Sunday, October 12, 2025

දිගාමඩුලු වනපෙත අතරින්...

බොහෝ කලක් තිස්සේ තිබුනු බලාපොරොත්තුවක් ඉ‍ටුකරගන්න අද අපි යනවා දිගාමඩුලු පුරවරයට. 

උදෑසනින්ම මහනුවර ඉඳන් ගමන් ආරම්භ කරපු අපේ පලමු දින ගමන්මග වැටිල තිබුනේ මහියංගනය, මහඔය හරහා අම්පාරට. පහතින් තියෙන්නේ අපේ පලමු නැවතුම.

මහඔය උණුදිය උල්පත්! දිගු ගමනක වෙහෙස නිවාගන්න උණුවතුර ටිකක් නාගන්න කදිම ස්ථානයක්.
උදෑසන 8 සිට රාත්‍රී 10 වනතුරු මෙම ස්ථානය සංචාරකයින්ට විවෘතව පවතිනවා. 50°C - 60°C පමණ උෂ්ණත්වයක් සහිත වතුර ලිං 7කට වැඩි ප්‍රමාණයක් මෙහිදී දැකගැනීමට ලැබුනා. ඇතැම් ලිං වල ජලය පිරී ඉතිරී යන ආකාරය දැකගැනීමට ලැබුනා. ඒ වගේම තවත් ලිඳක ජලය අත පිලිස්සෙන තරමේ අධික උණුසුමකින් යුතු බවත් අපට දැනුනා. විවිධ ලවණ සහ සංඝටක සහිත මේ ජලය ස්නානය කිරීම සමේ රෝග වලට ගුණදායක බව එතැන උන් ඇතමෙක් පැවසුවා. 
උණුදිය උල්පතට සමුදුන් අපි නැවතත් ගමන් ආරම්භ කරා. මහඔය නගරයෙන් දිවා ආහාරය ලබාගත් අපේ ඊලඟ ගමනාන්තය උනේ මෙතන. 
අරන්තලාව ජාත්‍යාන්තර බෞද්ධ මධ්‍යස්ථානය! 1987 ජූනි මස දෙවෙනිදා. අඟහරුවාදා දිනයක්. නැගෙනහිර පලාතට දීප්තිමත්ව ඉරපායා තිබුනා. සාමනේර හිමිවරු ඇතුලු භික්ෂූන් වහන්සේලා 34 නමක් 60-3599 දරණ රතු පැහැති බසයකින් අම්පාරේ සිට පැමිණෙමින් සිටියා. අරන්තලාව ප්‍රදේශයේදී  බසය නැවැත්වූ LTTE කොටි ත්‍රස්ථවාදීන් පිරිසක් එය යාබද කැලෑවට ගෙන යන ලෙස රියදුරුට අණකලා. එතැනදී බසය වට කරගත් 40ක පමණ ත්‍රස්ථවාදීන් පිරිසක් බසයට කඩා වැදී එහි රියදුරාත්, කොන්දොස්තරවරයාත්, නායක හිමිනම වූ 55 වියැති හෑගොඩ ඉන්ද්‍රසාර හිමි ඇතුලු තවත් ස්වාමීන්වහන්සේලා තිස් නමකුත් ඉතා අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කලා. ඝාතනය වූ බොහෝ පිරිස ලමා වයසේ පසුවූ සාමනේර හිමිවරු. මෙහිදී ස්වාමීන් වහන්සේලා තුන් නමක් සහ ගිහියෙක් පමණක් දිවිබේරා ගැනීමට සමත් උනා. ඔවුන් පැවසූ ආකාරයට කුඩා හිමිවරු 'අම්මේ' ලෙසත් තවත් ස්වාමීන්වහන්සේ නමක් "වතුර වතුර.." යනුවෙනුත් ආයාචනා කර ඇති බව සඳහන් උනා. මෙකී ඛේදවාචකය සිදුවූ තැන උඩ ඡායාරූපයේ දැක්වෙන ස්මාරකය ඉදිකර තිබෙනවා. මෙම ස්ථානය නැරඹීමට පැමිණි ඇතමෙක් සංවේදී වන ආකාරයත් තවත් අයෙක් සිය කඳුලු සඟවාගත නොහැකිව ඉකිගසන ආකාරයත් දැකගැනීමට ලැබුනා.
අරන්තලාවෙන් සමුගත් අපේ ඊලඟ නැවතුම උනේ රජගල පුරාවිද්‍යා පරිශ්‍රය. නටඹුන් සහිත ප්‍රදේශයට ලඟාවීමට කිලෝමීටරයකට අධික දුරක් පාගමනින් ගමන් කල යුතුයි. ඒ සඳහා මාර්ග දෙකක් තිබුනා. ප්‍රතිසංස්කරණය කරනලද පියගැට පෙලක් සහිත මාර්ගය වෙනුවට අපි දුෂ්කර කැලෑබද මාර්ගය ‍තෝරාගත්තා. මේ තියෙන්නෙ ඒ අතරමඟ මගේ කැමරා කාචයේ සටහන් වුනු දසුනක්.
පැයකට ආසන්න පාගමනකින් පස්සෙ අපි ලඟා උනේ තැනිතලා ප්‍රදේශයකට. මේ ස්ථානයට රජගලතැන්න කියා නම ලැබෙන්න හේතුව අපිට අවබෝධ උනේ මෙතනදි. සම්පූර්ණයෙන් වියලී නොගිය අලි වසුරු තැනින් තැන දක්නට ලැබුනා. මෙම ප්‍රදේශයේ නිරන්තරයෙන් වන අලි ගැවසෙන බවට මේ අලි වසුරු සාක්ෂි සැපයූවා.
ඉහල දකුණු ඡායාරූපයේ තියෙන්නෙ මිහිඳු සෑය. මිහිඳු හිමිගේ සහ ඉත්තිය තෙරුන්ගේ ධාතු තැන්පත්කර තනපු මේ චෛත්‍යයත් ඒ අසල තිබුනු සෙල් ලිපියත් නටඹුන් අතර වැදගත් තැනක් ගන්නවා.
මේ තියෙන්නෙ ජත්‍රාකාර කොතක් සහිත ස්ථූපයක්. ඊට අමතරව භික්ෂූන්ගේ ජල අවශ්‍යතා වෙනුවෙන් තනපු වැවත්, කුඩ ලෙන, සිතුවම් ලෙන, දාන ශාලා, ස්ථූප, බෝධිඝර, බුදු පිලිම, මුරගල්, විශාල ශිලා පාත්තර ආදී නටඹුන් සිය ගනනක් මේ ප්‍රදේශයේ අක්කර 1000කට අධික භූමියක පැතිර පවතින බව දැනගැනීමට ලැබුනා. 
රජගල තැන්නේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය කරා දිව යනවා. පසුකාලීනව රජවරුන් බොහෝ පිරිසක් අතින් මෙම ස්ථානය අලුත්වැඩියා වී තිබෙනවා. සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජිතිස්ස කුමරු විසින් ක්‍රි.පූ 119 ආසන්න වකවානුවකදී මෙම ස්ථානයේ මුල්වරට විහාරයක් කරවූ බව මහාවංශයේ සඳහන් වෙනවා. පසුව මෙය වනවාසී භික්ෂු මධ්‍යස්ථානයක්ව පැවතිලා තියෙනවා. 
රජගල තැන්න මුල්වරට නරඹන ඔබ මාර්ගෝපදේශකයෙකුගේ සහය ලබාගන්නා ලෙස මම යෝජනා කරනවා. ඒ සඳහා පහසුකම් මෙම ස්ථානයේ සපයා තිබුනා. ඒ වගේම රජගල තැන්න නැරඹීමට ඇති තරම් ජලය ‍රැගෙන යන ලෙසත්, දින 1/2කට නො අඩු කාලයක් මේ සඳහා වෙන්කරගන්නා ලෙසත් මම යෝජනා කරනවා.
