Wednesday, November 9, 2011

අයියණ්ඩි, බිය නොවන්න. මැරෙනහැටි මම පෙන්වන්නම්!

1815 මාර්තු 2 වෙනි දින ඇතිකරගත් උඩරට ගිවිසුමෙන් ලංකාව පූර්ණ යටත්විජිතයක් වූ බව අප හොඳින් දන්නා කාරණයක්. මෙසේ ඉංග්‍රීසීන්ට කන්ද උඩරට යටත් කරගැනීම පහසු කරවූ විවිධ කාරණා තිබුනා. උඩරට රදලයන්ගේ සහ සිංහලයන්ගේ සහයෝගය ලැබීම එහිදී ඉංග්‍රීසීන්ට මහත් වාසියක් වුනා. එය එසේ වූයේ ඇයි? ඊට බලපෑ බහුවිධ කාරණා අතුරින් එකක් වන්නේ ඇහැලේපොල කුමාරිහාමි සහ දරුවන්ට ලබාදුන් කෲර දඬුවමයි. එය රජු කෙරෙහි ජනතාවගේ කලකිරීම ත්‍රීව්‍ර කිරීමට හේතු වුනා. අද ලිපියෙන් සිහිපත් කරන්නේ ලංකා ඉතිහාසය වෙනස් කිරීමට තරම් බලපෑ ඒ සිදුවීමයි.

පෙරවදන
ඒ 1798 වසරයි. රාජාධිරාජසිංහ රජු අභිරහස් ලෙස ඝාතනය වන්නේ මේ වකවානුවේය. ඒ මරණයත් සමග රජකමට නීත්‍යානුකූල උරුමකරුවා වූයේ මුත්තුසාමි නම් කුමාරයාය. නමුත් පිළිමතලව්වේ අධිකාරම විසින් තම අනියම් බිරිඳ වූ සිරියම්මාගේ පුතු 18 වියැති කන්නසාමි කුමරුට "ශ්‍රී වික්‍රම රාජසිංහ" නමින් රජකම ලබාදුන්නේය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට මුල් කාලයේදී ජනතා සහය හොඳින් ලැබුනි. එසේ නොවන්නට 1803 ජනවාරි 31 දා එල්ලවූ ඉංග්‍රීසි ආක්‍රමණයට සාර්ථකව මුහුනදිය නොහැකිවන්නට තිබුනි. නමුත් පසුකාලීනව ජනතාව සහ උඩරට රදලයන් රජු කෙරෙහි කලකිරුනු බව සඳහන්ය. 
1812 දී දළදා මැදුර හා මල්වතු විහාරය අතර පිහිටි හෙක්ටයාර් 18ක් පමණ විශාල කුඹුරු යායක් බලෙන් පවරාගත් රජු දහස් ගණනින් මිනිසුන් බලෙන් සේවයේ යොදවා නුවර වැව තනවන ලදී. ඔවුන්ගේ ශ්‍රමය වෙනුවෙන් කිසිදු ගෙවීමක් හෝ ආහාර සැපයීමක් නොකෙරුණි. මේ අතර නිලමේවරුන් හා රජු අතර නිතර ගැ‍ටුම් ඇතිවිය. එම ගැ‍ටුම්වල ප්‍රතිඵලයක් ලෙස 1811 අගෝස්තු 26 දින, පිළිමතලව්වේ මරණ දඬුවම ලැබීය. හිස් වූ මහ අදිකාරම් තනතුර හිමිවූයේ ඇහැලේපොලටයි. ඇහැලේපොල මහ අදිකාරමුත් වැඩි දිනක් නොගොස් රජු සමඟ ගැ‍ටුම් ඇතිකර ගත්තේය. (රජු රූමත් කුල කතක වූ ඇහැලේපොල කුමාරිහාමි පිලිබඳව ආශාවෙන් සිටි බවද කියැවේ.) මෙහි ප්‍රතිඵලයක් ලෙස, රජු විසින් ඇහැලේපොල මහ අදිකාරම බදු එකතුකිරීමේ රාජකාරි සඳහා සබරගමුවට යවන ලදී. මේ අතර බලකාමයෙන් මත්ව සිටි මොල්ලිගොඩ හා කඳපොල වැනි නිලමේවරුන් සිදු කරේ, ඇහැලේපොලට විරුද්ධව රජුට ගතු කීමයි. මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය වූයේ, රජු තව තවත් ඇහැලේපොල මහාධිකාරම කෙරෙහි උදහස්වීමත්, මහාධිකාරම තව තවත් ඉංග්‍රීසීන්ට ලංවීමත්ය. රාජවිරෝධී චෝදනා යටතේ, ඇහැලේපොල කුමාරිහාමි, දරුවන් ඇතුලු නෑසිය පරපුර ඝාතනය වන්නේ මේ හේතුව නිසාය.

