Friday, November 18, 2011

මනුස්සකම

මාතෘකාව 'මනුස්සකම' වුවත් මේ ලිපිය වෙනත් දෙයක් ගැනයි.  එසේනම් මේවගේ මාතෘකාවක් දැම්මේ ඇයි? ඔබේ අවබෝධ ශක්තිය හොඳ නම් ලිපිය අවසානයේ එයට උත්තරයක් ලැබේවි.
ඔබ ජීවිතයේ ඕනෑතරම් දේ පරිත්‍යාග කරල ඇති. ඒ පිනෙන් ඔබ නොයෙක් ලෞකික සැප බලාපොරොත්තු වෙන්න ඇති. එසේ නම් ඔබ කර ඇත්තේ සැබෑ පරිත්‍යාගයක් නොවේ.
පරිත්‍යාගය නොඑසේනම්, දානය යනු අත්හැරීමයි. සැබෑ දානයක් අර්ථගැන්වෙන්නේ ධාර්මිකව උපයාගත් දෙයක්, අත්හැරීමේ චේතනාවෙන් හා කිසිඳු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී පරිත්‍යාග කිරීමෙනි. ඔබ දානයක් තුලින් බලාපොරොත්තු විය යුත්තේ දානය ලබන්නාගේ සතුට මිස අන් කිසිවක් නොවේ. ඔබ දුන්නේ ආහාරයක් නම් ඔබේ ආහාරය නිසා එය ලැබූ අයගේ කුසගින්න නිවෙන අයුරු මෙනෙහිකර සතු‍ටුවන්න. ඔබ යමෙකුට යහපත පහදා දී වරදින් මුදවා ගත්තේ නම්, ඒ තැනැත්තා යහමඟ යන අයුරු බලා සතු‍ටුවන්න. ඔබ යම් ප්‍රාණියෙකු අනතුරකින් හෝ මරණයෙන් මුදවා ගත්තේ නම්, ඒ ප්‍රාණියා තවමත් ජීවත්වන අයුරු මෙනෙහිකර සතු‍ටු වන්න.

දානය පිලිබඳව බුද්ධ දර්ශණයේ කුමක් කියැවේදැයි විමසාබලමු.

දානය පිලිබඳ බුද්ධ සංකල්පය
දිනක්‌ මහා ප්‍රජාපති ගෝතමිය ඇය විසින්ම බුදුරජාණන් වහන්සේ උදෙසාම පිලියෙල කල ඉතා වටිනා සිවුරු දෙකක් ‍රැගෙන බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට පැමිණියා. තමාට ඒවන විටත් අවශ්‍ය ප්‍රමාණයට වස්ත්‍ර තිබූනු නිසා එම සිවුරු බාර නොගත් උන්වහන්සේ, ඒවා මහා සංඝරත්නයට පූජා කරන ලෙසත්, එසේ පූජාකිරීම තමාට පූජාකිරීම හා සමවන බවත් වදාලා සිටියා. එහි අර්ථය නොවැටහුණු මහා ප්‍රජාපති ගෝතමිය, ඉතා කණගා‍ටුවට පත්වී ආනන්ද තෙරුන් හමුවී මේ බව සැලකර සිටියා.
ආනන්ද තෙරනුවෝ පසුව බුදුරජාණන් වහන්සේ හමුවී එය විමසනවා. මතු දැක්වෙන්නේ එයට බුදුරජාණන් වහන්සේ ලබාදුන් දීර්ඝ පිලිතුරේ සාරාංශයකි.

දානය වර්ග දෙකකට වෙන්කල හැක.
1) පුද්ගලික දානය
එක්තරා ‍තෝරාගත් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් වෙනුවෙන් දෙන දානය පුද්ගලික දානයකි. පුද්ගලික දාන වර්ග 14ක් පවතී.
  1. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට දන්දීම.
  2. පසේ බුදුරජාණන් වහන්සේට දන්දීම.
  3. රහතන් වහන්සේට දන්දීම.
  4. රහත් ඵලය අවබෝධ කරගැනීමේ මාර්ගයට පිවිසුනු උතුමන්ට දන්දීම.
  5. අනාගාමී වූ උතුමන්ට දන්දීම.
  6. අනාගාමී ඵලය ලබාගැනීමේ මාර්ගයට පිවිසුනු උතුමන්ට දන්දීම.
  7. සකෘදාගාමී වූ උතුමන්ට දන්දීම.
  8. සකෘදාගාමී ඵලය ලබාගැනීමේ මාර්ගයට පිවිසුනු උතුමන්ටද දන්දීම.
  9. සෝවාන් වූ උතුමන්ට දන්දීම .
  10. සෝවාන් ඵලය ලබාගැනීමේ මාර්ගයට පිවිසුනු උතුමන්ට දන්දීම.
  11. සසුන්ගත නොවූමුත් කාමයන් පහකල තාපසයන් කෙරෙහි දන්දීම. 
  12. පෘථග්ජන සිල්වතුන්ට (භික්‍ෂූන් වහන්සේලා) දන්දීම. 
  13. පෘථග්ජන දුස්‌සීලයාට දන්දීම.
  14. තිරිසන් සතුන්ට දන්දීම.

2) සාංඝික දානය
මහා සංඝරත්නය වෙනුවෙන් ලබාදෙන දානය සාංඝික දානයයි.
  1. බුදුරජාණන් වහන්සේ  ප්‍රධාන භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිස වෙනුවෙන් දෙන දානය.
  2. සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිස වෙනුවෙන් දෙන දානය.
  3. භික්‍ෂු සංඝරත්නයට දෙන දානය.
  4. භික්‍ෂුණී සංඝරත්නයට දෙන දානය.
  5. ආරාධනාවක්‌ ඇතිව වඩින‌ භික්‍ෂු භික්‍ෂුණී දෙපිරිස වෙනුවෙන් දෙන දානය.
  6. ආරාධනාවක්‌ ඇතිව වඩින භික්‍ෂු සංඝරත්නයට දෙන දානය.
  7. ආරාධනාවක්‌ ඇතිව වඩින භික්‍ෂුණි සංඝරත්නයට දෙන දානය.
වර්තමානයේ ප්‍රායෝගික භාවිතයේදී ඔබ දෙන්නේ 6 වන වර්ගයට අයත් සාංඝික දානයකි.

තවද බුදුරජාණන්වහන්සේ මෙසේ වදාල සේක.
"ආනන්දය, තිරිසන් සතෙකුටවුවද දෙන දානය සිය ගුණයක ආනිසංස ලැබෙන පුන්‍යක්‍රියාවකි. පෘථග්ජන දුස්‌සීලයාට දෙන දානය දහස් ගුණයක ආනිසංස ලැබෙන පුන්‍යක්‍රියාවකි. පෘථග්ජන සිල්වතාට දෙන දානය ලක්‍ෂයක් අනුහස් ලැබෙන්නකි. සසුන්ගත නොවූමුත් කාමයන් පහකල තාපසයාට දෙන දානයේ අනුහස් කෝටිලක්‍ෂයකි. එසේනම් මාර්ගඵල ලැබූ හෝ එම මාර්ගයට පිවිසුනු උතුමන්ට දෙන දානයේ ආනිසංස ගැන කවර කතාද? පසේ බුදුරජාණන් වහන්සේට දෙන දානයේ ආනිසංස ගැන කවර කතාද? තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට දෙන දානයේ ආනිසංස ගැන කවර කතාද?"

"එසේම ආනන්දය, පුද්ගලික දානයට වඩා සාංඝික දානය මහත්ඵල මහානිසංස ලැබෙන්නකි. අනාගතයේදී දුෂ්ශීලී භික්ෂූන්(කාසාවකණ්ඨ) ලොව පහල වන්නේය. ඒ දුෂ්ශීලී භික්ෂූන් වෙනුවෙන් දෙන සාංඝික දානය පවා පුද්ගලික දානය අභිබවා ගිය අප්‍රමාණ අනුහස් ඇත්තේය."

එසේම දාන විශුද්ධි 04 ක් ගැනද බුදුරජාණන්වහන්සේ දේශනාකල සේක.
1. සිල්වතෙක් විසින් දුශ්ශීලයෙකුට දන්දෙයිද, ඒ දානය දායකයා කෙරෙන් පිරිසිදුවේ.
2. දුශ්ශීලයෙක් විසින් සිල්වතෙකුට දන්දෙයිද, ඒ දානය ප්‍රතිග්‍රාහකයා කෙරෙන් පිරිසිදුවේ.
3. දුශ්ශීලයෙක් විසින් දුශ්ශීලයෙකුට දන්දෙයිද,  ඒ දානය දෙපසින්ම පිරිසිදු නොවේ.
4. සිල්වතෙක් විසින් සිල්වතෙකුට දන්දෙයිද, එවන් වූ දානය මහත් ඵල ඇත්තේ වෙයි. ආමිස දාන අතුරින් අග්‍රවෙයි.

අවබෝධයෙන් පරිත්‍යාග කරමු
පරිත්‍යාගයේදී අවබෝධය ඉතා වැදගත්ය. බුදුරජාණන්වහන්සේ දේශනා කර ඇත්තේ තිරිසනාට දෙන දානයට වඩා සිල්වතාට දෙන දානයේ ආනිසංස වැඩිබවයි. එය එසේ හෙයින්, වැඩි පිනක් පතමින් කුසගින්නේ සිටින තිරිසනා දෙස නොබලා කුස පිරී ඇති සිල්වතාට දන්දියයුතු බවක් උන්වහන්සේ දේශනා කොට නැත.

දිනක් චඡ්චගොත්ත නම් බමුණෙකුට බුදුරජාණන්වහන්සේ  මෙසේ වදාල සේක.
"වඡ්චය, අසූචි පිරි මඩ වලක හෝ ගම් දොර ගවර වලක හෝ යම් ප්‍රාණියෙක් වෙත්ද, එම සත්වයෝ මෙයින් ජීවත් වෙත්වායි, ප්‍රාර්ථනයෙන්  සැළි හෝ මළ සේදූ වතුරක් හෝ දමත්ද, මම ඒ හේතුකොටගෙනද පින් සිදුවන බව කියමි."

තවද, දැන දැනම අකුසලයකට හෝ අසාධාරන ක්‍රියාවකට දෙන ආධාරය දානයක් නොවේ.
එසේම, තමා කුසගින්නේ සිටිමින් අනිකාගේ කුස පිරවිය යුතු බවක්ද උන්වහන්සේ දේශනා කොට නැත. තමන් පරිත්‍යාග කල යුත්තේ තමන්ට ඇති හැකි අයුරින්ය.

දානය පිලිබඳ බෞද්ධ දර්ශණය පැහැදිලි කලේ බුදුදහමින් එදිනෙදා ජීවිතයට උගතහැකි දේ බොහෝ බැවිනි. එසේ හෙයින් මේ ලිපිය බෞද්ධ ලිපි අතරට වෙන්කරනවාට මගේ කැමැත්තක් නැත. මා එසේ කියන්නේ, යමෙකුට යමක් දීමෙන් ලැබෙන සතුට හා ආනිසංස බෞද්ධයන්ට පමණක් සීමා නොවන බැවිනි. ඔබේ ආගම, ජාතිය, දේශය කුමක් වුවත්, ඔබේ හමේ වර්ණය කුමක් වුවත්, ඔබේ වයස හෝ තරාතිරම කුමක් වුවත්, පරිත්‍යාගයෙන් ලැබෙන නිරාමිස ප්‍රීතියේ වෙනසක් නැත. එය ලෝක ධර්මතාවයකි. ආගමකට සීමා වූවක් නොවේ.
දන්දීමේ චේතනාව වුව ඇතිවන්නේ, තෘෂ්ණාව අඩුකරගත් විටය. ඔබ දසණ්‌ණක ජාතකය ගැන අසා තිබේද? එය ලියා දැක්වීමෙන් ලිපිය දික්කරගැනීමට නොකැමති නිසා, ඉන් කියැවෙන අදහස පමණක් ලියා දක්වමි. ඉන් කියැවෙන්නේ, තමා සතුදෙයක් අනුන්ට දෙමියි කියා යමෙක් කියයිද, එය ඉතා අපහසු කටයුත්තක් බවයි. තෘෂ්ණාව හැරපියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර ක්‍රියාවක් බවය. දුන් දේ ගැන පසුව නොතැවේ නම් එය පෙර කී කරුණු දෙකටත් වඩා දුෂ්කර බවය.
ඔබ බෞද්ධයෙක් නම් මේ ටිකත් සිතන්න.
මේ සක්වලෙහි සත්වයන් සෑමවිටම මැරෙමින් ඉපිදෙමින් අනන්ත කාලයක සිට පැවත එනබව බුදුරජාණන්වහන්සේ වදාල සේක. මේ ආරම්භයක් නොමැති සසරේ සෑම සත්වයෙක්ම සෑම වර්ගයකම සත්වයන් හැටියටම ඉපදී ඇත්තේය. එසේම, එක සත්වයෙකුගේ මව, පියා, සහෝදරයා, සහෝදරිය, පුතෙකු, දියණියක, නොවූ තවත් සත්වයෙකු සොයාගැනීමට අපහසු බව උන්වහන්සේ දේශනා කර ඇත. තවද, මේ අනන්ත සංසාරයේදී එක සත්වයෙකු විසින් බොනලද මවුකිරි ප්‍රමාණය හෝ අඩනාවිට සැලූ කඳුලු ප්‍රමාණය මහ මුහුදේ වතුර ප්‍රමාණයට වඩා වැඩි බවද දේශනා කර ඇත. එවන් වූ අනන්ත සසරක කෙටිකාලීන නවාතැන්පොලක නතරව සිටින අපි, තෘෂ්ණාවෙන් වස්තුව  ‍රැස්කරගන්නේ කුමටද? පරිත්‍යාගශීලියෙකුවීමට ඔබ තවත් කල්මැරිය යුතුද? පෙන්වන්න... ඔබේ මනුස්සකම!

6 comments:

  1. දානයේ සැබෑ කුසලය වන්නේ දීමට මුල්වූ චේතනාවයි.

    ReplyDelete
  2. word verification අයින් කරන්න පුළුවන්නම් හොඳයි.

    ReplyDelete
  3. ඔන්න Word Verification අයින් කලා...

    ReplyDelete
  4. hmm පරිත්‍යාගශීලීත්වය ගැන කතා කරද්දී මට මතක උනා මගේ බ්ලොග් සහෝදරියකගේ බ්ලොග් එකේ තිබුණු ලිපියක්,, ඒ ලිපියේ රියදුරු අසුව දේ,, අන්න ඒ වගේ පරිත්‍යාගයක් කරන්න හිතන මනුස්සයා කොච්චර උතුම්ද...

    ReplyDelete
  5. මේත් දන්දීම ගැන වේදයෙන් කතාවක්

    …http://aagiyakatha.blogspot.com/2010/06/blog-post_26.html

    ReplyDelete