Tuesday, December 21, 2021

මන්නාරම් පිටි වැල්ලේ... මදටිය වැල් ඔංචිල්ලේ....

අවුරුද්දකට අධික විරාමයකින් පස්සෙ ඔන්න මම අදත් ආවා සුපිරි සංචාරක අත්දැකීමක් එක්ක. අද අපි යන්නෙ මන්නාරමට. මන්නාරම කිව්වම ගොඩක් දෙනෙක්ගෙ හිතේ ඇ‍ඳෙන්නෙ දැඩි අව්-රශ්මිය සහ වියලි කලාපයට උරුම කර්කශ පරිසරයක්. ඒත් අපි ගිය දවසේ ඉතා සෞම්‍ය කාලගුණයක් මන්නාරම් දූපතේ පැවතියා. එය සිතට මෙන්ම ගතටත් එක් කලේ ප්‍රබෝධමත් හැඟීමක්! 



මන්නාරම් පිටි වැල්ලේ මදටිය වැල් ඔන්චිල්ලේ
කොණ්ඩෙ කඩන් හඳට අඬන් සිංදු කියන්නේ
කුණ්ඩුමණී....

එන්න මාත් එක්ක. ෆ්‍රෙඩී සිල්වා පණ පෙවූ ඒ කුණ්ඩුමණිය හමුවීමට යාමට.
කොළඹ ඉඳන් මන්නාරමට යන ඔබ පලමුව අනුරාධපුරයටත්, එතැනින් මැදවච්චිය හරහා A14 මාර්ගය ඔස්සේ මන්නාරමටත් ගමන් කල යුතුයැයි මම යෝජනා කරනවා. ඒ පුත්තලමේ සිට විල්පත්තු අභයභූමිය හරහා වැ‍ටුනු වෙරළාසන්න මාර්ගය සාමාන්‍ය වාහනයකට පහසුවෙන් ගමන් කිරීමට යෝග්‍ය නොවන නිසා. ඇතැම් කාලවලදී මේ හරහා කිසිඳු වාහනයකට ගමන් කිරීමට ඉඩ ලැබෙන්නේ නැහැ.
හොඳයි, මන්නාරම හා ඒ අවට නැරඹීමට ඇත්තේ මොනවාද? ඒ ප්‍රශ්නයට උත්තරය මේ සිතියමේ තියෙනවා.
මේ තියෙන්නේ මඩු දේවස්ථානය. මන්නාරම දූපතට කි. මී. 50ක් මෙපිටින් තියෙන මඩු දේවස්ථානයට අපි ලඟාවෙනවිට උදෑසන 10 පමණ උනා. අවුරුදු 400කට අධික ඉතිහාසයකට හිමිකම් කියන මඩු පල්ලිය මුලින් තිබිල තියෙන්නේ පත්තිනි දේවාලයක් විදියට. පත්තිනි දෙවියන් වෙනුවෙන් දෙවොල් මඩු ශාන්ති කර්මය කළ නිසාවෙන් "මඩු" කියන නමත්, ඒ අවට විශාල වශයෙන් තිබූ මරද/මරත ගස් නිසාවෙන් "මරද" යන නමත් ලැබී අවසානයේ "මරද මඩු" දේවස්ථානය ලෙස මෙය නම් කෙරී තියෙනවා. 1870 දශකයේදී මරිය මාතාව වෙනුවෙන් මෙම දේවස්ථානය ඉදිකෙරී තියෙනවා. එමෙන්ම, එහි වර්ථමාන ගොඩනැගිල්ල 1944 දී ඉදිකොට තිබෙනවා. මඩු දේවස්ථානය වඩාත් ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ මඩු මංගල්‍යය නිසාවෙන්. 1870 සිට මේ දක්වා සෑම වසරකම අගෝස්තු මාසයේදී ලක්ශ සංඛ්‍යාත ක‍තෝලික බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් මෙකී මඩු මංගල්‍යය පැවැත්වෙනවා.