රජගලතැන්නෙන් සමුගත් අපි අපේ පලමුදින නවාතැන්පල වෙත සේන්දු උනා. අම්පාර නගරාසන්නව රජවැවට යාබදව එය පිහිටා තිබුනා. මේ තියෙන්නේ පසුදින පාන්දර නවාතැන්පොල ඉදිරිපිටදී මගේ කැමරා කාචයේ සටහන් වූ දර්ශනයක්!
දෙවන දිනයේ අපේ ආරම්භක නැරඹුම්පොල උනේ බුද්ධංගල ආරණ්‍ය සේනාසනය. ක්‍රි.පූ. 2-3 අතර කාලයේදී දිගාමඩුල්ලේ පාලකයාව සිටි දීඝායු කුමරු විසින් මෙහි ජනපද පිහි‍ටුවන්නට ඇතැයි සැලකෙනවා. අක්කර 1200කට අධික වපසරියක පැතිරුනු මෙකී විහාර භූමිය තුලදී වටදාගෙයක්, රහතුන් වැඩසිටි ලෙන් ආදී නටඹුන් දැක බලාගන්න පුලුවන්.
ගල් ඔය බහුකාර්‍ය යෝජනාක්‍රමයට සමගාමීව මේ ප්‍රදේශය 1964න් පසු සංවර්ධනය වී තිබෙනවා. මේ ඡායාරූපය ඒ අවදියේ ලබාගත්තක්. මෙහි දැක්වෙන චෛත්‍යයේ බුදුන්ගේ සහ අග්‍රශ්‍රාවක දෙනමගේ ධාතූන් නිධන්කොට ඇති බව සඳහන් වෙනවා.

බුද්ධංගලින් සමුගත් අපි නැවතුනේ දීඝවාපී විහාරයේ. විශාලත්වය අතින් ලංකාවේ සිව්වෙනි විශාලතම චෛත්‍යය ලෙස සැලකෙන්නේ දීඝවාපිය. ඔබ පාසලේදී බුද්ධධර්මය හදාරා තිබෙනවාද? එසේ නම් "මහියංගනං නාගදීපං කල්‍යානං පදලාංඡනං දිවාගුහං දීඝවාපී....." ලෙස සොලොස්මස්ථාන පාඩම් කලා මතක ඇති. ඒ අනුව බුදුරජාණන්වහන්සේගේ පා පහස ලද භූමියක් ලෙස දීඝවාපිය සැලකෙනවා. සද්ධාතිස්ස රජතුමා විසින් බුදුන්වහන්සේගේ ධාතූන් නිධන්කොට රියන් 185ක් උසට මෙම චෛත්‍යය ඉදිකල බව ඉතිහාස වංශකතාවල කියවෙනවා.
අද වනවිට යුධහමුදාවේ ශ්‍රම දායකත්වයෙන් මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකෙරෙන ආකාරය දැකගැනීමට ලැබුනා. මේ තියෙන්නේ අපි එහි සිටිනවිට ලඟා වූ ලොරියකින් ගඩොල් බා ගැනීම සඳහා බැතිමතුන් සිය ශ්‍රම දායකත්වය ලාබාදුන්  ආකාරයයි.  මීට අමතරව රු. 200/-ක මුදලකට ගඩොලක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවත් බැතිමතුන්ට සලසා දී තිබුනා.

දීඝවාපියට සමුදුන් අපි පොතුවිල් බලා පිටත් උනා. ඒ අතර හමුවන අක්කරෙයිපත්තු නගරයෙන් දිවා ආහාරය ලබාගත් අපේ ඊලඟ නැරඹුම්පොල උනේ මෙතන. සංගමන්කන්ද හෙවත් ලංකාවේ නැගෙනහිර කෙලවර. ප්‍රධාන මාර්ගයට යාබදව ඉදිකර තිබූ මේ තැපැල් කණුව ඒ බව සංකේතවත් කලා.

අම්පාර ඉඳන් පැය 1 1/2කට අධික ගමනකින් පසු අපි පොතුවිල් නගරයට සේන්දු උනා. 
