Thursday, November 8, 2012

ටේලර් සාප්පුව ගිනිගනී

අද මම ඔබව ගෙනියනවා අවුරුදු 16 ක් අතීතයට. හරියටම දිනය කියනවනම්, 1996 මාර්තු 18 වැනි සඳුදා. ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනාගත්තු දවසට පසු දිනය. එදා දිවයින පත්තරේ සිරස්තලය තමයි මේ.

අර්ජුන රණතුංග පකිස්තානු අගමැති බෙනාසීර් බූ‍තෝ අතින් ලෝක කුසලානය ලබාගන්නා අයුරු දැක්වෙන අපැහැදිලි ඡායාරූපයක් ඊට වම් පසින් මුද්‍රණය කර තිබුනා.

සිරස්තලයට යටින් තිබුනේ ලංකා නායක අර්ජුන සහ උපනායක අරවින්දගේ ඡායාරූප දෙකක්.

මුල්පි‍ටුවට අමතරව ක්‍රීඩාපි‍ටුව සම්පූර්ණයෙන්ම වාගේ වෙන්ව තිබුනේ අවසාන තරඟයේ තතු විත්ති ගෙන ඒමට.

"ලෝක ක්‍රිකට් ශූරතාව ශ්‍රී ලංකාවට"
"ටේලර්ගේ මැහුම් වරදියි"
ක්‍රීඩාපි‍ටුවෙන් ඕස්ට්‍රේලියානු නායකයාව උපහාසයට ලක් කර තිබුනේ එහෙමයි.

"ජගත් ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය මතක සටහනක් සනි‍ටුහන් කල අර්ජුන රණතුංග ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ, ඊයේ (17 දා) පකිස්තානයේ ලාහෝර්හිදී ඕස්ට්‍රේලියාව කඩුලු හතකින් පරදවා විල්ස් කුසලාන ලෝක ක්‍රිකට් ශූරතාව දිනා ගත් බව දිවයින සාඩම්බරයෙන් වාර්තා කරයි.
ජගත් ක්‍රිකට් ශූරතාව ආසියානු කලාපයේ ක්‍රිකට් කණ්ඩායමක් විසින් දිනාගත් තුන්වන අවස්ථාව මෙය වන අතර මීට පෙර ඉන්දියාව සහ පකිස්තානය පිළිවෙළින් අදාල ශූරතාව දිනා ගැනීමට සමත් වී ඇත.
ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඊයේ ලාහෝර්හි දී පැවැති විල්ස් කුසලාන ලෝක ශූරතා අවසන් තරගයේ දී පළමුව ඉනිම ඇ‍රැඹූ ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දු වාර 50 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 241 ක් ‍රැස් කළ අතර පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46.2 කදී කඩුලු 3 කට ලකුණු 245ක් ‍රැස් කොට සිය ඓතිහාසික ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය.
ඊයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක ඉනිමක් ගොඩනැගූ උපනායක අරවින්ද ද සිල්වා (ලකුණු 107-නොදැවී) තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවේය.
ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ ලැබූ මෙම අනභිබවනීය ජයග්‍රහණයෙන් උද්දාමයට පත් වූ ශ්‍රී ලාංකික ජනතාව ප්‍රීති ඝෝෂා නගමින් සාමකාමීව වීදි සංචාරයේ යෙදුනු දක්නට ලැබිණි."

එම විස්තරයට දකුණුපසින් සනත් ජයසූරිය තරගාවලියේ වීරයා සම්මානය ලබාගන්නා ඡායාරූපයත්, අරවින්ද විසින් තරගයේ වීරයා සම්මානය ලබාගන්නා ඡායාරූපයත් දක්වා තිබුනා.

එදා තරගයේ ලකුණු පුවරුව මෙතනින් බලන්න.

එදා එම පුවත්පතේ තිබුනු ක්‍රිකට් වලට සම්බන්ධ නැති දැන්වීමකුත් මගේ අවධානය දිනාගත්තා. ඔබට මතකද "ඉටිපහන්" ටෙලිනාට්‍යය?
එදිනට පසු සතියේ ඉඳන් විකාශය වීමට නියමිතව තිබූ ඉටිපහන් ටෙලිනාට්‍ය දැන්වීමේ රූපරාමුවල ඉන්න කුඩා දැරිය ඔබ අඳුරනවාද? (විශාල කර බලන්න)
ඇය තමයි අද දවසේ ප්‍රසිද්ධ නිලියක් වූ අනර්කලී ආකර්ශා. නලු නිලි ලයිස්තුවේ ඇගේ නම සඳහන්වෙලා තියෙන්නේ "අනර්කලී ජයතිලක" ලෙස.



මේ වගේ තවත් වැදගත් පුවත්පත් කීපයක් මා සතුව තියෙනවා. ඉඩ ලැබෙන විදියට ඉදිරියේදී ඒවා පලකරන්නම්.
වසර 82 ක් පැරණි මුල්ම සිළුමිණ පුවත්පත ගැන මම ලියපු ලිපිය මෙතනින් බලන්න.

4 comments:

  1. හොදයි හොදයි වටිනවා අපි දන්නෙවත් නැති තොරතුරැ නෙවැ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි.. ප්‍රතිචාරයට.

      Delete
  2. අතීතය සිහි කලාට ස්තුතියි..!

    ReplyDelete
  3. ...........ateetaya sihinayak pamanai...sebe suwandak ne kianne boruwak neda????????????????..........wishita punarawalookanayak...............supa pathum hada tutin....

    ReplyDelete