Tuesday, September 27, 2011

නූතන සිංහල ටෙලිනාට්‍ය ගැන මගේ අදහස

මම ටෙලිනාට්‍ය ලෝලියෙකු නොවෙමි. අහබු ලෙස දු‍ටු ටෙලිනාට්‍ය කොටස් වලින් ගොඩනඟාගත්, ලාංකේය ටෙලිනාට්‍ය කලාව ගැන මාගේ අදහස මෙසේය.
මා කුඩාකල ආශාවෙන් නැරඹූ අඹයාළුවෝ, පලිඟුමැණිකේ, චරිත තුනක්, යශෝරාවය, කඩුල්ල, ඇල්ල ලඟ වලව්ව, දඩුබස්නාමානය වැනි ටෙලිනාට්‍ය අද දක්නට නැත.  ඒ වෙනුවට අද නිෂ්පාදනයවන බහුතරයක් ටෙලිනාට්‍ය වලට පාදක වන්නේ, බොලඳ ආදර කතාවක් වටා ගෙතුනු බාල නවකතාවකි. 
මෙහි තේමාව බොහෝවිට තුන්කොන් හෝ සිව්කොන් ආදරයකි. මෙම ආදරය වටා ගොඩනැගෙන අතුරු කතා අතර මංකොල්ලයක්, පැහැරගැනීමක්, තර්ජනයකිරීමක් හෝ කප්පම්ගැනීමක් දැකිය හැක.
මෙම ටෙලිනාට්‍යවල ප්‍රධාන චරිතය වන්නේ ඇතැම්විට පියා රවටා පෙම්වතා සමඟ යන තරුණියකි. තවත් විටක, අනියම් බිරිඳ සමඟ පෙම්බස් දොඩන තරුණයෙකි. නැතහොත්, පාසැල් නිල ඇඳුම පිටින් පෙම් කෙලින යුවලකි. එසේත් නැත්නම්, තම පෙම් සබඳතාවයට විරුද්ධවන පියාට පරුශවචනයෙන් බැනවදින දියණියකි. මෙහි ඇති බරපතලම කාරණය වන්නේ අසම්මතය සමාජගත වීමතුලින් බාල පරපුර විනාශ වීමයි.
මේවායේ අනිවාර්යයෙන් දැකිය හැකි සෙසු චරිත කීපයකි. දුෂ්ටයෙක්, විකටයෙක්, බේබද්දෙක්, හෝ මානසික රෝගියෙක් ඔවුන් අතර වේ. විකටයා වන්නේ බොහෝ විට නිවසේ මෙහෙකරුවා, යහලුවා හෝ මාමාය. විකට රංගනය බොහෝවිට ශෝකජනකය. විකාරය. කට ඇදකරමින්, කට හඬ වෙනස් කරමින් සහ හතර අතේ ඇඹරෙමින් කරන විකට රංගනය දකිනවිට ඇතිවන්නේ නලුවා ගැන ශෝකයක් මිස හාස්‍යක් නොවේ. මෙවන් බාලගණයේ රඟපෑම් දකිනවිට මතක්වන්නේ මෑතකදී අප අතරින් වෙන්වූ ජෝ අබේවික්‍රම කලාකරුවාය. සිනාවියයුතු තැන සිනා නොවී සිටීමෙන් ප්‍රේක්ෂකයා සිනා ගැස්සූ ජෝගේ විකට රංගනය අසලටවත් ඒමටවත් මොවුන්ට නොහැක.
මෙම ටෙලිනාට්‍යවල දෙබස් බොහෝවිට අප්‍රසන්නය. සිංහල භාෂාවට අලුත් ප්‍රස්ථාපිරුලු හා ගැටපද හඳුන්වාදීමටද මේවා සමත්ය. මෑතදී මට ඇසුනු එවන් වදන් කීපයක් මෙසේය.
- ටිං ටිං ඩබල් ටිං
- පට්ට පට පට
- අම්ම හදපු තාත්ත වඩපු මම විකුණපු දොදොල් වගේ
- හතර වරං
- ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ
- අඩ් ඩඩ් ඩා
ඉතා මෑතකදී මම දු‍ටු  ටෙලිනාට්‍යයක වයස 50ක පමණ චරිතයක් නිරූපණය කරන්නේ මැදිවියටවත් ලං නොවූ තරුණයෙකි. ඔහුගේ දියණියගේ චරිතය රඟපාන තරුණියට වඩාවත් ඔහු වැඩිමහල්දැයි සිතාගැනීමට අපහසුය.
මේවායේ කතා සුරංගනා කතාවලට දෙවෙනි නැත. කිසිදු තාත්විකත්වයක් නැත. කිසිදු ‍රැකියාවක් හෝ ව්‍යාපාරයක් කරන බවක් නොපෙනෙතත්, රජ මාලිගා වැනි නිවෙස් ඇති මිනිසුන් සිටින්නේ මෙවැනි ටෙලිනාට්‍ය වල මිස සැබෑලෝකයේ නොවේ. අධ්‍යක්ෂකට අවැසි වූ කල ඇතැම් චරිත පිස්සන් කිරීමටත්, ඇතැමුන් මරා දැමීමටත්, මළ වුන් නැගිට්ටවීමටත් හැකිය.
යම් කලාකරුවෙක් ටෙලිනාට්‍යයෙන් ටිකකට ඉවත් කලයුතුවිට, අදාල චරිතය රට යයි. නැතහොත් පැහැරගෙනගොස් අතුරුදහන් කෙරෙයි. 
මෙම ටෙලිනාට්‍යවල අහබු සිදුවීම්ද බහුලය. හොර බිරින්දෑ සමඟ සැමියා යන හෝටලයටම නීත්‍යානුකූල බිරිඳත් හදිසියේ පැමිනේ. පෙම්වතා සමඟ නඟින බසයටම පෙම්වතියගේ පියාත් නඟී.
කප්පරක් වෙළඳදැන්වීම් සමඟ දිගහැරෙන මෙම ටෙලිනාට්‍යයක දෛනික විකාශන කාලය බොහෝවිට විනාඩි 10ක් හෝ 15කි. මාස ගනනාවක් තිස්සේ රබර්මෙන් ඇදෙමින් දියාරු ලෙස ගලායන මේවා හදිසියේ මතක් වූවාක් මෙන් සිදුවීම් ගනනාවක් එක්දිනකදී සිදුවී නිමාවට පත්වේ.
ටෙලිනාට්‍ය යනු  ප්‍රබල කලා මාධ්‍යකි. වේදිකානාට්‍ය, සිනමාව, හෝ නවකතා වැන්නක් ‍තෝරාබේරාගෙන රස විඳීමට පුලුවන. නමුත් ටෙලිනාට්‍යයකට ඊටවඩා පුලුල් ප්‍රේක්ෂක සහභාගිත්වයක් ඇත. ලංකාවේ බොහෝ නිවාසවල රූපවාහිනිය ඇත්තේ සාලයේය. වෙහෙසකර දිනයක් අවසානයේ බොහෝ දෙනා රූපවාහිනිය ඉදිරියේ වාඩිවෙන්නේ රසවත් යමක් නරඹා සිත සැහැල්ලුකර ගැනීමටය. රූපවාහිනිය වසාදමා සිටීම මෙයට විසදුම නොවේ. එය හරියට පිලුණු වූ ආහාර කෑමට නොහැකි නම් බඩගින්නේ සිටින්නැයි කීවාක් මෙනි. නමුත් අපි දැනට කරන්නේද එයමය. රසවත් යමක් ලැබෙනතුරු බඩගින්නේ සිටීමය.
අවසාන වශයෙන්, 
මිනිසුන්ගේ රසාඥතාවය මොට කරන අවරගනයේ ටෙලිනාට්‍යවලින් මිදී හරවත් යමක් කිරීමට ශක්තිය ලැබේවායි පතමි. ඒ සඳහා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරුන්ගේත්, අදාල නිලධාරීන්ගේත් ඇස් ඇරේ වි යැයි සිතමි.

1 comment:

  1. ඉතාම හොද ලිපියක්, මේ කරුණු සියල්ලම මාත් දැකලා තියෙනවා

    ReplyDelete