මහා ඛේදවාචකය
එදා 1814 මැයි 17 වැනිදාය. හාත්පස මහා මූසල බවක් දිස්විය. සිරභාරයේ සිටි ඇහැලේපොල පවුල, දළදා මැඳුර අබියස නාථ හා විෂ්ණු දේවාල අතර පිහිටි දේව සංහිද නමින් හැඳින්වුණ භූමියට ‍රැගෙන එන ලදී. තමාට අත්වීමට යන ඉරණම තේරුම්ගත් කුමාරිහාමි, දරුවන් අස්වසාලන්නට විය. ඇය මේ ලේ පිපාසිත කෲර රජුට සාපකරන්නට විය. තම ස්වාමියාගේ ගුණ සිහිකරන්නට විය. මේ සියල්ල දෙස රජු රජ වාසලේ සිට බලා සිටියේය. 
දඬුවම් පැමිණවීමේ වාරය උදාවිය. රාජනීතියට අනුව ස්ත්‍රීන් දියේ ගිල්වා මැරීමටත්, පිරිමි දරුවන්ගේ හිස් ගසාදැමීමටත් නියෝග කෙරුණි. ඇතැම් ඉතිහාසඥයින්ගේ මතය වන්නේ මේ අණ ලබාදෙන විට රජු වයින් පානයකර බමන මතින් සිටි බවයි. මුලින්ම මරණයට කැපවූයේ එකොළොස්‌ හැවිරිදි ලොකුබණ්ඩාරය. මරණ බියෙන් තැතිගත් ඔහු, අඬා වැලපෙමින්, මවු තුරුලේ සැඟවෙන්නට විය. එය දු‍ටු නව හැවිරිදි මද්දුම බණ්‌ඩාර, ධෛර්ය්‍යසම්පන්නව ඉදිරියට පැමිණ, "අයියණ්‌ඩි, බිය නොවන්න, මැරෙන හැටි මම පෙන්වන්නම්" යෑයි පවසමින් ගහලයාට ගෙල පෑවේය. ඉන්පසු ලොකු බණ්‌ඩාර ඇතුලු දරුවන් ඝාතනය කරන ලදී. කෝපයෙන් ගිනියම්ව සිටි රජු මීලගට නියෝග කර සිටින්නේ කුඩා දරුවාගේ(ඩිංගිරිමැණිකා) හිස වංගෙඩියට දමා කෙටීමටයි. කුමාරිහාමි එය ඉ‍ටු නොකොට ශෝකයෙන් බලාසිටින්නට විය. නියෝගය ඉටු නොකළොත් මුළු පරපුරම රොඩී රැහැට යවන බවට කෲර රජු නැවතත් තර්ජනය කලේය. එහි දී මොල්ලිගොඩ අදිකාරම් ඇයට මෙසේ කීවේය. "සහෝදරිය, තමුන්ගෙ වංශෙට නින්දා කරන්න එපා. එය පිලිපදින්න."
ගෙලෙන් ලේ සහ මුවින් කිරි වැගිරෙන බිලිඳු හිස මත, කුමාරිහාමි එක වරක් මෝල්ගහ පතිතකල බවත්, ඉන් අනතුරුව කලාන්ත වී ඇදවැ‍ටුනු බවත් සඳහන් වේ.
නියෝගය ක්‍රියාත්මක කළ පලිපාලන කෝරාළ ද සිහිසුන්ව වැටුණි. මෙවැන්නකට මුහුනදීමට ශක්තියක් නැති නිලධාරියෙක් සිටීම මට අවනම්බුවකැයි පැවසූ රජු, එවෙලේම ඔහුව බලයෙන් පහ කරන ලදී. අනතුරුව ඇහැලේපොල කුමාරිහාමිත්, ඇයගේ නෑනණ්‌ඩිය වන පුස්‌සැල්ලේ කුමාරිහාමි හා සෙසු කාන්තාවනුත් බෝගම්බර වැවේ ගිල්වා මරාදමන ලදී. 
ඔබ මේ සිදුවීම ගැන චිත්තරූප මවාගැනීමට වෙහෙස විය යුතු නැත. මද්දුමබණ්ඩාර චිත්‍රපටයෙන් උපටාගත් පහත දර්ශණපෙල ඊට උපකාරී කරගත හැක. සැබෑ සිදුවීමට 100%ක් සමාන නොවුනත්, සිදුවීම පිලිබඳ දල අදහසක් ලබාගැනීමට මෙය උපකාරී වේ.


