Monday, July 21, 2014

සොඳයි පරකාස ලක මීමුරේයා

ඉතින් යාලුවනේ... කාලෙකට පස්සෙ වටිනා දෙයක් මගේ බ්ලොග් රසිකයින්ට දෙන්න හිතාගෙන මම ගියා ලංකාවේ සුන්දරම ගම්මානයකට. මීමුරේ! මීමුරේ කිව්වම ගොඩක් දෙනෙකුට මැවෙන්නේ දුෂ්කර ගම්මානයක්! මීට දශක කීපයකට කලින් ඒ කියමන සත්‍ය උනත් අද වනවිට මීමුරේ අතිදුෂ්කර ගම්මානයක් නෙවෙයි. හැබැයි ගැමි සුන්දරත්වයේ නම් අඩුවක් දකින්න නෑ.
මහනුවර ඉඳන් මීමුරේට යන ඔබ මුලින්ම මහනුවර මහියංගනය මාර්ගයෙන් (A26) හුන්නස්ගිරිය නගරයට යා යුතුයි. මහනුවර සිට හුන්නස්ගිරියට දුර කි. මී 44ක් පමණ වෙනවා. ඒ අතර ඔබට ලේවැල්ල, තල්වත්ත, තැන්නෙකුඹුර, නටාරම්පොත, කුණ්ඩසාලේ, පල්ලෙකැලේ, බලගොල්ල, දිගන, තෙල්දෙනිය, මොරගහමුල, මැදමහනුවර, බෝමුරේ වැනි නගර හමුවේවි.

හුන්නස්ගිරිය නගරයේ ඉඳන් මීමුරේ ගම්මානයට තවත් කි. මී 30ක් පමණ තියෙනවා. ඒ දුර යාමට සිදුවන්නේ වෑන්රථයකින්. ඒක තමයි ගමේ පොදු ප්‍රවාහන සේවය. නැතිනම් ත්‍රීරෝද රථයකින් වුවත් යා හැකියි. ඒ සඳහා රු. 2000/- ක පමණ මුදලක් අය කරනවා. ගම්මානයේ දින කිහිපයක් ගතකිරීමට යන ඔබ ඊට අවශ්‍ය කලමනා හුන්නස්ගිරිය නගරයෙන් ‍රැගෙනයාමට අමතක කරන්න එපා.

පහළ වම් ඡායාරූපයේ තියෙන්නෙ, මහනුවර-මහියංගනය මාර්ගයේ ඉඳන් මීමුරේ ගම්මානයට යන මාර්ගය පටන්ගන්නා තැන. මැද ඡායාරූපයේ තියෙන්නෙ, මඟදී හමුවෙන නකල්ස් තොරතුරු මධ්‍යස්ථානය. මෙතැනින් රු. 30/- ක ප්‍රවේශපත්‍රයක් ලබාගන්නා ඔබට පුංචිලෝකාන්තය නැරඹීමට යා හැකියි. ඒ සඳහා කි. මී. 1.25ක දුරක් ඇවිදයාමට ඔබට සිදුවෙනවා. දකුණු ඡායාරූපයේ දැක්වෙන්නේ ලූල්වත්ත තේකඩේ. පැය දෙකකට අධික දුෂ්කර ගමනක යෙදෙන මගීන්ට තේ කෝප්පයක් බී වෙහෙස නිවා ගැනීමට මේක කදිම ස්ථානයක්! ඔය පේන කොලපාට වෑන් එකේ තමයි අපි ආවේ.




මීමුරේ යන වෑන් එකේදී මට හමුවුනා අපූරු ගැමියෙක් . මේ ඉන්නේ උන්දෑ...


මීමුරේ ජන ජීවිතය, අතීතය වගේම මීමුරේටම ආවේණික ජනකවි කීපයක් අපි උන්දැගෙන් ඉගෙනගත්තා.

එපිට කොනට කළු පානා  කැලේයා
මෙපිට කොනට ලග්ගල මී  මුරේයා
දෙසිය දෙකක් උස ඇති ගෝඹරේයා
සොඳයි පරකාස ලක මී මුරේයා

මීමුරේ හා ඒ අවට ගම් වැසියන්ගේ ජීවිත හරිම සරලයි. අහිංසකයි. අහස උසට පොදි බැඳගත් බලාපොරොත්තු ඔවුන් තුල නෑ. ඒ නිසාම කොළඹ ඇත්තන් තුල තියෙන මානසික පීඩනය ඔවුන්ගෙ ජීවිතවල දකින්න නෑ.
මීමුරේ මොනවද බලන්න තියෙන්නෙ? සමහරු අහන ප්‍රශ්නයක්! විඳින්න... ගැමි සුවඳ... පරිසරයේ සුන්දරත්වය...  ඇහුම්කන් දෙන්න.. ගැමියන්ගේ හද ගැහෙන රාවයට. ඒ හැර ප්‍රදර්ශන කුටි සහිත සංචාරක පුරවරයක් බලාපොරොත්තුවෙන් නම් මීමුරේ යන්න එපා.

මේ බලන්න.. මීමුරේ යන අතරමග මගේ කැමරාව ක්‍රියාත්මක වුනු ආකාරය.







හරි දැන් අපි ඉන්නේ මීමුරේ ගම්මානය අබියස. මීමුරේ ගම්මානයේ පවුල් 120ක් පමණ ජීවත්වෙනවා. නවාතැනක් සොයාගැනීම අමාරුවෙන එකක් නෑ. මීමුරේ වැසියන් ආගන්තුක සත්කාරයට කැමතියි. ගම් වැසියෙකුගේ ගෙදර ඔබට නවාතැන්ගත හැකියි. එසේත් නැත්නම් මෙවැනි කඳවුරක් තුල ‍රැය පහන් කිරීමටත් පුලුවන්. දකුණු ඡායාරූපයේ තියෙන්නේ, අපි නවාතැන්ගත් වීරකෝන් මහතාගේ ගෙදර.


දුකේ බැරිය ඇස ඇරලා   බලන්නට
සැකේ බැරිය පද කරලා   කියන්නට
බයේ බැරිය කළු ගල මත  නගින්නට
ලකේ ගල සොඳයි දාගැබ  බඳින්නට

මේ තියෙන්නේ ඒ කියන ලකේගල. නැගෙනහිර මුහුදේ නාවික ගමනාගමනයේදී ගොඩබිම හඳුනාගැනීමේ ඉලක්කයක් විදියට ලකේගල භාවිතාකරල තියෙනවා. ඒ වගේම බුදුරජාණන්වහන්සේගේ ප්‍රථම ලංකාගමනේදී ලකේගල මත පාද ලාංඡනය පිහි‍ටුවා ඇතිබව කියැවෙනවා. ලකේගලට අමතරව ඇඳිරිගල, හිරිගල්පොත්ත, දොතලුගල, කලුපහන, වමාරපුගල.....ආදී තවත් නකල්ස් වනාන්තරයට අයත් ගල් හා කඳුවැටි රාශියකින් මීමුරේ වටවී තියෙනවා.
මීමුරේ සම්බන්ධ ජනප්‍රවාද රාශියක් ඇතැයි දැනගැනීමට ලැබුනා. ඇතැම් අය සඳහන් කලේ රාජ උදහසට ලක්වී පි‍ටුවහල් වූ ජනතාව මී මුරේ පදිංචිකරුවන් වූ බවයි. තවත් තැනක කියවුනේ මීගස් බහුලව තිබූ නිසා එයින් මීමුරේ නම සෑදුනු බවයි. තවත් ජනප්‍රවාදයකට අනුව, අනුරාධපුර රාජධානි සමයේ රහතන්වහන්සේලා පිරිසක් සොයාගැනීමට ගේඳුරුවා නැමැති වැදිනායකයෙක් පිටත් වී ගොස් තිබෙනවා. ඔහුගේ සහයට ගිය පිරිසට වඩනහලු, රන්දුනුවා සහ කහටගහමුරා යන තිදෙනාත් අයත්වී තිබෙනවා. ඔවුන් මීමුරේ ආශ්‍රිතව ගම්මාන පිහි‍ටුවාගෙන පදිංචිවී තිබෙනවා.
මීමුරේ කියන්නේ රාජකීය ඉතිහාසයක් ඇති ගමක්. සිංහල රාජධානියේ අවසාන සමය ගැන ඔබ අසාතැතුවාට සැකයක් නෑ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බේරී පලායාමට සැලසුම්කර තිබුනේ මීමුරේ ගම්මානයට. ගමට ඇතුල්වන තැන "රූප්පේ" නම් මංකඩ 4ක් ඉදිකර නැවතීම සඳහා නිවසක්ද ඉදිකර තියෙනවා. උඩ වලව්ව නමින් ගැමියන් හඳුන්වන එම නිවස අදත් දැකගැනීමට හැකියි. මේ තියෙන්නේ එම රාජකීය පැල්පත මගේ කැමරාවේ සටහන් වූ ආකාරය.



රජතුමා මුලින් තමන්ගේ බිසවන් දෙදෙනෙකු ගමට පිටත් කර එවා තියෙනවා. ඔවුන්ගේ ස්නානය සඳහා වෙන්වුනු "ක‍ටුපඳුරේ ලිඳ" නම් ස්ථානයක්ද ඇතැයි දැනගැනීමට ලැබුනා. කෙසේ නමුත් රජතුමා මෙම ස්ථානයට පළා ඒමට පෙර සුද්දන්ගේ ග්‍රහනයට හසුවූබව ඉතිහාසයේ සඳහන්වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිසි අවධානය හිමි නොවූ නිසාදෝ අද මේ නිවසේ ගැමි පවුලක් පදිංචිවී සිටිනවා.

මේ ඉන්නෙ රලමන්. ඔහු තමයි උඩවලව්වට යන පාර පෙන්නුවේ. රනමන් මීමුරේ ගැමියාගේ ජීවන කැඩපතක් කියා මට හිතෙනවා. ඔහු අහිංසකයි. ඔහුගේ හිනාව නිර්ව්‍යාජයි. දවස පුරා කය වෙහෙසා වැඩ කරන ඔහුට කොළඹ ඇත්තන්ට තියෙන ලෙඩ රෝග නම් නැතුව ඇති.
දවස පුරා AC කාමර වල පරිගණක අස්සේ හිරවී සිටින අපිට වඩා රලමන් කොච්චර පෝසත්ද කියල මට හිතුනා.




සමුගන්න කලින් තව එක වටයක් මීමුරේ ගම හරහා යමු. එන්න මාත් එක්ක. සූරිය අරණ චිත්‍රපටියට පසුබිම්වුනු ප්‍රදේශත් මේ රූප වල තියෙනවා.







අවසාන වශයෙන් එක දෙයක් මතක් කිරීමක් කරන්නම්. දින කීපයක් මීමුරේ සංචාරය කරන අපිට වඩා මේ පරිසරය අයිති ගැමියන්ට. සතුන්ට. ඒ වගේම එකම ඉල්ලීමකුත් කරන්නම්. පොලිතීන්, කැළිකසල ආදිය දමා මේ ස්ථාන අපිරිසිදු කරන්න එපා. ඉතිරි කරන්න ඔබේ දරුවාටත් දැකගැනීමට මීමුරයක්! ගිහින් එන්නම්! සුබ දවසක්!

8 comments:

  1. ITHAMATH WEDAGATH, EWAGEMA WEATINA LIPIYAK, PHOTOS LASSSANAI, KAWADA HO YANNA OONE.

    ReplyDelete
  2. Like to go to this plase

    ReplyDelete
  3. ඕක අභිතයා කාලා ඉවරයි. තව ටික කාලෙකින් මී මුරේ කියන්නේ නමක් විතරක් වෙයි. අභීත කියන්නේ රට කාපු එකෙක්.

    ReplyDelete
  4. Soduru satahanak......

    ReplyDelete
  5. විස්තරයට ස්තුතියි

    ReplyDelete
  6. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete