Thursday, August 6, 2015

සිලි සිලි සීතල ඇල්ලේ....

අද මම ඔබව එක්කගෙන යන්නේ සීතල පලාතකට... ඇල්ල! බණ්ඩාරවෙල සංචාරය ගැන ලියවුනු "මීදුම මැදින් බණ්ඩාරවෙල යමුද?" ලිපිය ඔයගොල්ලොන්ට මතක ඇති. මේ සංචාරයේ අරමුණ වුනේ එදා යන්නට නොහැකිවුන තැන් සොයායාම. ඉතින් මේ බණ්ඩාරවෙල සංචාරයේ දෙවෙනි කොටස කියල හැඳින්වුවත් වරදක් නෑ.
බණ්ඩාරවෙල ඉඳන් බදුල්ල පාරේ කි. මී. 8.6ක් ආ තැන කුඹල්වෙල හන්දිය මුනගැහෙනවා. වැල්ලවාය දක්වා දිවෙන A23 මාර්ගය පටන්ගන්නේ මෙතනින්. මෙම මාර්ගයේ කි. මී 4ක් පමණ ගියවිට ඔබට ඇල්ල නගරය මුණගැසේවි. බදුලු දුම්රියේ එනවා නම් ඔබේ ගමනාන්තය විය යුත්තේ ඇල්ල දුම්රියපොල. ඇල්ල කියන්නෙ කුඩා නගරයක්. ඒ වගේම විශාල සංචාරක ආකර්ශණයක් තියෙන නගරයක්. විදේශිකයින් බහුලව ගැවසෙන ප්‍රදේශයක්. නවාතැන්පොලවල් ඕනෑතරම් තියෙනවා.

අපි මුලින්ම ගියේ කිතල්ඇල්ල පාරේ තිබුනු අපේ නවාතැන්පලට.
මේ තියෙන්නේ අපේ නවාතැන්පලට පෙනුනු ඇල්ලක්. හෝටල් හිමියා අපිත් එක්ක කිව්වවිදියට මේ තියෙන්නෙ සැබෑ රාවණා ඇල්ල. එහෙනම් මොකක්ද අනිත් රාවණා ඇල්ල??? ඒ ගැන හොයන්න යමු මාත් එක්ක. 
ඇල්ල නගරයට කි.මීටරයක් පමණ මෙපිටින් රාවණා රජමහාවිහාරය සහ රාවණා ගුහාවට යන පාර තිබුනා. ඒ පාරේ පොඩි දුරක් ගියාම දැකපු රාවණා රජමහාවිහාරය තමයි මේ. රාවණා විහාරය ක්‍රි.ව. 2වන සියවසේදී වලගම්බා රජු විසින් කරවන ලද්දක්.
සීතා කුමරිය රඳවා තැබුවායැයි කියන රාවණා ගුහාවත් ඒ අසල පිහිටල තිබුනා.


ඇල්ල නගර පසුකර කි. මී. 5ක් පමණ වැල්ලවාය දෙසට එනවිට බඹරගම ඇල්ල හමුවෙනවා. අපි රාවණා ඇල්ල කියල කියන්නේ මෙන්න මේ බඹරගම ඇල්ල.
පාර මට්ටමේ සිට අඩි 1078ක් උස මේ ඇල්ල පිහිටල තියෙන්නේ රාවණා ඇල්ල අභයභූමිය තුල. කිරිඳිඔයේ ජල පෝෂකය ලෙස පවතින රාවණා ඇල්ල අභයභූමිය ප්‍රමානයෙන් අක්කර 4774ක් වෙවා.
සුන්දර වුනත් මේකෙ දිය නෑම නම් භයානකයි. ඒ බව සඳහන් පුවරු රාශියක් අපිට දක්නට ලැබුනා. 

කතා කරා ඇති. මහන්සිය යන්නත් එක්ක ඇල්ල අවට ඡායාරූප කීපයක් නරඹල ඉඳිමු.
ඊලඟ දවසෙ අපේ පලවෙනි ගමනාන්තය වුනේ "හල්පෙවත්ත තේ කර්මාන්තශාලාව". කුඹල්වෙල හන්දියේ ඉඳන් කි. මී. 1.7ක් බදුල්ල දෙසට යනකොට මෙන්න මේ පුවරුව දකින්න ලැබේවි. එතැන ඉඳන් තවත් කි. මී 1.7ක් අබලන් ප‍ටු පාරක ගමන් කිරීමෙන් මෙම තේ කම්හලට ඇතුල්වෙන්න පුලුවන්. තේ කම්හල නැරඹීමට ඔබ රු. 300/- ක ටිකට්පතක් ලබාගත යුතුයි. ඔබ ඒ මුදල ගෙවිය යුත්තේ යන්ත්‍ර සූත්‍ර නරඹා ඒමට නෙවෙයි. ඒ නිසා වැදගත්ම දේ තමයි, යන්න කලින් මේ දුරකතන අංකවලට කතාකර නිෂ්පාදනය සිදුකරන වේලාව දැනගෙන යන්න. - 0572228548, 0779575976. (වැඩි විස්තර සඳහා - http://www.halpetea.com/tourism/)

අප්පුහාමි බාස් විසින් කලායැයි කියැවෙන දෙමෝදර ආරුක්කු 9යේ පාලම ගැන ඔබ අසා ඇති. කොළඹ - බදුල්ල දුම්රිය මාර්ගයේ වැඩ භාරව සිටි සුදු ජාතික ඉන්ජිනේරුවා මෙම ස්ථානයට සවිකිරීමට එංගලන්තයෙන් යකඩ පාලමක් ගෙන්වනවා. අවාසනාවකට ඒ පාලම දිගින් අඩුයි. ඒ නිසා ඔහු විශාල ගැටලුවකට මුහුණ පානවා. මෙය දු‍ටු අප්පුහාමි නමැති ගැමියෙකු ඉහල ගල් පෙරලා, මහත් වෙහෙසක් දරා මේ ආකාරයේ පාලමක් කරවූ බව ඉතිහාසය කියා සිටිනවා. මේ ගැන තවත් මතයක් තියෙනවා. ඊට අනුව මේ පාලම ඉදිකිරීමේ ගෞරවය හිමිවිය යුත්තේ සුදුජාතිකයින්ට. මේ ආකාරයේ පාලම් ඉදිකිරීම පිළිබඳ ඔවුන් සතුව විශාල අත්දැකීම් සම්භාරයක් තිබී තියෙනවා. ඔවුන් විසින් ලාංකීය ශ්‍රමිකයන් යොදාගෙන කරවන ලද මේ පාලමේ වැඩකටයුතු භාරව සිටි ප්‍රධානියා "අප්පුහාමි" බව කියැවෙනවා. 1919දී තනා නිම කළ මේ පාලමේ දිග අඩි 100ක් සහ උස අඩි 400ක් වෙනවා.
මේ ඡායාරූපයේ තියෙන්නේ ආරුක්කු 9 පාලම අසලම ඇති බිංගෙයක්.මෙතැනට පැමිනීමට ඔබට කුඹල්වෙල හන්දියේ සිට කි. මී. 2.3ක් බදුල්ල දෙසට ඒමට සිදුවෙනවා. එතැනින් දකුණට හැරී කි. මී 3ක් පමණ ඉතා අබලන් මාර්ගයක පැමිනිය යුතුයි. පාර ඉතා අබලන් වී තිබූ නිසා අපි වාහනය මඟ දමා ගැමියෙකුත් සමඟ ඔහුගේ ත්‍රීරෝද රථයෙන් මෙතැනට සේන්දු වුනා. ඔහු අපි සමඟ පැවසූ විදියට තවත් කැලෑබද අඩි පාරවල් 3කින් මෙතනට ලඟාවෙන්න පුලුවන්. 


ඉන්පසු අපි ගියේ දෙමෝදර දුම්රියපලට. ඒ දෙමෝදර රේල් ගැටේ ගැන සාක්ෂි එකතුකරන්න.
බදුලු දුම්රිය මාර්ගය ආරුක්කු 9 පාලමත් පසු කරගෙන දෙමෝදරට ලඟාවෙනවා. එතැන් සිට පහලට ඇත්තේ සීග්‍ර බෑවුමක්. ඒ නිසා මෙතැනින් පහලට දුම්රිය මඟ සැකසෙන්නේ සර්පිලාකාර හැඩයකට. එය ඉතා අපූරු පිහිටීමක්. 




පහල වම් ඡායාරූපයේ තියෙන්නෙ දෙමෝදර දුම්රියපල. දකුණු ඡායාරූපයේ තියෙන්නේ දෙමෝදර දුම්රිය ස්ථානයේ පි‍ටුපස ඉඳන් පහල බැලූ විට පෙනෙන දර්ශනය.
අපේ ඊලඟ ගමනාන්තය වුනේ බෝගොඩ රජමහා විහාරය. බණ්ඩාරවෙල ඉඳන් බදුල්ල පාරෙන් හාලිඇලට කි. මී 27ක දුරක් තියෙනවා. හාලිඇල ඉඳන් කැටවලට තවත් කි. මී. 7ක් තියෙනවා. කැටවලින් තවත් කි. මී 4ක පමණ දුරක් ගෙවාගෙන බෝගොඩ රජමහා විහාරයට සේන්දුවෙන්න පුලුවන්. අවාසනාවකට කැටවල ඉඳන් බෝගොඩ දක්වා මාර්ගය නම් ඉතාම අබලන්. එයින් අන්තිම කි. මී 1/2 මොනම වාහනයකටවත් යා නොහැකි තරම් අබලන් වී තිබුනා. නමුත් මම මගේ බ්ලොග් රසිකයින් වෙනුවෙන් ඒ දුර පාගමනින්ම ගෙවා දැමුවා.
වලගම්බා රජු විසින් ඉදිකරවන ලද බෝගොඩ ලෙන් විහාරයටත් වඩා මගේ අවධානය දිනා ගත්තේ ඒ අසල තිබූ 16 වන සියවසට අයත් මෙන්න මේ බෝගොඩ පාලම.