මේ තියෙන්නේ පොතුවිල් මුහුදු මහා විහාරය.  අතීතයේ අක්කර 264ක් පුරාවටත් අද වනවිට අක්කර 30ක් පුරාවටත් පැතිර ඇති මුහුදු මහා විහාරය සැලකෙන්නේ විහාර මහාදේවිය ගොඩබට ස්ථානය විදියටයි.
මෙහි ආධාර කවුන්ටරයක උන් මැදිවිය ඉක්මවූ ගැමියෙක් මට මුනගැහුනා.  ඔහු හා මා අතර මේ ආකාරයේ දෙබසක් ඇතිඋනා.
මම - "අයියෙ.. මේ විහාරයේ තියෙන විශේෂත්වෙ මොකක්ද?"
ගැමියා - " මේකනෙ මහත්තයෝ... කැළණිතිස්ස රජතුමා තෙල් කටාරමේ දාල රහතන් වහන්සේල මැරුවනෙ. ඊට පස්සෙ ආවයි කියනවනෙ ලොකු සුනාමියක්. අන්න ඒ සුනාමියෙන් බේරෙන්න රාජකීය ලේ තියෙන කෙනෙක් මූදට බිලිකරන්න උනාලු. ඒකට ඉදිරිපත් වෙච්ච විහාරමහාදේවිය පාවෙල ආවයි කියන්නෙ මෙතෙන්ට නෙව.."
මම - "එතකොට කිරින්දෙන් ගොඩ බැස්සයි කියන කතාව මොකක්ද?"
ගැමියා - "ඒක වෙලා තියෙන්නෙ මෙහෙමනෙ මහත්තයෝ.. මුලින් කිරින්දට තමයි පාවෙල ඇවිත් තියෙන්නෙ.. ඒත් එදා මූද රලු නිසා ආපහු දියඹට ගිහින් මෙහෙන් තමයි ගොඩබැහැල තියෙන්නෙ.."
විහාර මණ්ඩපයේ තිබිල අපූරු පිලිම ත්‍රිත්වයක් දැක ගැනීමට ලැබුනා.  මේ පිලිමවලින් එකකින් බුදුරජාණන්වහන්සේ නිරූපණය කරනවා. අනිත් පිලිම ද්විත්වය ගැන විවිධ මත පලවී තිබෙනවා. එය කාවන්තිස්ස රජුගේ සහ විහාරමහා දේවියගේ බව ඇතමෙක් පවසද්දී තවත් අයෙක් මේ බෝධිසත්වයන් දෙදෙනෙකු බව පවසනවා. තවත් මතයකට අනුව මේ තියෙන්නෙ දු‍ටුගැමුණු සහ සද්ධාතිස්ස සහෝදරයන්ගේ පිලිම. මේ තියෙන්නේ මුහුදු මහා විහාරයට යාබදව තියෙන පොතුවිල් වෙරල තීරය.
පහලින් තියෙන්නේ පොතුවිල් නගරයට යාබදව ඇති ආරුගම්බේ වෙරලේ දිවා සහ සවස් කාලවලදී ලබා ගත් ඡායාරූප දෙකක්. 
අපි ගිය දිනවලදී ආරුගම්බේ සංචාරක කලාපයට දැඩි ආරක්ශාවක් සපයල තිබුනා. හමුදාවත් පොලීසියත් ඒකාබද්ධව මෙහි ආරක්ශාව සපයමින් සිටියා. අපේ සංචාරයේ දෙවෙනි දිනය නිමා උනේ ඔන්න ඔය විදියට. 
අද අපේ සංචාරයේ තුන්වන දිනය. උදෑසන ආහාරයෙන් පස්සෙ අපි පිටත් උනේ පීනට් ෆාම් වෙරල සහ Elephant Rock නමැති ස්ථානය දැකබලා ගැනීමට. ඒ සඳහා ආරුගම්බේ සංචාරක කලාපය පසුකර කි.මී 8ක පමණ දුරක් දකුණු දෙසට ගමන් කල යුතුයි. ප්‍රධාන මාර්ගයෙන් හැරී කැලෑබද පාරක් ඔස්සේ ටික දුරක් ගිය තැන මේ සුන්දර වෙරළ තීරය දකින්න පුලුවන්. යාබදව පිහිටි රටකජු වගාබිමක් නිසාවෙන් මෙතනට ඒ නම ලැබෙන්න ඇති.
පීනට් ෆාම් වෙරළෙන් සමුගත් අපි ගමන් කලේ ලාහුගල මඟුල් මහා විහාරය දැකබලා ගැනීමට. විහාරයට යාබදව කුඩා කඩමණ්ඩියක් තිබුනා. කඩ මණ්ඩියේ මැද කඩයක සිටියා ගැමි කාන්තාවක්. ඇය නමින් කුසුමලතා. කුසුමලතා නැන්දා අතින් පිලියෙල උනු සීනි කැකිරි වීදුරුවක රස බලන අතර ඇය මා හා කතාවට වැ‍ටුනා..
කුසුමලතා නැන්දා - "මහත්තය දන්නවද.. කාවන්තිස්ස රජ්ජුරුවො විහාරමහා දේවියව විවාහ කරගෙන තියෙන්නෙ මේ පන්සලේදි නෙවැ.. "
මම - "එහෙනම්.. මඟුල් මහා විහාරය කියල නම ලැබෙන්න ඇත්තෙ එහෙම වෙන්න ඇති"
කුසුමලතා නැන්දා - "එහෙනං... තව ඇතා පිට ඇත්ගොව්ව ඉන්න ලෝකෙ එකම සඳකඩපහනත් තියෙන්නෙ මෙතන. මහත්තය ගිහින් බලන්ටකෝ... ඒ විතරක්යැ.. මේ පැත්තෙ ගම්මාන වලට නම් ලැබිල තියෙන්නෙත් ඔය සිද්ධිය මුල් කරගෙන නොවැ.. දැන් බලන්න මහත්තයෝ... කෝමාරි ගමට නම් වැටිල තියෙන්නෙ.. "කෝ කුමාරි".. කියන එක සන්ධි වෙල නොවැ.."
ඇගේ කතාව සීනි කැකිරි වීදුරුවට වඩා රසවත්! යමු. කුසුමලතා නැන්දා කියූ දෑ ඇත්තදැයි බලන්න.
මේ තියෙන්නේ මඟුල් මහා විහාරයේ මගේ නෙත ‍රැඳුනු තැන් කිහිපයක්. කැටයම් රහිත පැතලි මුරගල්, පා දෝවනය සඳහා යැයි සැක කල හැකි ගල් බේසම්, වානර කැටයම්, පිලිම ගෙයක් ආදිය මෙහිදී දැක බලාගැනීමට ලැබෙනවා.
මෙම විහාරය ධාතුසේන රජතුමා විසින් කරවන ලද බවත්, රුහුණේ ප්‍රාදේශීය පාලකයන් වූ පරාක්‍රමබාහු සහෝදරයින්ගේ අගමෙහෙසිය වූ විහාරමහා දේවිය විසින් ප්‍රතිසංස්කරණය කරන ලද බවත් සඳහන් ශිලා ලිපියක් ඒ අතර දක්නට ලැබුනා. එම ලිපිය තමයි උඩ දකුණු රූපයේ තියෙන්නෙ. ක්‍රි. ව 14 වන සියවසට අයත් මේ සෙල්ලිපිය ඉතිහාසඥයන් අතරමංකරවන සුළු එකක්. මේ කියන්නේ කාවන්තිස්ස රජුගේ අගමෙහෙසිය ගැනද නැතහොත් වෙනත් විහාරමහාදේවියක්ද යනවග කිසිඳු ඉතිහාස මූලාශ්‍රයකින් සොයා ගැනීමට නොහැකි බව දැනගැනීමට ලැබුනා.
පහත තියෙන්නේ කාවන්තිස්ස-විහාරමහා දේවි අතර රාජකීය විවාහ උත්සවය පැවතුනා යැයි සැලකෙන ගොඩනැගිල්ල. දකුණු රූපයේ තියෙන්නෙ එකී රාජකීය මඟුල්පෝරුව.
කුසුමලතා නැන්දා කියපු සඳකඩපහන තමයි මේ තියෙන්නෙ. හොඳින් බලන්න. ඇතාපිට සිටින ඇත්ගොව්වා ඔබට පෙනේවි.
