරිය රජු යටතේ මුලාදෑනිකම් කල මඩුවන්වෙල මුදලිවරයාට මේ ප්‍රදේශයේ අක්කර 1650ක් පමණ වූ ඉඩම් පවරල තියෙනවා. ඔහු තමයි මේ වලව්ව මුලින්ම කරවල තියෙන්නෙ. පසුව ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු යටතේ මඩුවන්වෙල මුදියන්සේත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජු යටතේ මඩුවන්වෙල මොහොට්ටාලත්, රාජාධි රාජසිංහ රජු යටතේ මඩුවන්වෙල විජයසුන්දර මුදලිත්, අනතුරුව මඩුවන්වෙල කොඩිතුවක්කු නිලමේ, මඩුවන්වෙල විජයසුන්දර මුදියන්සේ යන අයත් මේ ප්‍රදේශය පාලනය කරමින් මේ වලව්වේ වැඩ වාසය කරල තියෙනවා. ඊටත් පසුව තමයි මඩුවන්වෙල පරපුරේ අවසන් පුරුක වුනු ශ්‍රීමත් ජේම්ස් විලියම් මඩුවන්වෙල මහ දිසාව මෙහි වාසය කරල තියෙන්නෙ. 1844 සැප්තැම්බර් 11 වනදා උපන් මඩුවන්වෙල මහදිසාව නොහොත් කලු කුමාරයා වසර 94ක් ආයු වළඳා 1938 සැප්තැම්බර් 6 වැනිදා මෙලොවින් සමුගෙන තියෙනවා. කතා කලා ඇති. වලව්වේ ඡායාරූප ටිකක් නරඹල ඉඳිමු.

කොර මැණිකේගේ සුසානය!

එක්නැලිගොඩ කුමාරිහාමි සමඟ විවාහ වුනු මහදිසාවේට දියණියක් සිටියා. "කොර මැණිකේ" නමින් හැඳින්වුනු ඇය ආබාධිත කාන්තාවක්. එක්නැලිගොඩ කුමාරිහාමිගේ හදිසි අභාවයත් සමඟ කලවානේ කුමාරිහාමි සමඟ විවාහ වුනු මහ දිසාවේට ඒ විවාහයෙන් දරුවන් සිටියේ නෑ. ඒත් සමඟ මඩුවන්වෙල පරම්පරාව සදහටම මිහිදන්වෙනවා. ඉහල වම් ඡායාරූපයේ තියෙන්නෙ මහදිසාවේගේත් ඇගේ දියණියගේත් සොහොන් කොත. පවුරු තුනකින් වටවී තිබුනු මඩුවන්වෙල වලව්වට ඇතුලුවන පළමු ගල් දොර (ගල් උලුවස්ස) තමයි ඉහල තනි ඡායාරූපයේ දැක්වෙන්නෙ. ඉහල මැද ඡායාරූපයේ දැක්වෙන්නේ 1877දී ඉදිකෙරුනු දෙවන දොර. ඒ ගැනත් අපූරු කතාවක් තියෙනවා. මේ දොර එතරම් උස නෑ. මිටි සිරුරකට හිමිකම් කී මහදිසාවේ මේ දොරෙන් පහසුවෙන් ඇතුල් වුනත් දිසාවේ හමුවෙන්නට එන සුදු ඒජන්තවරුන්ට නම් අසුපිටින් නොබැස දොරෙන් ඇතුල්විය නොහැකිවුනා. අසුපිටින් බැස එන සුදු ඒජන්තවරුන් දකින මහදිසාවේ එයින් අප්‍රමාණ සතුටක් ලැබූ බව සඳහන්. ඉහල දකුණු ඡායාරූපයේ ආකාරයට වලව්වේ බිම බොහෝ තැන්වල පිඟන් ක‍ටු අල්ලා තිබුනා. ඒ අතර රන් කාසි සහ මැණික්  පවා අල්ලා තිබූ බව කියවෙනවා. තවද මහ ‍රැජිනගේ රුව සහිත පිඟන් කැබලිත් තිබූ බව සඳහන්. මහ ‍රැජිනගේ රුව පෑගීමෙන් මහදිසාවේ සතුටක් ලැබූ බව සඳහන්වෙනවා.
20වන සියවසේ මුල් කාලයේ කරන ලද ගණනය කිරීම් අනුව මෙහි කාමර 121ක් සහ මැද මිදුල් 21ක් තිබිල තියෙනවා. නාන ගෙවල්, මහ බංගලාව, පුංචි බංගලාව, සයනාගාර, දික්ගෙය, ක්‍රීඩා කාමර, ශීත කාමර, ආයුධ ගබඩා, රට බීම ගබඩා, ධාන්‍ය ගබඩා, බුදු මැදුරු, නඩු ශාලා පමණක් නොව අප්පොලා අශුද්ධව සිටි කාමර (මාසික ඔසප් කාල වලදී උන් කාමර).. ආදී එකී මෙකී නොකී කාමර අතරින් අද වන විට 42ක් හා මැද මිදුල් 7ක් සංරක්ශණය කර තියෙනවා. මේ බොහෝ කාමර ඉතා කුඩා සහ අඳුරු ස්වභාවයක් උසුලනවා. නිසි පරිදි වාතාශය හෝ හිරු එලිය නොලැබෙන මේ කාමර තුලින් ආවේ දැඩි දුර්ගන්ධයක්. ඇතැම් කාමර සෝල්දරය උඩ එක කාමරයකුත් සෝල්දරය යට තවත් කාමරයකුත් වන පරිදි සකසා තිබුනා. මහ දිසාවේගේ අභාවයත් සමඟ වලව්වේ අයිතිය පැවරුනේ ඔහුගේ සහෝදරයාගේ පුතෙකු වූ සර් ෆැන්සිස් මොලමුරේ මහතාට. අනතුරුව එතුමාගේ දියණිය සීතා මොලමුරේ මහත්මියට හිමිවූ වලව්ව 1964දී රජයට පවරා ගත්තා. 1974 සිට මෙය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පාලනය වෙනවා. නමුත් මෙය නිසි අධීක්ෂණයකට ලක් නොවන නිසාදෝ වලව්වත් අවට භූමියත් දඩාවතේ යන බල්ලන්ගේ රජ දහනක් වී තියෙනවා. මඩුවන්වල වලව්ව උදෑසන 8 සිට සවස 4.45 දක්වා නරඹන්නන්ට විවෘතව තිබෙන බව මතක් කල යුතුයි.
මඩුවන්වෙල වලව්වට සමුදුන් අපි සූරියකන්ද දක්වා ගමන් කරා. එතැනින් A17 පාර ඔස්සේ රක්වාන දක්වා යන ඔබට හමුවෙන්නේ ඉතා සුන්දර පරිසරයක්. සුප්‍රසිද්ධ වංගු 10 හමුවෙන්නේ මේ මාර්ගයේදීයි. සමුගන්නට අවසරයි! වංගු 10 අවට ඡායාරූප කිහිපයක් දකිමින්ම සමුගනිමු. තවත් රසබර ලිපියක් තුලින් ලඟදීම හමුවෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.
read more "උඩවලවේ සවාරියක්"