මේ තමයි දැනට ලොව පවතින පැරණිම ලී පාලම. IV වන පරාක්‍රමබාහු රජ දවස ඉදිකලායැයි සැලකෙන මේ පාලම සඳහා කොස්, කුඹුක්, කලුවර, මිල්ල හා මිල් යන ලී වර්ග පහ යොදාගෙන තිබෙනවා. එදා මෙය සම්පූර්ණයෙන්ම ඉදිකර තියෙන්නේ ලී වලින්. යකඩ ඇණ කිසිවක් යොදාගෙන නෑ. ඒත් අද වනවිට පසුකාලීන ප්‍රතිසංස්කරණ වලදී එක්වුනු යකඩ ඇණ රාශියක් දක්නට ලැබුනා.  එදවස මෙය මහකුඹුර-කෙකටියමලුව ගම් යාකරන පාලමක් මෙන්ම අම්බලමක් ලෙසත් භාවිතා වී තියෙනවා.
පාලමේ වහලට දාල තියෙන්නෙ මෙන්න මේ ආකාරයේ පෙති උළු. දිගින් අඩි 54ක් සහ පළලින් අඩි 5 1/2ක් වෙන මෙහි බර දරා සිටින්නේ අඩි 8ක් උස කුඹුක් කණු දෙකක්. ඉහල මැද රූපයේ පෙනෙන්නේ ඒ කුඹුක් කුලුනු. ඒ දෙක මැදිකරල කොන්ක්‍රීට් දාල තියෙන්නෙ නම් පසුකාලීනව පුරවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්. පාලම යටින් ගලා බහින්නේ උමා ගඟේ අතු ශාඛාවක් න ගල්ලන්ද ඔය. බෝගොඩ ඔය කියලත් මේක හඳුන්වනවා. තව දෙයක්! මේ පාලම ඉදිකලා යැයි කියන්නේ පිය-පුතු දෙපලක්. ඉහල තුන්වන ඡායාරූපය බලන්න. මේ ලී මූට්‍ටුව කපන්න ඇත්තේ පියාද? පුතාද?  


මේ තියෙන්නේ පැතුම්ගේ නිරුවත. පැතුම්ගෙ විතරක් නෙවෙයි, පෞරාණික උරුමයක වටිනාකම නොදත් පැතුම්ලා සිය ගානකගේ නිරුවත. අනාගතය ගොඩනැගෙන්නේ අතීතය තුලින්. අපි අද රස විඳින මේ අතීත ප්‍රෞඩත්වය අනාගත පරපුරට ඉතිරිකර යෑම අපේ යුතුකමක්. ඒ බව තේරුම් නොගන්නා පැතුම්ලා මේ ස්ථාන නැරඹීමට නොඑනවානම් යහපත් කියල මට හිතුනා.


ඌව පුරවරයේ වැදගත් ස්ථාන රාශියක් නරඹා අපි ආපසු කොලොම්තොට බලා පිටත්වුනා. 
යන ගමන් දෝව රජමහා විහාරය වන්දනාකිරීමටත් අපි අමතක කරේ නෑ.
වළගම්බා රජු විසින් කරවූවා යැයි සැලකෙන මෙම විහාරය පිහිටල තියෙන්නෙ බදුල්ල පාරේ බණ්ඩාරවෙල ඉඳන් කි.මී. 6ක පමණ දුරක් බදුල්ල දෙසට වන්නට. මේ තියෙන්නේ එහිදී මගේ කැමරාකාචයේ සටහන් වුනු අඩි 36ක් උස අඩක් නිමකල හිටි පිලිමය. මෙය අසල ඉතා ඍජු ලෙස විහිදෙන සපු ගසක් දකින්න පුලුවන්. මෙම විහාරයේ සැඟවසිටි වළගම්බා රජතුමා පළායාමට භාවිතා කල උමඟේ එක කෙලවරක්  බෝගොඩ විහාරයටත් තවත් කෙලවරක් රාවණා ගුහාවටත් විහිදුනු බව පැවසෙනවා.
පිලිමයේ වැඩ නිම නොවීමට හේතු ලෙස මත දෙකක් දැක්වෙනවා.වැඩ නිමවීමට කලින් රජතුමා පළාගිය බව ඇතමෙකු කියද්දී තවත් මතයකට අනුව පිළිමයකට නුසුදුසු ස්ථානයක් නිසා මෙහි වැඩ අතරමඟ නතර කර දමා තියෙනවා. විහාරයේ ඉදිකර තිබූ සීනු හැඩැති කුඩා චෛත්‍යය දෝව රජමහා විහාරයට අපූර්වත්වයක් එක්කරනවා.

සමුගන්නයි සූදානම. ඊට පෙර එක දෙයක් කියන්නම්. මේකෙ තියෙන ගොඩක් තැන්වලට ලඟාවෙන එක මේ ලිපිය කියවන තරම් ලේසි වුනේ නෑ. සමහර තැන්වලට අපි ගියේ පයින්. නැත්නම් ත්‍රී රෝද රථ වලින්. අපි ඒ අභියෝග ජයගත්තේ කුඩා අත දරුවෙකුත් එක්ක. ඒ මෙය කියවන ඔබ වෙනුවෙන්. 
ඉතින්... අදහසක් දක්වන්න හැකිනම් කදිමයි. එය ඉදිරියේදී මෙවන් ලිපි රාශියක් ලිවීමට කදිම උත්තේජකයක් වේවි!

4 comments:

  1. බෙහෙවින්ම සිත් ගත්තා...

    ඔබට ස්තුතියි !

    ReplyDelete
  2. 1989 -90 කාලේ මා බදුල්ල දිස්ත්‍රික්කයේ හමුදා කඳවුරු කීපයක සේවය කළා. කලබලකාරී පරිසරය මැද, ස්වභාව සෞන් දර්යය රසවින්දින්නත් අමතක කලේ නැහැ. ඔබ මෙහි දක්වා ඇති සෑම ස්ථානයකටමා මා ගොස් තිබෙනවා. රසවත් වගේම භයානක අත්දැකීම්ද තිබෙනවා.

    වරක් මා සොල්දාදුවන් කීපදෙනෙකු කැටුව රාවණා ඇල්ලේ ඉහලටම නැග්ගා. එයට හේතුව වුනේ, ඇල්ල පාමුල (ඇල්ල - වැල්ලවාය පාරේ) නවතා තිබුණු සැක කටයුතු වාහනයක රියදුරා කිව්වා, එහි විදේශීය ජෝඩු දෙකක් ආ බවත්, ඔවුන් ඇල්ල දිගේ ඉහලට නැග්ග බවත්. ඔය ඇල්ලේ ඉහලට නැගීම හරි භයානකයි. ලිස්සුවොත් මරණය නියතයි. ඇල්ලේ මහල් කීපයක් තියනවා ඔබ දකින්නට ඇති. අපි ඉහලට නැග්ගේ ඇල්ලේ දකුණු පැත්තේ තියන බෑවුම දිගේ. ඉහලම තියනවා ස්වභාවික පොකුණක්. එතනට ගියාම මොකක්ද අපි දැක්කේ? අර සුදු ජෝඩු දෙක උපන් ඇඳුමෙන් හිතේ හැටියට නානවා. අපි දැකලා හාට් ඇටැක් එකක් හැදෙන තරම් ඔවුන් බයවුනා. මා ඔවුන්ට අවවාද කර, ඇඳුම් ඇඳගෙන, එතනින් පිටවී, ඇල්ල පහලට ඇවිත් ඇති තරම් නාගන්න කියා ඔවුන් එසේ කරනතුරු සිට ආවා.

    අර ආරුක්කු හතේ පාලම හෙවත් ගොටුවල පාලම අසල කැලයේ මම දින හතරක් සැඟවී සිටියා, මගේ භටයන් හය දෙනෙකු සමග. දවල්ට කැලයේ ඉන්නවා, රෑට පාලම ලඟට එනවා. එහෙම ඉඳලා, ඒ කාලේ මිනීමැරුම් ගණනාවකට සම්බන්ධ ජේවීපී නායකයකු අල්ලාගන්න හැදුවා. නමුත් ඔහු අපට වෙඩි තබා පැනයන්න උත්සාහ කිරීමේදී, අපෙන් වෙඩි කා මියගියා, ඔය පාලම උඩදී.

    'දෙමෝදර පාලම' නමින්, ගාමිණී ෆොන්සේකා ප්‍රධාන චරිතය රඟපාමින් අධ්‍යක්ෂණය කල චිත්‍රපටියට ගත්තේ, ඔය පාලම. එම දර්ශන රූගත කිරීමේදී, මගේ භටපිරිස් යොදා ආරක්ෂාව ලබාදුන්නා, ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි.

    ReplyDelete