තුන්වන දිනයේ හවස්වරුව ආරුගම්බේ වෙරල තීරයේ විවේකීව ගතකරන්න අපි තීරණය කරා. ප්‍රණීත ආහාර පාන සහිත අවන්හල්, සුවපහසු නවාතැන්පොලවල් වලින් ආරුගම්බේ සංචාරක කලාපය පිරී ඉතිරීගොස් තිබුනා. ඇල්ල සංචාරක පුරවරයට නොදෙවෙනි පරිසරයක් මෙහි දක්නට ලැබුනා. පසුදින උදෑසන හිරුකිරණ නැගෙනහිර වෙරළ තීරය සිපගනිමින් තිබුනා. ඒ මනස්කාන්ත දසුන මාගේ කැමරා කාචයේ සටහන් උනේ මෙහෙමයි.


අද අපේ සංචාරයේ සිව්වන සහ අවසාන දවස. නැවත කොළඹ එන අතරතුර අපේ අවසාන නැරඹුම්පොල උනේ නීලගිරි සෑය. වන අලි බහුල ප්‍රදේශයක මේ විහාරය පිහිටල තියෙනවා. මෙහි ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික අවධිය දක්වා විහිදෙන බව දැනගැනීමට ලැබුනා. මේ අතර කාවන්තිස්ස රජතුමා විසින් නීලගිරි සෑය කරවූ බව කියවෙනවා. එතුමා විසින් සිය පුතනුවන් දෙදෙනා වන ගැමුණු සහ තිස්ස අතර අනාගතයේ යුද්ධයක් ඇතිවුවහොත් ඒ සඳහා සහය නොදක්වන ලෙස යෝධයන්ගෙන් දිවුරුම් ලබා ගැනීම සිදුකර තිබෙනවා. සංඝයා වහන්සේලා 12000ක් ඉදිරිපිට මෙකී දිවුරුම්දීම සිදුවී ඇත්තේ නීලගිරි සෑ බිමේදී බව සඳහන් වෙනවා. තවද ක්‍රි.පූ 20ත් ක්‍රි ව. 9ත් අතර රජකම් කල භාතිකාභයතිස්ස රජ සමයේත් මෙම ප්‍රදේශය ක්‍රියාකාරීව පැවති බව කියවෙනවා. සෙල් ලිපි, ආරාම සංකීර්ණයක්, ශිලා ජත්‍ර, සිරිපතුල් ගල්, ආසන ගල් ආදී පුරාවස්තු ගනනාවක් මේ ප්‍රදේශයෙන් හමුවෙලා තියෙනවා. ඒ වගේම පසුකාලීන කැණීම් වලදී ධාතූන් වහන්සේලා 300කට අධික ප්‍රමාණයක් මේ බිමෙන් හමු වෙලා තියෙනවා. මින් ඇතැම් ධාතූන් බුදුරජාණන්වහන්සේගේ යැයි ඉතිහාසඥයන් අතර මතයක් පවතිනවා.
නීලගිරි සෑයට සමුදුන් අපි බුත්තල-කතරගම හරහා කොළඹට සේන්දු උනා. ලුණුගම්වෙහෙර හා යාල වනෝද්‍යාන හරහා වැටී තියෙන මෙම මාර්ගය වන අලින්ගේ රජදහනක්. අලින්ට ආහාර ලබාදීම අනතුරකට අත වැනීමක්. එමෙන්ම හිමිදිරි පාන්දර හෝ අඳුර වැ‍ටුනු පසු මෙම මාර්ගයේ ගමන් කිරීම අනතුරුදායක බවත් මතක් කරන්න ඕනෙ.
සමුගන්නට අවසරයි. ඉදිරියේදී මේ ප්‍රදේශයේ සංචාරයක් කිරීමට බලාපොරොත්තුවෙන අයෙක් වේ නම් ඒ අයට මේ ලිපිය පි‍ටුවහලක් වේවා!

0 comments (ඔබේ අදහස් මගේ ශක්තියයි):

Post a Comment