Wednesday, December 23, 2015

යුරෝපීය රටක නිවාඩුවක්!

මිතුරනි, අද මම සූදානම් වෙන්නේ ඔබට අලුත්ම අත්දැකීමක් ලබා දෙන්න. මෙතෙක් කල් මම දේශීය සංචාරයන් ගැන ලිපි රාශියක් ලියල තියෙනවා. අද මම ඔබට විදෙස් සංචාරයක අත්දැකීමක් ලබා දෙනවා. මම ඔබව ‍රැගෙන යන්නේ ඉතා සුන්දර යුරෝපීය රටකට. ඒ රටේ සැබෑ සංචාරක අත්දැකීමක් සමඟින්. ඒ තමයි ස්වීඩනය. ස්වීඩනය උතුරු යුරෝපයේ ස්කැන්ඩිනේවියානු අර්ධද්විපයේ පිහිටි රටක්. එහි විශාලත්වය ලංකාව මෙන් 7 ගුණයකට ආසන්න වෙනවා. (වර්ග කි.මී. 450,295) නමුත් ජනගහනය ලංකාවේ මෙන් භාගයකටත් අඩුයි. (මිලියන 9.2) රටේ උතුරු ප්‍රදේශ උත්තරධ්‍රැවයට ආසන්න නිසා අධික ශීතලකින් යුක්තයි. ජනතාව බහුලව ඒකරාශී වී සිටින්නේ රටේ දකුණු ප්‍රදේශවලට වන්නටයි.
ස්වීඩනයේ අගනුවර ස්ටොක්හෝම්. මම ඔබව රැගෙන යන්නේ, ගොතන්බර්ග් (Gothenburg) නගරයට. ගොතන්බර්ග් කියන්නේ ස්වීඩනයේ දෙවන විශාලතම නගරය. මේ තියෙන්නේ මම නවාතැන්ගත් හෝටලයේ සිට දකින නගරයේ එක්තරා පැතිකඩක්.