මඩු දේවස්ථානයට සමුදුන් අපි ඊලඟට නැවතුනේ යෝධ වැව අසල. පටලවගන්න එපා. මම මේ කියන්නේ කලා වැවත් තිසා වැවත් යාකරමින් ධාතුසේන රජතුමා හදවපු යෝධ ඇල ගැන නෙවෙයි. ධාතුසේන රජතුමා විසින් මල්වතු හරස් කිරීමෙන් ඉදිකරවපු යෝධ වැව ගැන. විශාලත්වයෙන් කලා වැවට පමණක් දෙවෙනි වන මේ මහා වැවේ ජල ධාරිතාව අක්‌කර අඩි 26000 ක්. එමෙන්ම මෙහි ජල පෝෂක ප්‍රදේශය අක්‌කර 14,771 ක් බවත් දැනගැනීමට ලැබුනා. සහල් නැළිය නමින් ප්‍රකට මහා කෙත්යාය පෝෂණය වෙන්නෙත් මේ මහා ජලාශයේ වතුරින්. මන්නාරමේ හදවත බඳු යෝධ වැවට සමුදුන් අපි අපේ නවාතැන්පොල වෙත සේන්දු උනා. 
දිවා ආහාරයෙන් පසු ලබාගත් කෙටි විරාමයෙන් අනතුරුව අපි නතර උනේ මෙතන. මේ තමයි මන්නාරම බූරුවන් සු‍රැකීමේ මධ්‍යස්ථානය. කල්පිටිය හැරුනු කොට ලංකාවේ වැඩිම බූරු ගහනයක් සිටින්නේ මන්නාරමේ. නගරයේ ඔබ මොබ සැරිසරන බූරුවන් ඊට කදිම සාක්ශියක්. රාජ්‍ය නොවන සංවිධානයක් මගින් පාලනය වන මේ බූරුවන් සු‍රැකීමේ මධ්‍යස්ථානය මගින් බූරුවන් සු‍රැකීමට අමතරව අත්කම් නිර්මාණ, අධ්‍යාපනික වැඩමුලු, කාබනික භෝග වගාව වැනි වැඩකටයුතු කීපයක්ම සිදුවනවා. ලංකාවේ ඇති එකම බූරු සු‍රැකීමේ මධ්‍යස්ථානය මෙය බවත් දැනගැනීමට ලැබුනා. මෙහිදී බූරුවන් සුරතල් කිරීමටත්, ආහාර ලබාදීමට සහ බූරුවන් සමඟ ඡායාරූප ගැනීමටත් නරඹන්නන්ට අවස්ථාව සැලසෙනවා. 0712635444, 0706131234 හෝ 0718791234 යන දුරකතන අංක වලට ඇමතීමෙන් ඔබටත් මෙය නැරඹීමට අවස්ථාවක් ලබාගැනීමට පුලුවන්.
මන්නාරම් බූරුවන්ගෙන් සමුගත් අපි ඊලඟට නැවතුනේ තලෙයිමන්නාරම් ජැටිය අසල. ඊට යාබදව ඇති ප්‍රදීපාගාරය තලෙයිමන්නාරම් තොට දුම්රිය ස්ථානයේ සිට බැලූවිට දිස් වෙන්නේ මෙහෙමයි.