video
[දර්ශන අනුග්‍රහය - www.col3negoriginal.com අයිතිය - Dinith Entertainment]

මේ සිද්ධියෙන් කෝපයට හා ශෝකයට පත් රටවැසියන් දින දෙකක් පමණ යනතුරු ගිනි පත්තු කිරීම් නොකොට නිරාහාරව සිටි බව සඳහන් වේ. ඇහැලේපොල දරු පවුල මුහුණ දුන් ඛේදවාචකය 1815 උඩරට ගිවිසුමට කුරිරු දඬුවම් නැවැත්වීම පිළිබඳ වගන්තියක්‌ ඇතුලත් කිරීමටද හේතුවක්‌ විය. ඒ සිදුවීමෙන් පසු මද්දුමබණ්ඩාර කුමරු ලමා වීරයෙක් ලෙස සැලකූ අතර, දළදාමැඳුර දෙසට මුහුණලා සිටින මද්දුමබණ්ඩාර පිලිරුව අදටත් මහනුවර දළදාමාලිග පරිශ්‍රයේ දක්නට ලැබේ.

පසුවිපරම
උඩබලාගෙන කෙල ගැසීමක් බඳු මේ සිදුවීමෙන් වැඩි වාසි අත්වූයේ ඉංග්‍රීසින්ටයි. අවසානයේ රජුට සිදු වූයේ ඉංග්‍රීසීන්ගෙන් බේරීමට සැඟවී සිටීමටයි. 
ඒ 1815 පෙබරවාරි 18 වන දිනයි. මේ වන විට රජු තම බිසවුන් දෙදෙනෙකු සමඟ මහනුවර බෝමුරේ පිහිටි උඩුපිටියේ ගෙදර ආරච්චිලාගේ නිවසේ සැඟවී සිටියේය. එක්‌නැලිගොඩ ප්‍රමුඛ පිරිස රජු අත් අඩංගුවට ගැනීමට පැමිනෙන්නේ මේ අතරය. රජු එකවරම යටත් වූයේ නැත. මහත් කලහයකට පසු, රජු ඇතුලු පිරිස අත් අඩංගුවට ගන්නා පිරිස, ඔවුනට හිරිහැර කරමින් කොළඹට ‍රැගෙන එන ලදී. මේජර් හුක් ප්‍රමුඛ පිරිස ඔවුන්ව හිංසනයෙන් මුදවාගත් බව සඳහන් වේ. 
පසුකාලීනව මුරුසියට පි‍ටුවහල් වූ ඇහැලේපොල නිළමේ වසර 56ක් ආයු වළදා 1829 දීත්, වෙල්ලෝරයට පි‍ටුවහල් කරන රජු වසර 52ක් ආයු වලඳා 1832 ජනවාරි 30 වෙනිදාත් මියගියබව ඉතිහාසයේ සඳහන්වේ.

10 comments:

  1. ගොඩක් වැරදි තීරණ වලට හේතුව බිමත් කමයි. ඒක එදාට මෙන්ම අදටත් වලංගු දෙයක් කියලයි මට නම් හිතෙන්නෙ.

    ReplyDelete
  2. ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහල රජ කෙනෙක් නෙවෙයි. ඔහු වඩුග ජාතික සම්භවයක් සහිත අයෙක්. අවසාන සිංහල රජතුමා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ .

    ReplyDelete
  3. @ විසිතුරු | visituru,
    ඔව්. ඔබ හරි. මට කීමට උවමනා කලේ ඉංග්‍රීසීන්ට යටත් වීමට පෙර ලංකාවේ රාජවංශයක අවසානය එසේ සිදුවූ බව.
    ක්‍රි.ව.1707 සිට 1739 දක්වා මහනුවර රජකල ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ තමයි අවසාන සිංහල රජු ලෙස සඳහන්වන්නේ. වයස 17දී රජවී වසර 32ක් පාලනය කර, ක්‍රි.ව. 1739 මැයි 13 දින රජු මියයන්නේ සිය නායක්‌කර් වංශික මෙහෙසියගේ සොහොයුරාට (ශ්‍රී විජය රාජසිංහ) උඩරට සිංහාසනය පවරා දෙමින්. ඊට මැදිහත්වී කටයුතු කලේ සරණංකර හිමියන් හා ඇහැලේපොළ මුදියන්සේ නම් මහාදිකාරම් වරයාය. එතැන්සිට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දක්වාම උඩරට රජකම් කලේ නායක්කාර් වංශිකයන්.
    එය පෙන්වා දුන්නාට ගොඩක් ස්තූතියි. :)

    ReplyDelete
  4. සාඩම්බරනීය ලාංකීය ඉතිහාස මෙලස බොලොගයක දක්නට ලැබීම ගැන සතු‍ටු වෙමි :D

    ReplyDelete
  5. මේ බ්ලොගය කියෙව්වේ අදයි. සුභ පැතුම්.

    ඇහැලේපොල පවුලට දුන් දඬුවම ගැන වෙනස් මතයක් පළ කළා එක විද්වතෙක්. ඔහුගේ නම පෝල් පීරිස් විය යුතුයි. ඔහු මෙහිත් කියවෙන එක්නැලිගොඩගේ පරපුරින් පවත එන කෙනෙක්. ඔහු කියන ආකාරයට ඇහැලේපොල බිලිඳිය කෙටවීම බොරුවක්. එය රජු කෙරෙහි මිනිසුන් කළකිරවීමට ඉංග්‍රීසින්ගේ ඔත්තුකරුවන් සහ විරුද්ධවාදී රදළයන් පැතිරවූ කට කතාවක්. එක් ඉංග්‍රීසි නිලධාරියකු (හෙන්රි මාර්ෂල් දැයි මට හරියටම මතක නැහැ, මාර්ෂල් තමා කැප්පෙටිපොල විසින් සිය අවසන් මොහොතේ ධම්ම පදය තිළිණ කරනු ලබූ වෛද්‍යවරයා) කියා තිබෙනවා උඩරට සියල්ලන්ම මේ සිද්ධිය අසා ඇත්තේ ආරංචි මාත්‍රයෙන් පමණක් බව.

    ඉහත කී විද්වතා පෙන්වා දෙන්නේ රජු මේ දඬුවම නියම කළේ එවකට පවතී සිරිත් නීති අනුවම බව. රාජ ද්‍රෝහියකුට දිය හැකි බරපතලම දඬුවම් දෙකක් තිබෙනවා, රොඩී රැහැට පිටමන් කිරීම හෝ සියලුම සාමාජිකයන් මරා දැමීම. මින් පළමුවැන්න වඩා අවමන් සහගත සහ කෲර ලෙස සැලකුණා. සමූල ඝාතනය නියම කරන ලද්දේ ඒ අනුව බවයි ඔහුගේ මතය. දරුවන් කෙටවීම එවක පවතී රාජ දඬුවම්වල නො ආ දෙයක්. කෙසේ හෝ මෙවැනි දෙයක් කල බව කියවෙනවා සීතාවක රාජසිංහ රජු. ඒ හැර කිසිදු අවස්ථාවක මෙය නියම කොට නැහැ.

    මා මෙය ලීවේ බොහෝ කලකට පෙර කියවූ මතකයකින්. මූලික අදහස විනා නම් ගම් සහ විස්තර එතරම් නිරවුල්ව මතක නැහැ. ඒ ගැන සමා වෙන්න. තව එකක්. මෙහි කියවුන හුක් නම් නිලධාරියා මේජර්වරයකු නොවේ, කර්නල්වරයෙක්. ඔහු පසු කාලයකදී 1818 කැරැල්ලේදී බොහෝ තිරස්චීන ක්‍රියා කළ තැනැත්තෙක්. එය මෙහි ලීවේ ඔහු මානුෂික ගති ගුණවලින් හෙබි අයකු ලෙස පෙනී යා හැකි නිසා. රජු අල්ලා ගැනීමේදී මානුෂික ගුණයක් ප්‍රදර්ශනය කළේ ජෝන් ඩොයිලි. ඔහුගේ නියෝගය අනුවයි හුක් ඇතුළු පිරිස පැමිණ රජුට ගරු සරු ඇතිව සැලකුවේ. උඩරට සමග ගනු දෙනු කිරීමේදී ඩොයිලි කළ සට කපටකම් අපමණයි. ඔහු අති ශූර විචක්ෂණ නිලධාරියෙක්. බොහෝ අය ඔහු දන්නේ පරිපාලන නිලධාරියකු ලෙසයි. එහෙත් ජෙනරාල් ජෝන් ඩොයිලි හමුදා නිලධාරියෙක්. ලංකාවේදී ඔහු හමුදා සේවයේ යෙදී නැහැ. කෙසේ වුවත් ඔහු මිනිසකු වශයෙන් බොහෝ යහපත් ගති ගුණ තිබුණු කෙනෙක්.

    ReplyDelete
  6. සියලුදෙනාට ගොඩක් ස්තූතියි අදහස්වලට.

    @Asanga,
    බිලිඳිය කෙටවීම ගැන පෝල් පීරිස්ගෙ මතය නම් මම අදමයි ඇහුවෙ. ගොඩක් වටින තොරතුරු ටිකක්! බෙදාගත්තාට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සම්බන්ධ විස්තර කීපයක්ම මේ සටහන් දෙකේ තිබෙනවා. ඒ කරුණුත් ඔබේ දැනුමට රුකුලක් වේවි කියලා හිතනවා...


      ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව පාවා දුන් අයට වැදුණු ශාපය ???
      http://aagiyakatha.blogspot.com/2012/06/07.html

      ලංකාවේ අන්තිම රජ්ජුරුවන්ට අන්තිමට මොකද වුණේ ?
      http://aagiyakatha.blogspot.com/2012/07/09.html

      Delete
  7. ඒ කෲර ක්‍රියාවට රජුට ලැබුණු දඬුවම හොඳටම මදි වගේ නේද? සෑහෙන්න වැදගත් විස්තරයක්.මම දිගටම මේ පැත්තෙ එනවා.ජය!!

    ReplyDelete
  8. ඇහැලේපොල කුමාරිහාමි , මොනරවිල නිලමෙ තුමාගේ සොහොයුරියක් නේද ?

    ReplyDelete