මේ ශීත ඍතුවේ ආරම්භය! උෂ්ණත්වය 0C ත් 8C ත් අතර අගයක් ගන්නවා. ඒවගේම හිරු එලිය පැවතුනේ දවසකට පැය 6ක් හෝ 7ක් වගේ කාලයක්. ඒකත් ඉතා අඩු එලියක්. මේ තියෙන්නේ ගොතන්බර්ග් වල තියෙන විශාල සාප්පු සංකීර්ණයක් (shopping mall). නෝඩ්ස්ටන්. ඔය ඡායාරූපය ගනිද්දී වෙලාව උදේ 9ට විතර ඇති. බලන්න අඳුර! දකුණේ තියෙන්නෙ එහි ඇතුලත දර්ශණයක්.

යමු මාත් එක්ක.... නගරයේ ඡායාරූප ටිකක් බලන්න....

ස්වීඩනය කියන්නේ ඉතා දියුණු පොදු ප්‍රවාහන සේවයක් තියෙන රටක්. දුම්රිය, බස් රථ වලට අමතරව විදුලි දුම්රිය (ට්‍රෑම්ප්) සේවයත් එරට තුල ක්‍රියාත්මකයි. බස් හෝ ට්‍රෑම්ප් නැවතුම් පොලවලට නියමිත නමක් තියෙනවා. එහි සවිකර තියෙන පරිඝනක තිරයක, ඉදිරියේ පැමිණෙන බස්/ට්‍රෑම්ප් ගමන් මාර්ගය, පැමිණීමට ගතවන කාලය යනාදී සියලු විස්තර දර්ශණය වෙනවා. බස්/ට්‍රෑම්ප් රථ සියල්ල හීටර්ස් මගින් උණුසුම් කර තියෙනවා. බස් තුලත්, ඉදිරියට හමුවන නැවතුම් පොලවල් හා ගතවන කාලය ආදී සියලු විස්තර ඩිජිටල් පුවරු වල දර්ශණය වෙනවා. ඊට අමතරව රථය තුල ඇති පටිගත කල හඬ පට වලින්ද ඉදිරි නැවතුම් පිලිබඳ මගීන්ට දන්වනවා.
ස්වීඩනයේ පොදු ප්‍රවාහන සේවය ලබාගැනීමට ඔබට මාසික ගාස්තුවක් ගෙවා කාඩ්පතක් මිලදී ගැනීමට සිදුවෙනවා. ඒ කාඩ්පත ලඟතබා ගැනීමෙන්, නගරය තුල, අදාල මාසය ඇතුලත, ඕනෑම වාරගනනක්, බස්/ට්‍රෑම්ප් සේවය ලබාගැනීමට පුලුවන්. උඩ තියෙන්නේ ට්‍රෑම්ප් රථයක් ඇතුලත දර්ශණයක්.

ඒ වගේම ස්වීඩනය කියන්නේ, පංති භේදය, ස්වාමි-සේවක පරතරය වගේ දේවල් ඉතා අඩුවෙන් තියෙන රටක්. මම ගියා ගොතන්බර්ග් වල තියෙන සුපිරිවෙලඳසලකට. ලංකාවේ සුපර් මාකට් වල වගේ අඩු පඩියට වැඩකරන සේවකයන් ඒවායේ නැහැ. ඒ වෙනුවට ඉන්නේ ඉහල වැ‍ටුප් ලබන ගෞරවනීය කාර්ය්‍යමණ්ඩලයක්. භාණ්ඩ කිරාගැනීම, කැෂියර්ට තමන්ගේ භාණ්ඩ වෙන්කරදීම, කාඩ්පතකින් මුදල් ගෙවයි නම් එය යන්ත්‍රයට ඇතුල් කිරීම සහ මුදල සටනන් කිරීම, ඒ විතරක් නෙවෙයි, තමන් මිලට ගත් භාණ්ඩ මල්ලට දමා ගැනීම පවා පාරිභෝගිකයාට අයිති කාර්යයක්.

මේ තියෙන්නේ ගොතන්බර්ග් වල නියොන්ගටාන් (Neongatan) ආසන්නයේ ඇති පාරක්. ඔව්, යුරෝපීය රටවල වාහන යන්නේ පාරේ දකුණු පැත්තෙන්. වාහනවල රියදුරු ආසනය තියෙන්නේ වම් පැත්තේ. ඒ වගේම Toyota, Honda, Nissan වගේ ජපන් වාහන ඉතා අඩුයි. ඒ වෙනුවට තියෙන්නේ, ස්වීඩනයේම නිෂ්පාදනය කරන Volvo, ඒවගේම BMW, Audi, Volkswagen, Mercedes වගේ ජර්මන්, UK කාර්. ස්වීඩනයේ මම දැකපු තවත් දෙයක් තමයි රියදුරන්ගේ විනය. වට රවුමකදී හැකිතාක් අනිකාට ඉඩදීම ස්වීඩන් රියදුරන්ගේ ප්‍රතිපත්තියක්. ඒවගේම  පදිකයෙක් සුදු ඉරක් (එහේ කහ ඉරි නෑ. ඒ වෙනුවට තියෙන්නේ සුදු ඉරි) ආසන්නයේදී ගමන්වේගය අඩු කලත්, රියදුරන් තමන්ගේ වාහනය නවත්වා ගන්නවා. ඒවා දකිනකොට ලංකාවේ රියදුරන් ගැන ලැජ්ජාවක් ඇතිවෙන එක වලක්වගන්න බෑ.
හැබැයි, මේ දේවල් වලට මාර්ගවල ගුණාත්මකබවත් ඉහල බලපෑමක් එකතු කරනවා.  පළල් පාරවල් වගේම පදිකයින්ට සහ පාපැදිකරුවන්ට වෙන්වූ මාර්ග තීරුත් සෑම පාරකම පාහේ තියෙනවා. මාර්ග තදබදය කියල දෙයක් නම් ඇත්තෙම නෑ.
ස්වීඩන් වැසියන් ඉතා සංග්‍රහශීලී පිරිසක්. වෙළඳසලකදී හෝ වෙනත් ඕනෑම තැනකදී, ඔබ යමෙක් සමඟ සංවාදයකට මුලපුරනවා නම් "Hey" යනුවෙන් පැවසීම සිරිතක්. එය ඔවුන් සලකන්නේ, සංග්‍රහශීලීත්වයේ සහ සුහදශීලීත්වයේ සලකුණක් විදියට.
නෝඩ්ස්ටන් වලට ආසන්නයේ, "Liseberg" නමැති විශාල විනෝද උයන පිහිටල තියෙනවා. ඒක ලංකාවේ Leisure world වලට වඩා කිහිප ගුණයකින් විශාලයි. ඒ වගේම එහි තියෙන සුවිසාල Roller coaster සහ වෙනත් විනෝද උපකරන ලංකාවේ දකින්න නෑ. මේ "Liseburg" උයන අයිති වෙන්නේ ගොතන්බර්ග් නගර සභාවට. එසේත් නැත්නම් ස්වීඩන් රජයට. ඔවුන් මේකෙන් විශාල ආදායමක් ලබනව වගේම, හොඳින් නඩත්තු කටයුතුත් කරනවා.

සමුගන්න කලින් "Liseberg" වල වටයක් යමු.
හොඳයි... මට යන්න වෙලාව හරි. මම මේ සංචාරය තුලින් විශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබාගත්තා. ඒ වගේම ගොඩක් විනෝද උනා. ඔබත් මේ ලිපිය තුලින් එහි කොටස් කාරයො වෙන්න ඇති කියල හිතනවා. එහෙනම් තවත් දවසක රසබර ලිපියකින් හමුවෙන තුරු, ගිහින් එන්නම්.. සුබ දවසක්!
read more "යුරෝපීය රටක නිවාඩුවක්!"

Thursday, August 6, 2015

සිලි සිලි සීතල ඇල්ලේ....

අද මම ඔබව එක්කගෙන යන්නේ සීතල පලාතකට... ඇල්ල! බණ්ඩාරවෙල සංචාරය ගැන ලියවුනු "මීදුම මැදින් බණ්ඩාරවෙල යමුද?" ලිපිය ඔයගොල්ලොන්ට මතක ඇති. මේ සංචාරයේ අරමුණ වුනේ එදා යන්නට නොහැකිවුන තැන් සොයායාම. ඉතින් මේ බණ්ඩාරවෙල සංචාරයේ දෙවෙනි කොටස කියල හැඳින්වුවත් වරදක් නෑ.
බණ්ඩාරවෙල ඉඳන් බදුල්ල පාරේ කි. මී. 8.6ක් ආ තැන කුඹල්වෙල හන්දිය මුනගැහෙනවා. වැල්ලවාය දක්වා දිවෙන A23 මාර්ගය පටන්ගන්නේ මෙතනින්. මෙම මාර්ගයේ කි. මී 4ක් පමණ ගියවිට ඔබට ඇල්ල නගරය මුණගැසේවි. බදුලු දුම්රියේ එනවා නම් ඔබේ ගමනාන්තය විය යුත්තේ ඇල්ල දුම්රියපොල. ඇල්ල කියන්නෙ කුඩා නගරයක්. ඒ වගේම විශාල සංචාරක ආකර්ශණයක් තියෙන නගරයක්. විදේශිකයින් බහුලව ගැවසෙන ප්‍රදේශයක්. නවාතැන්පොලවල් ඕනෑතරම් තියෙනවා.

අපි මුලින්ම ගියේ කිතල්ඇල්ල පාරේ තිබුනු අපේ නවාතැන්පලට.
මේ තියෙන්නේ අපේ නවාතැන්පලට පෙනුනු ඇල්ලක්. හෝටල් හිමියා අපිත් එක්ක කිව්වවිදියට මේ තියෙන්නෙ සැබෑ රාවණා ඇල්ල. එහෙනම් මොකක්ද අනිත් රාවණා ඇල්ල??? ඒ ගැන හොයන්න යමු මාත් එක්ක. 
ඇල්ල නගරයට කි.මීටරයක් පමණ මෙපිටින් රාවණා රජමහාවිහාරය සහ රාවණා ගුහාවට යන පාර තිබුනා. ඒ පාරේ පොඩි දුරක් ගියාම දැකපු රාවණා රජමහාවිහාරය තමයි මේ. රාවණා විහාරය ක්‍රි.ව. 2වන සියවසේදී වලගම්බා රජු විසින් කරවන ලද්දක්.
සීතා කුමරිය රඳවා තැබුවායැයි කියන රාවණා ගුහාවත් ඒ අසල පිහිටල තිබුනා.


ඇල්ල නගර පසුකර කි. මී. 5ක් පමණ වැල්ලවාය දෙසට එනවිට බඹරගම ඇල්ල හමුවෙනවා. අපි රාවණා ඇල්ල කියල කියන්නේ මෙන්න මේ බඹරගම ඇල්ල.
පාර මට්ටමේ සිට අඩි 1078ක් උස මේ ඇල්ල පිහිටල තියෙන්නේ රාවණා ඇල්ල අභයභූමිය තුල. කිරිඳිඔයේ ජල පෝෂකය ලෙස පවතින රාවණා ඇල්ල අභයභූමිය ප්‍රමානයෙන් අක්කර 4774ක් වෙවා.
සුන්දර වුනත් මේකෙ දිය නෑම නම් භයානකයි. ඒ බව සඳහන් පුවරු රාශියක් අපිට දක්නට ලැබුනා. 

කතා කරා ඇති. මහන්සිය යන්නත් එක්ක ඇල්ල අවට ඡායාරූප කීපයක් නරඹල ඉඳිමු.
ඊලඟ දවසෙ අපේ පලවෙනි ගමනාන්තය වුනේ "හල්පෙවත්ත තේ කර්මාන්තශාලාව". කුඹල්වෙල හන්දියේ ඉඳන් කි. මී. 1.7ක් බදුල්ල දෙසට යනකොට මෙන්න මේ පුවරුව දකින්න ලැබේවි. එතැන ඉඳන් තවත් කි. මී 1.7ක් අබලන් ප‍ටු පාරක ගමන් කිරීමෙන් මෙම තේ කම්හලට ඇතුල්වෙන්න පුලුවන්. තේ කම්හල නැරඹීමට ඔබ රු. 300/- ක ටිකට්පතක් ලබාගත යුතුයි. ඔබ ඒ මුදල ගෙවිය යුත්තේ යන්ත්‍ර සූත්‍ර නරඹා ඒමට නෙවෙයි. ඒ නිසා වැදගත්ම දේ තමයි, යන්න කලින් මේ දුරකතන අංකවලට කතාකර නිෂ්පාදනය සිදුකරන වේලාව දැනගෙන යන්න. - 0572228548, 0779575976. (වැඩි විස්තර සඳහා - http://www.halpetea.com/tourism/)

අප්පුහාමි බාස් විසින් කලායැයි කියැවෙන දෙමෝදර ආරුක්කු 9යේ පාලම ගැන ඔබ අසා ඇති. කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ වැඩ භාරව සිටි සුදු ජාතික ඉන්ජිනේරුවා මෙම ස්ථානයට සවිකිරීමට එංගලන්තයෙන් යකඩ පාලමක් ගෙන්වනවා. අවාසනාවකට ඒ පාලම දිගින් අඩුයි. ඒ නිසා ඔහු විශාල ගැටලුවකට මුහුණ පානවා. මෙය දු‍ටු අප්පුහාමි නමැති ගැමියෙකු ඉහල ගල් පෙරලා, මහත් වෙහෙසක් දරා මේ ආකාරයේ පාලමක් කරවූ බව ඉතිහාසය කියා සිටිනවා. මේ ගැන තවත් මතයක් තියෙනවා. ඊට අනුව මේ පාලම ඉදිකිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ සුදුජාතිකයින්ට. මේ ආකාරයේ පාලම් ඉදිකිරීම පිළිබඳ ඔවුන් සතුව විශාල අත්දැකීම් සම්භාරයක් තිබී තියෙනවා. ඔවුන් විසින් ලාංකීය ශ්‍රමිකයන් යොදාගෙන කරවන ලද මේ පාලමේ වැඩකටයුතු භාරව සිටි ප්‍රධානියා "අප්පුහාමි" බව කියැවෙනවා. 1919දී තනා නිම කළ මේ පාලමේ දිග අඩි 100ක් සහ උස අඩි 400ක් වෙනවා.
මේ ඡායාරූපයේ තියෙන්නේ ආරුක්කු 9 පාලම අසලම ඇති බිංගෙයක්.මෙතැනට පැමිනීමට ඔබට කුඹල්වෙල හන්දියේ සිට කි. මී. 2.3ක් බදුල්ල දෙසට ඒමට සිදුවෙනවා. එතැනින් දකුණට හැරී කි. මී 3ක් පමණ ඉතා අබලන් මාර්ගයක පැමිනිය යුතුයි. පාර ඉතා අබලන් වී තිබූ නිසා අපි වාහනය මඟ දමා ගැමියෙකුත් සමඟ ඔහුගේ ත්‍රීරෝද රථයෙන් මෙතැනට සේන්දු වුනා. ඔහු අපි සමඟ පැවසූ විදියට තවත් කැලෑබද අඩි පාරවල් 3කින් මෙතනට ලඟාවෙන්න පුලුවන්. 


ඉන්පසු අපි ගියේ දෙමෝදර දුම්රියපලට. ඒ දෙමෝදර රේල් ගැටේ ගැන සාක්ෂි එකතුකරන්න.
බදුලු දුම්රිය මාර්ගය ආරුක්කු 9 පාලමත් පසු කරගෙන දෙමෝදරට ලඟාවෙනවා. එතැන් සිට පහලට ඇත්තේ සීග්‍ර බෑවුමක්. ඒ නිසා මෙතැනින් පහලට දුම්රිය මඟ සැකසෙන්නේ සර්පිලාකාර හැඩයකට. එය ඉතා අපූරු පිහිටීමක්. 




පහල වම් ඡායාරූපයේ තියෙන්නෙ දෙමෝදර දුම්රියපල. දකුණු ඡායාරූපයේ තියෙන්නේ දෙමෝදර දුම්රිය ස්ථානයේ පි‍ටුපස ඉඳන් පහල බැලූ විට පෙනෙන දර්ශනය.
අපේ ඊලඟ ගමනාන්තය වුනේ බෝගොඩ රජමහා විහාරය. බණ්ඩාරවෙල ඉඳන් බදුල්ල පාරෙන් හාලිඇලට කි. මී 27ක දුරක් තියෙනවා. හාලිඇල ඉඳන් කැටවලට තවත් කි. මී. 7ක් තියෙනවා. කැටවලින් තවත් කි. මී 4ක පමණ දුරක් ගෙවාගෙන බෝගොඩ රජමහා විහාරයට සේන්දුවෙන්න පුලුවන්. අවාසනාවකට කැටවල ඉඳන් බෝගොඩ දක්වා මාර්ගය නම් ඉතාම අබලන්. එයින් අන්තිම කි. මී 1/2 මොනම වාහනයකටවත් යා නොහැකි තරම් අබලන් වී තිබුනා. නමුත් මම මගේ බ්ලොග් රසිකයින් වෙනුවෙන් ඒ දුර පාගමනින්ම ගෙවා දැමුවා.
වලගම්බා රජු විසින් ඉදිකරවන ලද බෝගොඩ ලෙන් විහාරයටත් වඩා මගේ අවධානය දිනා ගත්තේ ඒ අසල තිබූ 16 වන සියවසට අයත් මෙන්න මේ බෝගොඩ පාලම.

මේ තමයි දැනට ලොව පවතින පැරණිම ලී පාලම. IV වන පරාක්‍රමබාහු රජ දවස ඉදිකලායැයි සැලකෙන මේ පාලම සඳහා කොස්, කුඹුක්, කලුවර, මිල්ල හා මිල් යන ලී වර්ග පහ යොදාගෙන තිබෙනවා. එදා මෙය සම්පූර්ණයෙන්ම ඉදිකර තියෙන්නේ ලී වලින්. යකඩ ඇණ කිසිවක් යොදාගෙන නෑ. ඒත් අද වනවිට පසුකාලීන ප්‍රතිසංස්කරණ වලදී එක්වුනු යකඩ ඇණ රාශියක් දක්නට ලැබුනා.  එදවස මෙය මහකුඹුර-කෙකටියමලුව ගම් යාකරන පාලමක් මෙන්ම අම්බලමක් ලෙසත් භාවිතා වී තියෙනවා.
පාලමේ වහලට දාල තියෙන්නෙ මෙන්න මේ ආකාරයේ පෙති උළු. දිගින් අඩි 54ක් සහ පළලින් අඩි 5 1/2ක් වෙන මෙහි බර දරා සිටින්නේ අඩි 8ක් උස කුඹුක් කණු දෙකක්. ඉහල මැද රූපයේ පෙනෙන්නේ ඒ කුඹුක් කුලුනු. ඒ දෙක මැදිකරල කොන්ක්‍රීට් දාල තියෙන්නෙ නම් පසුකාලීනව පුරවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්. පාලම යටින් ගලා බහින්නේ උමා ගඟේ අතු ශාඛාවක් න ගල්ලන්ද ඔය. බෝගොඩ ඔය කියලත් මේක හඳුන්වනවා. තව දෙයක්! මේ පාලම ඉදිකලා යැයි කියන්නේ පිය-පුතු දෙපලක්. ඉහල තුන්වන ඡායාරූපය බලන්න. මේ ලී මූට්‍ටුව කපන්න ඇත්තේ පියාද? පුතාද?  


මේ තියෙන්නේ පැතුම්ගේ නිරුවත. පැතුම්ගෙ විතරක් නෙවෙයි, පෞරාණික උරුමයක වටිනාකම නොදත් පැතුම්ලා සිය ගානකගේ නිරුවත. අනාගතය ගොඩනැගෙන්නේ අතීතය තුලින්. අපි අද රස විඳින මේ අතීත ප්‍රෞඩත්වය අනාගත පරපුරට ඉතිරිකර යෑම අපේ යුතුකමක්. ඒ බව තේරුම් නොගන්නා පැතුම්ලා මේ ස්ථාන නැරඹීමට නොඑනවානම් යහපත් කියල මට හිතුනා.


ඌව පුරවරයේ වැදගත් ස්ථාන රාශියක් නරඹා අපි ආපසු කොලොම්තොට බලා පිටත්වුනා. 
යන ගමන් දෝව රජමහා විහාරය වන්දනාකිරීමටත් අපි අමතක කරේ නෑ.
වළගම්බා රජු විසින් කරවූවා යැයි සැලකෙන මෙම විහාරය පිහිටල තියෙන්නෙ බදුල්ල පාරේ බණ්ඩාරවෙල ඉඳන් කි.මී. 6ක පමණ දුරක් බදුල්ල දෙසට වන්නට. මේ තියෙන්නේ එහිදී මගේ කැමරාකාචයේ සටහන් වුනු අඩි 36ක් උස අඩක් නිමකල හිටි පිලිමය. මෙය අසල ඉතා ඍජු ලෙස විහිදෙන සපු ගසක් දකින්න පුලුවන්. මෙම විහාරයේ සැඟවසිටි වළගම්බා රජතුමා පළායාමට භාවිතා කල උමඟේ එක කෙලවරක්  බෝගොඩ විහාරයටත් තවත් කෙලවරක් රාවණා ගුහාවටත් විහිදුනු බව පැවසෙනවා.
පිලිමයේ වැඩ නිම නොවීමට හේතු ලෙස මත දෙකක් දැක්වෙනවා.වැඩ නිමවීමට කලින් රජතුමා පළාගිය බව ඇතමෙකු කියද්දී තවත් මතයකට අනුව පිළිමයකට නුසුදුසු ස්ථානයක් නිසා මෙහි වැඩ අතරමඟ නතර කර දමා තියෙනවා. විහාරයේ ඉදිකර තිබූ සීනු හැඩැති කුඩා චෛත්‍යය දෝව රජමහා විහාරයට අපූර්වත්වයක් එක්කරනවා.

සමුගන්නයි සූදානම. ඊට පෙර එක දෙයක් කියන්නම්. මේකෙ තියෙන ගොඩක් තැන්වලට ලඟාවෙන එක මේ ලිපිය කියවන තරම් ලේසි වුනේ නෑ. සමහර තැන්වලට අපි ගියේ පයින්. නැත්නම් ත්‍රී රෝද රථ වලින්. අපි ඒ අභියෝග ජයගත්තේ කුඩා අත දරුවෙකුත් එක්ක. ඒ මෙය කියවන ඔබ වෙනුවෙන්. 
ඉතින්... අදහසක් දක්වන්න හැකිනම් කදිමයි. එය ඉදිරියේදී මෙවන් ලිපි රාශියක් ලිවීමට කදිම උත්තේජකයක් වේවි!
read more "සිලි සිලි සීතල ඇල්ලේ...."

Tuesday, July 21, 2015

සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය

පේරාදෙණිය, හග්ගල සහ ගම්පහ ප්‍රදේශවල පිහිටි ලංකාවේ උද්භිද උද්‍යාන ගොන්නට එකතුවුනු අලුත්ම උද්‍යානය ගැනයි අද කතාකරන්නේ...

සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය!
මෙය පිහිටල තියෙන්නෙ අවිස්සාවේල්ල ඉළුක්ඕවිට ප්‍රදේශයේ. හරියටම කියනව නම් හෝමාගම ඉඳන් කි. මී. 30ක දුරක් A4 මාර්ගයේ එන ඔබට පුවක්පිටිය දුම්රියපොල හමුවෙනවා. එතැනින් දකුණට හැරී තුම්මෝදර පාරේ කි. මී 6ක් පමණ එනවිට මේ උද්‍යානය දකින්න පුලුවන්. අවිස්සාවේල්ල සිට ඇත්තේ කි. මී 10කට අඩු දුරක්.
 පුවක්පිටිය දුම්රියපොල ආසන්නයේ මෙම පුවරුව දක්නට ලැබුනා.

















උද්‍යානය ඉදිරියෙන්ම තියෙන්නේ තවමත් වැඩ නිම නොවූ විශාල රථ ගාල. මෙය ජනතා අයිතියට පත් කිරීමට දායක වූවායැයි කියවෙන ඇත්තන්ගේ නම් ‍රැගත් සමරු පලකයත් පිවිසුම් දොර‍ටුව අභියසදී මෙලෙස දක්නට ලැබුනා.


උද්‍යානයට ඇතුල්වීම සඳහා දේශීය සංචාරකයෙකුගෙන් රු.50/-ක් අයකරනවා. අවු. 5-10 අතර ලමුන්ගෙන් අයකරන්නේ රු.10/-ක්. මීට අමතරව රු. 200/- ක ප්‍රවේශපතක් මිලට ගැනීමෙන් උද්‍යානය මැද ඇති ජලාශයේ බෝට්‍ටු පැදීමේ අද්දැකීම ලබාගන්න පුලුවන්.
තවද, මෙම උද්‍යානය පෙ.ව. 7.30 සිට ප.ව. 6.00 දක්වා විවෘතව තැබෙන බව දැනගන්න ලැබුනා.
මේ තියෙන්නේ උද්‍යාන සිතියම.


















2008 වසරේ ඉදිකිරීම් ආරම්භ වූ මෙම උද්‍යානයේ මුළු බිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 43 (අක්කර 106) ක් පමණ වනවා. පහතරට තෙත්කලාපීය තුරුලතා සංරක්ශණය කිරීමත්, සීග්‍රයෙන් විනාශවීගෙන යන පහතරට සදාහරිත වැසි වනාන්තරවල ඒක දේශීය තුරුලතා ආරක්ෂාකිරීමත් මෙහි පරමාර්ථ වෙලා තියෙනවා. මීට අමතරව සංචාරක හා උද්භිද විද්‍යා පුහුණු මධ්‍යස්ථානයක් ලෙසද මෙය සේවා සපයනවා.
උද්‍යානයේ අසිරිය නරඹල ඉඳිමු.






සමුගන්නට පෙර වැදගත් දෙයක් කිව යුතුයි. මෙහි ආපන ශාලාවක් නම් තවමත් විවෘත කර නෑ. ඒනිසා මෑතකදී මේ උද්‍යානය නැරඹීමට යන්න ඉන්නවානම්, අවශ්‍ය ආහාර පාන ‍රැගෙන යන්න. මීට අමතරව වැසිකිලි පහසුකම්ද අල්පයි. වැසිකිලි දෙකෙන් එකක් වසා දමා තිබුනා. අනිකත් එතරම් හොඳ තත්වයක තිබුනේ නෑ. ඒ පහසුකම් සැකසී, සම්පූර්ණයෙන් වැඩ නිම වූ දිනක මෙය ලංකාවේ සුන්දරම උද්භිද උද්‍යානයක් වනු නිසැකයි. ගිහින් එන්නම්. සුභ දවසක්!
read more "සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය"