Tuesday, February 18, 2014

සැඟවුනු උමඟක් සොයා ගිය ගමනක්!

කාලෙකට පස්සෙ හමුවෙලා අද මම හිතුවා ඔයගොල්ලන්ව මහනුවර ප්‍රදේශයට එක්කගෙන යන්න. මහනුවර කිව්වම ගොඩක් දෙනෙකුට මතක් වෙන්නෙ දළදා මාලිගාව. එහෙම නැත්නම් පේරාදෙණිය මල්වත්ත. තවත් අය පිළිමතලාවෙන් හැරිල  ගඩලාදෙණිය, ලංකාතිලකය, ඇම්බැක්කේ දේවාලය යන සිද්ධස්ථාන ත්‍රිත්වය වන්දනා කරනවා. මේ හැරුනාම සාපේක්ෂව ගත්කල අඩු සංචාරක ආකර්ශණයක් ලැබෙන තැනක් ගැන අද මම කතා කරන්න හිතුවා. ඒ තමයි දෙගල්දොරුව විහාරය. දෙගල්දොරුව විහාරය ගැන බ්ලොග් ලිපියක් ලියන්න ඕන කියල තීරණය කල පලවෙනි සිදුවීම මේකයි.
මම ගොඩවැදුනා මහනුවර දළදාමාලිගයට හූවක දුරකින් තියෙන කඩමණ්ඩියකට. දෙගල්දොරුවට යන පාර මම දැනගෙන හිටියා. ඒත් ඒක තහවුරු කරගන්න ඕන නිසා මම මුදලාලිගෙන් ඒ ගැන ඇහුවා. "මෙහෙ නෙවෙයි මහත්තයා දෙගල්දොරුව තියෙන්නෙ. ඒකට යන්න ඕන පිළිමතලාවෙන් හැරිලා..." ඔන්න මට ලැබුනු පිලිතුර. නුවර වැසියනුත් නොදන්නවා නම් ඒ ගැන දැනුවත් කරල බ්ලොග් ලිපියක් ලියන්න ඕන කියල මට හිතුනා.
දෙගල්දොරුව රජමහා විහාරය පිහිටල තියෙන්නෙ මහනුවර ඉඳල කි. මී. 6-7 ක වගේ දුරකින්. මේ තියෙන්නෙ සිතියම.
මහනුවර ඩී. එස්. සේනානායක වීදිය (A9 පාර) ඔස්සේ කි. මී. 2ක් පමණ ගිය තැන වේවැල්පිටිය ක්‍රීඩා භූමිය හමුවෙනවා. එතැනින් ධර්මාශෝක මාවත ඔස්සේ ධර්මාශෝක හන්දිය වෙත ඔබ ගමන් කල යුතුයි. එතනින් සුලු දුරක් ගියවිට මහවැලි ගඟ හරහා වැ‍ටුනු පාලමක් හමුවේවි. පාලම පසුකර දකුණට හැරී ටිකක් තැන් ගිය විට මේ පෞරාණික විහාරස්ථානය හමුවෙනවා.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මෙම විහාරස්ථානය  ගොඩනැගීම ආරම්භ කල අතර රාජාධි රාජසිංහ රජතුමා විසින් මෙහි වැඩ නිමකොට මොරතොට ධම්මබුද්ධ හිමිට පූජාකල බව සඳහන්වෙනවා. ඒ ක්‍රි:ව 1786 තරම් ඈත අතීතයකදී.
මෙම ලෙන් විහාරය දිගින් රියන් දොළහක්ද, පළලින් රියන් අටක්ද, උසින් රියන් තුනක් ද වන බව දැන ගැනීමට ලැබුනා.
මෙහි ඇති චිත්‍ර මහනුවර යුගයේ සිතුවම් කලාවේ උච්චතම අවස්ථාවක් නිරූපණය කරනවා. දේවේන්ද්‍ර මූලාචාරී ප්‍රමුඛ දෙවරගම්පල සිල්වත් තැන, හිරියාල නයිදේ සහ නීලගම පටබැඳි ආදී සිත්තරුන් විසින් සිතුවම් කල මෙහි චිත්‍ර අතර වෙස්සන්තර ජාතකය, මහා සුතසෝම ජාතකය, සන්තුභක්ත ජාතකය හා මහා සීලව ජාතකය, මාර පරාජය, පොලෝ මහී කාන්තාව, සදිව්‍ය ලෝකය, සූවිසි විවරණය ආදී චිත්‍ර දැකගැනීමට හැකියි.

මේ තියෙන්නේ දෙගල්දොරු විහාරයේදී මගේ නෙත ගැ‍ටුනු දසුන් පෙලක්! මේ මැද සේයාරුවේ දැක්වෙන්නේ පිහිටි ගලෙන්ම නිර්මාණය කර තිබූ සැතපෙන බුද්ධ ප්‍රතිමාව.

මේ ඡායාරූපයේ ඉන්නේ විහාරාධිපති හිමියන්. මට මේ බ්ලොග් ලිපිය ලිවීමට නිමිත්තක් සපයපු දෙවැනි කාරණය පෙන්වා දුන්නේ උන්වහන්සේ. ඒ රහස් උමඟක්. දෙගල්දොරුව විහාරයේ බුදුගෙයට මායිම්ව මෙය පිහිටා තිබෙනවා. උන්වහන්සේ සඳහන්කරපු ආකාරයට අතීතයේ මෙය දඹුල්ල දක්වා විහිදී පැවතුනා(ලු). නමුත් වර්ථමානයේ මෙය සම්පූර්නයෙන්ම වාගේ වැසී පවතිනවා.

පහතින් තියෙන්නේ මගේ කැමරා කාචයේ සටහන් වුනු උමගේ සේයාරූ කීපයක්. වම් ඡායරූපයේ රතුපාට කවයකින් දක්වල තියෙන්නේ ඒ උමඟ.
ඊලඟ වතාවේ මහනුවර සංචාරය කරන ඔබට මේ සුන්දර ලෙන් විහාරය වන්දනා කරන්නැයි මම ආරාධනා කරනවා. ඒ වගේම, මේ විහාරය ගැන කොළඹ ඇත්තන් දැනුවත් කරන්නැයි විහාරාධිපති හිමියන් මගෙන් ඉල්ලා සිටියා. මේ බ්ලොග් ලිපිය තුලින් උන්වහන්සේගේ ප්‍රාර්ථනය ඉෂ්ට වනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

6 comments:

  1. සෑහෙන කාලෙකට පස්සෙ තමා.. අගනා විස්තරයක්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි!

      Delete
  2. නුවර ගිය වෙලාවක අනිවා ගොඩවෙනවා

    ReplyDelete
    Replies
    1. බොහොම හොඳයි! හාමුදුරුවන්වත් බැහැදැකල එන්න.

      Delete
  3. අහලා තියෙනවා ඔය පන්සල ගැන. නමුත් තියෙන්නේ කොහෙද කියලා දැනගෙන හිටියේ නැහැ. බොහොම පිං

    ReplyDelete
  4. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete