Saturday, September 21, 2019

කන්දේ... ලන්දේ... ගඟුලැල්ලේ පේනා තෙක් මානේ...♪♪♪

කලබලකාරී නාගරික පරිසරයෙන් මිදිල අද අපි යනවා යක්ෂයින්ගේ අඩවියට. තව විදියකින් කියනව නම්, ලංකාවේ ලස්සනම පරිසර පද්ධතියක් පසුකරමින් මහියංගනයට. මහනුවර-පදියතලාව මාර්ගය ඔස්සේ මහනුවර ඉඳන් මහියංගනයට කි.මී. 75ක පමණ දුරක් තියෙනවා. ඒ අතරතුර හමුවෙන මොරගහමුල නගරයෙන් හැරිල කි.මී.10ක් ගිය තැන තමයි අපේ පලවෙනි නැරඹුම්පොල හමුවෙන්නෙ.

වික්ටෝරියා වේල්ල! ලංකාවේ උසම වේල්ල. එමෙන්ම රටේ විශාලතම ජලවිදුලි බලාගාරය ඉදිවන්නේ වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව. ඒ මෙගාවොට් 210ක විදුලිබලයක් මෙරටට දායාද කරමින්. 1980දී ඉදිකිරීම් ආරම්භවුනු වික්ටෝරියා වේල්ල ආශ්‍රිතව රසවත් කතාපුවතක් සැඟවී තියෙනවා. ඉස්සර මේ ස්ථානයේ කුඩා දිය ඇල්ලක් තිබිල තියෙනවා. වික්ටෝරියා දිය ඇල්ල ලෙස හැඳින්වුනු මේ ඇල්ල ආශ්‍රිතව වේල්ලක් ඉදිකිරීමට 1949 සිට ශක්‍යතා අධ්‍යයනයන් කෙරී තිබෙනවා. සමීක්ශණ සාර්ථක උනත් මේ සඳහා ලංකාණ්ඩුව සතුව ප්‍රමාණවත් ප්‍රතිපාදන තිබිල නෑ. ඒ නිසා එංගලන්තයෙන් ණය මුදලක් ලබාගැනීමට යෝජනාවී තියෙනවා. මේ සඳහා ඉල්ලුම් කිරීමට එවකට ජනාධිපති JR, විදුලිබල ඇමති ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි යන තිදෙනා එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.
 මෙහිදී එලිසබෙත් ‍රැජින හමුවන මේ තුන්කට්‍ටුව මේ සඳහා ඇගේ මිත්තනිය වන වික්ටෝරියා ‍රැජිනගේ නම යෙදීමට කැමැත්ත පලකරනවා.(ඒත් මේ ස්ථානයේ ඇති වික්ටෝරියා දිය ඇල්ල නිසා ඒ නම ඒවනවිටත් යෝජනාවී තිබුනා.) මේ ගැන පැහැදුනු එලිසබෙත් ‍රැජින මෙය ණයක් ලෙස නොව ආපසු නොගෙවන ආධාරයක් ලෙස ලබාදීමට කැමැත්ත පලකරනවා. වික්ටෝරියා ව්‍යාපෘතියට රු. මිලියන 8900ක ආධාරයක් ලැබෙන්නේ එහෙමයි. මේ සඳහා අවශ්‍ය තාක්ශණික සහය හා ශ්‍රමය පවා එංගලන්තයෙන් ආනයනය කරනවා. 1984 දී වැඩ නිමවන වික්ටෝරියා වේල්ල 1985 අප්‍රේල් 12 වෙනි දින නිලවශයෙන් ලංකාවට පවරාදෙනු ලබනවා. වැඩ නිමවනවිට සේවකයින් 50 දෙනෙකු වේල්ල වෙනුවෙන් දිවි පුදා ඇති බව සඳහන් වෙනවා. උඩ ඡායාරූපයේ තියෙන්නේ ලංකාවේ සුප්‍රසිද්ධ සිත්තරෙක් ඇඳපු ලස්සන චිත්‍රයක්... නෙවෙයි. වික්ටෝරියා වේල්ල අවට පරිසරය මගේ කැමරාවේ සටහන් වූ ආකාරයයි.
වික්ටෝරියා වේල්ලෙන් සමුගත් අපි මහියංගනය දෙසට ගමන් කරන්නට උනා. හුන්නස්ගිරිය පසුකර මඳ දුරක් ඇදෙන විට දහ අට වංගුවට කලින් හමුවෙන "දහ අට වංගුව නැරඹුම් මැදිරිය" කියන්නේ තේ උගුරක් බී ගමන් විඩාව නිවාගැනීමට කදිම ස්ථානයක්.
ඔන්න බලාපන් බුලතා කරපු බලේ...
යතුරු දාපු ගල්දොර යට වතුර හැලේ...
එන යන්නෝ ඉඩ නෑරම බැලුම් ගලේ...
සොරබොර වැව නුදුටු ඇස් මොටද පින් කළේ....

මහියංගනය නගරයට එන සංචාරකයින් අනිවාර්යයෙන්ම නවතින තැනක් තමයි සොරබොර වැව. මහියංගන විහාරය හැරුණුකොට මේ ප්‍රදේශයේ තියෙන සුවිශේෂිතම සංචාරක මරමස්ථානය සොරබොර වැවයි කිව්වොත් එය අතිශෝක්තියක් නෙවෙයි. මෙහි ඇති පෞරාණික බවත්, වැවේ සැඟවී ඇති අපූරු ඉතිහාස කතාවත්, වැව ආසන්නයේ ඇති ඇළ මාර්ගය ස්නානය කිරීමට කදිම ස්ථානයක් වීමත් ඊට හේතු සපයනවා.
දු‍ටුගැමුණු රජතුමාට බුලත් පිලිගැන්වීම සඳහා බුලතා නමැති සෙනෙවියෙකු සිට තිබෙනවා. ඔහු තම විවේක වේලාවන්හිදී ප්‍රදේශය අවට සංචාරය කරල තියෙනවා. මෙහිදී කඳු අතර පිහිටි පහත් බිමත්, ඒ අසලින් ගලන දියවන්නා ඔයත් දැකපු බුලතාට අපූරු අදහසක් පහල වෙලා තියෙනවා. ඒ අදහස යථාර්තයක් කරගැනීමට බුලතා තනියම වෙහෙස වෙලා තියෙනවා. ඒ මහන්සියේ ප්‍රතිඵලය තමයි සොරබොර වැව. මේ වැවේ විශේෂත්වය තමයි බිසෝකො‍ටුවක් නොමැතිවීම සහ කලුගලක් දෙපලු කර තැනූ ස්වාභාවික සොරොව්වක් පිහිටීම. බුලතාගේ බිරිඳ යෝධි නම් කාන්තාවක්. බුලතා වැව තනද්දී ඔහුට බත ‍රැගෙන ආවේ ඇයයි. ඇය යන එන විට ගල් වලින් පඩිපෙලක් සාදා තිබෙනවා. ඒ පඩිපෙලේ නටඹුන් අදත් දහ අට වංගුව අවට ඇතැයි ගම්මුන් පවසනවා. මේ ශක්තිවන්ත යුවල නිසා අක්කර 2000ක පමණ වගා බිමක් ජලයෙන් පෝෂණය ලැබූ බව සඳහන් වෙනවා.
මේ තියෙන්නේ මහියංගනය දාගැබ. මහියංගනයේ සංචාරය කරන බෞද්ධයින්ගේ නැරඹුම් ලැයිස්තුවේ ප්‍රමුඛතාව හිමිකරගන්නේ මහියංගනය විහාරය. මහියංගන දාගැබ බෞද්ධයින්ට කිහිප දිශාවකින් වැදගත් වෙනවා. බුදුන්වහන්සේගේ අකුධාතුව මේ චෛත්‍යයේ නිධන්කරල තියෙනවා. ඊට අමතරව බුද්ධත්වයෙන් නවවෙනි වස දුරුතු පෝදා බුදුන්වහන්සේ මුල්වරට ලංකාවට වඩිනවා. එසේ වැඩම කල බුදුන්වහන්සේ යක්ශයින් දමනය කිරීම සඳහා සිරි දෙසුම දේශනා කරන්නේ මේ ස්ථානයේ සිට බවයි සඳහන් වෙන්නේ. ඒ වගේම බුදුන්වහන්සේ ජීවමාන කාලයේදීම උන්වහන්සේගේ කේශ ධාතුව නිධන්කොට සෑදූ ලොව මුල්ම චෛත්‍යය මෙය බවත් ඉතිහාසයේ සඳහන් වෙනවා.
මේ තියෙන්නෙ අපේ ඊලඟ නැරඹුම්පොල. දඹාන වැදි ගම්මානය. මහියංගනයේ සිට කි.මී 20ක ඇවෑමෙන් අපි දඹානට සේන්දු උනා.
සොරබොර වැවේ එගොඩෙත් ඉන්නේ වැද්දෝ...
සොරබොර වැවේ මෙගොඩෙත් ඉන්නේ වැද්දෝ...
සොරබොර වැවේ දෙගොඩෙම ඉන්නේ වැද්දෝ...
අපටත් නෙළුම් මල් හුලන්නට දෙද්දෝ...
එදා මහියංගනයේ අණසක පැතිරවූ වැදි ‍රැහේ ඇත්තන්ව ජනකවියා දු‍ටුවේ එහෙමයි. මෙදා වැදි ගම්මානයේදී තිසාහාමි සොහොනත්, ඔහු ජීවත් වූ නිවසත්, වැදි කෞතුකාගාරයත්, සාම්ප්‍රදායක කිරිකොරහ නැ‍ටුමත් දැකබලා ගන්නා ඔබට මීපැණි හෝ සත්ව දත්වලින් නිපදවූ ආභරණ මිලදී ගන්නත් අවස්ථාව ලැබෙනවා. පහත තියෙන්නේ දඹාන වැදි ගම්මානයේදී මගේ කැමරා කාචයේ සටහන් වුනු සේයාරූ කීපයක්.



දඹානට සමුදුන් අපි නැවත මහියංගනය බලා පිටත් උනා. මේ තියෙන්නෙ වැදි ගම්මානයේ සිට කි.මී 2ක් මහියංගනය දෙසට වන්නට ඇති ආයුර්වේද කෞතුකාගාරයක්. මෙය මෑතකදී විවෘතකල පෞද්ගලික කෞතුකාගාරයක්. මෙහිදී රු. 100/-ක ටිකට් පතක් මිලදීගන්නා ඔබට සිංහල ආයුර්වේදයේ ඖෂධ වර්ග, ප්‍රතිකාර ක්‍රම ආදී තොරතුරු දැකබලා ගන්න පුලුවන්. වැදි ගම්මානයේ සිට කි.මී 4ක් මහියංගනය දෙසට වන්නට ඇත්තේ මාවරගල ආරණ්‍ය සේනාසනය. ආරාම, කටාරම්, මුරගල්, ගල් කණු සතිත මෙය ඉපැරණි ලෙන් විහාරයක්. වර්තමානයේ ලෙන් 7ක් පමණ ඉතිරිවී ඇති බවත් සෙල් ලිපි 6ක් සොයාගෙන ඇති බවත් දැනගැනීමට ලැබුනා.
අපේ නවාතැන්පොල තිබුනේ මහියංගන නගරයේ ඉඳන් කි.මී 8ක් දකුණට වන්නට. පහල තියෙන්නේ තියෙන්නේ අපේ නවාතැන්පොල ඉදිරියේ තිබුනු මාපාකඩ වැව. අක්කර 1500ක වපසරියක පැතිරිල තියෙන මේ සුන්දර වැව මහියංගනයේ සංචාරක ආකර්ශණය දිනාගත් තවත් එක් ප්‍රධාන ස්ථානයක්. උදෑසන හිරු කිරණ මාපාකඩ වැව් ඉස්මත්ත සිපගත් අයුරු මගේ කැමරාවේ සටහන් උනේ මෙහෙමයි.

මහියංගනයේ දෙදින සංචාරයකින් අනතුරුව අපි නැවතත් මහනුවර බලා පිටත් උනා. ආපසු ගමනට අපි ‍තෝරාගත්තේ රන්දෙණිගල, අධිකාරිගම හරහා වැටී තිබුනු කි. මී. 100කට ආසන්න දුරකින් යුත් මාර්ගය. මේ මාර්ගය ‍තෝරා ගැනීමට හේතු දෙකක් අපිට තිබුනා. එකක් තමයි, රන්දෙණිගල වේල්ල නැරඹීම. අනිත් හේතුව තමයි මේ ඡායාරූපයේ දැක්වෙන්නේ. මහියංගන - බදුල්ල පාරේ මැදියාය 17 කණුවෙන් හැරිල කි.මී. 17ක් ගිය තැන ඇති හුදකලා බිම්කඩක ඇති මේ විහාරය හඳුන්වන්නේ නාගදීපය යනුවෙන්. බුදුන්වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ යාපනය නාගදීප විහාරය ගැන ඔබ අසා ඇති. එහෙනම් මොකක්ද මේ නාගදීපය? අපි ඒ ගැන විහාරාධිපති හිමියන්ගෙන්ම අසා දැනගනිමු.
"මහත්තයෝ.. මේ ඔය ඇත්තො ඇවිල්ල ඉන්නෙ එසේ මෙසේ තැනකට නෙවෙයි. ලංකාවෙ පරණම පන්සලකට. මේකෙ දාගැබ් 7ක් තිබිල තියෙනවා. බොහොම පැරණි ඒව. මහියංගන විහාරෙ තරම්ම පරණයි. දැනට ඔය ඇත්තොන්ට දාගැබ් 2ක් පේන්න තියෙනව. අන්න අර පේන ලොකු දාගැබ මැදිකරගෙන මහ විසාල දාගැබක් තිබිල තියෙනව. පරණ විහාරෙ පොලොවට යටවෙල තියෙන්නෙ. ඒව හොයාගන්න දැන් සෑහෙන කාලෙක ඉඳන් කැනීම් කටයුතු වෙනව."


"එතකොට හාමුදුරුවනේ බුදුහාමුදුරුවො දෙවෙනියට වැඩියයි කියන යාපනේ නාගදීපෙයි මෙහෙයි අතර සම්බන්ධයක් තියෙනවද?"
"මහත්තයෝ... යාපනේ තියෙන විහාරෙට නාගදීපෙ කියල කියන්නෙ නයිනතිව් දූපතේ තියෙන නිසා නෙව. බුදුහාමුදුරුවො වැඩම කරපු නාගදීපෙ තමයි මේ. රේණුකාණෙ චන්ද්‍රවිමල හාමුදුරුවො.. එතකොට බලංගොඩ ආනන්ද මයිත්‍රී හාමුදුරුවො වගේ උන්නාන්සෙලත් ඒක කියල තියෙනව."
විහාරය නිරීක්ශණය කරපු මට විහාරය අවට විශාල නටඹුන් ප්‍රමාණයක් දැකගැනීමට ලැබුනා. ඒ වගේම දු‍ටුගැමුණු රජතුමා යුද්ධයට යෑමට පෙර මේ විහාරස්ථානයේ භාරහාර වී ඇති බවත් දැන ගැනීමට ලැබුණා. ඒ අනුව යමින් හිටපු ජනාධිපතිතුමා යුද්ධයේ අවසාන කාලයේදී මේ විහාරයට භාරහාර වී ඇති බවත් විහාරාධිපති හිමියන් මා සමඟ ප්‍රකාශ කලා. ඒ බව සනාථකරන ඡායාරූප කිහිපයක් ආවාසගෙයි බිත්තියේ එල්ලා ඇති අයුරු දැකගැනීමට ලැබුනා.
නාගදීපයෙන් සමුගත්තු අපි ඊලඟට නතර උනේ රන්දෙණිගල වේල්ල ලඟ. 1982 සිට 1986 දක්වා කාලය තුල ඉදිවුනු මේ යෝධ වේල්ල සඳහා 75% පමණ වියදම් දායකත්වය දරා ඇත්තේ ජර්මනියයි. රන්දෙණිගල ජල විදුලි බලාගාරය මෙගාවොට් 126ක විදුලිබලයක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට එක්කරන වග දැනගන්න ලැබුනා. අපි රන්දෙණිගලින් පිටවෙනවිට තරමක් හවස් වී තිබුනා. හිරු බැස යමින් පැවති වේලාවක උනත් අපි මේ පසු කරන්නේ ලංකාවේ ලස්සනම පරිසර පද්ධතියක් බව අපිට අවබෝධ උනා. සතර අත විහිදුනු කඳු යාය, කඳු වසා වැවුනු තුරු ගොමුව, ඒ අතරින් ගලන ඇල දොල පරිසරයට එක්කරන්නේ අපූරු ලාලිත්‍යයක්. ඒ ලාලිත්‍යය රසවිඳින්න ඔබටත් ආරාධනා කරමින් අදට සමුගන්නම්. සුභ දවසක්!

0 comments (ඔබේ අදහස් මගේ ශක්තියයි):

Post a Comment