තලෙයිමන්නාරම් ජැටියේ කතාව ඉතා රසවත්! ඔබ දන්නවාද? එදා ඉන්දියාවත් ලංකාවත් අතර ප්‍රවාහන සේවයක් පැවතිලා තියෙනවා. තලෙයිමන්නාරම් තොට දුම්රිය ස්ථානයත් ඉන්දියාවේ ධනුෂ්කොඩි නගරයත් අතර මෙය ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙහි මූලික අරමුණ වෙලා තියෙන්නේ භාණ්ඩ සහ ඉන්දියානු වතු කම්කරුවන් ප්‍රවාහනය කිරීම. මේ සඳහා ෆෙරි යාත්‍රාවක් යොදාගෙන තිබෙනවා. 1914දී ඇරඹි මේ ප්‍රවාහන සේවාව නතර වී ඇත්තේ 1964දී ධනුෂ්කොඩි නගරයට බලපෑ අති ප්‍රභල සුළි සුළඟක් හේතුවෙන්. අනතුරුව රාමේෂ්වරම් දුම්රිය ස්ථානය එක් කෙලවරක් ලෙස යොදා ගනිමින් 1984 දක්වාම මෙය පවත්වාගෙන ගොස් තිබෙනවා.
මේ තියෙන්නේ අපේ ඊලඟ නැරඹුම්පොල. ආදම් සහ ඊවාගෙ සොහොන. ආදම් සහ ඊවා යනු කවුරුන්දැයි ඔබ අසා ඇති. ඇතැම් ආගමික විශ්වාසයන්ට අනුව යෙහෝවා දෙවියන් විසින් මවන ලද ලොව ප්‍රථම මානවයන් වූයේ මේ දෙදෙනායි. දෙවියන්ට වෙන් වූ තහනම් ගසක ගෙඩි කෑ වරදට ඔවුන් දෙදෙනා "ඒදන්" නමැති උයනෙන් පි‍ටුවහල් කරනවා. එතැන් පටන් ලොව පුරා සැරිසරමින් කල්ගතකල ආදම් සහ ඊවා තම ජීවිතයේ අවසාන කාලයේ ඉන්දියාවේ සිට මන්නාරමට පැමිණි බවට ජනප්‍රවාදයක් පවතිනවා. ඉන්දියාවේ සිට මන්නාරමට වැ‍ටුනු රාම සේතු වැලිපරයට "ආදම්ගේ පාලම" ලෙස නම් ලැබී ඇත්තේ එහෙමයි. තලෙයිමන්නාරම් ජැටියත් ආදම්ගේ පාලමත් අතර ඇති මේ සොහොන් යුගලෙන් එකක් අඩි 40කුත් අනික අඩි 38කත් දිගින් යුක්ත වෙනවා. ඒ අසල කුඩා ඉස්ලාම් පල්ලියකුත් පිහිටල තිබුනා. එහි සිටි පූජකයෙකු යැයි සිතිය හැකි තරුණයෙක් අප සමඟ මෙසේ කියා සිටියා.
"නිවාඩු දවස් වල ගොඩක් කට්ටිය මෙහෙ එනව මාතියා.. දරුවො නැති කට්ටිය දරුවො ඉල්ලල පූජාව එහෙම තියෙනව මාතියා.. ඔන්ද ආස්කන් තියෙන තැනක්..."
තලෙයිමන්නාරමට සමුදුන් අපි නැවතත් මන්නාරම නගරයට පිටත් උනා. ඒ අතරමඟදී මන්නාරම සුළං බලාගාරය නැරඹීමටත් අපි අමතක කලේ නෑ. මේ තියෙන්නේ එහිදී මගේ කැමරා කාචය ක්‍රියාත්මක වුනු ආකාරයයි.
බලාගාරය අසල සුන්දර මුහුදුතීරයත්, ඉන් හමා ආ සුලඟත් අප තුල ඇති කලේ චමත්කාරජනක හැඟීමක්. දැන් වේලාව සවස 5ට පමණ ඇති. ඒ මන්දාරම් සන්ද්‍යාවේ මන්නාරම් පිටි වැල්ල මත අප බොහෝ වේලාවක් ගත කලා. අනතුරුව අප අපේ නවාතැන්පොල බලා පිටත් උනේ සුවිශාල සංචාරක අත්දැකීම් ප්‍රමාණයක් එකතුකරගනිමින්.
අද අපේ සංචාරයේ දෙවෙනි දවස. මේ තියෙන්නේ අද දවසේ අපේ පලවෙනි නැරඹුම් පොල. මන්නාරම බයෝබැබ් ගස. මීටර් 20කට ආසන්න වටප්‍රමාණයකිනුත් මීටර් 10කට ආසන්න උසකිනුත් යුතු මේ ගස අවුරුදු 700කට වඩා පැරණියි. ක්‍රි.ව. 1277දී අරාබි වෙළෙන්දන් විසින් ඔ‍ටුවන්ගේ ආහාරය සඳහා මෙම බයෝබැබ් ගස් රෝපණය කල බව පැවසෙනවා. ඒ වගේම, ලංකාවේ දැනට ඉතිරිව ඇති බයෝබැබ් ගස් 40න් 34ක්ම මන්නාරම් දූපත තුල පිහිටි බව කියවෙනවා. ඒ අතුරින් පැරණිම සහ වඩාත් ආකර්ශණීයම බයෝබැබ් ශාකය මෙය වනවා. අප්‍රිකානු සම්භවයක් සහිත මේ ගස උඩුයටිකුරු ශාඛය ("upside down tree") යන අනුවර්ත නාමයෙන්ද හැඳින්වෙනවා. ඒ කොල අඩු කාලයේදී ගසේ අතු මූල පද්ධතිය ලෙස පෙනෙන නිසාවෙන් බවයි දැනගැනීමට ලැබුනේ.
අනතුරුව අප පිටත් උනේ මන්නාරම ලන්දේසි බලකො‍ටුව වෙතට. පෘතුගීසීන් විසින් මුලින්ම මෙය 1560දී ඉදිකර තිබෙනවා. අනතුරුව 1658දී මෙය අත්පත් කරගන්නා ලන්දේසීන් 1696 වනවිට මෙය පුලුල් කර ප්‍රතිසංස්කරණය කරනවා, අවසානයේ 1795 වනවිට ඉංග්‍රීසීන්ට නතුවන මෙය ඔවුන් විසින් සිය පරිපාලන කටයුතුවලට යොදාගෙන තිබෙනවා. බොහෝ දුරට අබලන්ව විනාශ වී ඇති මන්නාරම බලකො‍ටුව, මේ වන විට ප්‍රතිසංස්කරණය වෙමින් පවතිනවා. පහල දකුණු ඡායාරූපයේ දැක්වෙන්නේ මන්නාරම දූපතත් රටේ සෙසු කොටසත් යාවන පාලම මන්නාරම් කො‍ටුවේ සිට දිස්වෙන ආකාරයයි.
මන්නාරම් කො‍ටුවට සමුදුන් අපි නැවත අනුරාධපුරය බලා පිටත් උනා. ඒ අතරමඟ විශාල හමුදා ආරක්ෂාවක් යොදවල තිබුනා. ස්ථාන 6කදී හෝ 7කදී අප කණ්ඩායම දැඩි හමුදා සෝදිසි කිරීම්වලට භාජනය උනා.
එක්තරා අවස්ථාවකදී එතන උන් හමුදා නිල දරුවෙකුගෙන් ඊට හේතුව දැන ගැනීමට පුලුවන් උනා.
"ඉන්දියාවෙ ඉඳන් බෝට්‍ටු වලින් හොර බඩු ගේනව මහත්තයා... රත්තරන්, අයිස් වගේ මත්ද්‍රව්‍ය තමයි වැඩිපුර ගේන්නෙ.. ලස්සන ගෑනු ලමයි.. සමහර වෙලාවට ලමයිත් එක්ක පවුල් පිටින් එන උදවිය වගෙත් මෙහෙම හොරබඩු ප්‍රවාහනය කරනවා. කොහොමත් WP අංක තියෙන වාහනයක් නම් අනිවාර්ය්‍යෙන් චෙක් කරනවා..."

මන්නාරම් දූපතට සමුදුන් අපි නතර උනේ වන්කලායි කුරුළු අභයභූමිය අසල. වන්කලායි කියන්නේ සංක්‍රමණික හා ඒකදේශික පක්ශීන් නැරඹීමට ඇති කදිම පරිසර පද්ධතියක්. වන්කලායි හරහා අපි ගියේ අරිප්පු බලකො‍ටුව වෙතට. මන්නාරම් බලකො‍ටුව සේම මෙයත් පෘතුගීසින් විසින් සාදන ලදුව 1658 දී ලන්දේසීන් විසිනුත් අනතුරුව ඉංග්‍රීසීන් විසිනුත් අත්පත් කරගෙන තියෙනවා. මන්නාරම් මුහුදේ මුතු කිමිදීමෙන් ලබන ආදායම සුරක්ෂිත කිරීමට මෙම බලකො‍ටුව ඉදිකර තිබෙනවා. 
මෙහි ඇති වැදගත්කම එය පමණක්ම නෙවෙයි. රොබට් නොක්ස් සහ ඔහුගේ පියා (පියාගේ නමත් රොබට් නොක්ස්) ගැන ඔබ අසා ඇති. ඔවුන් ලංකාණ්ඩුවේ සිරකරුවන් වෙන්නේ 1659දී. 1661දී මහලු රොබට් නොක්ස් මිය යනවා. ඉන් අනතුරුව 1679 දී ලන්දේසීන්ගේ උදව් ඇතුව තරුණ රොබොට් නොක්ස් එංගලන්තයට පැන යනවා. එසේ පැනයන්නේ මේ අරිප්පු බලකො‍ටුව හරහා බව ඔහු තම සුප්‍රකට ග්‍රන්ථයේ සඳහන්කර තියෙනවා. කණගා‍ටුදායක කාරණය උනේ මේ ඓතිහාසික අරිප්පු බලකො‍ටුව අද වනවිට විනාශ මුඛයට පත් වී තිබීමයි. ප්‍රතිසංස්කරණයට හෝ ආරක්ශාවට කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගෙන මෙය අතහැරදමා තිබෙනවා. ගම්මුන් මේ හරහා අඩිපාරක් සකස් කරගෙන තිබෙනවා. මෙහි ආරක්ශාව වෙනුවෙන් බලධාරීන් වහා ක්‍රියාත්මක නොවුනහොත් ඉදිරි දශකය තුල අරිප්පු බලකො‍ටුව සම්පූර්ණයෙන් බිමට සමතලා වී යනු ඇති.
මේ තියෙන්නේ ඩොරික් බංගලාව. 1801-1804 අතර කාලයේදී පලමු ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුනු ෆ්‍රෙඩ්‍රික් නෝර්ත් විසින් මෙය ඉදිකරවා තියෙනවා. ග්‍රීකයේ ඩොරික් ගෘහනිර්මාණ ශිල්පයට අනුව ඉදිකර ඇති නිසා මෙය "ඩොරික් බංගලාව" ලෙස හඳුන්වනවා. අරිප්පු බලකො‍ටුව ආසන්නයෙන් තිබූ මේ ඩොරික් බංගලාවටත් උරුම වී තිබුනේ එකම ඉරණමක්. බොහෝ දුරට ගරා වැටී තිබුනු මෙය ආරක්ශා කිරීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් බලධාරීන් විසින් ගෙන තිබුනේ නැහැ. ඉහල දකුණු ඡායාරූපය බලන්න. බංගලාවට පි‍ටුපසින් තිබුනු මනරම් වෙරල තීරය මගේ කැමරා කාචයේ සටහන් උනේ එහෙමයි.
ආපසු එන ගමනේදී ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරය වැඳපුදා ගැනීමටත් අපි අමතක කලේ නෑ. තන්තිරිමලේ කියන්නේ ලංකාවේ පැරණිතම ජනාවාසයක්. ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් වසර 4000කට වඩා පැරණි ලෙන් සිතුවම් ඊට සාක්ශි සපයනවා. මීට අමතරව කෞතුකාගාරයක්, සමාධිපිලිමයක්, සැතපෙන පිලිමයක්, පොත්ගුලක්, පටානඝරයක්, වසර 100කට වඩා පැරණි බෝ රුකක් (මෙය ශ්‍රීමහා බෝධි අංකුරයකින් පැන නැගුනු අෂ්ටඵල බෝ රුකක් යැයි මතයක් පවතිනවා), වෙහෙර වහන්සේ නමක් මෙහිදී අපට දැක ගැනීමට ලැබෙනවා. විජය රජ දවස උපතිස්ස ඇමතිවරයා පිහිට වූ උපතිස්ස ග්‍රාමය මෙය බව කියවෙනවා. එමෙන්ම දේවානම් පියතිස්ස රජසමයේ තිවන්ක බමුණුගම ලෙස මෙම ප්‍රදේශය හඳුන්වල තියෙනවා. සාලිය අශෝකමාලා දෙදෙනාගේ අසම්මත විවාහයයෙන් පසු ඔවුන් සැඟව සිටි ප්‍රදේශය මෙය බවත් පැවසෙනවා. පසුව දු‍ටුගැමුණු රජතුමා මොවුන් දෙදෙනාට සමාව දුන් බවත්, එහිදී සමනල හැඩැති ("තන්තිරිම") මාලයක් තෑගි කල බවත් ඒ හේතුවෙන් මේ ප්‍රදේශය තන්තිරිමලේ නම් වූ බවත් පැවසෙනවා.
සුන්දර මන්නාරම් සංචාරයකින් පසුව එදින අපි අනුරාධපුරයේ නවාතැන් ගත්තා. ඉතින් මේ සුන්දර තන්තිරිමලේ විහාරයේ සිට අදට මම ඔබෙන් සමුගන්නම්. සමුගන්න පෙර එක දෙයක් මතක් කරන්නම්. මන්නාරම කියන්නේ තවමත් සංචාරකයන්ගේ නෙත ගැටුණු තැනක් නෙවෙයි. බොහෝ තැන්වල සිටි එකම සංචාරක කණ්ඩායම අප පමණක්ම උනා. ඒත් මන්නාරම කියන්නේ දේශගුණික හා සංස්කෘතික වශයෙන් වෙනස්ම අත්දැකීමක් ලබන්න පුලුවන් ප්‍රදේශයක්. ආහාර සහ නවාතැන් පහසුකම් අවශ්‍ය ප්‍රමාණයට තිබුනා. ප්‍රවාහන පහසුකම් වලින්ද අඩුවක් නෑ. අපිට හමුවූ බොහෝ දෙනා හරිම මිත්‍රශීලීයි. ඉතින් නිස්කලංකව නිවාඩුවක් ගතකරන්නත් වෙනස්ම සංචාරක අත්දැකීමක් ලබාගන්නත් මන්නාරම කියන්නේ කදිම ස්ථානයක්. ඔබටත් එහි අපූර්වත්වය විඳගැනීමට ආරාධනා කරමින් සමුගන්නම් අදට. සුභ දවසක්!

8 comments:

  1. අත්දකීමක්‌ පැහැදිලිව වචනයට ගලපා තියෙනවා. ඉතා වැදගත් තොරතුරු සමුහයක්. බොහොම ස්තුති.

    ReplyDelete
  2. බොහොම ස්තූතියි

    ReplyDelete
  3. හරිම වැදගත් ලිපියක්.මං 2005 දී මන්නාරම්, තලේ මන්නාරම් ගියා.එහේ කරවල වාඩී, කරවල වේලන ආකාරය අමුතුම අත්දැකීමක් ඉතා වැදගත් සංචාරක ස්ථාන ගැන හොදින් සොයා බලා සකසා ලියා තිබෙනවා.පැරණ දුම්රිය මාර්ගය LTTE ප්‍රහාර වලින් වැනසු දුමිරිය පාලමද ඔබට ඇස ගැටෙන්න ඇති.

    ReplyDelete
  4. ඔබ නැවතත් වසරක කාලපරිච්ඡේදයකින් පසුව ලිවීම ඇරඹීම පිළිබඳව "සඳකඩ පහන සින්ඩිය" බෙහෙවින් සතුටු වන්නේමු. අපගේ සින්ඩියේ "පුරා වස්තු" කොලමේ මෙතෙක් පැවති ඔබගේ බ්ලොගය මේවන විට "11. සොබාදම් රටා" කොලමේ දක්වා ඇත! අපග සින්ඩිය දැනට අවකාශයේ පවතින විශාලතම සින්ඩිය වන තර එය බ්ලොග් 1150ක් වෙත ලඟා විය හැකි මගක ඇරඹුමයි. බ්ලොග් නැවත කියවන්නන් අතර ප්‍රචලිත කිරීම වෙනුවෙන් ඇරඹි අපගේ සින්ඩිය සඳහා අපගේ සින්ඩිය; ඔබගේ බ්ලොගය මගින් ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් අපගේ ඉදිරි ගමනට එය ඉමහත් රුකුලක් වනු නිසැකය!

    ReplyDelete